2020 අගෝස්තු 22 වන සෙනසුරාදා

ලෝ ප්‍රකට සංචාරක හෝටල්වලට නම් ලැබුණු හැටි

 2020 අගෝස්තු 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 675

කොරෝනා ව්‍යසනයට පෙර වසරකට ලොවපුරා සැරිසරන සංචාරකයන් සංඛ්‍යාව බිලියන 1.4ක් පමණ විය. ඔවුනට නවාතැන් ගැනීම සඳහා ලොව පුරා ප්‍රධාන පෙළේ සංචාරක හෝටල 700,000 පමණ ඇති අතර ඒවායේ කාමර  මිලියන 16.4 පමණ පවතී. සංචාරක හෝටල් කර්මාන්තය වසරකට උපයන මුදල ඩොලර් බිලියන 570ක් පමණ වේ.

මෙම හෝටල් අතර සංචාරකයන් වැඩි පිරිසකගේ ප්‍රසාදය දිනූ තරැ පහ හයේ හෝටල් රැසක් තිබේ. ඒ අතුරින් ඇතැම් හෝටල නම් ලද ආකාරය පිළිබඳවද අපූරු කතා තිබේ.

• ෂැන්ග්‍රිලා 

ලෝක ප්‍රකට ෂැන්ග්‍රිලා හෝටල් සමූහය ආරම්භ වූයේ 1971දීය. එහි නිර්මාතෘ ධනපති මැලේසියානු ව්‍යාපාරිකයකු වූ රොබට් කුවොක්ය. ලොව පුරා .සුඛෝපභෝගී සංචාරක හෝටල සහ නිවාඩු නිකේතන 100කට අධික සංඛ්‍යාවක් එම සමාගම සතුය. මෙම හෝටල් සමාගමේ ප්‍රථම හෝටලය විවෘත කෙරුණේ 1971 දී සිංගප්පූරුවේදීය. එම හෝටල ජාලයට ෂැන්ග්‍රිලා (මිහිපිට සුරලොව) යන නම යොදන ලද්දේ නවකතාවක සඳහන් වූ මනඃකල්පිත ස්ථානයක නමිනි. බ්‍රිතාන්‍ය ජාතික නවකතාකරැවකු වූ ජේම්ස් හිල්ටන් 1933දී ලොස්ට් හොරයිසන් නමින්  ඉංග්‍රීසි නවකතාවක් ප්‍රකාශයට පත් කළේය. ටිබෙට් කඳුකරයේ මනඃකල්පිත ෂැන්ග්‍රිලා නම් පුරවරයක් පිළිබඳව ඔහුගේ නවකතාවේ සඳහන් කර තිබිණි. පාරාදීසයක් බඳු එම පුරවරයේ ජනයා දීර්ඝ ආයුකාලයක් අත්වින්දහ. ඉන්දියානු මහාරාජා කෙනෙකු සහ තවත් පිරිසක් ගමන් ගත් ගුවන් යානයක් කිසියම් පිරිසක් විසින් පැහැර ගෙන ටිබෙටයේ කඳුකර ප්‍රදේශයක තිබූ ෂැන්ග්‍රිලා නම් ප්‍රදේශකට ගොඩ බාන ලද අතර යානයේ ගමන් ගත් පුද්ගලයන් මුහුණ දුන් අපූරු සිදුවීම් එම නවකතාවට පාදක විය. රොබට් කුවොක් තම හෝටල් ජාලය ෂැන්ග්‍රිලා ලෙස නම් කළේ එම හෝටලවලට නවාතැන් ගන්නා පුද්ගලයන්හට පාරාදීසයක අත්දැකීම විඳගන්නට අවකාශ ලැබෙන බැව් කියා පෑමටය.

• හිල්ටන්

රටවල් 91ක්‍ පුරා විහිද ඇති හිල්ටන් හෝටල් ජාලය සතු හෝටල් සංඛ්‍යාව 3890ක් පමණ වේ. 1919 සිට සංචාරක හෝටල් ක්ෂේත්‍රයේ ප්‍රකට නාමයක් වන හිල්ටන් හෝටල් ජාලයේ පළමු හෝටලය ආරම්භ වූයේ ටෙක්සාස් ප්‍රාන්තයේය. එවක එය හැඳින්වූයේ මොබ්ලි හොටෙල් නමිනි. එහි නිර්මාතෘවරයා කෝනාඩ් හිල්ටන්ය. පසුව එය ඔහුගේ නමින් කෝනාඩ් හිල්ටන් හෝටලය ලෙස නම් කෙරිණි. 1954දී ස්ටැට්ලර් හෝටල් ජාලයද හිල්ටන් හෝටල් ජාලය යටතට පැවරුණු අතර වර්තමානයේ ලොව ප්‍රධාන පෙළේ හෝටල් නාම අතර ඔවුනටද හිමිවන්නේ අද්විතීය ස්ථානයකි.

• ඔබරෝයි

ඉන්දියානු සම්භවයක් සහිත හෝටල් ජාලයක් ලොවපුරා ව්‍යාප්ත කළ පළමු ව්‍යාපාරිකයා ලෙස හැඳින්වෙන්නේ රායි බහදූර් මෝහන් සිං ඔබරෝයිය. 1934 ආරම්භ වූ ඉන්දියාවේ දෙවැනි විශාලතම හෝටල් ජාලය වන ඔබරෝයි හෝටල ජාලයට අයත් හෝටලයක් ශ්‍රී ලංකාවේද තිබිණි. පසුව සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය බවට පත්වූයේ එම හෝටලයයි. ඔබරෝයි හෝටල ජාලය මුලින් හැඳින්වූයේ නැගෙනහිර ඉන්දීය හෝටල සමාගම ලෙසිනි. බහදූර් මෝහන් සිං ඔබරෝයිගේ නමින් ආරම්භ කළ පළමු හෝටලය ඉදිකෙරුණේ කල්කටාවේය. ඉන්දියාවේ පළමු තරු 5හේ හෝටලය වූයේ දිල්ලියේ ඔබරෝයි ඉන්ටර්කොන්ටිනන්ටල් හෝටලයයි.

• මැරියට්

ලොව රටවල් 131ක ව්‍යාප්තව ඇති මැරියට් හෝටල ජලය සතුව පවතින හෝටල සංඛ්‍යාව 7003කි. 1927 දී ආරම්භ කෙරුණු මැරියට් හෝටල ජාලයේ නිර්මාතෘවරුන් වන්නේ ජෝන් විලාඩ් මැරියට් සහ ඔහුගේ බිරිය ඇලිස් මැරියට්ය. ආරම්භයේ බීර අලෙවි හලකින් ආරම්භ වූ එම ව්‍යාපාරය පසුව ‘හොට් ෂොපර්ස්‘ රෙස්ටොරන්ට් බවට පත් විය. තම ව්‍යාපාරය පුළුල් කිරීමට තීරණය කළ මැරියට් යුවල. 1957දී වර්ජීනියාවේ දී ට්වින් බ්‍රිජස් මෝටර් හොටෙල් හා කී බ්‍රිජ් හොටෙල් නමින් හෝටල දෙකක් ආරම්භ කළහ. පසුව ඔවුන්ගේ නමින් ජාත්‍යන්තර හෝටල් ජාලයක් බවට පත් වූයේ මෙම කුඩා හෝටල දෙකය. එතෙක් හොට් ෂොපර්ස් ජාලය ලෙස හැඳින්වුණු එම හෝටල ජාලය 1967දී  මැරියට් ඉන්ටර්නැෂනල් බවට පත් විය.

• ඉන්ටර්කොන්ටිනෙන්ටල්

1945 දී එවකට ඇමෙරිකා ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩී රුස්වෙල්ට් සහ පෑන් ඇම් ගුවන් සමාගමේ සභාපති ජුවාන් ට්‍රිප්, ධවල මන්දිරයේ උදෑසන ආහාරය සඳහා හමු වූහ. එහිදී ලතින් ඇ‍මෙරිකාවේ ආයෝජන සඳහා ඩොලර් උපයා ගැනීමේ ක්‍රමයක් පිළිබඳව ඔවුහු සාකච්ඡා කළහ. ව්‍යාපාරිකයන් සහ සංචාරකයන් ආකර්ෂණය කර ගත හැකි එක් ක්‍රමයක් වනුයේ ප්‍රධාන නගරවල සුඛෝපභෝගී හෝටල් ඉදිකිරීම යැයි ඔවුන්ගේ අදහස විය. 
එවක ලොව විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවය වූ පෑන් ඇම් සමාගමට ලොව පුරා ගුවන් ගමන් ඉල්ලුම වැඩි වී තිබිණි. ඇමෙරිකා එක්සත් ජනපදයේ අපනයන-ආනයන බැංකුවේ සහාය ඇතිව පෑන් ඇම් සමාගම එයට අනුබද්ධ ආයතනයක් පිහිටුවීය. පෑන් ඇම් කාර්ය මණ්ඩලයට සහ එම යානාවලින් ගමන් ගන්නා මගීන්ට නවාතැන් ගැනීම සඳහා වැඩි පහසුකම් සහිත  හෝටල් ජාලයක් ආරම්භ කිරීමට මෙම අනුබද්ධ ආයතනය මගින් පියවර ගත් අතර. 1946 අප්‍රේල් මාසයේ ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෙවත් අන්තර් මහද්වීපික හෝටල් සංස්ථාව ආරම්භ කෙරිණි. ලොව සෑම මහද්වීපයකම පවතින හෝටල් ජාලය යන අරුතින් එයට ඉන්ටර්කොන්ටිනෙන්ටල් යන නම ලැබිණි.
එම සමාගම විසින් මිලදී ගන්නා ලද පළමු හෝටලය වූයේ බ්‍රසීලයේ බෙලෙම් ග්‍රෑන්ඩ් හෝටලයයි.. ලතින් ඇමරිකාව සහ කැරිබියන් දූපත්වල හෝටල් රාශියක් ආරම්භ වූ අතර එම ජාලය ලොව පුරා ව්‍යාප්ත විය. මේ වන විට ලොව පුරා ඔවුන් සතු හෝටල සංඛ්‍යාව 213 ක් වන අතර ශ්‍රී ලංකාවේද කාමර 250කින් යුතු හෝටලයක්  ඔවුන් සතු විය. වර්තමානයේ කිංග්ස්බරි හෝටලය ලෙස හැඳින්වෙන්නේ එම හෝටලයයි. 1981දී පෑන් ඇමෙරිකන් ගුවන් සමාගම ඉන්ටර් කොන්ටිනෙන්ටල් හෝටල් ජාලය ග්‍රෑන්ඩ් මෙට්‍රොපොලිටන් හෝටල් සමාගමට විකුණා දැමීය. එම සමාගම ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටල ජාලය ග්‍රෑන්ඩ් මෙට්‍රොපොලිටන් සහ ෆෝරම් හොටල් සමාගම සමඟ ඒකාබද්ධ කෙරිණි. 2003දී එය යළි ඉන්ටර්කොන්ටිනෙන්ටල් ලෙසට නම් කෙරිණි.

• හොටෙල් කපිල්

සුප්‍රකට ඉන්දියානු තුන් ඉරියව් පන්දු යවන්නකු හා ලෝක කුසලානය දිනූ නායකයකු වූ කපිල් දේව් විසින් චන්දිගාර්හි ඉදිකරන ලද සංචාරක හෝටලය නම් කර ඇත්තේ හොටෙල් කපිල් නමිනි. 1983 ලෝක කුසලානය ජයග්‍රහණයෙන් පසු ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු තමන්ගේ මූල්‍ය ආරක්ෂාව සහතික කර ගැනීම කපිල්දේව්ගේ අරමුණ විය. තම නමින් කපිල් හෝටලය ආරම්භ කිරීමට මුල් වූයේ එයයි. හෝටලය සඳහා තම නම භාවිත කිරීමට ඔහු පියවර ගත්තේ ක්‍රීඩාවෙන් උපයාගත් කීර්ති නාමයෙන් සංචාරකයන් ආකර්ශණය කර ගැනීමටය. දැන් ඔහු විශ්‍රාමිකය. එහෙයින් එහි නම කැප්ටන්ස් රිට්‍රිට් ලෙස වෙනස් කෙරිණි.

• ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය 

ශ්‍රී ලංකාවේ ඇති පැරණිතම හෝටල අතර ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. අතීතයේ මෙරට සිටි ඕලන්ද ආණ්ඩුකාරයාගේ නිල නිවෙස ලෙසද මෙම ගොඩනැගිල්ල භාවිත විය. 1837දී බ්‍රිතාන්‍ය හමුදා බැරුක්කය ලෙසින් භාවිත වූ මෙම  ගොඩනැගිල්ල 1873දී නේවාසිකාගාරයක් ලෙස භාවිත වූ අතර පසුව  හෝටලයක් බවට පත් කෙරැණේ එවක ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වූ ශ්‍රීමත් රොබට් විල්මට් හෝර්ටන්ගේ අවශ්‍යතාව පරිදිය.. 1875 කාමර 154කින් යුතුව විවෘත කෙරුණු අතර එහි හිමිකම පැවැතියේ කලම්බො හොටෙල්ස් කම්පති ලිමිටඩ් නම් ආයතනයකටය. යුරෝපීයයන් සතු සියලු පහසුකම් සහිත ආසියාවේ හොඳම හෝටලය ලෙස එයට ප්‍රචාරයක්ද ලැබිණි. 
එයට ග්‍රෑන්ඩ් ඔරියන්ටල් යන හිමි වූයේ පෙරදිග විශිෂ්ටතම හෝටලය යන අරුතිනි. එතෙක් විදේශිකයන්ට පමණක් වෙන්වූ එම හෝටලය 1940දී ශ්‍රී ලාංකික ධනවතුන්ට හා  විවාහ මංගල උත්සව සඳහා භාවිත කිරීමට අවසර ලැබිණි. 1950 ඇතිවූ ජාතිවාදි අරගලය හා මෙරට ඇතිවූ දේශපාලනික තත්ත්වය මත හෝටල් සේවකයන්ද වර්ජනය කිරීම හේතුවෙන් කලකිරීමට පත් එහි බ්‍රිතාන්‍ය හිමිකරැ වූ සෑම් ඩි වොස් එය ලංකා බැංකුවට විකුණා දැමීය. එතෙක් ග්‍රෑන්ඩ් ඔරියන්ටල් නොහොත් ජී.ඕ.එච්. හෝටලය නමින් හැඳින්වුණු එහි නම තැප්‍රොබේන් හෝටලය ලෙස වෙනස් විය. අතීතයේ ග්‍රීක ජාතිකයන් ලංකාව හැඳින්වූයේ තැප්‍රොබානා නමිනි. එහෙයින් එම නමින් මෙරට පැරණිතම හෝටලය නම් කිරීමට එහි පාලනාධිකාරිය පිරවර ගත්තේය. 1989දී එය යළිත් ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය ලෙස නම් කෙරිණි.

• ගල්කිස්ස මහ හෝටලය

මවුන්ට් ලැවීනියා හොටෙල් හෙවත් ගල්කිස්ස මහා හෝටලය ද ශ්‍රී ලංකාවේ පැරණිතම හෝටල කිහිපය අතර ඉදිරියෙන්ම තිබෙන්නකි. 1947 සිට මේ දක්වා නොකඩවා ක්‍රියාත්මක මෙම හෝටලය පැරණි ඉතිහාසයකට හිමිකම් කියන්නකි. 1805 ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා ලෙස පත් වූ ශ්‍රීමත් තෝමස් මේට්ලන්ඩ්ගේ නිවෙස ලෙස 1806 මෙම ගොඩනැඟිල්ල ඉදිවූයේ එම ප්‍රදේශයේ කුඩා කඳු ගැටයක් සහිත භූමියකය. ගල්වලින් ගහන එම ප්‍රදේශය හැඳින්වූයේ ගල්කිස්ස නමිනි. මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා තම නිවෙස නම් කළේ මවුන්ට් ලැවීනියා හවුස් ලෙසිනි. ඒ ඔහුගේ පෙම්වතිය වූ ලොවිනා සිහිපත් වීමට බව පැවසේ.

මෙම ගොඩනැගිල්ල එක්තරා ප්‍රේම වෘත්තාන්තයක් සඟවාගෙන ඇති ස්ථානයකි. පුරාවෘත්තයට අනුව, ආණ්ඩුකාරවරයාට ගෞරවය පිණිස පැවති පිළිගැනීමේ සාදයකදී නර්තනයක් ඉදිරිපත් කළ කණ්ඩායමේ ලොවීනා අපොන්සුවා නම් තරුණියක සිටියාය. ඇගේ පියා එම නර්තන කණ්ඩායමේ ප්‍රධානියා විය. ආණ්ඩුකාර  මේට්ලන්ඩ් පෘතුගීසි හා සිංහල සම්භවයක් සහිත ලොවිනා සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගත්තේය. මෙම ගොඩනැගිල්ල ඉදි කිරීමේදී  ආණ්ඩුකාරවරයා එම ගොඩනැගිල්ල ආසන්නයේ වාසය කළ ලොවීනාගේ නිවෙස වෙත ගමන් කළ හැකිවන සේ තම වයින් ගබඩාවේ සිට රහසිගත උමගක් ඉදිකරන ලද්දේ සෑම රාත්‍රියකම ඇය දැක ගනු පිණිසය.
ශ්‍රීමත් තෝමස් මේට්ලන්ඩ් 1811 දී මෝල්ටාවේ ආණ්ඩුකාරවරයා ලෙස පත් කොට යවන ලැබීය. ඔහු මිය යන තෙක්ම අවිවාහකයකු වූ අතර. පසු කලෙක ලොවීනා ලැවීනියා ආර්යාව ලෙස හැඳින්විණි. ලොවීනාගේ ප්‍රතිමාවක් ගල්කිස්ස හෝටලය ඉදිරිපස අද දිනයේද දැකිය හැකිය.

1920දී පමණ මෙම ගම්මානය නවීන නගරයක් බවට සංවර්ධනය විය. ආණ්ඩුකාර තෝමස් මේට්ලන්ඩ් තම තැපැල් ලිපිනය ලෙස භාවිත කළේ මවුන්ට් ලැවීනියා, සිලෝන්. යනුවෙනි. ඒ අනුව පසු කලෙක, මෙම ගල්කිස්ස නමැති නගරයද මවුන්ට් ලැවීනියා යනුවෙන් නම් කරන ලදි.
1877 දී බ්‍රිතාන්‍ය රජය කොළඹ වරාය දක්වා වෙරළට සමාන්තරව දුම්රිය මාර්ගයක් ඉදි කළේය. දුම්රිය මාර්ගය වැටී තිබුණේ ලැවීනියා කන්ද ඉදිරියෙනි. දුම්රියෙන් පැමිණෙන සංචාරකයන් ආකර්ශනය කර ගැනීමෙන් ලාබයක් ලබා ගත හැකි බැව් වටහා ගත් ව්‍යාපාරිකයෙක් එම මන්දිරය මිල දී ගෙන එය මවුන්ට් ලැවීනියා ග්‍රෑන්ඩ් හෝටලය බවට පත් කළේය. පසුව ගොඩනැගිල්ලට තවත් කොටස් එක් කෙරිණි.  1927දී කොළඹ පිහිටි ග්ලෝබ්, බ්‍රිස්ටල් සහ වයිට්හෝස් යන හෝටලවල හිමිකරුවන් වූ කාගිල්ස් සමාගම මවුන්ට් ලැවීනියා හෝටලය මිලදී ගත්තේය. දෙවැනි ලෝක යුද සමයේ මෙම හෝටලය හමුදා රෝහලක් ලෙසද භාවිත විය. බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරැන් සිව් දෙනකුගේ නිල නිවෙස වූ ගල්කිස්ස මහ හෝටලය පිහිටි ගොඩනැගිල්ල ඉතිහාසයේ සිදුවීම් රුසක් සඟවාගත් ස්ථානයකි.

• ගාලු මුවදොර හෝටලය

ගාලු මුවදොර පිටිය මුලින්ම තනන ලද්දේ ඕලන්ද ජාතිකයන් විසිනි. පෘතුගීසින්ගෙන් එල්ල විය හැකි ප්‍රහාරයනට මුහුණ දීම සඳහා කාලතුවක්කු සවි කිරීමට ඔවුහු එම ස්ථානය භාවිත කළහ. පසුව  මෙරට සිටි ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයකු වූ ශ්‍රීමත් හෙන්රි ජෝජ් වෝඩ් විසින් 1859 වසරේ ගාලු මුවදොර පිටිය තුරග තරග පැවැත්වීමට හා  ගොල්ෆ් ක්‍රීඩා කිරීම සඳහා යොදා ගත්තේය. අතීතයේ මෙම ස්ථානය හඳුන්වන ලද්දේ ගල්බොක්ක ලෙසිනි. පසුව ‘ගාල්ල දෙසට මුහුණ ලා ඇති ප්‍රදේශය‘ යන අරුතින් ගෝල්ෆේස් හෙවත් ගාලු මුවදොර බවට පත් විය. ගෝල්ෆේස් හෝටලය නොහොත් ගාලු මුවදොර හෝටලය ඉදිකරන ලද්දේ 1864දීය. ගෝල්ෆේස් පිටියට මුහුණ ලා පිහිටි බැවින් එය ගෝල්ෆේස් හෝටලය ලෙස නම් කෙරිණි. සූවස් ඇළට නැගෙනහිරින් පිහිටි පැරණිතම හෝටල අතරින් එකක් වන මෙම හෝටලය පිහිටා ඇති  ස්ථානයේ ලන්දේසින්ගේ ගෝල්ෆේස් හවුස් නමින් යුතු විශාල විලාවක් විය. පසුව එම භූමිය මිලට ගත් බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයන් සිව් දෙනෙක් එම ස්ථානයේ ගාලු මුවදොර හෝටලය ඉදිකරන ලද්දාහ. 1894දී එහි වෙනස්කම් කිහිපයක් සිදු කෙරුණු අතර මහල් දෙකකින් යුතු ගොඩනැඟිල්ලක් බවට පත්විය. කලින් කළ සුළු වෙනස්කම් සිදු වුවද අද දක්වා ඇත්තේ එම පැරණි ගොඩනැගිල්ලය.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා