2020 අගෝස්තු 08 වන සෙනසුරාදා

මහ ඡන්දය දවසේ කොළඹ සවාරියක්....

 2020 අගෝස්තු 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 192

අගෝස්තු 05 වැනිදා උදෑසන හතට සියලුම ඡන්ද මධ්‍යස්ථානවල වැඩ කටයුතු ආරම්භ විය. ආරම්භයේදීම කොළඹ හා ඒ අවට බොහෝ ඡන්ද මධ්‍යස්ථානවල සැලකිය යුතු පිරිසකගෙන් යුතු ඡන්ද පෝලිම් දේශයේ කැමරා ඇසට හසුවිය. ඡන්දය පවත්වන දිනය සතියේ දිනයක් විය. උදෑසන හත වෙද්දී ඡන්ද මධ්‍යස්ථානවලට පැමිණි බොහෝ පිරිස තම සේවා මධ්‍යස්ථානවලට වාර්තා කළ යුතුව සිටි පිරිස වීම විශේෂත්වයක් විය. ඡන්දය සලකුණු කිරීමෙන් පසුව ඔවුන් සේවා ස්ථානවලට යා යුතුව තිබුණි. මේ නිසාම උදෑසන හත වනවිට ඇතැම් ඡන්ද මධ්‍යස්ථානවල දැකගත හැකිවූයේ තරමක් දිගු පෝලිම්ය.

රැකියාවට යන්න තියෙන නිසා ඡන්දය දාන්න උදෙන්ම ආවා. කොහොමටත් රටේ තියෙන සෞඛ්‍ය ආරක්ෂාවටත් ඒක හොඳයිනෙ. ඡන්දය අපේ අභියෝගයක්. ඒ අයිතිය නැති කරගන්න අපිට බැහැ. ඒ නිසා පක්ෂ, අපේක්ෂකයන් දෙකට බෙදුණත් අපි අපේ ඡන්දය පාවිච්චි කළ යුතු වෙනවා. වෙනදා තරම් උද්‍යෝගයක් නම් නෑ. පසුගිය කාලවලදී පාර්ලිමේන්තුවට පත්වෙච්චි සමහරු කරපු කියපු දේවල් ගැන තියෙන්නෙ ඇත්තටම කලකිරීමක්. යැයි දෙහිවල ශාස්ත්‍රානන්ද දහම් පාසලේ දී තම ඡන්දය සලකුණු කළ එස්. රත්නසිරි දේශයට අදහස් දක්වමින් පැවසීය.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මෙවර මැතිවරණය සෞඛ්‍යයට මුල්තැන දුන් මැතිවරණයක් විය. පෙර සෑම මැතිවරණයකදීම ඡන්දය සලකුණු කරන ස්ථානයේ රජය මගින් පැන්සලක් යොදා තිබුණද, මෙවර ඡන්දය පළකිරීම සඳහා හැකියාවක් පවතී නම් තම නිවෙසින් නිල් හෝ කළු පෑනක් රැගෙන එන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සෑම ඡන්දදායකුගෙන්ම ඉල්ලා සිටියේය. එලෙස ගෙන ආ නොහැකි ඡන්දදායකයන්ට ඡන්ද මධ්‍යස්ථානයේදීම විෂබීජහරණය කළ පෑනක් ඡන්දය සලකුණු කිරීම සඳහා ලබා දීමට ද පියවර ගෙන තිබුණි. මේ අනුව මෙවර ඡන්දය සලකුණු කිරීමට ගිය බොහෝ දෙනකුගේ අතේ ඡන්ද පත්‍රිකාව, ජාතික හැඳුනුම්පත මෙන්ම පෑනක් ද තිබීම දැකගත හැකි විය.

සෑම ඡන්ද මධ්‍යස්ථානයකම ඇතුළු වන තැන අත් සේදීම සඳහා විෂබීජහරණ දියර බෝතලයක් හෝ ජල කරාමයක් දැකගත හැකි විය. බොහෝ ඡන්ද මධ්‍යස්ථාන රජයේ පාසල් හෝ විහාරස්ථාන විය. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් රජයේ සහ පෞද්ගලික පාසල් බොහොමයකම මේ වන විටත් පාසල් දරුවන්ට අත් සේදීම සඳහා ජල කරාම සාදා තිබුණි. මේ නිසාම මෙම ඡන්ද මධ්‍යස්ථානවලදීද ඡන්දදායකයන්ට අත් සේදීමට මෙම ජල කරාම මහත් ප්‍රයෝජනවත් වූ බවක් දක්නට ලැබුණි.

වෙනත් ඡන්ද මැතිවරණවලදී මෙන් මෙවර ඡන්ද මධ්‍යස්ථාන අවට ඡන්ද අපේක්ෂකයන්ගේ හවුල්කරුවන් දක්නට නොලැබුණි. බොහෝ ඡන්ද මධ්‍යස්ථාන අවට නිකරුණේ කාලය නාස්ති කිරීමට ඉඩකඩක් නොවුණු අතර, මැතිවරණයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් නිලධාරීන් විසින් ඔවුන් ඡන්ද මධ්‍යස්ථානය අවටින් ඈත් කරවන අයුරැ දක්නට ලැබුණි. කෙසේ වුවද ඒ සියලු දෙනා පොලිස් නිලධාරීන්ගේ අණට අවතන වූ බවක් ද දක්නට ලැබුණි.

ඡන්ද අපේක්ෂකයන්ගේ සලකුණ සහ අංකය සඳහන් වූ කුඩා අත් පත්‍රිකා සෑම ඡන්ද මධ්‍යස්ථානයකම අවටත්, ඡන්දදායකයන් ඡන්ද මධ්‍යස්ථානයට එන මාර්ගය අවටත් බිම විසුරුවා තිබීම සෑම මැතිවරණයකදීම දක්නට ලැබෙන සුලබ සිදුවීමකි. මෙවර ද එය බොහෝ ඡන්ද මධ්‍යස්ථාන අවට දක්නට ලැබුණි.

ඔත්පල වුණු මෙන්ම උත්පත්තියෙන්ම ආබාධිත වුණු සෑම පුරවැසියකුට ද ඒ අයිතිය හිමිය. රාජගිරිය වික්ටෝරියා නිවාසයේ සිටින සෑම නේවාසිකයකුට ද ඒ අයිතිය හිමිව තිබුණි.

වික්ටෝරියා නිවාසයේ 143 දෙනෙක් ඉන්නවා. ඒ හැම කෙනාම ඡන්දදායකයෝ. මේ නිවාසයට අපි බඳවාගන්නේ වයස අවුරුදු දහඅටේ සිට අවුරුදු පනස් පහ දක්වා අයයි. ඒ නිසා මෙතනට එද්දීම ඒ අය ඡන්දදායකයෝ. අලුතින් ඡන්ද පෝරමයක් නිකුත් කරද්දී අපි ඒ සෑම කෙනෙක්වම ඡන්ද පෝරමයට ඇතුළත් කර ගන්නවා. ඒ අනුව මේ පාර 143 දෙනෙක්ටම ඡන්දය තිබුණා. නමුත් මෙතන ඉන්න අයගෙන් කිහිප දෙනකුම ඇවිද ගන්නවත්, රෝදපුටුවක යාගන්නවත් බැරි ඇඳේම ඉන්න අයයි. ඒ කිහිප දෙනාට නම් ඡන්දය පාවිච්චි කරන්න බැරි වුණා. අනිත් හැම කෙනාවම අපි ඡන්ද මධ්‍යස්ථානයට ගෙන ගොස් ඡන්දය පාවිච්චි කරන්න අවස්ථාව දුන්නා. ඒ කිසිම කෙනකුට අපි කිසිම බලපෑමක් කළේ නෑ. අඩුම ගාණේ ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහාවත් කිසිම මන්ත්‍රී අපේක්ෂකයකුට වික්ටෝරියා නිවාසයට එන්න දුන්නේ නෑ. මේ සියල්ලම තමන්ගේ ස්වාධීන කැමැත්තට අනුව ඡන්දය පළ කළා. වික්ටෝරියා නිවාසයේ අධ්‍යක්ෂක ජී.එම්.ඩබ්ලිව්. පෙරේරා මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

වික්ටෝරියා නිවාසයේ සේවක මණ්ඩලයේ පනස් එක් දෙනෙක් වෙති. ඡන්ද දින ඒ සියලු දෙනා ඉතා කාර්යබහුල වූහ. රෝදපුටුව ආධාරයෙන් රාජගිරිය ජනාධිපති විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයට යන නිවාසයේ සෑම ඡන්දදායකුටම සේවක මණ්ඩලයේ කෙනකුගේ ආධාරයක් අවශ්‍යම විය. ඒ සියල්ලගේම අතේ ඇත්තේ ඡන්ද පත්‍රිකාව හා හැඳුනුම්පත පමණි. මධ්‍යස්ථානයට යාම ද ලෙහෙසි පහසු නොවීය. ඒ සඳහා මඳ දුරක් රෝදපුටුවේ යාමට සිදුවේ. ඇතැම් වාහන රියැදුරෝ රෝදපුටුවල යන මොවුන්ට පාර මාරැවීමට ඉඩ නොදෙති. ඒ තරමටම රියැදුරන් කාර්යබහුලය. වායු සමීකරණය කළ වාහනවල යන සමහරු රෝදපුටුවේ දහඩිය පෙරා යන අහිංසක මිනිසුන්ට ඉඩ නොදෙති. රෝදපුටුවක හිඳ බොහෝ වෙහෙසක් දරා ගොස් මෙම පිරිස මෙලෙස ඡන්දය ලබා දෙන්නේ තමන්ට නොලැබුණු, අනාගතය ගැන හීන දකින සිය ජීවිත වෙනුවෙන් යැයි හිතන්නට ඒ කිසිවකුට සංවේදී සිතක් නැත.

මම ඡන්දය දුන්නා. අපේ රටේ හොඳ අනාගතයක් වෙනුවෙන් අලුත් පිරිසක් බිහි කරන්න ඕනෙ. පසුගිය කාල වකවානුව දිහා බලද්දී බොහෝ දෙනා අපේ ඡන්දයෙන් සුරසැප වින්දා. ඔවුන් රටට කළ සෙතක් නෑ. මේක අපිට වෙනස් කරන්න ඕනෙ වුණා. ඒ නිසා හොඳට හිතලා බලලා තමයි මේ පාර මම ඡන්දය දුන්නේ. යැයි වික්ටෝරියා නිවාසයේ ජයන්ත දේශයට පැවසීය.

රෝදපුටුවේ හිඳ මහත් වෙහෙසක් දරා ඔවුහු ඡන්දය දැමූහ. නොබෝ දිනකින් තමා පළ කළ මෙම ඡන්දයෙන් ජයග්‍රහණය කළ අපේක්ෂකයා පෙජොරෝ රථයකින් යනු ඇත. ඔවුන් කිසිමදාක රටේ මෙවැනි අහිංසක ඡන්දදායකයන් ගැන නොසිතයි නම්...
&දැන් නම් කලකිරිලා තියෙන්නේ. අපි එපා කියපු අය ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවේ වාඩිවෙද්දී ඒ අයට ඉහළ නිලතල ලැබෙද්දී, මොකට මේ ඡන්දයක් තියෙනවද? ඇත්තටම ගමට, ගමේ මිනිසුන්ට වැඩක් කරන්නේ නැති මිනිස්සු රටට වැඩක් කරයිද? රටේ මිනිසුන්ට එපා කරපු අය පාර්ලිමේන්තුවේ පුටුවේ වාඩිවෙන එකට අපි තදින්ම විරැද්ධයි. හැබැයි ඉතින් අපි මොනවා කරන්නද? මේක තමයි ලොකු මිනිසුන්ගේ තත්ත්වෙ. ඒක වෙනස් කරන්න දැන් කාලයයි. ඒ වෙනුවෙන් තමයි අපි මේ ඡන්දය දුන්නෙ.* යැයි බොරුල්ල සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයෙන් අපිට මුණගැසුණු පී. හේරත් දේශයට පැවසීය.

ජාති, ආගම් භේදයකින් තොරව සියල්ලෝම සිය අයිතිය උදෙසා ඡන්දය පළ කරන්නට පෙළගැසී සිටියහ. ඒ සියලු දෙනා තම ආරක්ෂාව වෙනුවෙන් මුඛ ආවරණ පැළඳ සිටියහ. විෂබීජහරණයකින් දෑත් සෝදා තම ආරක්ෂාව තහවුරු කර ගන්නා ඡන්දදායකයෝ තමන්ට නියමිත ඡන්ද පත්‍රිකාව ගෙන අනාගතය වෙනුවෙන් අපේක්ෂකයන් තෝරාගන්නා සටනට යොමුවූහ. බොහෝ දෙනා දිගු වූ ඡන්ද පත්‍රිකාවෙන් තම මනාප අංක හා මනාප සලකුණු තෝරාගන්නට මඳ වේලාවක් කල් ගත කළ අතර, ඇතැම්හු ඉතා ඉක්මනින් ඡන්ද මනාපය සලකුණු කර නැවතත් මධ්‍යස්ථානයෙන් පිටව ගියහ. වියපත් වූ පුද්ගලයන්ට තම මනාපය සලකුණු කරන්නට මඳ වෙලාවක් ගත විය.

පානදුර බෙක්කේගම ප්‍රාථමික විද්‍යාලයේ ඡන්ද පෝලිමේ දී අසූ හැවිරිදි පුද්ගලයකු මියගොස් තිබිණි. ඔහු තම දරුවන්ට පවසා ඇත්තේ &කොහොම හරි මම ඡන්දය දෙන්න යන්න ඕනෙ* යනුවෙනි. දරැවන්ගේ වාරැවෙන් හෙමිහිට අඩිය තබමින් තම අයිතිය වෙනුවෙන් ඡන්දය භාවිත කිරීමට පැමිණි බොහෝ වියපත් අය අපිට ද දැකගත හැකි විය.

ටිකෙන් ටික දවස ගෙවෙද්දී ඡන්ද මධ්‍යස්ථාන වෙත එන ඡන්දදායකයන් අඩු වැඩි වෙමින් සිටියහ. ඇතැම් මධ්‍යස්ථානවලදී අපිට දැකගත හැකි වූයේ මන්දගාමී ස්වරෑපයකි. පෝලිමක් නැති තරමට ඇතැම් විට මධ්‍යස්ථානවල නිහඬ ස්වරෑපයක් දැකගත හැකි විය. මැතිවරණයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 69,000ක් අනුයුක්ත කරනු ලැබ සිටියහ.

සවස තුනට පමණ නැවතත් මධ්‍යස්ථාන යම් තරමකට කාර්යබහුල විය. උදෑසන රාජකාරිවලට ගොස් සිටි පිරිස තම ඡන්දය භාවිත කිරීමට ඡන්ද මධ්‍යස්ථානවලට පියනැගුවේ සවස 2න් පසුවය. සවස 4 සිට 5 දක්වා නිවෙස්වල ස්වයං නිරෝධායනය වුණු ඡන්ද අපේක්ෂකයන් වෙනුවෙන් කාලය වෙන්ව තිබිණි. කෙසේ වුවද සවස 4න් පසුව බොහෝ ඡන්ද මධ්‍යස්ථානවල පැවතුණේ නිහඬ පරිසරයකි.

 දිශානි ජයමාලි කරුණාරත්න
     සේයාරූ - ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ සුමුදු හේවාපතිරණ