2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා

රටටම රතු එළි දල්වා කඩාවැටුණු මහනුවර මහගෙදර

 2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 234

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනය අද දවසේ බොහෝ දෙනාගේ කතාබහට ලක් වී ඇත. නිවාස සඳහා ඇති ඉල්ලුම වැඩිවීමත්, නිවාස ඉදිකිරීම සඳහා රජයෙන් ලැබෙන දිරිගැන්වීම වැඩිවීමත් හේතුවෙන් නිවාස ඉදිකිරීම් අංශය වේගයෙන් පුළුල් වෙමින් පවතී. එපමණක් නොව කාර්යාල පහසුකම් අඩුකම නිසා අහස උසට සිදුවන ඉදිකිරීම් දිනෙන් දින වැඩිවෙමින් තිබේ.

පසුගියදා වෙබ් අඩවි ගණනාවකම සඳහන් වූයේ කොළඹ නගරය පුරාවටම ප්‍රමිතියකින් තොර මෙන්ම අබලන් තත්ත්වයේ ගොඩනැගිලි රාශියක් ඇති බවයි. එම පුවත් කියවෙනවිට අපිට හැඟී යන්නේ අද වනවිට කිසිදු පාලනයකින් තොරව ප්‍රමිතියකින් තොරව ගොඩනැගිලි ඉබාගාතයේ ගොඩනැගෙන බවයි.

පසුගිය කාලයේ වැල්ලවත්ත ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් එකවරම කඩාවැටීම නිසා අනවසර මෙන්ම ප්‍රමිතියකින් තොර ගොඩනැගිලි පිළිබඳව මුළුරටම කතාබහ කළෝය. මේ වනවිට අහස සිඹින ගොඩනැගිලි පිළිබඳව මුළුමහත් රටේම අවධානය යොමු වූයේ පසුගියදා මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ සිදුවූ පස්මහල් මන්දිරයක් තවත් ගොඩනැගිල්ලක් වෙත කඩා වැටීමෙන් සිදු වූ ඛේදවාචකයත් සමඟය.

මහනුවර නගරයම පමණක් නොව සමස්ත රටම කම්පාවට පත් කරමින් මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ සිදුවූ මහා දැවැන්ත ගොඩනැගිල්ලක් තවත් ගොඩනැගිල්ලක් මතට කඩා වැටීමෙන් කිසිවෙකුට වරදක් නැති කිරිසප්පයකු හා තරුණ අඹු සැමි යුවළක් පස්වලට යටවී මරණයට පත්වීමේ සිදුවීම මහනුවර නගරය පුරා විසිරී තිබෙන අති දැවැන්ත අනාරක්ෂිත මහල් ගොඩනැගිලිවලින් ඉදිරියට සිදුවිය හැකි අනතුර පිළිබඳව විශේෂ පණිවුඩයක් ලබාදී තිබේ.

මහනුවර නගරයේ විවිධ ස්ථානවල ඉදිකර තිබෙන බොහෝ ගොඩනැගිලි ඉදිකිරීමේදී ඒවාට කවුරු අවසරය ලබා දුන්නාදැයි හෙළිකර ගැනීම ඉතාමත් අපහසු වී තිබේ යැයි පොලිසිය පවා පවසයි.

බොහෝ ස්ථානවල කඳු සහිත බෑවුම්වල හා මහනුවර වැවට සමීපව සංඝරාජ මාවතට ඉහළ රජපිහිල්ල මාවතේ ස්ථාන රැසක ඉඩම් යන්ත්‍ර සූත්‍ර යොදා කපා පස් ඉවත්කර දැවැන්ත මහල් ගොඩනැගිලි ඉදිකර තිබේ. එම අවට ප්‍රදේශ නොකඩවා ඇද හැලෙන වර්ෂාවද සමග වරින්වර පස්කඳු කඩා වැටී පහළට පහත් වෙන අවස්ථාද පවතියි.

ඇතැම් දැවැන්ත මහල් ගොඩනැගිලිවලින් ඉවත දමන අප ජලය සූක්ෂම ලෙස පසට යටින් බට දමා පහළට ගලා ඒමට සලස්වා තිබේ. මේවා කිසිවකුට නොපෙනෙයි. එහෙත් අධික වර්ෂාවත් සමග පස සේදී මඩ සහිත ජලය මහනුවර සංඝරාජ මාවත ගංවතුර තත්ත්වයට පත් කරවයි.

මෙවැනි අවස්ථාවක ඉහළින් තට්ටු 8-10ක් උසට ඉදිකර තිබෙන දැවැන්ත ගොඩනැගිලි අනාරක්ෂිත තත්ත්වයක පැවතියද, ඒ සම්බන්ධ හේතු සාධක සහිත කරුණු ඉදිරිපත් කරන්නට කිසිදු විශේෂඥයකු නොමැති තරම්ය. සිද්ධියක් හට ගැනීමෙන් පසු විවිධ මත පළකරන නිර්දේශ ඉදිරිපත් කරන විද්වතුන් විද්‍යාඥයන් කොපමණ සිටියද මහනුවර නගරය තුළ පොකුරු ලෙසින් ඉදි වූ දැවැන්ත මහල් ගොඩනැගිලි ඉදිකිරීම් නවත්වන්නට කිසිවකු ඉදිරිපත් නොවන්නේ යැයි මහ ජනතාව චෝදනා කරති.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාද පැවසුවේ අති දැවැන්ත ගොඩනැගිලි කඳු මුදුන්වල ඉදිකරන තෙක් ඒ ඒ ප්‍රදේශයන්හි පළාත් පාලන ආයතන ඔවුන්ට පැවරී තිබෙන වගකීම් ඉටුනොකර ඒවා පැහැර හැර තිබෙන බවයි. බොහෝ දැවැන්ත ගොඩනැගිලි ඉදිකිරීමේදී ඒවායේ සැලසුම් අනුමත කිරීම සඳහා ඇතැම් පළාත් පාලන ආයතනවල ඇතැම් නිලධාරීන් “පැකේජ” වශයෙන් මුදල් ලබා ගනිමින් නුසුදුසු අක්‍රමවත් ඉදිකිරීම් සඳහා (ප්ලෑන්) අනුමත කර දෙන බවට මහජනතාව පැමිණිලි කර ඇතැයි පළාත් ආණ්ඩුකාරවරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.

හන්තාන කන්ද මුදුනේ ඉදිකර ඇති එකිනෙකට සමීපව තිබෙන දැවැන්ත මහල් ගොඩනැගිලි “පොකුරු” ගොඩනැගිලි ලෙස දක්නට ලැබෙන බවත් මේවා ඉතා අනතුරුදායක තත්ත්වයක පවතින බවත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා පැවසීය.
එක් එක් පුද්ගලයන්ගේ බලපුළුවන්කාරකම මත හා දේශපාලන සබඳතා මත නුසුදුසු භූමිවල දැවැන්ත ගොඩනැගිලි ඉදිකිරීම නිසා ඉතා කුඩා නගරයක් වූ මහනුවර නගරයට තදබල ලෙස දැඩි පාරිසරික බලපෑම්වලට මුහුණදීමටද සිදුව තිබේ.
මහනුවර රජපිහිල්ල මාවත බෑවුම් ස්හිත ස්ථානයක පස් කපා ඉවත්කර දැවැන්ත මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම් සිදුකරගෙන යද්දී මහනුවර මහ නගර සභාවේ බලධාරීන් ප්‍රකාශ කළේ ඒ සඳහා අවසර දී ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරිය බවයි. පසුගිය කාලයේ නගරයේ බොහෝ ඉදිකිරීම් සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් අවසර ලබාදී ඇති බව මහනුවර මහ නගර සභාව පවසයි.

මහනුවර නගර මධ්‍යයේ අලි මුඩුක්කුව පෙදෙසේ අනවසර මහල් ගොඩනැගිලි රාශියක් ඉදිකර තිබේ. මේ ඉදිකිරීම් සිදුවන්නේ කෙලෙසකදැයි නගර සභාවේ ඇතැම් නිලධාරීහු නොදන්නවා සේ නිහඬව සිටිති.

අතමිට යහමින් මිල මුදල්, නිලතල හා දේශපාලන බලය ඇත්නම් මහනුවර නගරයේ ඕනෑම ස්ථානයක කිසිදු අවසරයක් නැතිව ඉඩමක් හිමි ව්‍යාපාරිකයකුට කෝටිපතියකුට අහස උසට මහල් ගොඩනැගිලි ඉදිකිරීමට අවස්ථාව තිබෙන බව මහනුවර ජනතාව පවසති.කුඩා බේසමක් වැනි තත්ත්වයක පවතින මහනුවර නගරයට ඔරොත්තු නොදෙන අති දැවැන්ත මහල් ගොඩනැගිලි ඉදිවූයේ එක රැයකින් නොවේ යැයිද ඔවුහු කියති.

ඇතැම් අති දැවැන්ත මහල් ගොඩනැගිලි ඉදිවී ඒවා විවෘත කිරීමේ උත්සවවලට දේශපාලනඥයන් ඔවුන්ගේ ගජ මිතුරන් හා ඇතැම් රාජ්‍ය නිලධාරීන්ද සහභාගී වන්නේ කිසිදු ලැජ්ජාවක් නොමැතිව බව මෙහිලා පැවසිය යුතුය. ඉවක් බවක් නැතිව මහනුවර නගරය තුළ ඉදිකර ඇති (කඳු සහිත ස්ථානවල සහ බෑවුම් සහිත ස්ථානවල) දැවැන්ත මහල් ගොඩනැගිලි ඉදිකිරීමට අදාළ ලේඛන පරීක්ෂා කිරීමටත් එම ගොඩනැගිලිවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමටත් ඉදිරියේදී භූ විද්‍යාඥයන් හා ඉදිකිරීම් ඉංජිනේරුවන්ගෙන් සැදුම්ලත් කමිටුවක් මගින් අදාළ ස්ථාන පරීක්ෂා කිරීම සඳහා පියවර ගැනීමටත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් ගමගේ මහතා පියවර ගෙන තිබේ.

කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ල හිමිකරු කලක් ලෑන්ඩ් සේල් (ඉඩම් මිලට ගෙන විකිණීම සිදුකළ) ආයතනයක් පවත්වාගෙන ගිය අයකු බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. මහනුවර මාවිල්මඩ ජලරක්ෂිත භූමියක දැවැන්ත මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම ආරම්භ කළ හිටපු ප්‍රාදේශීය දේශපාලනඥයෙක් (එජාප) එම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා තමාට සියලු අංශවල අනුමැතිය ලැබී තිබූ බව පවසා අසල ජල මාර්ගයක්ද අවහිර කර ඉදිකිරීම් ආරම්භ කරමින් ක්‍රියා කරද්දී මහනුවර නගර සභාව ඔහුගේ දේශපාලන බලපුළුවන්කාරකමට යටවී නිහඬව සිටි බව මහනුවර මහනගර සභා රැස්වීමේදී නාගරික මන්ත්‍රී වරැණ ලියනගේ (එජාප) මහතා ප්‍රකාශ කළේය.

දැනට එම ගොඩනැගිල්ලද ඉදිකිරීම් අතරමග නවතා දමා ඇතත් ඔහු මහල් ගණනාවකින් යුත් එම ගොඩනැගිල්ල ජලරක්ෂිත භූමියේ ඉදිකිරීම සඳහා වත්මන් රජයේ දේශපාලනඥයන් කීපදෙනකු හා සම්බන්ධ වී රහසේ කටයුතු කරන බවද නගර සභා රැස්වීමේදී අනාවරණය විය.

මහනුවර නගරයේ කඳු මුදුන්හි ඉදිකර ඇති දැවැන්ත මහල් ගොඩනැගිලි එම කඳුවලට කිසිසේත් ඔරොත්තු නොදෙන බවද විශේෂ මාධ්‍ය හමුවකදී පළාත් ආණ්ඩුකාරවරයාද පැවසීය.

 ජේ.ඒ.එල්. ජයසිංහ සහ තෙල්දෙණිය චන්දන උඩුවාවල

මේක භූ කම්පන තත්ත්වයක් නොවේ
භූ විද්‍යා සමික්ෂණ හා පතල් කැණීම් කාර්යංශය සභාපති අනුර වල්පොල

පසුගිය සතියේ මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් කඩා වැටීම සහ ඊට දින කිහිපයකට පෙර මහනුවර හා තලාතුඔය ප්‍රදේශවලට බලපෑ භූ චලන සිදුවීම අතර කිසිදු සම්බන්ධයක් නැහැ. ඒ වගේම තමයි මේ නිවස කඩා වැටෙන අවස්ථාවේ මහනුවරට භූ කම්පනයක් සිදු වූ බවට කිසිදු භූ කම්පන මානයක සටහන් වී නැහැ. ප්‍රමිතියකින් තොරව ගොඩනැගිල්ල ඉදිකිරීම මේ තත්ත්වයට හේතුවක් වෙන්න ඇති කියලා අප විශ්වාස කරනවා. මෙහි කිසිදු භූ කම්පන තත්ත්වයක් වාර්තා වෙලා නැහැ. කෙසේවෙතත් මහනුවර පසුගිය දිනවල ඇති වූ භූ කම්පන තත්ත්වය සහ ලංකාවට ඉදිරියේදී ඇතිවිය හැකි භූ කම්පනවල තත්ත්වය සොයා බැලීමට අපි විද්වත් කමිටුවටක් පත් කර තිබෙනවා. මොරටුව සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලවල සහභාගීත්වයෙන් එම කමිටුවේ වැඩ කටයුතු සිදු කරන්නත් අප බලාපොරොත්තු වෙනවා.

පැනගත්තෙ නැත්නම් අපිත් යටවෙනවා
- ගොඩනැගිල්ලේ අයිතිකරු

පසුගිය ඉරිදා (20) අලුයම කඩාවැටුණු මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පිහිටි මහල් ගොඩනැගිල්ලේ හිමිකරු වූ දොඩම්වල නාථ දේවාලයේ බස්නායක නිලමේ (හිටපු)) අනුර ලෙව්කේ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ කීය.

“සිද්ධිය වුණ දින පාන්දර 4.55ට මගේ නිවස කඩා වැටෙන්න ඔන්න මෙන්න කියා දැනුණු මොහොතේ මම මගේ පවුලේ සාමාජිකයන් සමඟ ක්ෂණිකව නිවසින් ඉවත් වුණේ නැත්නම් පවුලේ සියලුම දෙනා යටවී අනතුරට ලක්වෙනවා. ඇතිවූ ක්ෂණික තත්ත්වයත් සමඟ ගොඩනැගිල්ල කඩා වැටෙන එක ගැන කාටවත් කියාගන්න බැරි තත්ත්වයකයි අපි හිටියේ. මේ සිද්ධියෙන් මරණයට පත්වුණු අය ගැන කණගාටුයි.

සිද්ධියෙන් පසුව මහනුවර පොලිසියේ අපරාධ අංශයට මම ප්‍රකාශයක් ලබාදුන්නා. මේ කඩා වැටුණු ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා 2006 වසරේදී ඉදිකිරීම් ආරම්භ කරද්දී ගොඩනැගිලි පර් යේෂණ සංවිධානය ක්‍රියාත්මකව තිබුණේ නැහැ. ඒත් අනෙකුත් අදාළ ආයතනවලින් ලබාදුන් අනුමත ලිපි තිබුණා. ඒවත් ගොඩනැගිල්ලේ සුන්බුන් අතර අස්ථානගතවී තිබෙනවා.

අලුයම් කාලයේ මගේ නිවාස ගොඩනැගිල්ල කඩා වැටෙන අවස්ථාවේ ඒ පිළිබඳව පහළින් තිබූ නිවසේ සිටි අයට දැනුම්දීමට කාලවේලාවක් තිබුණේ නැහැ. අපට නගන චෝදනා පදනම් විරහිතයි. අපි නිවසේ බල්ලෝ පූසෝ අරගෙන ගියේ නැහැ.”
තම නිවස තට්ටු පහක් නොව තට්ටු හතරක එකක් බවද අනුර ලෙව්කේ මහතාගේ පුත්‍රයා මාධ්‍ය කළ විමසීමකදී (දුරකථනය ඔස්සේ) පැවසූ අතර විවිධ මාධ්‍ය ඔස්සේ තමාටත් පවුලේ අයටත් නගන චෝදනා පිළිබඳව තමන් කනගාටු වන බවද ප්‍රකාශ කළේය. ගොඩනැගිල්ල කඩා වැටෙන මොහොතේ තමන් ඇතුළු පවුලේ අයටද සිදුවූයේ තම තමන්ගේ ජීවිත බේරාගැනීම සඳහා ඉවතට යාම පමණක් බවද අනුර ලෙව්කේ මහතාගේ පුත්‍රයා වැඩිදුරටත් ප්‍රකාශ කළෝය.

තම ගොඩනැගිල්ල කඩා වැටීමෙන් මරණයට පත්වූවන් සම්බන්ධයෙන් තමන් බලවත් සේ කම්පා වන බවද කී අනුර ලෙව්කේ මහතා ඇතිවූ සිද්ධියෙන් පසු මහනුවර පොලිසියේ අපරාධ අංශයට ප්‍රකාශයක් ලබාදුන්නා යැයිද පැවසීය.

තමන් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා සියලු අනුමැතිය ලබාගත් බවත් 2006 වසරේදී ඉදිකිරීම් ආරම්භ කරද්දී ගොඩනැගිලි පර් යේෂණ සංවිධානය පැවතියේ නැති නිසා එම සංවිධානයේ අනුමැතිය සහිත ලිපි තමන් සතුව නැති බවද අනුර ලෙව්කේ මහතා වැඩිදුරටත් පැවසීය.

 

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00