2020 අගෝස්තු 22 වන සෙනසුරාදා

ඵලදායී පුරවැසියෙක් ගුණගරුක සමාජයක් සහ සෞභාග්‍යයේ දේශයක් හදමු

 2020 අගෝස්තු 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 71

ශ්‍රී ලංකාවේ 9 වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ආරම්භ කිරීමේ උත්සවය ඉතා චාම් අන්දමින් පසුගිය 20 දා පැවැත්විණි. ප්‍රථමයෙන් කතානායකවරුන්ට හා සියලු නවක මන්ත්‍රීවරුන්ට සුබ පැතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා “සෞභාග්‍යයේ දැක්ම” නමැති තම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අන්තර්ගත අරමුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තුනෙන් දෙකක බලයක් ලබා දෙන ලෙස කළ ඉල්ලීමට ජනතාවගෙන් විශිෂ්ට ප්‍රතිචාරයක් ලැබී ඇතැයි ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ඉතිහාසයේ පළමු වරට සමානුපාතික මැතිවරණ ක්‍රමයක් යටතේ පවත්වන ලද මැතිවරණයකින් තුනෙන් දෙකක බලයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ලබා දීම සම්බන්ධයෙන් දේශප්‍රේමී ජනතාවට තම ස්තුතිය පළ කරන බව ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරණයේදී මහජනතාව තමන් වෙත තබන ලද විශ්වාසය තමන් කඩ නොකළ බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැතිවීමත්, කඩාවැටුණු ආර්ථිකයක් හිමිවීමත් මත බොහෝ දුෂ්කරතා පැනනැඟුණු බව සඳහන් කළේය. ලොව ප්‍රබල රටවල් පවා කොවිඩ් 19 මර්දනය කිරීමට අපොහොසත් වූ තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාවට එය ජය ගැනීමට හැකි වූ බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ජනතා නියෝජිතයන් ලෙස රටේ බහුතර ජනතාවගේ අපේක්ෂාවන්ට ගරු කරන බවද ජනතා පරමාධිපත්‍ය සුරැකිය හැකිවන්නේ එවිට බවද සඳහන් කළේය. 

අපේ රටේ උත්තරීතර ව්‍යවස්ථාවට අනුව තම ධුර කාලය තුළ රටේ ඒකීයභාවය ආරක්ෂා කරන බවටත් බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කරන බවටත් තමා පොරොන්දු වී ඇතැයිද. රාජ්‍ය පාලනය සඳහා උපදෙස් ලබා ගැනීම සඳහා ප්‍රධාන පෙළේ බෞද්ධ භික්ෂූන්වහන්සේගෙන් සමන්විත උපදේශක සභාවක් පිහිටුවා ඇතැයිද සඳහන් කළේය. බෞද්ධ උරුමයන් හා පුරාවිද්‍යාත්මක උරුමයන් සුරැකීම සඳහා කාර්ය සාධන බලකායක් නිර්මාණය කර ඇතැයිද බුද්ධාගමට ප්‍රමුඛත්වය තහවුරු කරන අතරම මෙරට ඕනෑම පුරවැසියකුට තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස වඩාත් හොඳින් සුරක්ෂිත වී ඇතැයිද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයාගේ කතාවේ මෙසේද සඳහන් විය.

“රටේ ආරක්ෂාව තහවුරු කරමින් ආරක්ෂක හා බුද්ධි අංශ යලි ප්‍රතිව්‍යුහගත කරමින් රටේ ආරක්ෂාව  පිහිටුවා තිබෙන අතර. පාතාල ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ විධිමත් වැඩපිළිවෙලක් නිර්මාණය කිරීම පිළිබඳව ජනතාවගේ විශ්වාස තහවුරු වී තිබේ. රාජ්‍ය ආයතනවලට පත්කිරීමේ එතෙක් පැවැති ක්‍රමවේද වෙනස් කොට විද්වත් කමිටුවක් මගින් ඔවුන් තෝරා ගැනීමට කටයුතු කර ඇත. අපනයන බෝග ප්‍රති අපනයනය වැළැක්වීම සහ වගා ඉඩම් යළි අස්වැද්දීමට ජනතාව උනන්දු කොට මෙරට කෘෂි කර්මාන්තය දියුණු කිරීමට පියවර ගත් අතර දේශීය ව්‍යාපාරිකයන් ආරක්ෂා කිරීම සඳහා අනවශ්‍ය අපනයන අවම කර තිබේ. ජනතාව විශාල ජනවරමක් ලබා දුන්නේ කුමන අපේක්ෂාවන් පෙරදැරිකරගෙනදැයි යන අවබෝධය තමාට ඇත. 
ජනතාවට සේවය කිරීම ජනතා නියෝජිතයන්ගේ වගකීමය.. තමා දේශපාලන රැස්වීම්වලට සහභාගී නොවී  ජනතාව අතරට ගොස් ඔවුන්ගේ ප්‍රශ්න ගැන විමසා බැලූ අතර නිදහසින් වසර 73 පසුවද  ඔවුන්ගේ ගැටලුවලට තවමත් විසඳුම් ලැබී නොමැත.  ජනතාවට නිසි පරිදි  ඔප්පු ලබා දීමට කටයුතු කරන අතර කිසිවකු ඔවුන්ගේ ඉඩම් වලින් ඉවත් නොකෙරේ. අලි මිනිස් ගැටුම මැඩලීම සඳහා තිරසාර විසඳුමක් ලබාදීමට පියවර ගන්නා අතර ජල ප්‍රශ්නය විසඳීමට කටයුතු කරන බවත් ජාතික ප්‍රතිපත්තියක් ලෙස රටේ සෑම ප්‍රදේශකටම ජලය ලබා දීමටද පියවර ගනු ඇත.

දරුවන්ට අවශ්‍ය ජාතික පාසල් අවශ්‍ය ප්‍රමාණයට නොමැති හෙයින් ඉදිරියේදී එම පහසුකම් ලබාදීමට පියවර ගන්නා අතර  සීමිත සම්පත් සහිත ග්‍රාමීය ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට කටයුතු කෙරේ. නිදහස් සෞඛ්‍ය සේවයක් ලබාදීම සඳහා දැනට පවතින විෂමතා ඉවත් කරන අතර, ඖෂධ ආනයනය වෙනුවට මෙරටේම ඖෂධ නිපදවීමට පියවර ගනී. ස්වයං රැකියා හා කෘෂිකර්මයෙන් යැපෙන ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීමද වාරිමාර්ග හා වැව් වැඩි දියුණු කිරීමටද පියවර ගන්නා අතර රටේ දිළිඳු පවුල් සම්බන්ධ කරගෙන රැකියා ලක්ෂයක් හා උපාධිධාරින් 60 දහසකට රැකියා ලබා දීමට කටයුතු කරයි. සෑම පළාතකටම අවස්ථාව හිමි වන පරිදි එය සිදු කිරීමට පියවර ගන්නා අතර කිසිදු අමාත්‍යංශයකටම අනවශ්‍ය සේවකයන් බඳවා නොගන්නා අතර තම  අරමුණ වන්නේ නව රැකියා උත්පාදනය බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

සැබෑ ආර්ථික පුනර්ජීවනයක් සඳහා මෙවර අමාත්‍යංශ වෙන්කර ඇති අතර රටේ බහුතර ජනතාවට බලපාන කෘෂි ධීවර හා පාරම්පරික කර්මාන්ත දියුණු කිරීම තම අරමුණයි. අපනයන වැවිලි බෝගවලින් ලැබෙන ආදායම සතුටුදායක නොමැති හෙයින් කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ වතු දියුණු කිරීමට පියවර ගන්නා බවත්, තේ අපනයනය දිරිමත් කිරීමත්, අලුතින් පොල් වගා කිරීමත් සිදුකරන අතර රබර් ආශ්‍රිත කර්මාන්ත දියුණු කිරීමට පියවර ගැනේ. කටුපොල් වගාව සම්පූර්ණයෙන්ම නතර කෙරේ. ගොවියාට ස්ථාවර මිලක් ලබාදීමටද ග්‍රාමීය යටිතල පහසුකම් හා නිවාස ගැටලු විසඳීමටද පියවර ගනු ඇත. මානව සම්පත් ප්‍රවර්ධනය ප්‍රමුඛතාවක් ලෙස හඳුනාගෙන ඇති හෙයින් අධ්‍යාපන විෂය එක් අමාත්‍යාංශයක් යටතට ගෙන එහි වෙනස් වගකීම් සඳහා රාජ්‍ය අමාත්‍යංශ හතරක් පිහිටුවා තිබේ. එමෙන්ම තාක්ෂණික අධ්‍යාපනයට විශේෂ අවධානයක් යොමු විය යුතුය. 6 වැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී විශේෂයෙන් සැලකිළිමත් වීම අවශ්‍යයි. උසස්පෙළ සමත්වන සියලු සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීම සඳහා විශ්වවිද්‍යාල ධාරිතාව පුළුල් කරන අතර විවෘත විශ්විද්‍යාල පද්ධතිය හා දුරස්ථ අධ්‍යාපනය දියුණු කිරීමට පියවර ගනු ඇත. විෂයමාලා නවීකරණය කොට මෙම උපාධි ආර්ථිකයට සෘජුවම දායක විය හැකි විෂයන් බවට තහවුරු කෙරේ.

විදුලි මිල රටේ ආර්ථිකයට විශාල වශයෙන් බලපාන හෙයින් පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම සඳහා නව රාජ්‍ය අමාත්‍යාංශයක් පිහිටුවා ඇති අතර අගය එකතු කිරීම සඳහා නව තාක්ෂණය භාවිතයටත්, නවෝත්පාදන දිරිගැන්වීමටත් නව වෙළෙඳපොළවල් සොයාගැනීම සඳහා  ව්‍යාපාරිකයන්ට සහාය වීමටත් පියවර ගනී. අප රට ස්වභාවික සම්පත්වලින් පෝෂිත වුවද අගය වැඩි කිරීමේ කර්මාන්ත තවමත් ජාත්‍යන්තර මට්ටමට දියුණු වී නොමැත. මැණික්, ඛණිජවැලි වැනි ස්වභාවිත සම්පත් අපනයනය කිරීමේදී අගය එකතු කිරීමෙන් රටට විශාල  විදේශ විනිමයක් උපයා ගැනීම පියවර ගනු ඇත. රටේ ජනතාවගෙන් තුනෙන් එකක් ජීවත්වන්නේ කෘෂි, වැවිලි හා ධීවර කර්මාන්තයෙනි. එබැවින් ඒවා දියුණු කිරීම සඳහා සම්ප්‍රදායෙන් මිදුණු ක්‍රමවේද සකස් කිරීමට පියවර ගනු ඇත. 

පාරම්පරික කර්මාන්ත නිසි පරිදි දියුණු කිරීමෙන් ස්වයං රැකියා ප්‍රවර්ධනය කිරීමටද නව රැකියා උත්පාදනයද ව්‍යාපාර ගොඩ නංවා විශාල විදේශ විනිමයක් ලබා ගැනීමද අරමුණ බව සඳහන් කළ ජනාධිපතිවරයා කිරි ගොවිතැන හා බිත්තර නිෂ්පාදනය දියුණු කරන අතර වසවිසෙන් තොර ආහාර නිෂ්පාදනය අරමුණු කොට ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයෙන් සිදුකිරීම සඳහා දේශීයව කාබනික පොහොර නිෂ්පාදනයට පියවර ගන්නා අතර විදේශවලින් මසුන් ආනයනය කිරීම නවතා දමන බවද සඳහන් කළේය. සියලු ධීවර වරායන් නවීකරණයටත් නව වරාය ඉදි කිරීමටත් පියවර ගන්නා අතර නව තාක්ෂණය හා යන්ත්‍රෝපකරණ හඳුන්වාදීමට හා මිරිදිය මත්ස්‍ය දියුණු කිරීම සඳහා පියවර ගන්නා බවද විදේශ බහුදින යාත්‍රා මගින් මෙරට මුහුදු සීමාවේ මත්ස්‍ය සම්පත සූරාකෑම වළක්වන බවද පැවසීය.

සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන කෙළින්ම රාජ්‍ය ඇමැතිවරුන් වෙත ලැබෙන බැවින් රාජ්‍ය ඇමතිවරුන්ට බාධාවකින් තොරව එම කටයුතු සිදුකළ හැකි වන අතර  ජනතාවට සේවාවන් ලබාදීමේදී අනුගමනය කරන සාම්ප්‍රදායික ක්‍රමවේද වෙනුවට නව ක්‍රමවේද හඳුනාගත යුතු බවත්, ඒ සඳහා නව තාක්ෂණික විසඳුම් සොයා ගත යුතු බවත් නාස්තිය හා දූෂණය පිටුදැකීම සෞභාග්‍යයේ දැක්මේ එක් අරමුණක් වන අතර ඉදිරියේදී නාස්තියට දූෂණයට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරම නොබලා කටයුතු කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. වර්තමාන දේශපාලන සංස්කෘතිය තුළ බලය ලැබූ පසු ජනතා නියෝජිතයන් ජනතාව වෙතට නොගිය බව පැහැදිලි වූ කරුණක් හෙයින් ඉදිරියේදී ජනතාව කරා ගොස් ඔවුන්ගේ සැබෑ ගැටලු වටහාගෙන ඒවාට විසඳුම් සෙවීමට පියවර ගත යුතු බවද සඳහන් කළේය.

ව්‍යාවස්ථාවේ ඇති ව්‍යාකූල තත්ත්වයන් නිසා තම පළමු කාර්යය ලෙස 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට පියවර ගන්නා බවත් එක රටක් එක නීතියක් යන සංකල්පය යටතේ රටට ගැලපෙන නව ව්‍යවස්ථාවක් ගෙන එන අතර මැතිවරණ ක්‍රමයේ වෙනස්කම් කිරීමටද පියවර ගන්නා බවද පැවසීය. ආණ්ඩුවේ අරමුණ වන්නේ පලදායී පුරවැසියෙක්, ගුණගරුක සමාජයක් හා සෞභාග්‍යයේ දේශයක් නිර්මාණය කිරීම බවත්, එහෙයින් කිසිදු බලවේගයකට යටත් නොවී ජනතාව ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවත් ජාති, ආගම්, පක්ෂ බේදයකින් තොරව රට වෙනුවෙන් එක්විය යුතු බවත් ඒ සඳහා තමා සමග එක්වන ලෙස තම මිත්‍රත්වයේ දෑත් ජනතාව වෙත දිගුකරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
සේයාරුව I ඉෂාන් සංජීව

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00