2020 අගෝස්තු 22 වන සෙනසුරාදා

චින්තක මරා රජවූ අජිත් නාවල නිහාල්ගෙන් ඉවරවෙයි

 2020 අගෝස්තු 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 722

අමරසිංහ පරම්පරාවේ අන්තිම පුරුක් දෙක වූයේ චින්තක සහ ධම්මික අයියා මළෝය. දෙදෙනාම කියන දේ නාහන සැකයටත් මිනීමරණ මෙරට පාතාල ඉතිහාසයේ එකම සහෝදර පාතාලයන් ලෙස කිරැළු පළඳා සිටියෝය. එක් පැත්තකින් සොත්ති උපාලිය. අනෙක් පැත්තෙන් නාවල නිහාල්ය. මේ දෙදෙනාම අයියා මළෝට එරෙහිව අවි අමෝරාගෙන සිටි අයය.

ඉන් එක් අවස්ථාවක චින්තක මීගමුව අධිකරණයට රැගෙන එන අවස්ථාවේ වෙඩි තබනු ලැබීය. ඒ සොත්ති උපාලිගේ කොන්ත්‍රාත්තුවකට අනුවය. එහෙත් එහිදී චින්තක අනූනවයෙන් බේරෙන අතර එදා වෙඩි තැබීමට පැමිණි චමින්ද නැමැත්තාට බන්ධනාගාර නිලධාරීහු වෙඩි තබා ඝාතනය කළහ.

විශේෂයෙන් මේ දෙන්නාටද විශාල කණ්ඩායමක් සිටියත් බොහොමයක් ඝාතන අයියා මලෝ අතින්ම සිදුකළ බව පාතාලයේ නොරහසකි. විශේෂයෙන් කඩුවෙල වසන්ත සහ උපාලි (මල්ලි සහ අයියා) චින්තකට උපරිම උදව් කළ නිසා චින්තක ක්‍රමයෙන් පාතාලයේ රජු ලෙස ඉහළට එමින් සිටියේය. එය පාතාලයේ ගෝඩ් ෆාදර් නමින් හැඳින් වූ නිහාල්ට එතරම් සුබ වූයේ නැත. කෙසේ වෙතත් නිහාල් ඒ සඳහා උපායක් කල්පනා කළේය. ඒ චින්තක සහ ධම්මිකගේ ගෝලයකු වූ කළු අජිත්ය. කළු අජිත් හරහා දෙන්නාට වැඩේ දීමට නිහාල් සැලසුම් කළේය.

නිහාල්ට පාතාලයේ බොහොමයක් දෙනා ගරුකළ නිසා අජිත්ව කැඳවා මේ සම්බන්ධයෙන් නොයෙකුත් දේවල් කීවේය. කවදා හරි චින්තකලා උඹටත් ගහනවා. උඹට උන් නිසා ලැබෙන දෙයක් නෑ. පුළුවන් නම් දෙන්නට ගේමක් දීලා ඒ තැන උඹ ගනිං යැයි නිහාල් කීවේය. චින්තකගේ සහ ධම්මිකගේ ගෝලයකු ලෙස සිටීම කළු අජිත්ටද ඇල්ලුවේ නැත. ඔහුටද අවශ්‍ය වූයේ පාතාලයේ කිරැළු පළඳින්නටය. මේ නිසා ක්‍රමයෙන් අජිත් චින්තකලගෙන් ඈත් වන්නට විය. ඒ චින්තකටත් ධම්මිකටත් වැඩේ දීමේ අරමුණෙනි.

දිනක් නිහාල් අජිත්ට කතාකොට චින්තක සහ ධම්මික ඝාතනයට අවශ්‍ය උපදෙස් දුන්නේය. එම ඝාතනයෙන් පසුව අජිත් කොළඹ පාතාලයේ ඉහළට එන බව නිහාල් කීය. ඒ කතා ඇසූ අජිත් ඒ මොහොතේම චින්තකටත් ධම්මිකටත් ගේම දීම සඳහා පිටත්ව ගියේය. ගිනි අවිය ඉනේ ගසාගත් අජිත් වේගයෙන් ඇදී ගියේ ග්‍රෑන්ඩ්පාස් පන්සල් වත්තටය. එහි පදිංචි නෙල්සන් නොහොත් උදයාගේ නිවෙස චින්තක නිතර රැඳී සිටින තැනක් විය. ඒ නිසාම අජිත් කෙළින්ම ගියේ චින්තක සිටින එම නිවෙසටය.
අජිත් යනවිටත් චින්තක එහි සිටියේය. අජිත් දුටු සැණින් චින්තක ඉතාම ආදරයෙන් ඔහු පිළිගත්තේ තම පැරුණි මිතුරා නිසාය. එහෙත් අජිත් ඊට ප්‍රතිචාරයක් ලෙස තම ඉනේ තිබූ ගිනිඅවිය ගෙන එක දිගට චින්තකට වෙඩි තැබුවේය. චින්තක එතනම මියගිය අතර අජිත් බලා සිටින්නට විය. අජිත් මඳ වේලාවක් සිටියේ එම තැනට ධම්මික පැමිණෙතැයි යන අරමුණෙනි. එහෙත් තමන්ගේ අයියාට වෙඩිතැබූ බවට සැලවූ සැණින් ධම්මික සැඟවී ගියේය. ධම්මික කොළඹිනුත් පැන ගියේය. ඒ ක්‍රිස්ටෝපර් බැරීට අයත් රද්දොළුව ප්‍රදේශයේ පිහිටි නිවසකටය. එම නිවෙසේ ධම්මික ඇතුළු කණ්ඩායම සැඟව අජිත්ට විරැද්ධව ක්‍රියාත්මක වූහ.

පාතාලය පවා ගැස්සුණු මෙකී චින්තකගේ ඝාතනයත් සමඟ කළු අජිත් පාතාලයේ කෙරැමෙක් බවට පත්විය. අජිත්ට හැමදෙනාම ගරැ කරන්න වූහ. ඒ එසේ මෙසේ නොවූ චින්තක ඝාතනය කිරීම නිසයි. ඒ නිසා කළු අජිත්ගේ නම පාතාලයේ හැමදෙනා අතරම කතාබහ විය. එහෙත් මොන හයිය තිබ්බත් අජිත් නාවල නිහාල්ට ගරැසරැ කළේය. එය ගරැසරැවටත් වඩා නාවල නිහාල්ට තිබූ බිය නිසාය.

දේශපාලන හයිය, කුඩු, කප්පම්, කොල්ලකෑම්, කොන්ත්‍රාත් මිනීමැරැම් නිසා නාවල නිහාල් ගෝඩ් ෆාදර් විය. හැමෝම කතාකළේ එක්කෝ මහත්තයාය. නැත්නම් අයියාය. එහෙමත් නැත්නම් නිහාල් මාමා කියාය. ගෙදර ගේට්ටුවේ සිට ඇතුළට යන තෙක්ම ගිනිඅවි සහිත ගෝලයන්ගේ ආරක්ෂාවට සිටි නිහාල් එසේ මෙසේ අයෙක් නොවීය. මොකා ආවත් ගිනි අවියක් රුගෙන නිහාල් හමුවීමට ඉඩක් නැත. ඒ නිහාල්ගේ නියෝග නිසාය. මේ නිසා නිහාල් හිටියේ අමුතු සයිස් එකකින්ය. කෙසේ වෙතත් ක්‍රමයෙන් නිහාල්ගේ තත්ත්වය පහත යමින් තිබිණි. එනම් නිහාල්‍ට පැමිණි ඇතැම් කොන්ත්‍රාත් පවා නිහාල්ගෙන් ගැල වී කළු අජිත්ට ගියේය. නිහාල්ගේ හොඳම මිතුරන් පවා කොන්ත්‍රාත් ලබාදුන්නේ අජිත්‍ටය. අජිත්ගේ මේ නැඟීම නිහාල්ට ඇල්ලුවේ නැත. නිහාල් කිහිපදෙනකු සමඟ කීවේ අජිත් සීමාව ඉක්මවා යන බවය.

අජිත් දැඩි ලෙස කාන්තා ඇසුර ප්‍රියකළ අයෙකි. කාන්තාවකට හිත ගියොත් ඒ කාන්තාව බලෙන් හෝ ලබාගැනීම අජිත්ගේ හැටිය. අජිත්ගේ රුළේ සිටි හොඳම ගෝලයන් වූ වනසරා සහ චුට්ටාද එසේමය. ඔවුන්ද අජිත්ගේ පසුපස යමින් කොළඹ පිහිටි ගණිකා මඩම්වලට බලහත්කාරයෙන් රිංගා කාන්තාවන් රුගෙන ගියහ. ඒ අජිත්ගේ නම විකුණමිනි. එම ගණිකා මඩම්වල හිමිකරැවෝ මේ සම්බන්ධයෙන් නාවල නිහාල්ට පැමිණිලි කළහ. ඒ නිහාල් එම මඩම්වලින් මාසිකව මුදල් ලබාගත් නිසාය. මේ පැමිණිලි ඇසුණු පසු නිහාල්ට යකා නැංගේය. නිහාල් ක්ෂණිකව අජිත්ට ඇමතුමක් ගත්තේය.

අජිත් මේ තැන උඹට හදලා දුන්නේ මම. ඒත් දැන් උඹ මම කියන දේ අහන්නෙත් නෑ. අනික උඹ මගේ තැන්වලටත් බහිනව. මම හොඳින් කියන්නේ ආයේ ඒ වගේ වැඩකරලා අහුවෙන්න එපා. මම නරක මිනිහා කරගන්න එපා* යැයි නිහාල් කීය.
අජිත් කිසිවක් නොකියා සද්ද නොකර සිටියේය. ඒ බිය නිසාය. හරි නිහාල් මාමේ යනුවෙන් කියා සමාව ගත්තා පමණි. නිහාල්ගේ අවවාදය අජිත් තම ගෝලයන්ටද කීවේය. අනවශ්‍ය දේවල් කර මැරැම් කන්න වන බව අජිත් පිරිසට කීය. කෙසේ වෙතත් අජිත්ගේ ගෝලයන් කියන දේ කනකට ගත්තේ නැත. දිනෙන් දින අජිත්ගේ ගෝලයන් විසින් සිදුකරන කාන්තා පැහැර ගැනීම් සම්බන්ධයෙන් බ්‍රොතල් හවුස් හිමියන්ගෙන් පැමිණිලි ගලාගෙන ආවේය. නැවතත් නිහාල් අජිත්ට ඇමතුමක් ගත්තේය.

අජිත් උඹ කියන දේ අහන්නෙම නෑ. මම මෙච්චර කියන්නේ නෑ වෙන එකෙක්ට. කරුණාකරල මේ වැඩ නවත්තපන්. උඹට මම ආයේ කිසිම දවසක කියන්නේ නෑ වැඩේ කරනවා ඇරෙන්න* යැයි නිහාල් කෝපයෙන් කෑ ගසා කීවේය. එහෙත් අජිත්ගේ ගෝලයන්ගේ කාන්තා ලොල්කම අඩුවක් වුණේ නැත. දිනක් නිහාල්ට මාසිකව ලක්ෂ ගණනක් ගෙවන බ්‍රොතල් හවුස් එකක සිටි කාන්තාවන් දෙදෙනකු වනසරා සහ චුට්ටා පැහැරගෙන ගියහ. එසේ කළේ අජිත්ගේ නම කියා බියවද්දමිනි. මේ සිදුවීම වූ සැණින් නිහාල්ට එහි හිමිකරැ ඇමතුමක් ගත්තේය.

අයියේ මේ වැඩේ කරන්න බෑ. අජිත්ගේ උන් අදත් ඇවිත් ගෑනියෙක් අරන් ගියා. අපිටත් පිස්තෝල පෙන්නලා. උන් දන්නවා මේක අයියගේ තැනක් කියලා. ඒත් උන්ට ඒක ගාණක් නෑ. මට හිතෙන්නේ උන් අයියගේ වචනය ගණන් ගන්නේ නෑ වගේ* යැයි ඔහු කීවේය.

ඒ වචනත් සමඟ නිහාල්ගේ තරහා ඉහ වහා ගියේය. අද අජිත් මරා දමන බවට තීරණය කළේය. නිහාල් අජිත්‍ට ඇමතුමක් ගත්තේය. තොට මම කිව්වා නේද? තෝ කියන දෙයක් අහන්නේ නෑ. මම තෝව මරනවා. කිසිම සමාවක් නෑ. අර අරන් ගිය කෙල්ලෝ දෙන්නයි, උඹේ ගෝලයෝ දෙන්නයි අරන් උඹ එන්න ඕන මෙහේ. නාවොත් මම එනවා ඔහේ* යැයි නිහාල් කෑ ගැසුවේය.

ඒ හඬ එතරම් සුවදායක නැති බව අජිත් දැනගත්තේය. අජිත් වහාම වනසරා සහ චුට්ටාට කතාකර බැණ වැදුණේය. කෙල්ලන් දෙදෙනා නිදහස් කරන ලෙස අජිත් කීවේය. වහාම තමා සමඟ නිහාල් මාමා හමුවන්නට එන ලෙස දැන්වීය. වනසරාත්, චුට්ටාත් පැමිණියත් අජිත් සමඟ නිහාල්ගේ නිවසට යාමට කැමති වූයේ නැත. ඒ නිහාල් නියත වශයෙන් තමන් ඝාතනය කරන බව දන්නා නිසාය. ඒ නිසා දෙදෙනාම පැවසුවේ, අයියේ අපිට බෑ යන්න. අපි ආයේ කවදාවත් ඒ තැන්වලට යන්නේ නෑ. අනේ අයියා ගිහින් කියන්න* යැයි උන් දෙන්නා කීහ.

එහෙත් නාවල නිහාල්ගේ වචනයට උඩින් යා නොහැක. එන්න කිව්වා නම් යා යුතුමය. ඒ නිසා අජිත් දෙදෙනාවත් මෝටර් රියේ නංවාගෙන නිහාල්ගේ නිවසට පිටත් විය. ඒ අවස්ථාවේ අජිත් ගෝලයන්ට පැවැසුවේ නිහාල් හමුවී දණගසා වැඳ සමාව ඉල්ලන ලෙසය. අජිත් කෙතරම් කීවත් ගෝලයන් යන්නට කැමති වුණේ නැත. මේ නිසාම යන වාහනයෙන් දෙදෙනා එළියට පැන දිවූහ. එදින අජිත් නිහාල් වෙත ගියේ නැත. එයට හේතුව වුණේ ගෝලයන් නැති නිසාය. මේ නිසා නිහාල් හිතුවේ තමන්ගේ කීමට අජිත් පිටු පෑ බවය. ඒ නිසා අජිත්‍ට උරැම මරණය බව නිහාල් අලුගෝසුවකු මෙන් තීරණය කළේය.

නිහාල්ගේ ගෝලයන් සියලුදෙනාම කිව්වේ අජිත්ව මේ කතාවෙන් ඉවත් කළ යුතු බවය. මෙය කළහොත් පාතාලයම හෙල්ලී යන බවත් ඒ හරහා නිහාල්ට පිරිස බියවන බවත් ඔවුහු කීහ. ඒ අනුව නිහාල් වැඩේට එකඟ විය. දිනක අජිත්ට ඇමතුමක් ආවේය. ඒ නිහාල්ගේ ගෝලයකුගෙනි.

අජිත්, නිහාල් මාමා හම්බවෙන්න ඕන කිව්වා බිස්නස් එකකට. වැඩේ කතා කරගන්න කොහුවල අක්කගේ බ්‍රොතල් හවුස් එකට එන්න.යැයි කීය.

තමන්ට එලෙස ආරාධනා කිරීම නිසා අජිත් ක්ෂණයකින් නිහාල් සොයාගියේ බය පක්ෂපාතීත්වය නිසාය. ආයුධයක් පවා රැගෙන නොගියේ ඒ නිසාය. ඒත් ඔහු යන්නේ මාරයා ළඟට බව අජිත් දැන සිටියේ නැත. කොහුවල බ්‍රොතල් හවුස් එකට ඇතුළුවන තැනම කාමරයක නිහාල් පිරිස සමඟ වාඩිවී සිටියේය. අජිත් නිහාල් දැක්ක ගමන් සිනාසෙමින් ගෞරවයෙන් ළඟට ගියේය.

තෝ මම කියන කිසිම දෙයක් ඇහුවේ නෑ. මේ නිහාල්ට උඩින් පියාඹන්න තොට ඕන වුණේ. මම ඒක නොදැක්කා නෙමෙයි. උඹ මහ කෙරැමා වෙන්න ගියා*යැයි පවසමින් කම්මුල් ප්‍රහාරයක් නිහාල් අජිත්ට එල්ල කළේය. අජිත් ඔලුව බිම ඔබාගෙන සිටියේය.

ගහපිය මූටයි මුගේ කටු කන බල්ලන්ටයි කියා නිහාල් නියෝග කළේය. නිහාල්ගේ ගෝලයෝ අජිත්ටත් ඔහු සමඟ පැමිණි ගෝලයන්ටත් එකපිට පිට පහර දුන්හ. එය අමානුෂික පහරදීමක් විය. පසුව අජිත් ඇතුළු පිරිසගේ කට අතපය බැඳ ගැටගසා කාමරයකට දමා දොර වසනු ලැබීය.

එදින රාත්‍රිය වනතෙක් සිටි පිරිස නිහාල්ගේ ඕඩරය මත අජිත්වත් ගෝලයන්වත් ඔවුන් පැමිණි වෑන් රථයේ දමාගෙන ගල්කිස්ස ප්‍රදේශයට රැගෙන ගියහ. ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ පාළු තැනක වෑන් රිය නතර කළ ඔවුහු අජිත් ඇතුළු පිරිස වෙඩිතබා ඝාතනය කළහ. ඒ මහපාර මැද දණගස්වාය. පසුව එම මළමිනී වෑන් රථයට දමා වෑන් රථය ගිනි තබා පිරිස විසිර ගියහ. ඒ අනුව අජිත්ගේ චැප්ටර් එක එතැනින් නිමවිය.

කළු අජිත්ගේ ඝාතනය මුලදී ධම්මික විසින් සිදුකළ බවට කතා පැතිරැණේය. ඒ ඔහුගේ සහෝදරයා වූ චින්තක ඝාතනය කිරීමේ සිද්ධියට පලිගැනීමක් නිසා බව කියමිනි. එහෙත් සැබවින්ම එම ඝාතනය නිහාල්ගේ තැන රැක ගැනීම සඳහා සිදු කළ එකක් විය. ඒ නිසා එතැනින් පසු තවත් කාලයක් නාවල නිහාල් මෙකී පාතාලයේ රජ කිරැළු පළඳමින් හැමදෙනාගේම ගෝඩ් ෆාදර් ලෙස ජීවත් විය.

 ගයාන් ගාල්ලගේ

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00