2020 අගෝස්තු 08 වන සෙනසුරාදා

අලුත් ආණ්ඩුවට බාධක දාන ආර්ථික ගැටලු

 2020 අගෝස්තු 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 31

දැන් නව ආණ්ඩුවක් බිහි වී තිබේ. එහෙත් මෙය ජයග්‍රහණය පිළිබඳ සතුටු විය හැකි අවස්ථාවක් නොවේ. එයට හේතුව බලයට පත් වූ ආණ්ඩුවට පරිහානියට පත්ව ඇති රට ගලවා ගැනීමේ දරුණුතම අභියෝගයට මුහුණදීමට සිදුව තිබීමයි. මෙය සුළුපටු අභියෝගයක් නොවන බව කිවයුතු වන්නේ 1870 වසරට පසුව සිදුවූ දරුණුතම ආර්ථික ගැටලුවලට සමස්ත ලෝකයටම මුහුණදීමට සිදුව තිබීමය. ලොව බලගතුම රාජ්‍යයන් වන චීනය, අමෙරිකාව, රැසියාව, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව ඇතුළු යුරෝපා සංගමයට අදාළ රටවල් දරැණුතම ආර්ථික කඩාවැටීමකට ලක් වී මේ වනවිට ඍණ ආර්ථික වර්ධන අගයක් පෙන්නුම් කිරීමට පටන්ගෙන තිබේ. අපේ රට සමඟ ආර්ථික සම්බන්ධතා පවත්වන මෙම අසල්වැසි රාජ්‍යවල ආර්ථික කොඳු නාරටිය බිඳී ඇති අවස්ථාවක අපට පමණක් ඍජුව සිටීමට හැකි වන්නේ නම් එය ආශ්චර්යයක් වනවා ඇත. එහෙත් එය ප්‍රායෝගික නොවන තත්ත්වයකි.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම සංඛ්‍යා දත්තවලින් ගම්‍ය වන්නේ 2020 පළමු කාර්තුවේ අපේ ආර්ථික වර්ධන වේගය ඍණ 1.6ක් බවය. ඉන්පසු ඇතිවූ දරුණුතම ආර්ථික කඩාවැටීම නිසා ඉදිරිය තවදුරටත් අයහපත් වන බවට කිසිදු සැකයක් නැත. ආරම්භ වූ නවතම ආණ්ඩුව ප්‍රමුඛත්වය දිය යුතු වන්නේ අපේ නැති වී ගිය දේවල් නැවත ලබාගෙන රට යාවත්කාලීන කිරීමටය. එහෙත් එය හිතන තරම් පහසු ආශ්චර්යයක් නොවන බව කිව යුතුය. 

රට වැටී ඇති අයහපත් වාතාවරණය හමුවේ අභිනව ආණ්ඩුවට රටේ යහපත් ආර්ථිකයක් නිර්මාණය කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මෙලෙස අදහස් දක්වයි.

මහ මැතිවරණයෙන් ජය ලබා රටේ පාලනය ස්ථාපිත කළ අලුත් ආණ්ඩුවට මුහුණ දිය යුතු ගැටලු වෙන අවස්ථාවලට වඩා සංකීර්ණ බව කිව යුතුයි. එයට එක් හේතුවක් වන්නේ මේ තාක් කල් රටට බලපා ඇති කොවිඩ්-19 රෝග තත්ත්වයයි. අනිත් කාරණය තමයි පසුගිය සමයේ බලයට පත්වූ ආණ්ඩු ගෙන ගිය අවිචාරවත් පිළිවෙත් නිසා රටේ අර්බුද මේ වනවිට උත්සන්නව තිබීමයි. ඒ අතරට කොවිඩ්-19 වසංගතයෙන් රටට සිදුවූ හානිය තවත් තීව්‍ර කෙරුණා. රට වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩනොගිහින් අපට කිසිම ප්‍රශ්නයකට විසඳුමක් ලබාගන්න හැකි වන්නේ නැහැ.

බලයට පත්වන ආණ්ඩුවට මුහුණදීමට සිදුවන ප්‍රධානතම ගැටලුවක් වන්නේ පසුගිය වසරේ සිටම ජාතික අයවැය ලේඛනයක් නොමැතිව රට ගෙන යාමේදී නිර්මාණය වී ඇති තත්ත්වය නිවැරදි කිරීමයි. 2019 වසරේදී යහපාලන ආණ්ඩුව අයවැය ලේඛනයක් සම්මත කර ගත්තේ නැහැ. අවසන් මාස තුනට අවශ්‍ය අරමුදල් වෙන්කර ගත්තා පමණයි. 2019 නොවැම්බර් මස සිට නව ජනාධිපතිවරයකු පත්වූ පසු පත්වූ ආණ්ඩුව අලුතින් අයවැයක් ගෙනාවේ නැහැ. එයට හේතුව ආණ්ඩුවට තිබුණේ සුළුතර බලයක් නිසා පාර්ලිමේන්තුව තුළ අයවැය ලේඛනය පරාජය වේ යැයි සිතීමයි. සාමාන්‍යයෙන් අභිනව වර්ෂයේ අයවැය ලේඛනය වසරේ නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර දෙසැම්බර් මස මැද පමණ වනවිට සම්මත කරගෙන ජනවාරි මස සිට ක්‍රියාත්මක වෙනවා. මෙවර එය සිදුවූයේ නැහැ.

මේ වනවිට වසරකට ආසන්න කාලයක් රට දුවන්නේ අයවැය නොමැතිවයි. පිස්කල් ප්‍රතිපත්තියක් සහ ආර්ථික ප්‍රතිපත්තියක් අපට නැහැ. මේ නිසා අලුත් ආණ්ඩුවේ ප්‍රබල අභියෝගයක් වනුයේ අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමයි. මෙය සුවිශේෂ අයවැයක් වනවා නියතයි. එයට හේතු කිහිපයක් තියෙනවා. කොවිඩ් වසංගතය නිසා රටේ ආර්ථිකය කඩා වැටිලයි තියෙන්නේ. මේ අවස්ථාවේදී අලුත් බදු පැනවීමක් කෙසේවත් කළ නොහැකියි. තියෙන බදුත් කපා හැරලයි ඇත්තේ. එසේම පවතින බදු ප්‍රමාණය හෝ එකතු කිරීම අතිශයින් දුෂ්කර වනවා ඇති. ජනතාව විශාල සහන බලාපොරොත්තු වෙනවා. ආණ්ඩුව වේදිකාවල ඒ බව ප්‍රකාශ කළ නිසා එම තත්ත්වය වෙනස් කළ නොහැකියි. එහෙත් එලෙස සහන දීම රටේ පවතින ආර්ථික තත්ත්වය අනුව ඉතාම අපහසුයි. සහනාධාර දෙන්න කොහොමවත් බැහැ. මේ නිසා පළමු අයවැය ලේඛනයෙන්ම ආණ්ඩුවට දැඩි ජනතා අප්‍රසාදයක් ඇතිවීම වළක්වාගන්න අපහසු වේවි.

අනිත් ගැටලුව නම් රුපියල් බිලියන 2000 තරමේ විශාල ණය මුදලක් ගෙවන්නට තිබීමයි. 2020 වසරේ අපේ අපේක්ෂිත ආදායම බිලියන 1950ක් නිසා ණය ගෙවන්නට ආදායම ප්‍රමාණවත් වන්නේ නැහැ. මෙය විශාල ගැටලුවක්. මෙහිදී ගත යුතු විකල්ප ක්‍රියාමාර්ග මොනවාදැයි නව ආණ්ඩුව තුළින් පැහැදිලි අදහසක් ලබාගන්න බැහැ.

තත්ත්වය මෙසේ තිබියදී ආණ්ඩුව අලුත් රැකියා විශාල සංඛ්‍යාවක් දෙන බව ප්‍රකාශ කර තිබෙනවා. උපාධිධාරීන්ට අලුතින් රැකියා ලබාදීම මෙන්ම සම්මුඛ පරීක්ෂණ කර තෝරාගෙන ඇති 15,0000ක්ද රැකියා පෝලිමේ තබා තිබෙනවා. සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබා ඇති ලක්ෂයකට පමණ රුකියා දෙන බවට ද ප්‍රතිඥා දී තිබෙනවා. මෙලෙස බලාපොරොත්තු වන සංඛ්‍යාවට අලුතින් රුකියා ලබාදීම ප්‍රායෝගිකව කළ නොහැකි බවක් පෙනෙන්නට තියෙනවා.

අද වන විට පවතින තත්ත්වය අනුව අලුතින් පත්වූ ආණ්ඩුවට රජයේ ආදායම හා වියදම සමතුලිත නොවීම නිසා වැඩි වියදම පියවා ගැනීමට ණය ගත යුතුව තිබෙනවා. දැනට ණය ගත හැකි මූලාශ්‍ර සියල්ල පාහේ අවහිර වෙලයි තියෙන්නේ. 2018 දී අපේ සමස්ත ණය ප්‍රමාණය ට්‍රිලියන 12ක් වූ අතර 2019 දී ට්‍රිලියන 13 දක්වා ඉහළ ගොස් තියෙනවා. 2020 අප්‍රේල් දක්වා මාස හතර වනවිට මුළු ණය රුපියල් ට්‍රිලියන 14 දක්වා ඉහළ ගිහින්. වසරක ණය ප්‍රමාණය මාස 4කින් ලබාගෙන ඇති බව පෙනෙනවා.
මේ වන විට අපට ආධාර දෙන රටවල ආර්ථිකය සංකෝචනය වී තිබෙනවා. ඒ රටවලින් සහන ණය දීමට අපහසුයි. ඒ රටවල අත්‍යාවශ්‍ය වියදම් පිළිබඳව ද ගැටලු ඇතිවෙලා. ඒ නිසා ඉදිරියේදී අපට සිද්ධ වෙන්නේ වැඩි පොලියට ණය ගැනීමටයි. එයින් රටේ ආර්ථිකය උග්‍ර අර්බුදයකට ලක්විය හැකියි.

ඒ අතර ප්‍රධාන ප්‍රශ්නයක් වී ඇත්තේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳ තත්ත්වයයි. මෙම පර්යන්තය ඉන්දියාවට පවරා දීමට සිදුව ඇත්තේ ඉන්දියාවට අපි ගෙවීමට ඇති ණයවලට හිලව් කිරීමටයි. ණය, මුදලින් ගෙවිය නොහැකි වූ විට දේපලවලින් හිලව් කිරීමට සිදුවෙලා තිබෙනවා. මේ තත්ත්වය වෙනස් කිරීමට අලුත් ආණ්ඩුවට කිසිදු විකල්පයක් නැහැ. මෙම සත්‍ය ඡන්දයට පෙර පවා පැහැදිලිව පෙනෙන්නට තිබුණා. සේවක විරෝධය යටපත් කිරීමට තාවකාලිකව පියවර ගත්තද, වෙනත් විකල්පයක් ආණ්ඩුවට නොමැති බව පැහැදිලියි.

ඊළඟ ගැටලුව වන්නේ එම්.සී.සී. ගිවිසුම අත්සන් නොකර සිටිය හැකිද යන්නයි. පවතින වාතාවරණය අනුව මෙම ගිවිසුම අත්සන් කිරීමට රජයට සිදුවේවි. මෙය දේශපාලන කුණාටුවකට ද හේතු විය හැකි බව පෙනෙන්නට තිබෙනවා. ආණ්ඩුව තුළ ද මෙයට එරෙහිවන පාර්ශ්ව සිටිනවා. එසේ වුවද අවශ්‍ය සහනාධාර ක්ෂණිකව ලබාගැනීම සඳහා අකැමැත්තෙන් වුවද ගිවිසුමට එළඹීමට ආණ්ඩුවට සිදුවෙනවා ඇති.

ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය වන සංචාරක ව්‍යාපාරය මේ වනවිට සම්පූර්ණයෙන්ම බිඳවැටිලා. සංචාරක ව්‍යාපාරය මුල් තත්ත්වයට ගෙන ඒම කවදා සිදුවේදැයි කියන්න බැහැ. අපේ රටට යුරෝපා රටවලින් සංචාරකයන් පැමිණීමේ ප්‍රතිඵලය කොරෝනා වසංගතයට පෙර 35% ප්‍රමාණයේ තිබුණු අතර ඉන්දියාව 19%ක්, චීනය 9%ක්, ඔස්ට්‍රේලියාව 5%ක් සහ අමෙරිකාව 4%ක්වූ දායකත්වය කොරෝනා නිසා ශුන්‍ය බවට පත්වෙලා. එයට අමතරව අපට විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබුණු ඉපැයීම් ද අහිමි වෙලා. තවත් බරක් වී ඇත්තේ විදේශ රුකියා අහිමිව ආපසු මෙරටට පැමිණි ශ්‍රමිකයන් නඩත්තු කිරීමට ද රජයට සිදුවීමයි. අපට මැදපෙරදිගින් 51%ක්, යුරෝපයෙන් 23%ක්, දකුණු කොරියාව සහ ආසියාතික රටවලින් 20%ක් ආදී වශයෙන් ලැබුණු විදේශ ඉපැයීම් මේ වනවිට නැත්තටම නැතිව ගොසින්. ලෝකයේ බොහෝ රටවල රුකියා වියුක්තියක් නිර්මාණය වී ඇති පසුබිමක අපේ විදේශ රුකියා වෙළෙඳපොළ කවදා යාවත්කාලීන කළ හැකිදැයි පැවසිය නොහැකියි.

ප්‍රබල ජාත්‍යන්තර ආයතන රුසක් කඩා වැටී තිබෙනවා. ඒ ඇතැම් ආයතනවල ප්‍රධාන සැපයුම්කරැවා වන්නේ ශ්‍රී ලංකාවයි. ප්‍රධාන ඇඟලුම් කම්හල්වල ජාත්‍යන්තර ගැනුම්කරැවන් බංකොලොත් වෙලා. ඒ හේතුවෙන් අපේ දේශීය ව්‍යාපාර ද කඩා වැටීමේ අවදානමකට ලක්වෙලා. අපේ දේශීය ආයතනවල ශ්‍රමිකයන්ට ද රැකියා අහිමිව යාමේ අවදානමක් ඇතිවෙලා. අපේ අපනයන ආර්ථිකය ද කඩා වැටී ඇති අතර මේ නිසා රටට ගලා එන විදේශ විනිමය ද අහිමි වී තිබෙනවා. ඉදිරියේ දී රටේ විදේශ විනිමය අර්බුදය වඩාත් උග්‍ර වනු ඇති අතර දැනට පනවා ඇති ආනයන සීමාවලින් අපේක්ෂා කරන තරම් ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ. අනිත් අතට නිතර පනවන ආනයන තහනම් රෙගුලාසි නිසා රටේ දේශීය කර්මාන්තවලට ද පහර වැදී තිබෙනවා. රට තුළ ආයෝජනයට බලා සිටින අයගේ විශ්වාසය පළුදු වන තත්ත්වයකට පත්ව ඇති බව පෙනෙනවා. ස්ථිර ආනයන අපනයන ප්‍රතිපත්තියක් නොමැතිව පැලැස්තර ඇලවීම ආර්ථික වර්ධනයට අහිතකර ලෙස බලපාන බව කිව යුතුයි.

2020 මැයි මස 15දා නිකුත් වූ ආසියානු සංවර්ධන බැංකුවේ වාර්තාව අනුව කොරෝනා වසංගතය හේතුවෙන් ලෝක ආර්ථිකයට සිදුවූ හානිය අමෙරිකන් ඩොලර් මිලියන 5.8 හා 8.00 අතර බව පැවසේ. ලෝක ආර්ථික වර්ධන වේගය 2020 අවසානය වනවිට ඍණ 4.9%ක් වනු ඇති බවට World Economic Outlook වාර්තාව අනුව පැවසෙනවා. අපේ ආර්ථික වර්ධන වේගය ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව අනුව 1.5ක් විය යුතු බව පවසයි. එසේ වුවද ජාත්‍යන්තර මූල්‍ය විශේෂඥයන්ගේ විශ්ලේෂණ අනුව 2020 දී ඍණ 1.9ක් වන බව පවසනවා. ආසියානු සංවර්ධන බැංකුවට අදාළ මූල්‍ය ආයතනවල විශ්ලේෂණ අනුව මේ තත්ත්වය පාලනය නොවුණහොත් 2020 වසර අවසන් වනවිට ඍණ 3.3 දක්වා පහළ බසින බව ප්‍රකාශ වෙනවා. මෙයට ප්‍රධාන හේතුවක් වනුයේ අපේ ප්‍රබලම අපනයන වෙළෙඳපොළ වන යුරෝපීය සංගමයේ රටවල් සහ අමෙරිකාවේ පවතින ආර්ථික අර්බුදයයි. දැනට පවතින තත්ත්වයට වඩා අනාගතය තවදුරටත් නරක අතට පත්වෙන බවට අනාවැකි පළවෙනවා. ලෝක වෙළෙඳපොළ ආර්ථිකය ඍණ වුවහොත්, අපේ ආර්ථිකය පමණක් ධන වෙන බව කෙසේවත් පැවසිය නොහැකියි.

2011 වසරේදී අපේ ආර්ථිකය ඍණ 1.5 වීමට හේතු වූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය රාජ්‍ය නායිකාවව සිටියදී ගුවන් තොටුපොළට කොටි බෝම්බ ගැසීම නිසයි. එහෙත් අද එදාට වඩා විශාල ආර්ථික අර්බුදයකට අපට මුහුණ පාන්නට සිදුව තිබෙන බවට තර්කයක් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇත්තේ 2021 දී මුළු ලෝකය V shape ආර්ථික වර්ධනයකට පත්වන බවයි. එහි අදහස තියුණු ලෙස පහළ බැස ශීඝ්‍රයෙන් යළි ඉහළ නගින බවයි. ඒ අනුව ලබන අප්‍රේල් වනවිට චීනය 8.2%ක වර්ධනයක් හා යුරෝපා සංගමය හා අමෙරිකාව 4%කට වැඩි වර්ධනයක් පෙන්නුම් කරන බවට පුරෝකථනය කර තිබෙනවා. එහෙත් ජූනි මාසයේ පවසා ඇත්තේ යථා තත්ත්වය එයට අඩු වනු ඇති බවයි. මේ තත්ත්වයට අපට කෙසේ බලපායිද යන්න දැන්ම කියන්න බැහැ.

1870 වසරට පසුව සිදුවන ලෝකයේ බරපතළම ආර්ථික කඩාවැටීම මෙය බව ආර්ථික විශ්ලේෂකයන් පවසන අතර, 1970 සිදුවූ ලෝක ආර්ථික අවපාතයට පසු දරැණුතම ආර්ථික සංකෝචනය මේ වසරේ ඇතිවිය හැකි බව නවතම ආර්ථික විශ්ලේෂණයකින් පෙනෙනවා. ඒ අනුව අපට පැවසිය හැකි වන්නේ නව රජය හමුවේ අද ඇති දරැණුතම අභියෝගය අපේ ආර්ථික වර්ධනය ඍණ බවට වැටීමෙන් බේරාගැනීම බව කිව යුතුයි.

යසවර්ධන රුද්රුගූ