2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා

රත්තරන් පදක්කම් දිනා බිත්තර විකුණන චන්දන

 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 229

චන්දන නිශාන්ත අතපත්තු විවිධ දක්ෂතා දැක්වූ මළල ක්‍රීඩකයෙකි. ශ්‍රී ලංකාවේ අගනගරයට කිලෝමීටර 102ක් ඈතින් පිහිටි පඬුවස්නුවර නම් කුඩා නගරයෙන් පැමිණි මොහු, තම රටට හෝ වෙනත් කිසිම අයකුට කිසිම ආකාරයකින් ණයගැති නොවී ජීවත් වන අයෙකි. වයස අවුරුදු 44 පසුවෙන නිශාන්ත මළල ක්‍රීඩාව ප්‍රගුණ කළ ප්‍රවීණයකු සහ නිපුණ කබඩි ක්‍රීඩකයකු හා පුහුණුකරුවෙක් ද වෙයි. හැමදේම වාගේ අහිමිව ගොස් තිබුණත් තම අභිමානයත්, ඍජු ගුණයත් ඔහු අත්නොහැර තමා තුළ රඳවාගෙන තිබේ.

ගබඩා පරීක්ෂකවරයකු ලෙස ඔහු වසර 20ක් තිස්සේ කළ රුකියාව වයඹ පළාතේ, ප්‍රාදේශීය ක්‍රීඩා සංවර්ධන නිලධාරියකු වීමට කැමැත්තෙන් අත්හැර දැමීමෙන් පසු සියල්ල අහිමිව ගිය අයකු බවට අවසානයේ පත්වන්නට නිශාන්තට සිදු වූවේය.
තවමත් පුරප්පාඩුව පවතින එම ක්‍රීඩා නිලධාරි තනතුර ලබන්නට, නිශාන්ත සියලු න්‍යායාත්මක හා ප්‍රායෝගික සුදුසුකම් සපුරා තිබේ. එහෙත් 1992 දී අපොස සා.පෙ. විභාගයෙන් ඉංග්‍රීසි විෂය අසමත් වීම, ඔහු ප්‍රතික්ෂේප වන්නට එකම හේතුව වී තිබේ.
ඒෂියන් මාස්ටර් මළල ක්‍රීඩා උළෙලේ තවමත් ඉහළින්ම වැජඹෙන දශප්‍රයාම ශූරයා වූ මොහු ස්වයං අභිප්‍රේරණය සතු අවංක මිනිසෙක් වූවේය. බොරු ආඩම්බරයෙන් හා ගෞරවයෙන් යැපෙන්නන් සිව්දෙනකුගේ සාගිනි නිවන්නට නොහැකි බව වටහාගත් හෙතෙම වීදි වෙළෙන්ඳකු බවට පත්ව බිත්තර සහ පුවක් විකුණන්නට පටන් ගත්තේය.

කීර්තිය නැමති හිනිමගේ පය ලිස්සා බිම වැටුණත් නිශාන්ත කිසි දෙයකින් පසුබට වී ඍණ මානසිකත්වයට වැටුණේ නැත. ඇත්තටම කියනව නං, බිත්තර විකිණීම පටන් ගත්තම, ඒක මළල ක්‍රීඩාවටත් වඩා තරගකාරී අභියෝගයක් වුණා. මුලදී මම කොට කලිසමකුයි, ටී ෂර්ට් එකකුයි ඇඳගෙන තනියෙන්ම බිත්තරයි පුවකුයි එක්කාසු කර ගත්තා. එහෙම සිදුවුණේ කොරෝනා වසංගතේ පැතිරෙන්නට ටිකකට කලින්. වසංගතේ කාලෙ යාන්තං පන්නගත්තු මං, සීමා පැනවීම් ඉවත් කළාට පස්සෙ ආයෙත් පාර අද්දරට ආවා. ඊට පස්සෙ මේ පැත්තෙ මිනිස්සු ටිකෙන් ටික මගේ පසුබිම ගැන දැනගත්තා. එතකොට ටිකෙන් ටික කටයුතු දියුණු වෙන්න ගත්තා. දරුවන් තිදෙනකුගේ අධිෂ්ඨානශීලී පියකු වූ ඔහු කියා සිටියේය.
නිශාන්තට හෙනේට හිටියේ තමා පසුගිය දශක තුනක් පුරා සිහින මැවූ, ආසාව තෘප්ත කර ගන්නට රජයේ රුකියාවක් සොයා යෑමය. ඔහු අන්තර්ජාතික මට්ටමින් දිනාගත් පදක්කම්වලින් හෝ දේශීය වශයෙන් ලැබූ ජයග්‍රහණවලින් ඊට වැඩක් වූයේ නැත. ලෝකයේ ප්‍රවීණ මළල ක්‍රීඩකයන්ගේ ශූරතා තරග පවත්වන ස්පාඤ්ඤ ක්‍රීඩා උළෙලට දශප්‍රයාම ඉසව්වෙන් මුල්වරට සුදුසුකම් ලැබූ ක්‍රීඩකයා ඔහුය. (දශප්‍රයාම ඉසව්වලට මීටර් සියය, දුර පැනීම, මීටර් 400, මීටර් 110 කඩුලු පැනීම, කවපෙත්ත විසිකිරීම, රිටි පැනීම, හෙල්ල විසිකිරීම හා මීටර් 1500 යන තරග ඉසව් අයත් වේ.)

2018 දී පැවති දශප්‍රයාම ඉසව්වලදී, ගෝලීය ශ්‍රේණිගත කිරීම්වලදී පිරිමි 4x400 හා 4x100 සහාය දිවීම්, මී. 110 කඩුලු පැනීම් යන ඉසව්වලින් 10 – 20 අතර ඉන්නට නිශාන්තට හැකි වූවේය. ඔහු මෙම මට්ටමට ආවේ ඊට වසර කිහිපයකට පෙර පැවති Asian Masters තරගවලදී රන් පදක්කම් හා රිදී පදක්කම් කිහිපයක් දිනාගැනීමෙන් අනතුරුවය. එහිදී ඔහු තරග කළේ 40න් ඉහළ ප්‍රාන්තරවලය.
කබඩි ක්‍රීඩකයකු ලෙස නිශාන්ත යෞවන, කලාපීය, දිස්ත්‍රික්, පළාත් හා ජාතික යන සියලු මට්ටම්වලින් ජයග්‍රහණය කර තිබේ. අවසානයේ ඔහුට මේ වසරේ පෙබරවාරියේදී ඉන්දියාවේ පැවති විවෘත තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව උදා විය. අවාසනාවකට ඔහුට දණහිසේ ආබාධයක් ආවේය. එය සුව වන්නට මාස ගණනාවක් ගත විය.
මේ වන විට නිශාන්ත කබඩි පුහුණුකරුවකු ලෙස D මට්ටමේ සහතිකය ලබා තිබේ. ඔහු කබඩි පුහුණුකරුවකු ලෙස නිකවැරටියේ ශ්‍රී පරාක්‍රම ජාතික විද්‍යාලයට නොමිලේ තම සේවාව ලබා දුන්නේය. එසේ කළේ මාර්තු මාසයේ මැද පාසල් වසා දමන්නට පෙරය.

මේ හැරුණුකොට ඔහු අංශ කිහිපයකින් විවිධ සුදුසුකම් ලැබූවෙකි. නායකත්ව නිපුණතා පුහුණුකරුවකු ලෙසත්, ක්‍රීඩා විද්‍යාව හා මළල ක්‍රීඩාව ගැනත් කැලණියේ දකුණු ආසියානු ක්‍රීඩා ඇකඩමියෙන් විෂය හදාරා තිබේ. මළල ක්‍රීඩකයකු ලෙස ලැබූ මෙම පෘථුල අත්දැකීම් සහ වෙනත් සුදුසුකම් ඇතිව නිශාන්ත වයඹ පළාතේ ක්‍රීඩා සංවර්ධන නිලධාරී තෝරන සම්මුඛ සාකච්ඡාවට මුහුණ දුන්නේය. එම තනතුරු පුරප්පාඩුව තවමත් පුරවා නැත. 

පසුගිය අවුරුද්දෙ සැප්තැම්බර් මාසෙදි, මෙම තනතුර දීම ප්‍රතික්ෂේප කිරීමෙන් පස්සෙ මං හිතාගත්තු විදිහට ක්‍රීඩා පුහුණුකරුවෙක් හැටියට ජීවිතේ ගොඩනගාගන්න ඕන කියල මං ටිකෙන් ටික හිතට ගත්තා. මගේ එකම අභිප්‍රාය වුණේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට සේවය කිරීමයි. මාස් හෝල්ඩිංස් ආයතනෙ මං අවුරුදු 20ක් තිස්සෙ කරපු රස්සාව අත්හරින්න මට සිද්ධ වුණා. මගේ යාළුවො මට හරිහැටි සැලකුවෙ නැති නිසා මම හරියට කලකිරුණා. ඇත්තටම මාස් හෝල්ඩිංස් ආයතනෙ ඉහළ නිලධාරීන් මට අනන්ත උදව් කළා. අන්තර්ජාතික තරගවලට පිටරට යන්න, මළල ක්‍රීඩා ප්‍රවීණයකු හැටියට, අවුරුදු කිහිපයක පටන්. ඒත් මට ඒ සැලකිල්ල බොහෝ යාළුවන්ගෙන් සහ පහළ මට්ටමේ ප්‍රධානීන්ගෙන් ලැබුණෙ නෑ. අන්තිමේ වෙනත් සැලැස්මක් හිතාගෙන මේ පෙබරවාරියෙ මං අස්වුණා. ඒත් සේරම නැතිවුණා. ඔහු විස්තර කළේය.

නිකවැරටිය ජාතික පාසලේ කබඩි පුහුණුකරුවකු ලෙස කටයුතු කරන අතරතුර නිශාන්ත තරුණ මළල ක්‍රීඩකයන් උදෙසා සතිඅන්ත පුහුණු කඳවුරු කිහිපයක් පැවැත්වූවේය. ඔහුට අවශ්‍ය වූයේ ළාබාල ක්‍රීඩකයන් සහ ඔවුන්ගේ මව්පියන් ක්‍රීඩාවට ආකර්ෂණය කර ගැනීමටය.

ඔහුගේ මහඟු අභිප්‍රාය වූයේ දැනටමත් දිනා ඇති පදක්කම්වලට, පදක්කම් තවත් එකතු කර ගනිමින් දේශීය වශයෙන් හා අන්තර්ජාතික වශයෙන් තරග ජයග්‍රහණය කිරීමය. මළල ක්‍රීඩාවෙන් අවුරුදු 32ක් පුරා ලත් දැනුම යොදාගෙන වර්තමාන පරපුර පුහුණු කිරීමට සහ අභිප්‍රේරණයට ලක්කිරීමට ද ඔහු බලාපොරොත්තු වේ. එහෙත්, තරුණ ක්‍රීඩකයන් සමඟ ක්‍රීඩාපිටියේ කාලය ගත කරමින් අත්දැකීම් බෙදාහදා ගන්නවා වෙනුවට නිශාන්තට පසුගිය මාස කිහිපයේ සිට පාර අද්දර බිත්තර හා පුවක් විකුණන්නට සිදුව තිබේ. ඔහුට ඒ සඳහා අඳින්නට සිදුව ඇත්තේද පුහුණු ඇඳුම් කට්ටලයයි.

කිසිදේකට, කිසි කෙනකුට අවමාන කළ යුතු නෑ. ඉර අව්වට, දූවිල්ලට, දූෂිත වාතයට මට හුරුවෙන්න සිද්ධ වුණා. ඒ සඳහා මං භාවිත කරන්නෙ අවුරුදු කිහිපයක පටන් මට හුරුවෙච්චි ක්‍රීඩා පුහුණු ඇඳුම් කට්ටලයයි. මට තියෙන්නෙ එච්චරයි. ඒක දාගත්තම මගේ හිතටත් ගතටත් සනීපයි. ඉතින් ඒ ඇඳුම ඇඳගෙන අලුත් අභියෝගයන්ට මුහුණ දෙන්න මං හිතාගත්තා. ඔහු වැඩිදුරටත් කීවේය. 

කෙසේ වුවද නිශාන්ත පත්වූ අසීරු තත්ත්වය මළල ක්‍රීඩා ක්ෂේත්‍රයේ හා කබඩි ක්ෂේත්‍රයේ කිහිප දෙනකුට දැනගන්නට ලැබුණේය. බොහෝ අය අනුකම්පා කළ මුත්, නිශාන්තගේ වර්තමාන ඉරණම හෙළිකිරීමට පියවර ගත්තේ කිහිප දෙනෙකි. ඒ අතරතුර නව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ඔහුව බ්‍රහස්පතින්දා දිනෙක කැඳවනු ලැබුවේය. ඉන් අනතුරුව සැනසුම් සුසුම් හෙලීමේ අවස්ථාව දැන් හෝ නිශාන්තට ලැබී තිබීම සතුට දනවන කරුණකි.
ඒක බොහොම සුහද ඵලදායී හමුවක්. මගේ අභිප්‍රාය මොකද්ද කියල ඇමැතිතුමා ඇහුවා. මං ආපහු රටට සේවය කරන්න කැමැතියි කියල ඔහුට කිව්වා. ඔහු මට විකල්ප දෙකක් දුන්නා තෝරගන්න. ක්‍රීඩාවට තියෙන ආසාව දිගටම පවත්වා ගැනීම මම තෝරගත්තා. ඊට සහයෝගය දෙන්න ඔහු පොරොන්දු වුණා. දැන් මට මගේ අරමුණ කරා යන්න බලාපොරොත්තුවක් ඇතිවෙලා. මට ඒක යම් හේතුවක් නිසා බැරිවුණොත් ජීවිතේ ගොඩදාන්න හැටි මං දන්නවා.* නිගමනයකට බැස උන් නිශාන්ත බලාපොරොත්තු සහගත ස්වරයෙන් කීවේය.

2020/9/6  Sunday Times පුවත්පතේ, &From Tackling legs to Selling Eggs නම් නෞෂාද් අමිටි ලියූ ලිපියේ පරිවර්තනයකි.

පරිවර්තනය - සමන් පුෂ්ප ලියනගේ