2020 අගෝස්තු 08 වන සෙනසුරාදා

අනියම් බිරියගේ වස කෝප්පයෙන් එලොව ගිය අංගොඩ ලොක්කා

 2020 අගෝස්තු 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 59

පාතාල නායකයන් කුඩු ජාවාරම්කරැවන් ඇතුළු ගෝලබාලයන් කවුරුත් දැන් පසුවන්නේ දෙගිඩියාවෙනි. විරුද්ධ කල්ලි අතර රහසේ සිදුකරන කුමන්ත්‍රණ පලිගැනීම් එක් පසෙකය. සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ නොකඩවා සිදුකරන මෙහෙයුම් තවත් අතකය. මේ තත්ත්වය තුළ රටේ පාතාල ගැටුම් හා ක්‍රියාකාරකම් තරමකට පාලනය වී තිබේ. කලකට පෙර මෙරටින් පලාගොස් ඉන්දියාවේ රැඳී සිටින පාතාල නායකයකු බව කියන අංගොඩ ලොක්කා එරටදී ඝාතනය කර ඇතැයි වූ අවිනිශ්චිත වාර්තාව සත්‍යයක් බව ආරක්ෂක අංශ තහවුරු කොට තිබේ.

අංගොඩ ලොක්කා හෙවත් ලසන්ත චමින්ද පෙරේරා නැමැති සංවිධානාත්මක අපරාධකරු ඉන්දියාවේදී ජීවිතක්ෂයට පත්වූ පුවතත් සමඟ වාර්තා වූයේ ඔහුගේ පෙම්වතියක බව කියන කාන්තාවක් ඔහුට වස වර්ගයක් පානය කිරීමට සලස්වා ඇති බවය. වැඩිදුරටත් වාර්තාවූයේ ශක්තිජනක පානයක් හෝ එවැනි බීම වර්ගයකට වස කලවම් කොට පානය කිරීමට සලස්වා මරණය සිදුකර ඇති බවය.

කළුතර එතනමඬල ප්‍රදේශයේදී බන්ධනාගාර බස්රථයකට වෙඩිතබා පාතාල නායකයකු බව කියන සමයං ඇතුළු පිරිසක් ඝාතනය කිරීමේ සිද්ධිය ඇතුළු තවත් අපරාධ රුසකට සැකකරැවකු වූ අංගොඩ ලොක්කා වෙනත් පාතාල නායකයන් මෙන්ම සුරක්ෂිතව ඩුබායි රාජ්‍යයට පලාගොස් තිබුණි. මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිසක් ඩුබායි සිටියදී සාදයක් අතරතුර කොටුවීමට මොහොතකට මත්තෙන් එතැනින් පිටවී ගොස් තිබූ අංගොඩ ලොක්කා නැවතී තිබුණේ ඉන්දියාවට පලායාමෙන් පසුවය. එසේ සිටින අතර අංගොඩ ලොක්කා චෙන්නායි පොලිසියට කොටු වී තිබුණේ නොසිතූ ලෙසය. එසේ සිටියදී ඇප ලැබී ලංකාවට පිටුවහල් කිරීමේ සූදානමක පැවති මොහොතක එතැනින් පලාගොස් ඇති අංගොඩ ලොක්කා ඉන්දියාවේ වෙනත් ප්‍රාන්තයක සැඟවී සිට ඇත.

එසේ සැඟවී සිටියද ලංකාවේ පාතාල සගයන් හා සබඳතා පැවැත්වූ අංගොඩ ලොක්කා සංවිධානාත්මක අපරාධවල නියැලී තිබිණ. අංගොඩ ලොක්කාට හිතවත්ව මෙරට රැඳී සිටි පාතාල සගයකු අංගොඩ ලොක්කාට එරෙහි වීමත් සමඟ ක්‍රියාත්මක වූ අංගොඩ ලොක්කා ඔහුව ඝාතනය කිරීමට ක්‍රියාකොට තිබේ. ඝාතනයට ලක්වූ අයගේ බිරියත් හොඳින් දන්නා අඳුනන අංගොඩ ලොක්කා අවසානයේ ඇය අනියම් බිරියක ලෙස ආශ්‍රය කිරීමට ඉන්දියාවට ගෙන්වා ගත්තේ සිය බලයේ තරමද ඇයට පෙන්වමිනි. සැමියා ඝාතනය කළ තරහා හිතේ වුවත් එය නොපෙන්වා ඉන්දියාවට ගිය එම කාන්තාව අංගොඩ ලොක්කා ඇසුරේ වාසය කොට ඇත්තේ සැකයක් නොසිතෙන පරිදිය. මේ ආකාරයට බන්ධනාගාරගතව සිටින පාතාලයන්ගේ බිරින්දෑවරු ගණනාවක් ඉන්දියාවට ගෙන්වාගෙන අනියම් බිරියන් වශයෙන් තබා ගැනීමට අංගොඩ ලොක්කා සමත්ව තිබිණ. මේ එක් බිරියක දමිළ කාන්තාවකි.

චෙන්නායි පොලිසියෙන් පලාගිය අංගොඩ ලොක්කා ව්‍යාජ හැඳුනුම් පත්‍රයක් භාවිත කරමින් ආර්. ප්‍රදීප් සිං යන බොරු නමකින් එරට රැඳී සිට ඇත්තේ දමිළ කාන්තාවක වූ අනියම් බිරියගේ හා හිතවතුන් කිහිපදෙනකුගේ උදව්වෙනි. මේ සඳහා ව්‍යාජ ලියකියවිලි සියල්ල සූදානම් කිරීමට පියවරගෙන තිබුණේ දමිළ ජාතික කාන්තාවය.

මෙසේ ව්‍යාජ නමකින් ඉන්දියාවේ රැඳී සිටි අංගොඩ ලොක්කා අනියම් බිරිය හා ජීවත් වෙමින් සිටියදී හදිසියේම සිහිමුර්ජා වී යැයි පවසා කොයිම්බතූර් වෛද්‍ය විද්‍යාලයේ රෝහලට ඇතුළත්ව ඇත. ඒ වනවිට ඔහුට හෘදයාබාධයක් වැළඳුනු බවද පවසා රෝගියා රෝහල් ගතකර තිබුණේ කාන්තාවකි. රෝගියා ඇගේ ඥාතියකු බව පවසා ප්‍රතිකාර සඳහා ඉදිරිපත් කොට ඇත. ඇයට තවත් කාන්තාවන් දෙදෙනකුගේ සහාය මේ සඳහා හිමිව ඇති අතර රෝගී පුද්ගලයාගේ රෝගය උත්සන්න වීමෙන් මියගොස් තිබිණ. පසුව මැදිහත් වූ අංගොඩ ලොක්කාගේ අනියම් බිරිය හා හිතවතියන් පිරිස දේහය රෝහලෙන් බාරගෙන තිබුණේ තවත් ව්‍යාජ ලිපිලේඛන අනුමත කොට ගනිමිනි.

මේ ආකාරයට ඝාතනයට ලක්වූ පාතාල නායක අංගොඩ ලොක්කා පිළිබඳ කතාව බුද්ධි තොරතුරු ඔස්සේ ලංකාවට ලැබී තිබුණේ දින කිහිපයකට ඉහතදීය. ඒ සම්බන්ධයෙන් ඉන්දීය පොලිසියෙන් සිදුකළ විමසීමකදී මෙරට පොලිසිය වෙත දන්වා තිබුණේ එවැනි මරණයක් පිළිබඳ සැකපිට කාන්තාවන් දෙදෙනකු හා පිරිමි අයකු අත්අඩංගුවට ගෙන ඇති බවය. වසර 3කට ආසන්න කාලයක් ඉන්දියාවේ රැඳී සිටි බව කියන අංගොඩ ලොක්කා එරට ශක්තිජනක ආහාර සපයන ව්‍යාපාරයක් සිදුකර ඇතැයිද වාර්තා වේ. මේ අතර ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාවගේ සාක්ෂි පදනම් කොටගෙන එරට ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත කොයිම්බතූර් පොලිසිය උපුටා දක්වමින් වාර්තා කර ඇත්තේ පාතාල නායක අංගොඩ ලොක්කා ඝාතනය කර ඇති බවය.
මේ සමඟ එරට නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් හා තමිල්නාඩු පුවත්පත් කිහිපයක්ද එය තහවුරු කර තිබේ. සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාවන් අතර එක් කාන්තාවක් නීතිඥවරියකි. කොයිම්බතූර් ප්‍රදේශයේදී මියගිය අංගොඩ ලොක්කාගේ සිරුර එම ප්‍රදේශයේ සිට කිලෝමීටර් 216ක් දුර පිහිටි මදුරෙයි දක්වා රැගෙන යාම සැකයකි. මේ සඳහා තමිල්නාඩුවේ පාතාල කල්ලියක සහාය ලබාගෙන ඇත්දැයි පවතින සැකය පිළිබඳ විමර්ශනයට ඉන්දීය පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ. කෙසේ වෙතත් වාර්තා වන්නේ මියගොස් ඇති පුද්ගලයා අංගොඩ ලොක්කාද යන්න සැකහැර දැනගැනීම සඳහා ඩී.එන්.ඒ. පරීක්ෂාවක් සිදුකිරීමට කටයුතු කරන බවය.

සමන්ත ප්‍රදීප් විල්තෙර