2020 අගෝස්තු 15 වන සෙනසුරාදා

අංගොඩ ලොක්කා කොටියෙක්?

 2020 අගෝස්තු 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 330

සංවිධානාත්මක අපරාධ රැසක් සම්බන්ධයෙන් විමර්ශනය කරන පොලීසියට අවශ්‍යව සිටි පාතාල නායකයකු බව කියන අංගොඩ ලොක්කා හෙවත් මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා යන අයගේ මරණය පිළිබඳව දැන් සැකයක් නැත. ඒ වසර තුනක පමණ කාලයක් ආර්. ප්‍රදීපන් සිං යන ව්‍යාජ නාමයෙන් ඉන්දියාවේ රැඳී සිටියදී විෂ ශරීරගත කිරීමෙන් ඝාතනය කළැයි කියන පුවත අනුවය. ඝාතනය සම්බන්ධයෙන් සැකකෙරෙන කරුණු කිහිපයක් හේතුවෙන් අංගොඩ ලොක්කාගේ මරණයට එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සම්බන්ධයක් තිබේද? නැතිනම් ඔහු එම ත්‍රස්ත සංවිධානයේ හිතවාදීන් හා සබඳතා පැවැත්වූයේද යන්න පිළිබඳ සෙවීමට ඉන්දීය රෝ ඔත්තු සේවාව මේ වනවිට පරීක්ෂණයක් අරඹා තිබේ.

ඉන්දියාවේ කොයිම්බතූර් ප්‍රදේශයේ රෝහලකට හෘදයාබාධයක් ඇති බව කියමින් ඇතුළත් කළ ප්‍රදීප් සිං නැමැත්තාගේ නම ව්‍යාජ එකක් බවත් ඔහු අංගොඩ ලොක්කා නැමැති පාතාල නායකයා බවට අනාවරණය කොට ගැනුණේ ඔහු රෝහල් ගත කිරීමට ක්‍රියාකළ කාන්තාව හා තවත් දෙදෙනකුගෙන් ලබාගත් ප්‍රකාශ පදනම් කොටගෙනය. මොවුන් අතර ශ්‍රි ලාංකික කාන්තාවක් වන අමානි තන්ජි නැමැත්තිය සමඟ තමිල්නාඩු කාන්තාවන් දෙදෙනකු වන සිවගාමී සුන්දරී හා ඩයිනේස්වරන් නැමැත්තියකද වේ. අංගොඩ ලොක්කාගේ ඩී.එන්.ඒ. පරීක්ෂාවේ ප්‍රතිඵල ලැබෙන තෙක් ඉහත කාන්තාවන්ගේ ප්‍රකාශ පදනම් කොටගෙන අංගොඩ ලොක්කා ඝාතනය කොට ඇති බවට ආරක්ෂක අංශ විශ්වාස කරයි. 

කොයිම්බතූර්හි පෞද්ගලික රෝහලකට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කොට ලබාගත් අංගොඩ ලොක්කාගේ දේහය සිවගාමී සුන්දරී නැමැත්තිය පදිංචිව සිටින මදුරෙයි තන්නේරි ආදාහනාගාරයට රැගෙන ගොස් ආදාහනය කොට ඇත. අදාළ රෝහලේ සිට කිලෝමීටර් 216ක් පමණ ඈතින් පිහිටි ආදාහනාගාරයක ආදාහනය කිරීමට තවත් පිරිසකගේ සහාය ලැබී ඇතැයි ආරක්ෂක අංශ විශ්වාසය කරයි. එම සැකය එල්.ටී.ටී.ඊ. හිතවාදීන් දෙසට යොමුව පවතී. සිවගාමී සුන්දරී නැමැත්තිය මදුරෙයිහි නීතිඥවරියක වන අතර ඇය පිළිබඳව සිදුකළ විමර්ශනවලදී ඈ සතු බැංකු ගිණුම් 7ක් හඳුනාගෙන තිබේ. ඒවායේ රැපියල් කෝටි ගණනක ගනුදෙනු හා මුදල් හුවමාරැ කළ බවක් දකින්නට ලැබී ඇති අතර ලංකාව, කැනඩාව, චීනය හා සිංගප්පූරැව ආදී රටවල මුදල් නෝට්ටු රැසක් ඇය සන්තකයේ තිබියදී සොයාගෙන තිබිණ.

වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ එම සැකකාරියගේ පියා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රබල හිතවාදියකු බවය. මේ නිසා අංගොඩ ලොක්කාගේ මරණය පසුපස එල්.ටී.ටී.ඊ. සංවිධානයේ යම් සබඳතාවක් පවතින බව විශ්වාස කෙරේ.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා තිබෙන ඉන්දියාවේ රෝ ඔත්තු සේවය අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන සිදුකරයි. 2017 වර්ෂයේදී කළුතර එතනමඬල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට ප්‍රහාරයක් එල්ලකොට සමයං ඇතුළු පිරිසක් ඝානය කිරීමෙන් පසුව පලාගිය අංගොඩ ලොක්කා ඉන්දියාවට පලාගොස් තිබිණ. ඒ මාකඳුරේ මධූෂ්ගේ සහාය මත බෝට්ටුවකින් පලා යමිනි. එසේ ඉන්දියාවට ගිය අංගොඩ ලොක්කාට එරටදී රැකවරණය ලබාදී තිබුණේ කිඹුලාඇළ ගුණාගේ හිතවතුන් වෙතිනි. එයද මාකඳුරේ මධූෂ්ගේ ඉල්ලීමකටය. කිඹුලාඇළ ගුණා නැමැත්තා ඉන්දියාවට පලාගොස් තිබුණේද හිටපු ජනපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තයන්ට සහාය දීමෙන් පසුව බව කියති. මේ අනුව ඉන්දීය රෝ ඔත්තු සේවය වැඩිදුරටත් සැකකරන්නේ අංගොඩ ලොක්කා කිඹුලාඇළ ගුණා කල්ලිය මාර්ගයෙන් එල්.ටී.ටී.ඊ. හිතවාදීන් ආශ්‍රය කරන්නට ඇති බවය. ඒ ඇසුරෙන් අවි ජාවාරම හා මත්කුඩු ජාවාරම සිදුකරන්නට ඇති බවද විශ්වාස කරන රෝ ඔත්තු සේවය විශේෂ විමර්ශනයක් සිදුකරමින් සිටිති.

පෙර කී කාන්තාවන් තිදෙනාගේ සහාය මත ඉන්දියාවේ ආධාර කාඩ්පත සකස් කොටගෙන එරට රුඳී සිටි අංගොඩ ලොක්කා පසුගිය පෙබරවාරි 19 වැනිදා ඉන්දියාවේ රෝහලකට ඇතුළත්ව සිය නාසයේ හැඩය වෙනස් කරගැනීම සඳහා ප්ලාස්ටික් සැත්කමක් සිදුකරගෙන තිබිණි. එහිදී අංගොඩ ලොක්කා පවසා ඇත්තේ චිත්‍රපටයකට පෙනී සිටීම සඳහා එසේ සිදුකරන බවය. තමිල්නාඩු පොලිසිය හා එක්ව රෝ ඔත්තු සේවය සිදුකරන විමර්ශනයේදී මෙකී කරැණු අනාවරණය වී තිබේ.

දෛනිකව ව්‍යායාම කිරීමට පුරැදුව සිටි අංගොඩ ලොක්කා ශරීර සුවතා මධ්‍යස්ථානයක් වෙත යාම පුරැද්දක් කරගෙන සිට ඇත. මේ නිසාම විශේෂිත ශක්තිජනක කිරිපිටි පානය කිරීමට පුරුදුව ඇති ඔහු ශක්තිජනක ආහාර අලෙවිකරන ව්‍යාපාරයක්ද පවත්වාගෙන ගොස් ඇත. අනියම් බිරියක වශයෙන් රඳවාගෙන සිටි කාන්තාවක විසින් එම ශක්තිජනක පානයට යම්කිසි විස වර්ගයක් මුසුකර පානය කිරීමට සලස්වා ඇත්තේ ඔහුගේ එම පුරුද්ද වාසියට සලසාගෙනය.

අංගොඩ ලොක්කාගේ මළසිරුරේ අත්පාවල ඇඟිලි තද නිල් පැහැයකට හැරී තිබුණු බව පැවසෙන්නේද එම අධික විෂ ශරීර ගතවීම නිසා බවද වාර්තා වේ. කෙසේ වෙතත් සැකකාර කාන්තාවන් තිදෙනකුගේ ප්‍රකාශ පදනම්ව අංගොඩ ලොක්කා ඝාතනය කළ බවට ප්‍රකාශ කළද ඩී.එන්.ඒ. පරීක්ෂාවේ ප්‍රතිඵල ලැබෙන නුදුරේදී ඒ බව සනාථ කෙරෙනු ඇත.

 සමන්ත ප්‍රදීප් විල්තෙර