2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා

නීතිය නවා කැම්පස් ගිය දිසානායක

 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 347

දිසානායක හය දෙනෙකුගෙන් යුක්ත පවුලක හතරවැනියා. පිරිමි ළමයි හතරයි. ගෑනු ළමයි දෙන්නයි. දිසානායකගෙ තාත්තට හරිහමන් රස්සාවක් තිබුණේ නෑ. තමන් විතරක් දන්න හේතුවකට දිසානායකගෙ තාත්ත වහන්වෙලා යනකොට දිසානායකට අවුරුදු දොළහයි. තාත්ත ඉන්නැද්දි දිසානායකට ඉස්කෝලෙ අඳින්න තිබ්බෙ එක කලිසමයි කමිසයයි. තාත්ත තමන්ව දාල ගියාම ඒ කලිසමයි කමිසයයි දෙන එකත් අම්මට ලොකු අභියෝගයක් වුණු බව දිසානායකගෙ පුංචි හිතට තේරුණා. මළපොතේ අකුරක් නොදන්න අම්ම දිසානායකට පාසල් යන්න එපා කීවෙ නෑ. යන්න කියන්න හත්තියක් උන්දැට තිබුණෙත් නෑ. ඈ කුලී වැඩ කළා. ආප්ප ඉඳිආප්ප හදලා කඩේට දැම්මා. මේ ඔක්කොම කරලත් වේලක් ඇර වේලක් ළමයින්ට කන්න දෙන එකත් අමාරු වුණා. දිසානායකගෙ ජීවිතය කියන්නෙත් දුක කියන්නෙත් එකක් වුණා.

ඒ හින්දමදෝ පුංචි දිසානායක හයේ පන්තියෙන් පස්සෙ හතේ පන්තියට පාස් වුණාට ආයෙ ඉස්කෝලෙ ගියේ නෑ. අම්ම එක්ක කුලී වැඩට ගියා. අම්ම දුකෙන් හිටියා පොඩි එකාගෙ ඉස්කෝලෙ ගමන නැවතුණු හන්ද. පුංචි දිසානායක සතුටෙන් හිටිය අම්මගෙ බර හෑල්ලු වෙන නිසා.

දිසානායක පොත් කියෙව්ව. රුසියානු පොත්වල පිටු අස්සෙ හැමූ ස්ටෙප්ස් තණබිම්වල සුළඟ දිසානායකගෙ මූණට වැදුණා. සයිබීරියානු දුම්රියෙ නලා හඬින් දිසානායකගෙ කන් පිරිල තිබුණ. ගෝර්කිගෙ අම්මා කියවන දිසානායකට තමන්ගෙ අම්මා මතක් වුණා. ඉස්කෝලෙ නොගියට දිසානායක බහුශ්‍රතයෙක් වුණා. ඔය අතරෙ දිසානායක ගෙදරින් පැනල ගියා. කුරැණෑගල තේ කඩේක වැඩ කළා. නොවිඳිනා දුක් වින්දා. මිනිස්සුන්ගෙන් බැණුම් ඇහුවා. ඇණුම්පද ඇහුවා. උපහාසයට ලක්වුණා.
හැබැයි දිසානායක පොත් කියෙව්වා!

රස්සාවට හිඟුරාණේ උක් කැපුවා

ලොකු මිනිස්සු එක්ක ලොකු දේවල් ගැන ලොකුවට වාද කළා. මේක අහගෙන හිටපු ගෑනු කෙනෙක් උඹ විශ්වවිද්‍යාලෙ යන්ට ඕන කිව්වා. මුලින් මේ වචනෙ ගණන් නොගත්ත දිසානායකට පස්සෙ හිතුණා බොලේ මට බැරි වෙයිද? කියලා. මහා සයිබීරියන් දුම්රියේ නලා හඬට දිසානායකගෙ කන් බීරිවෙලා තිබුණෙ නැති නිසා ඒ පණිවිඩය දිසානායකගෙ මොළේට ගියා. දිසානායක තැපෑලෙන් උගන්නන පාඨමාලාවක ලියාපදිංචි වුණා. මාස තුනක් ඉගෙනගත්තා. සාමාන්‍ය පෙළ ලිව්වා. ප්‍රතිපල ආවා. හත වසරෙන් පස්සෙ ඉස්කෝලෙක පස් නොපාගපු දිසානායකට වැඩ හයයි සම්මාන පහයි. ඒත් ගණිතය පේල්. දිසානායක අතඇරියෙ නෑ. දිසානායකට නියත විවරණ දුන්නු අම්මා දිසානායකට ගණන් උගන්නන්න පටන් ගත්තා. ඊළඟ පාර දිසානායක ගණන් පාස්. නිකම්ම නෙවි, සම්මානයක් එක්ක.

දිසානායකට හිතුණා උසස් පෙළත් කරන්න ඔය ගැම්මටම. මේ වෙනකොට දිසානායක හිඟුරාණ සීනි කම්හලේ සේවකයෙක්. උදේ ඉඳන් රෑ වෙනකන් උක්ගස් කපනවා. උක්ගස්වලට ඇඟිලි හීරිලා කැපිලා ගලපු දිසානායකලගෙ ලේ හිඟුරාණ සීනිවල රහ වෙනස් කළේ නෑ. මිනිස්සු ඒ සීනි දාලා තේ බීවා. සීනි දාලා තේ බොන්න සල්ලි නොතිබිච්ච දිසානායක උදේට උක් ගස් කෑල්ලක් කෑව. උක්ගහත් රහයි පොත දිහා බලාගෙන පාඩම් කරන දිසානායකට හිතුණා. හවසට කරත්තය දක්කගෙන ගෙදර යනකොට දිසානායක තෙමෙනවා ඉඳහිට වහින මහ වැස්සට. තැඹිලි පාට හිඟුරාණ  පොළොව මඩ පාට වුණා. ඒ වැස්සට දිසානායකගෙ ඇඟේ මඩ පාට හේදිල කළු පාට මතුවුණා. දිසානායක සතුටෙන් ගෙදර ගියා බුලත් විටක් හප හප. උසස් පෙළ ප්‍රතිපල ආවා. ඒ දෙකයි සී දෙකයි.

වැස්සටත් හිඟුරාණෙ උක්ගස් කපපු දිසානායක කොළඹ විශ්වවිද්‍යාලයට තේරිලා. හයෙන් පස්සෙ ඉස්කෝලෙ නොගිය දිසානායක කොළඹ යුනිවර්සිටියට යන්න යනවා. අකුරක් කියවන්න, ලියන්න බැරි වෙච්ච දිසානායකගෙ අම්මගෙ ඇහෙන් කඳුළක් වැටුණා. ජීවිතේ පළමු වතාවට ඈ සතුටට අඬනවා. දිසානායකට තමන් දෙයක් කළ මිනිහෙක් බව තේරෙනවා.

සති දෙකකින් ලියුමක් එනව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන්. පහුගිය වසර පහක කාලය තුළ පාසල් අධ්‍යාපනය සම්පූර්ණ නොකළ නිසා දිසානායකව විශ්ව විද්‍යාලයට ඇතුළු කිරීමට ප්‍රතිපාදන නැති බව දන්වලා. දිසානායක තරහා ගත්තෙ නෑ. පුල්ස්කැප් කොළ හතරක ලියුමක් ලියනවා යූජීසියට. ඒ කාලෙ යූජීසියෙ සභාපති මහා ගාම්භීර මහාචාර්ය ස්ටැන්ලි කල්පගේ. එතුමා හිඟුරානෙ දිසානායකගෙ ලියුම කියවලා විශේෂ මහ සභාවක් කැඳවනවා. ඒ අවුරුද්දට අර වගන්තිය අත්හිටුවලා දිසානායකව විශ්ව විද්‍යාලයට ගන්නවා.

දිසානායක කොළඹ එනවා. ජ්‍යෙෂ්ඨයො රැග් කරලා දිසානායකට දුක උගන්නන්න එනවා. සමානාත්මතාව උගන්නන්න එනවා.
තෝ දණ ගහපිය ජ්‍යෙෂ්ඨ උත්තමයෙක් කියනවා.
බෑ...
කුණු ෆ්‍රෙෂා දණ ගහපිය...
බෑ...

දෙසීයක් තුන්සීයක් වටවෙලා දිසානායකව මරන් කන්න හැදුවත් දිසානායක දණ ගැහුවෙ නෑ.
මං වගේ අනන්ත දුක් විඳපු එකෙක්ට තවත් වද දීලද උඹල සමානාත්මතාවය උගන්නන්න යන්නෙ? දිසානායකගෙ සාධාරණ ප්‍රශ්නෙට සින්නොන්ට උත්තර තිබුණෙ නෑ.
පස්සෙ අවුරුද්දෙ සින්නෙක් වුණු දිසානායක ජුන්නන්ට රැග් කරන්න ගියෙත් නෑ. සමාජයෙ පොඩිම තැනින් ඇවිල්ලත් දුකින් මිරිකිච්ච ජීවිතයක් ගත කරලත් දිසානායකට ඒ සමාජය එක්ක ඇරියස් තිබුණෙ නැහැ. ඔහු බුලත් විටක් හප හප සන්තෝසෙන් හිටියා.

යාළුවො බේරාගන්න ආරක්ෂක ලේකම්ට දුන්න ඇමතුම

දිසානායක දේශපාලනේ කළා. ඒ ඔහුගෙ පසුබිමේ එකෙකුට තාර්කික නවාතැන වෙච්ච ජේවීපී දේශපාලනය නෙවෙයි. ඔහු කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලනය. ඒ කාලෙ රට ගිනි ගන්න ඔන්න මෙන්න. අත්අඩංගුවට අරන් රඳවගෙන හිටපු සගයො හතර දෙනෙක් බේරගන්න දිසානායක සටන් කළා. මතවාදීව සටන් කළා. තමන්ව විශ්වවිද්‍යාලෙට ඇතුල් කරගත්ත මහචාර්ය ස්ටැන්ලි කල්පගේ හම්බවෙන්න ගිය දිසානායක අර ළමයි නිදහස් කරන්න කියල ඉල්ලුවා. මම ආරක්ෂක ලේකම් නෙවෙයි දිසානායක කල්පගේ මහාචාර්යතුමා කීවා. දිසානායකගෙ මූණ වෙනස් වුණා. ඒක දැකපු ආරක්ෂක ලේකම් ජෙනරල් ආටිගලට දුරකතන ඇමතුමක් ගත්ත. කල්පගේ මහත්තය දිසානායකව එතුමාට සම්බන්ධ කලා. මේක කරන්න පුළුවන් ජනාධිපති උතුමාණන්ට විතරයි. මට දිසානායකව ජනාධිපතිතුමා ළඟට ගෙනියන්න පුළුවන්. තීරණයක් අරන් ඉක්මණට කියන්න.

දිසානායක ආපහු යුනිවර්සිටියට ආවා. අන්තරේ සහෝදරයොත් එක්ක වාද කළා. අපි සාකච්ඡා කරමු දිසානායක කීවා. ධනපති ආණ්ඩු එක්ක මොන සාකච්ඡා ද? සහෝදරවරු කීවා. තෝ පාවාදෙන්නෙක් සමහරු එහෙමත් කීවා. සහෝදරවරුනි, තුවක්කු යුද්ධ ටැංකි වැඩිපුර තියෙන පැත්ත මේ යුද්දෙ දිනනවා. රටත් විනාශ කරල උඹලත් විනාශ වෙනව මේ වැඩෙන්* මහපාරෙ, කම්හලේ, තේ කඩේ ජීවිතේ ඉගෙනගත්ත රුසියානු පොත්වල විප්ලවය කියවපු දිසානායක කීවා. ඒත් පුංචි දිසානායක ඒ සටනෙදි තනිවුණා. දවස් දෙකකින් ලංකාවෙම විශ්වවිද්‍යාල වැහුවා. ඉතිරිය ඉතිහාසය... පිළිස්සෙන මළමිණී ගඳ ගහන ඉතිහාසය... ලේ වැකුණු කාලකන්නි මිනීමරු ඉතිහාසය...‍

අවුරුදු තුනකට පස්සෙ විශ්වවිද්‍යාලය අරිනවා. දිසානායක උපාධිය ගන්නවා. සනාතන මණ්ඩලයෙ විශේෂ නිර්දේශයකට අනුව දිසානායකට රුපියල් දහසක තෑගි මුදලක් එක්ක සුවිශේෂී සම්මානයක් හිමිවෙනව. ඒ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් අතර ප්‍රජාතාන්ත්‍රවාදය ප්‍රචලිත කිරීම වෙනුවෙන් කළ සටන ඇගයීමක් ලෙස...
ප්‍රාදේශීය සභාවෙන් පළාත් සභාවට ගිය ඒ දිසානායක අද පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක්. ආණ්ඩුවෙ රාජ්‍ය ඇමැති කෙනෙක්. අදත් විට හපනවා. ඉන්නෙ හිඟුරානෙ සීනි කම්හලේ නිල නිවාසයක. දරුවන් දෙදෙනා ලංකාවෙ විශ්ව විද්‍යාලවල උපාධිධාරීන්...

මේ අත් දෙකෙන් සත පහක් හොරකම් කරලා නෑ. මදුරුවෙක්වත් මරලා නෑ... තුන් පාරක් පාර්ලිමේන්තු ආපු දිසානායක අත් දෙකේම අල්ල පෙන්නලා කියනවා.... 
හැබැයි මේක කියවන සියයට අනූවක් මේ දිසානායකව දන්නෙ නෑ. තව දිසානායකලා වෙච්ච එස්.බී.ව දුමින්දව නවීන්ව දන්න උඹල මේ දිසානායකව දන්නෙ නෑ. මේ දිසානායකට දෙන්නෙ වනසම්පත්, කැලෑ වැවීම වගෙ ඇමතිකමක්. ඇයි ඉතින් හිඟුරාණෙන් ඇවිල්ලා විට කන එකානෙ...
ඒ තමයි යථාර්ථය...
ආදරණීය මිත්‍රවරුනි, 
මගෙ ආණ්ඩුවක අධ්‍යාපන ඇමැති මේ දිසානායක... හිඟුරාණෙ විමලවීර දිසානායක.
ඒ කොටස  සිහිනයක් විතරයි...
ඒ සිහිනය ඇතුළෙ යථාර්ථය කොටසෙ විමලවීරගෙ කතාව මගෙ දරුවන්ට මම කියලා දෙනවා. දේශපාලකයෙක් වෙච්ච විමලවීර දිසානායක වගේ වෙයන් කියලා විශේෂඥ වෛද්‍යවරයෙක් වෙච්ච මම උන්ට කියලා දෙනවා.

 ලක්මාල් කුලසේකර
     දන්ත සංරක්ෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය
     පළාත් මහ රෝහල