2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා

මාසෙකට ලක්ෂ ගණන් හොයන පොහොසත් හිඟන්නෝ

 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 321

ජ්‍යෙෂ්ඨ නීතීඥවරයකුගේ විස්මිත හෙළිදරව්ව!

මහනුවර ප්‍රධානතම නගරය අද වනවිට විවිධ ගණයේ යාචකයන් හා මහජනතාවගෙන් විවිධ උපක්‍රම යොදමින් මුදල් එකතු කරන විවිධ සමාජ විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ වූ යාචක වෙස්ගත් අයාලේ යන්නන්ගේ පාරාදීසයක් බවට පත්ව තිබේ.යාචක වෘත්තියක් බවට පත්කරගත් පිරිස්ද මහනුවර නගරයේ නිරන්තරයෙන් දැකගත හැකිය. රාත්‍රී කාලයට කොහේ හෝ ස්ථානයක ගත කරන මෙම යාචකයන් දවල් කාලයේ මුළු මහනුවර නගරයම ආක්‍රමණය කරති. නගරයට කොහෙන් පැමිණෙන්නේදැයි පවා සිතාගැනීමට නොහැකි යාචකයන් පිරිසක් ස්ත්‍රී පුරුෂ වශයෙන් දැකගත හැකිය.

මෙම යාචකයන් සහ නගරයේ අයාලේ සැරිසරමින් මුදල් එකතු කරන්නන් පිළිබඳව පසුගිය කාලයේදී මහනුවර ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙක් නිරන්තරයෙන් සොයාබැලීම් කරමින් විමර්ශනයක නිරත විය. එම නීතීඥ මහතා බොහෝවිට නගරය පුරා සැරිසරමින් නගරයේ ගැවසෙන යාචකයන් හා අයාලේ යන්නන් පිළිබඳ විශේෂ සොයාබැලීමක් කර තිබේ. මෙහිදී විශ්මයජනක තොරතුරැ රුසක් හෙළිකර ගැනීමට ඔහු සමත් විය.

සමහරුන්ට වාහනත් තිබෙනවා

ඇතැම් යාචකයන් සැබැවින්ම යාචකයෝ නොවෙති. ඔවුන් නගරය ආසන්නයේ ගම්වල පදිංචි වී සිටින දූ දරුවන් මෙන්ම පවුලේ සාමාජිකයන්ද සිටින 

ගේ දොර හිමි අයවලුන් වෙති. ඔවුන් දෛනිකව තම අතට ලැබෙන විශාල මුදල්වලට කෑදරකමින් නගරයේ පදික වේදිකාවන්හි රැඳී සිට නගරයට පැමිණෙන විවිධ පිරිස් වෙත අතපාමින් මුදල් ඉල්ලා ගනිති. මෙලෙස දෛනිකව ඇතැම් පුද්ගලයන්, යාචකයන් නොවන පිරිස් උපයාගන්නා මුදල් රුපියල් 3000, 5000 මෙන්ම ඇතැම්විට දසදහස දක්වා වන බව මෙම සමීක්ෂණයේදී සොයාගත හැකිවිය.

ආබාධිත තත්ත්වයෙන් නගරයේ වීදිවල රූටා යමින් මුදල් එක්රැස් කරන කීපදෙනෙක් ද සිටිති. ඔවුනට ආවතේව කරැවෝද සිටිති. යාන වාහනද තිබේ. දවල්ට ආහාරය බිරියානි නැත්නම් ෆ්‍රයිඩ්රයිස්ය. මෙම පුද්ගලයන්ට මහජනයා විසින් ඉඳහිට ලබාදෙන ආහාර පාර්සල් එකතු කර ඉතා සූක්ෂම ලෙස එම ආහාර පාර්සල් (බත් පාර්සල්) රුපියල් 70 සිට රුපියල් 100 දක්වා මිල ගණන්වලට තවත් පිරිසකට අලෙවි කරති.
ඔවුන්ගෙන් බත් පාර්සල් ලබාගැනීමට පැමිණෙන ඇතැමුන් නගරයේ විවිධ කම්කරු වෘත්තීන්වල හෝ යාචක වෘත්තියේ යෙදෙන්නන්ය. තවත් සමහරැ යාචක වෙසින් විවිධ සමාජ විරෝධී ක්‍රියාවන්හිද නිරත වෙති. එහෙත් මේවා සොයා බලන්නට වගකිව යුතු අංශ ක්‍රියාත්මක නොවන බවක් බොහෝවිට දැකගන්නට ලැබෙයි.

දවල්ට කාලක් ගහලා බුරියානි කනවා

ඇතැම් යාචකයන් සේ පෙනී සිටින කාන්තාවන්, තරුණයන් හා වැඩිහිටියන් කිසිදු කතාබහක් නොමැතිව දුර ගමන් සේවා බස් රථවලට නැග මුදල් ගෙවා ප්‍රවේශ පත්‍රද ලබා නොගෙන විවිධ වදන් සහිත විස්තර ඇතුළත් පත්‍රිකා බස් රියේ මගීන්ට බෙදා දෙමින් ඔවුන්ගෙන් රුපියල් 20/- රුපියල් 50/- වැනි මුදල් ලබා ගනිති. මෙලෙස බස් රථ රැසකට ගොඩවෙන මෙම පුද්ගලයෝ දිනකට රුපියල් හත් අට දහසක් උපයා ගනිති. මොවුන් දෛනිකව එතරම් ආදායමක් ලබා ගත්තත් දිනපතාම මෙම පිරිස් බස් රථවලට නැග මගීන්ට කරදර කරති.

තවත් පිරිසක් හඳුන්කූරු ජාවාරමේ නිරත වී සිටිති. ඔවුන් බස් රථවලට සමූහ වශයෙන් ගොඩ වී බස් රථවල මගීන්ට කුඩා පත්‍රිකා ලබාදෙන්නේ තමන් ගොළුවන් බව අඟවමිනි. ජනතාව මොවුනට රැවටී රුපියල් 100ක මුදල් නෝට්ටුවක් දුන්විට ඔවුහු එම මගියාට රුපියල් 30ක් පමණ වටිනා හඳුන්කූරු පෙට්ටියක් ලබා දෙති. බසයෙන් බැස යනවිට බස් රියටද හඳුන්කූරු පැකට් දෙකක් ලබා දෙති. හඳුන්කූරැ පැකට් දෙකට රැවටී රියදුරු කොන්දොස්තරවරුන් (ලංගම හා පෞද්ගලික) මගීන්ට අවහිර බාධාකරන කිළිටි ඇඳුම්වලින් සැරසී කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත උපදෙසක් පිළිනොපදිමින් මගීන්ගෙන් මුදල් එකතු කරන යාචක වෙස්ගත් ජාවාරම්කාරයන්ට ඉඩ දෙති.
මේවා නවත්වන්නට ලංගම මාර්ග පරීක්ෂකවරුන් හෝ වගකිවයුතු නිලධාරීන් පියවර ගන්නේ නැත. ව්‍යාජ වෛද්‍ය ලේඛන (වකුගඩු රෝගීන්, පිළිකා රෝගීන් හා වෙනත් රෝගීන්ගේ) රැගෙන තවත් සංවිධානාත්මක වූ පිරිසක් ද (කාන්තාවන්) නගරයේ සියලු වීදිවල රැඳී මහජනයාගෙන් මුදල් එකතු කරති. ඔවුන් සියලු දෙනා දෛනිකව උපයන මුදල රුපියල්වලින්නම් දසදහස ඉක්මවයි.

මෙම නීති විරෝධී ජාවාරම් (මුදල් එකතු කිරීම්) නතර කිරීමට ඒවාට එරෙහිව පියවර ගැනීමට තමන්ට වේලාවක් නැති බව පොලීසිය පවසයි. කුඩා ළදරුවන් මහ මග පදික වේදිකාවල තබාගෙන සිඟමන් යදින ඇතැම් කාන්තාවන් එම දරුවන් දැඩි සේ පීඩාවට වධහිංසාවට ලක්කරති. ඇතැම් කුඩා දරුවන් පදික වේදිකාවේ හඬමින් ඇවිදිති. අනතුරුදායක තත්ත්වයන්ටද මුහුණ දෙති. කුඩා දරැවන් යොදාගෙන සිඟමනේ යෙදෙන ඇතැම් කතුන් උපයන මුදල අති විශාලය. මෙම කාන්තාවන්ට ගෙවල් දොරවල්ද තිබෙන බවත් උදේ වරුවෙම නගරයට පැමිණෙන යාචක කාන්තාවන් හවස් වරුවේ නිවෙස්වලට යති.

හැන්දෑවට සමහරු ගෙදර යන්නේ හත් අටදාහක් හොයාගෙන

තවත් පිරිසක් (වියපත් පිරිමින් හා කාන්තාවන්) පුරුද්දක් ලෙස නගරයට පැමිණ විවිධ බෙහෙත් තුණ්ඩු, බෙහෙත් බෝතල් ප්‍රදර්ශනය කරමින් මහමග රැඳී සිට මහජනතාවට විවිධ බොරු කියමින් මුදල් එකතු කරති. මෙම අයවලුන් යාචකයන් නොවුණත් දෛනිකව ඇතැමුන් රුපියල් 2000 – 3000ක් එකතු කරගෙන තම නිවෙස් කරා යති.

මහනුවර වැව රවුමේ පදික වේදිකාව අත්පත් කරගෙන සිටින ඇතැම් යාචකයන් එකතු කරන මුදලින් සවස් කාලයේ කොළඹ වීදියේ මත්පැන් අලෙවිසල් වෙත ගොස් හොඳින් මත්පැන් පානය කර පදික වේදිකාවේම නිදා ගන්නා බවටද හඳුනාගත හැක. තවත් සමහරුන් එකතු කරන මුදල් වැය කරනුයේ මත්පැන්, ගංජා වැනි මත්ද්‍රව්‍ය භාවිතයට මෙන්ම නගරයේ බුකීවලට ගොස් රේස් තුණ්ඩු දැමීමටය. තවත් සමහර යාචකයන් ලොතරැයි පත් 10 – 15 මිලදී ගනිති.
මහනුවර නගරය තුළ ගැවසෙන විවිධ වංචනිකයන්, යාචකයන් මහජනතාව ඉතාමත් සූක්ෂම ලෙස රවටමින් ඔවුන්ගෙන් මුදල් සිඟමන් ලබාගෙන සිදුකරනු ලබන්නේ වෙනත් අයථා ක්‍රියාවන්ය. ශ්‍රී දළදා මාලියාව අවට ගැවසෙන තවත් කිහිපදෙනෙක් ඉතා අපිරිසිදු කාඩ්බෝඩ් කැබලිවලින් (මේවා කාණු තුළ සහ කුණු බෑග්වල එක්රැස් වන ඒවාය) කුඩා මල් වට්ටි සකස් කර එම අපිරිසිදු කාඩ්බෝඩ් මල්වට්ටිවලට මල් දමා මල් වට්ටියක් රුපියල් 30යි රුපියල් 50යි යැයි පවසමින් දුරබැහැර සිට දළදා මාලිගාව වැඳපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ට අලෙවි කරති.

අප වෙත තොරතුරු හෙළිකළ ජ්‍යෙෂ්ඨ නීතීඥ මහතා මහනුවර නගරය පුරා සැරිසරමින් ඇතැම් යාචකයන්ගේ සමාජ විරෝධී ක්‍රියාවන්ද නිරීක්ෂණය කර තිබේ. යාචක වෙසින් ප්‍රසිද්ධ ස්ථානවල ගැවසෙන ඇතැම් යාචකයන් ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් මහජනයාගේ ගමන් මලු හා වටිනා දේපල සොරකම් කරගෙන පලායන අවස්ථා ද තිබේ. එසේම සැබෑ ලෙසම ඉතා අසරණ වූ මහලු මවුවරු පියවරු ද මහ මග රැඳී සිටිති.
සංවිධානාත්මක වූ යාචක ව්‍යාපාරය මෙහෙයවන ඇතැම් පිරිස්ද සිටින ඇතැම් යාචකයන් වාහනවලින් රුගෙනවිත් නගරයේ දමා යති. අන්ධ පිරිස් පවා මෙම යාචක ව්‍යාපාරයට නොදැනුවත්වම සම්බන්ධ වී සිටින්නේ ඔවුනට දෛනිකව ලැබෙන සොච්චම් මුදල හා දිවා ආහාර වේල නිසාය. බොහෝ යාචකයෝ දවල්ට අරක්කු කාලක්, භාගයක් පානය කර බුරියානි බත් වේලක් ආහාරයට ගනිති. ඇතැම් යාචකයන් මෙන්ම මහජනයා විසින් ලබාදෙන බත් පාර්සලය හොඳින් පරික්ෂා කර බලා එය නගරයේ සුළු සුළු දෛනික රැකියාවන්හි නිරත වී සිටින පිරිස් සඳහා අලෙවි කරති.

මහමග ඇවිදින ඇතැමුන් ඉංග්‍රීසියෙන් කතා කරමින් රුපියල් 20, රුපියල් 100 වැනි මුදල් ඉල්ලා සිටින්නේ මාර්ගය අයිනේ නවතා තිබෙන මෝටර් රථවල සිටින පුද්ගලයන්ගෙනි. සමහරු හොඳ වැදගත් පෙනුමකින් යුත් කතුන් වෙත ගොස් මෙසේ සිඟමන් ලබාගනිති.

නගරයේ තවත් ජාවාරම් කීපයක් සිදුවෙයි. යාචක වෙසින් සැරිසරන ඇතැම් ගැබිණි කාන්තාවන් මත්ද්‍රව්‍ය අලෙවිය සිදුකරන බවට ද තොරතුරු ලැබිණි. දිනපතාම උදේ වරුවේ සිට සවස් වරුව තෙක් නගරය පුරා සැරිසරන යාචකයන් හා වෙනත් පුද්ගලයන්, ආබාධිත හමුදා සෙබළුන් ලෙසත් ඇතැමුන් පිළිකා රෝගීන් ලෙසත් පෙනී සිටිය ද ඔවුන් සැබෑ පිළිකා රෝගීහු නොවෙති. ආබාධිත වෙසින් අත් වාරුවකින් ගමන් කරන පුද්ගලයා හමුදා සේවයේ හෝ පොලිස් සේවයේ හෝ කිසිදා තනතුරක් නොදැරූ අයෙකි.

මහනුවර රජයේ රෝහලේ සේවයේ නියුතු කනිෂ්ඨ සේවිකාවක් ද දිනපතා උදේ වරුවේ හෝ සවස් වරුවේ නගරය පුරා සැරිසරමින් රැපියල් 20/- බැගින් එකතු කිරීමේ ක්‍රියාවක නිරත වී සිටියි. ඇය මහජනයාගෙන් ඉල්ලා සිටින්නේ රුපියල් විස්සක් දෙන්න කියමිනි. මෙම කාන්තාව සම්බන්ධයෙන් මහජනයා රෝහල් බලධාරීන්ට ද පැමිණිලි කර තිබේ.

මහනුවර නගරයේ මෙම යාචක කරදරය ජනතාවට හිසරදයක් වී තිබේ. බොහෝ යාචකයන් සේ සිටින පුද්ගලයන් යමක්කමක් තිබෙන දූ දරුවන් රැකියාවන්හි නිරත, ගෙවල් දොරවල්, යාන වාහන පවා හිමි අයවලුන් බව මෙම යාචකයන් පිළිබඳව කරන ලද සොයාබැලීම්වලදී හෙළි වූ බව යාචකයන්ගේ ක්‍රියා කලාපයන් මැනවින් නිරීක්ෂණය කළ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා (නම හෙළිකිරීමට අකමැති විය) සඳහන් කරයි.

ඉතා අසරණ වූ දෛනික ආහාර වේල පවා සොයාගැනීමට නොහැකිව මහමගට වැටෙන කාන්තාවන් වැඩිහිටියන්ද මෙම යාචකයන් අතර සිටිති. ඔවුනට ද මහජනයාගෙන් සුළු මුදලක් හෝ ලබාගැනීම දුෂ්කර වී ඇත්තේ මහනුවර නගරය තුළ පවතින යාචක මාෆියාව හේතුවෙනි.

(කුඩා දරුවන් යොදාගෙන සිදු කෙරෙන සිඟාකෑම පවතින ළමා ආරක්ෂණ නීතිය යටතේ වළක්වාලීමට පොලීසියට පැවරී තිබෙන රාජකාරියක් වුවද එය ඉටු නොවන බව මැනවින් පැහැදිලිය.)

 ජේ. ඒ. එල්. ජයසිංහ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00