2020 අගෝස්තු 08 වන සෙනසුරාදා

මැතිසබයට පත්වූ වියපත්ම නායකයා සම්පන්දන්

 2020 අගෝස්තු 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 67

ශ්‍රී ලංකාවේ දමිළ ජාතිකවාදී දේශපාලන අරගලයේ දුෂ්කරම අවධියෙහි එම ජනතාවට නායකත්වය දුන් දේශපාලනඥයන් දෙදෙනා ලෙස අප්පාපිල්ලෙයි අමිර්තලිංගම් සහ රාජවරෝදියම් සම්පන්දන් ඉතිහාසයට එක්වෙති. හිටපු විපක්ෂ නායක සම්පන්දන් දෙමළ ජාතික සන්ධානයට (TNA) නායකත්වය දෙමින් අගෝස්තු 05 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟයට අවතීර්ණව සිටි අයෙකි. රාජවරෝදියම් සම්පන්දන් ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ ප්‍රකටව සිටින්නේ ආර් සම්පන්දන් ලෙසිනි.

සිය ජීවිතයේ නවවෙනි දශකයේ එළිපත්තේ (87) සිටින වත්මන් ශ්‍රී ලාංකික දෙමළ ජාතියේ නායකයා පනස් වසරකට ආසන්න සිය දේශපාලනයේ තවත් වැදගත් අභියෝගයකට මුහුණදී සිටින්නේ සිය වෘද්ධභාවය දේශපාලනයට බාධාවක් කර නොගනිමිනි. මොරටුව සහ කුරැණෑගල වැනි බහුතර ප්‍රජාව සිංහල වර්ගයා වන ප්‍රදේශයන්හි ද පාසල් අධ්‍යාපනය ලබා අනතුරුව ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ද පුහුණුව ලද සම්පන්දන් සිංහල භාෂාව කතාකරන දෙමළ නායකයන් කිහිපදෙනා අතරට ඇතුළත් වේ.

වෘත්තියෙන් නීතිවේදියකු වූ පසුව වෘත්තීය දේශපාලනඥයකු බවට පත් හෙතෙම සිය දේශපාලන ජීවිතය ආරම්භ කළේ ශ්‍රී ලංකාවේ දෙමළ ජාතිකවාදී ව්‍යාපාරයේ ගිනිසිළුව දැල්වූ දේශපාලන නායකයා වූ එස්.ජේ.වී. චෙල්වනායගම් විසින් ආරම්භ කරන ලද ඉලංකයි තමිල් අරසු කච්චි පක්ෂයේ (ITAK) සාමාජිකයකු බවට පත්වීමත් සමඟය.
චෙල්වනායගම් සහ ෆෙඩරල් පක්ෂය

චෙල්වනායගම් ෆෙඩරල් පක්ෂය ආරම්භ කරන ලද්දේ ජී.ජී. පොන්නම්බලම්ගේ සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසයෙන් ඉවත් වෙමිනි. පොන්නම්බලම් 1947 දී ඩී.එස්. සේනානායක ආණ්ඩුවට එක්වෙමින් ඇමති පදවියක් භාරගැනීමට එරෙහිවූ චෙල්වනායගම්, සී. වන්නියසිංහම් සහ ඊ.එම්. නාගනාදන් වැනි එවක ප්‍රබල දේශපාලන නායකයන් කිහිප දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් ෆෙඩරල් පක්ෂය ආරම්හ කරන ලද්දේ විකල්ප දමිළ දේශපාලන පක්ෂයක් වශයෙනි.
ආර්. සම්පන්දන් ITAK පක්ෂයෙන් දේශපාලනය ආරම්භ කළේ චෙල්වනායගම්ගේ නායකත්වයෙන් යුත් එම පක්ෂය ලංකාවට ෆෙඩරල් ආණ්ඩු ක්‍රමයක් යෝජනා කරන ලද සමාජ - දේශපාලන පරිසරයක් තුළය. එම අවධියේ උතුරු-නැගෙනහිර ලාංකික දමිළ ප්‍රජාව නියෝජනය කරන ලද ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වූයේ චෙල්වනායගම්ගේ ෆෙඩරල් පක්ෂය සහ ජී.ජී. පොන්නම්බලම් ගේ සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසයයි.

1947 දී සෝල්බරි ප්‍රතිසංස්කරණය මගින් ප්‍රතිෂ්ඨාපනය කරන ලද පාර්ලිමේන්තුව සඳහා පැවැත්වුණු පළමු මහමැතිවරණයෙන් අනතුරුව පොන්නම්බලම් එක්සත් ජාතික පක්ෂය සමඟ හවුල්ව ආණ්ඩුවේ ඇමති පදවියක් භාරගනු ලැබීමත් සමඟ ජාතිකවාදී දේශපාලනයේ සුළඟ චෙල්වනායගම්ගේ වාසියට හැරුණු අතර අප්පාපිල්ලෙයි අමිර්තලිංගම් සහ ආර්. සම්පන්දන් වැනි තරුණයන් ආකර්ෂණය වූයේ ෆෙඩරල් පක්ෂයේ දේශපාලනය කෙරෙහිය. 

සම්පන්දන් 1956 දී චෙල්වනායගම්ගේ නායකත්වය පිළිගනිමින් ITAK සාමාජිකත්වය ලබා ගත්තේය. අමිර්තලිංගම් ෆෙඩරල් පක්ෂයේ තරැණ සංවිධානයේ නායකයා වූ අතර සම්පන්දන් එහි ප්‍රබල ක්‍රියාකාරිකයකු බවට පත්විය.
1956 බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම අගමැති බණ්ඩාරනායක විසින් ඉරාදමනු ලැබීමෙන් අනතුරුව ෆෙඩරල් පක්ෂය විසින් ක්‍රියාවට නංවන ලද සත්‍යග්‍රහ ඇතුළු එම අවධියේ සියලු දමිළ ජාතිකවාදී විරෝධතා ව්‍යාපාරවලට සක්‍රීය මට්ටමින් මැදිහත්වීම මගින් ආර්. සම්පන්දන් ක්‍රියාකාරී දේශපාලකයකු බවට පත්කරනු ලැබිණි. මෙයින් හරියටම වසර පනහකට පෙර 1970 මහමැතිවරණයේ දී සම්පන්දන් ITAK පක්ෂයෙන් ත්‍රිකුණාමලය ආසනයට තරඟ කළත් ඔහුට ජයග්‍රහණය අහිමි විය.
ඉලංකයි තමිල් අරසු කච්චි, සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසය සහ ලංකා කම්කරු කොංග්‍රසය සන්ධානගත වීමෙන් 1972දී දෙමළ එක්සත් පෙරමුණ (TUF) පිහිටුවනු ලැබිණි. එය ශ්‍රී ලංකාවේ වතුකරයේ ඉන්දීය සම්භවයක් සහිත දමිළ ප්‍රජාවත් ඇතුළත් කර ගනිමින් සමස්ත දේශීය දමිළ ජනයා නියෝජනය කරන ප්‍රබල පක්ෂ දේශපාලනමය වශයෙන් සන්ධානගත වූ පළමු පුළුල් අවස්ථාව විණි. ආර්. සම්පන්දන්ද එම ව්‍යාපාරය තුළ ප්‍රධාන කොටස්කරුවකු විය.

1976 වඩුක්කොඩෙයි ඓතිහාසික සමුළුව මගින් දෙමළ එක්සත් පෙරමුණ (TUF) යළි දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ (TULF) යනුවෙන් නම් කරනු ලැබිණි. ඉන් අනතුරුව පැවැත්වුණු 1977 මහ මැතිවරණයේ දී කල්කුඩා ආසනය හැර උතුරු - නැගෙනහිර බහුතර පාර්ලිමේන්තු නියෝජන බලයක් දිනාගත් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ (TULF) පාර්ලිමේන්තුවේ දෙවැනි බලවත් තනි දේශපාලන පක්ෂය බවට පත්විය.
දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ (TULF) පළමු නායකයා වූ අප්පාපිල්ලෙයි අමිර්තලිංගම් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පළමු දමිළ විපක්ෂ නායකයා ලෙස ඉතිහාසයට එක්විය. 1977 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසි දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් දහසය දෙනා අතර සම්පන්දන් ද විය. එය ශ්‍රී ලංකාවේ දමිළ දේශපාලනයේ නව කඩඉමක ආරම්භය විය.
සම්පන්දන් යළිත් පාර්ලිමේන්තු සටනට

1977න් වසර දොළහකට පසු කැඳවූ 1989 පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන ලද නමුත් පාර්ලිමේන්තු ආසනයක් දිනාගැනීමට හේ අසමත් විය. 1994 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ද ඔහුට ජයගත නොහැකි වූ නමුත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මන්ත්‍රී ඒ තංගතුරෙයි ඝාතනය කරනු ලැබීමෙන් ඇතිවූ පුරප්පාඩුව සම්පූර්ණ කරමින් පාර්ලිමේන්තුවට පිවිසීමට ඔහුට අවස්ථාව ලැබිණි.

එහෙත් 2000 ඔක්තෝබර් මහමැතිවරණයෙන් ඔහුට යළිත් පාර්ලිමේන්තුව අහිමිවිය. සම්පන්දන්ගේ ඊළඟ පාර්ලිමේන්තු ජීවිතය ආරම්භ වන්නේ 2004 මැතිවරණ ජයග්‍රහණයත් සමඟය. ඉන්පසු පැවැත්වුණු 2005, 2010 සහ 2015 මහමැතිවරණවලදී ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසීමට හෙතෙම සමත්විය.
දෙමළ ජාතික සන්ධානයේ උපත

ආර් සම්පන්දන් නායකත්වය දෙන දෙමළ ජාතික සන්ධානය (TNA) බිහිවීම ශ්‍රී ලංකාවේ දමිළ ජාතික දේශපාලනයේ තවත් කඩඉමකි. TNA ගොඩනගන ලද්දේ මධ්‍යස්ථ මතධාරී දේශපාලන නායකයන්ගේ පක්ෂය වූ ITAK සාමාජිකයන් ඇතුළත් TULF සහ සන්නද්ධ සටන් මාවතින් බැහැරව දේශපාලනයේ නිරතවෙමින් සිටින EPRLF, PLOTE සහ TELO යන සංවිධාන ඒකාබද්ධ වීමෙනි. 2001 පාර්ලිමේන්තු මැතිවරණයට TNA සන්ධානයේ අපේක්ෂකයන් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නමින් සහ එහි ලාංඡනය වන උදාහිරු ලකුණින් තරග කරමින් කළේය.

එහෙත් TNA විසින් කෙමෙන් LTTE සන්නද්ධ අරගලය දෙස සහයෝගාත්මක ආකල්පයක් දැක්වීමත් සමඟ TULF සභාපති වී ආනන්දසංගරී ඇතුළු කණ්ඩායමක් සන්ධානයෙන් ඉවත්ව ගිය අතර 2004 මහමැතිවරණය සඳහා TULF නමින් තරඟ කිරීමේ අවස්ථාව දෙමළ ජාතික සන්ධානයට අහිමි විය. ඒ අනුව සම්පන්දන් ඇතුළු TNA අපේක්ෂකයන්ට නැවත ITAK පක්ෂ ලාංඡනය වූ ගෙය ලකුණින් තරග කිරීමට සිදුවූ අතර පාර්ලිමේන්තු ආසන 22ක් දිනාගැනීමට ඔවුහු සමත් වූහ. ඉන් අනතුරුව ආර්. සම්පන්දන්ගේ නායකත්වය යටතේ 2004 මැතිවරණයේදී පාර්ලිමේන්තු ආසන 22 ක් ද,2010 සහ 2015 මැතිවරණවලදී පිළිවෙළින් ආසන14 ක් සහ 16 බැගින් ද දිනාගැනීමට TNA සමත්විය.
දෙවෙනි දමිළ විපක්ෂ නායකයා

1977 දී අප්පාපිල්ලෙයි අමිර්තලිංගම් විපක්ෂ නායක පදවියට පත්වීමෙන් වසර තිස් අටකට පසු ශ්‍රී ලංකාවේ දෙවෙනි දමිළ විපක්ෂ නායකයා ලෙස ආර්. සම්පන්දන් පාර්ලිමේන්තු ඉතිහාසයට එක්විය.
2015 මහමැතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණ (UNF) ළඟට වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගත් පොදුජන එක්සත් පෙරමුණ (UNFA) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දෙවැනි වැඩිම මන්ත්‍රී ධූර සංඛ්‍යාව හිමි දේශපාලන පක්ෂය වුවද, එහි කොටසක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අභිනව පාලනය සමඟ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට එක්වීමත් සමඟ ඊළඟට වැඩිම පාර්ලිමේන්තු කණ්ඩායම නියෝජනය කරන ලද දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන්ට විපක්ෂ නායක පදවිය හිමිවිය.
2015 පාර්ලිමේන්තුව තුළ ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනීසිටි පොදුජන එක්සත් පෙරමුණට (UNFA) අයත් මන්ත්‍රී කණ්ඩායම ආර්. සම්පන්දන්ගේ විපක්ෂනායකත්වයට අභියෝග කරමින් ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට පවා උත්සාහ දරන ලද නමුත් කතානායකවරයා විසින් සම්පන්දන් විපක්ෂ නායකයා ලෙස පිළිගනිමින් එම පදවිය තහවුරැ කරනු ලැබිණි.

චෙල්වනායගම් යුගයේදී සාමකාමී රැස්වීම්, උද්ඝෝෂණ සහ සත්‍යග්‍රහ ආදියට සීමාවූ එම දමිළ ජාතිකවාදී ව්‍යාපාරය පසුව තිස් අවුරුදු යුද්ධයකින් නිමවූ අතර උතුරු නැගෙනහිර ප්‍රදේශ සඳහා ස්වයංපාලන බලතල ඉල්ලා ගෙනයන සාමකාමී අරගලයට ආර්. සම්පන්දන් මෙම යුගයේ නායකත්වය සපයයි.

එක රටක් තුළ බලය බෙදාහරින ලෙස ඉල්ලා සිටින මෙම දමිළ දේශපාලන නායකයා ශ්‍රී ලංකාවේ ජාතික ධජය එසවීමට හවුල්වෙන, ජාතික ගීයට හිස නමන සහජීවන දේශපාලන අරගලයක නිරතවෙමින් සිටී. ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුවට දේශපාලන විසඳුමක් සොයාගත හැක්කේ සන්නද්ධ ක්‍රියා මගින් නොව සාමකාමී සාකච්ඡා මගින්ය යන්න ඔහුගේ පිළිගැනීම වේ.

බී.බී.සී. සිංහල වෙබ් අඩවිය ඇසුරිණි

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00