2020 අගෝස්තු 01 වන සෙනසුරාදා

භීෂණයේ නිලනොලත් ඝාතකයා

 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 179

83 ජූලි කලබලයත් සමඟ රටපුරා ගැටුම් උග්‍රවිය. සිංහලයන් දකුණේදී දෙමළ ජනයාටත් ත්‍රස්තවාදීහු උතුරේදී සිංහලයාටත් පහර දෙන්නට වූහ. 83න් පසුවත් විවිධ අවස්ථාවල රටපුරාත් හුදෙකලා සිදුවීම් අනන්ත අප්‍රමාණ විණි. කෙසේ වෙතත් මේ අතර කාලයේ හමුදා සෙබළෙක් විසින් දෙමළ පොලිස් නිලධාරියකු ඝාතනය කරනු ලැබීය. ඒ ඝාතනය නිසා එම හමුදා සෙබළා පොලිස් අත්අඩංගුවට ගත් අතර පසුව අධිකරණය මගින් ඔහුව රිමාන්ඩ් කෙරිණි. ඒ යාපනේ බන්ධනාගාරයටය.

යාපනය බන්ධනාගාරය මේ සෙබළාට සුවපහසු ස්ථානයක් වූයේ නැත. ඒ දෙමළ රැඳවියන් නිසාය. තම ජාතිකයකු ඝාතනය කිරීම හේතුවෙන් දෙමළ රැඳවියෝ මේ සිංහල සෙබළාට අමානුෂික ලෙස පහර දුන්හ. ඒ ඒ වනවිටත් රටේ තිබූ දේශපාලන තත්ත්වය නිසාය. මේ නිසාම අධිකරණය විසින් තීන්දු කළේ මේ යුද හමුදා සෙබළාගේ ආරක්ෂාව වෙනුවෙන් ඔහුව බදුල්ල බන්ධනාගාරය වෙත මාරැකර යැවීමටය. ඒ අනුව ඒ හමුදා නිලධාරියා බදුල්ලේ බන්ධනාගාරය වෙත මාරැ කරනු ලැබීය. ඔහු නමින් හෙට්ටිය.

අමානුෂික ලෙස පහරකෑමට ලක්ව සිටි හෙට්ටිට බදුල්ල බන්ධනාගාරයේදී අපුරැ මිනිසෙක් හමුවිය. ජීවිතේට නොදැක්කත් ඔහු සම්බන්ධයෙන් තොරතුරු අසා තිබුණි. ඔහු නම 71 කැරුල්ලත් සමඟ කේන්ද්‍ර වී තිබුණු අයෙක් විය. ශ්‍රී ලංකා දේශපාලනයේ අලුත් රැල්ලක් නිර්මාණය කළ කෙනෙක් විය. ඒ වෙනින් කවුරුත් නොව ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරය. රෝහණ විජේවීර ඒ වනවිට රඳවා සිටියේ බදුල්ල බන්ධනාගාරයේය. මේ නිසා වේදනාවෙන් සිටි හෙට්ටිට වේදනාව මැකෙන්න බෙහෙතක් ලෙස හිත සුවකරන මානුෂීය දේශපාලන ක්‍රමයක් විජේවීර ඔහුට කියා දුන්නේය. ඒ දේශපාලන කියවීමෙන් හෙට්ටි විශ්මිත විය. සැබවින්ම එය වර්තමාන වචනයෙන් විජේවීර, හෙට්ටිට තෙල බෙදීමකි.

එකී තෙලෙන් වෙනම ලෝකයක හිටි හෙට්ටි ක්‍රමයෙන් ජවිපෙ සාමාජිකයෙක් විය. විශේෂයෙන් ක්‍රියාකාරී අයෙක් විය. ඔහු බන්ධනාගාරය පුරා එම දේශපාලන මතය වපුරන්නට විය. කෙසේ වෙතත් විජේවීර ජනපති සමාවෙන් බන්ධනාගාරයෙන් එළියට ගියේය. එහෙත් හෙට්ටි තවමත් බන්ධනාගාරයේය. හෙට්ටි ගැන බලන්නට ජවිපෙ සාමාජිකයෝ නිතර බන්ධනාගාරයට ආව ගියහ.

මේ අතර දිනක් බදුල්ල බන්ධනාගාරයට කොළඹ තැනැත්තෙක් ආවේය. ඔහු කිසිම අයකු කියන දේ නාහන, සැකයටත් මිනීමරණ, බන්ධනාගාරයෙන් පවා පැන ගිය අයෙකි. ඒ නිසාම වැඩි ආරක්ෂාවට ඔහුව බදුල්ලට එවා තිබුණි. ඒ වෙනින් කවුරුත් නොව කොළඹ පාතාලයේ නමක් දිනා සිටි නොයෙල් අමරසිංහය. කිසිදු හව්හරණක් නැති නොයෙල් බදුල්ල බන්ධනාගාරයේ තනි වනවිට, ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට හෙට්ටි මැදිහත් විය. ඒ වනවිටත් සහෝදරත්වය, සමානාත්මතාව, දරිද්‍රතාව, ධනවාදී දේශපාලන න්‍යායයන් ගැන ඉගෙන ගෙන සිටි හෙට්ටි නොයෙල් වැනි මිනිසුන් දැක්කේ අසරණයන් මෙනි. එහෙත් නොයෙල්ට හෙට්ටි තමා ජවිපෙ හෙවත් චේගුවේරාකාරයකු යැයි කීවේ නැත.

නොයෙල් සමඟ මිතුරැ හෙට්ටි එක බත්පත බෙදාගෙන කෑමට පුරුදු විය. නොයෙල්ගේ විසිට් එකට කෑම කඳු පිටින් ලැබුණු අතර හෙට්ටිටද ඉන් අඩක් දීමට තරම් නොයෙල් සහ හෙට්ටි අතර මිතුදම උග්‍ර වී තිබුණි. මේ අතර නොයෙල් කොළඹ පාතාලය ගැන නොයෙක් කතා කියන්නට විය. ඒ හැම කතාවකම නොයෙල් වියරැවෙන් සිටි අයකු ගැන නිතරම කීවේය. ඒ ගෝනවල සුනිල් ගැනය. එනම් නොයෙල්ව මෙලෙස පාවා දුන්නේ සුනිල් බව නොයෙල් නිතර සැක කළේය. ඒ නොයෙල්ගේ හැටිය. එහෙත් ඇත්තටම ගෝනවල සුනිල් ඊට සම්බන්ධයක් තිබුණේ නැත. නමුත් නොයෙල් තම අනවශ්‍ය සැකය නිසා නිතරම කීවේ එළියට ආ සැණින් ගෝනවල සුනිල් ඝාතනය කරන බවය.

කාලය කෙමෙන් ගතවිය. හෙට්ටි අධිකරණයෙන් ඇප ලබා එළියට ගියේය. ඊටපසු කලෙක නොයෙල්ද ඇප ලබා එළියට ගියේය. දෙදෙනා සම්බන්ධයෙන් කිසිම තොරතුරක් තිබුණේ නැත. දෙදෙනා හමුවුණේද නැත. නොයෙල් නැවතත් සුපුරැදු මංකොල්ලකෑම්, ඝාතනය කිරීම්වල නිරත වෙමින් සිටියේය.

දිනක් නොයෙල්ව හොයාගෙන කොළඹ නොයෙල්ගේ නිවසට අමුත්තෙක් ආවේය. දුර තියාම හැඳිනගත් දෙදෙනා බදා වැළඳගනිමින් අතීත මිත්‍ර බැඳියාව සිහි කළහ. ඒ වෙනින් කවුරැත් නොව හෙට්ටිය. හෙට්ටි ආ හේතුව ඇත්තටම නොයෙල් නොදැන සිටියත් හෙට්ටි පැමිණියේ මිත්‍රකම හේතුවෙන් බව නොයෙල් සිතුවේය. ඒ අනුව බන්ධනාගාරයෙන් මෙපිට මිතුදම එදා සිට යළි නොයෙල් සහ හෙට්ටි සමඟ ඇති විය. 

මේ අතර කොළඹ සොත්ති උපාලි මෙන්ම, කැලණියේ ගෝනවල සුනිල්ද සමාජයේ කතාබහට ලක්වෙමින් සිටියහ. ඒ උපාලිටත් පෙර සිටමය. එනම් ස්ත්‍රී දූෂණයකට වරදකරු වී සිරගතව සිටි සුනිල්ට ජනපති සමාව දීමත් පසුව සාමදාන විනිසුරු පදවියක් ලබාදීමත් නිසාය. ඒ නිසා සුනිල් අපේ වහරෙන් කියනවා නම් බොක්කෙන්ම පැවති රජයට උදව් උපකාර කළේය. කොටින්ම සුනිල් කිසිදු ජවිපෙ ක්‍රියාවක් කැලණියේ සිදුවීමට ඉඩදුන්නේ නැත. සුනිල්ගේ කණ්ඩායමට අහුවුණොත් එදාට හොඳ හැටි බඩකටපුරා කෑමට සිදුවිය. මේ නිසාම සුනිල් ජවිපෙට හිසරදයක් විය.

මේ අතර ජවිපෙ විසින් දොම්පේ ප්‍රදේශයේ රුස්වීමක් සූදානම් කර තිබුණි. ඒ රෝහණ විජේවීරගේ ප්‍රධානත්වයෙනි. එහෙත් විජේවීරට එම රුස්වීම කරගෙන යාමට එවකට ආණ්ඩුවේ චක්ගෝලයකු වූ ගෝනවල සුනිල් ඉඩ තැබුවේ නැත. සුනිල් ඇතුළු පිරිස විජේවීරගේ වේදිකාවට ගල් ගැසූහ. එපමණක් නොව කොළපාට තීන්ත ප්‍රහාරද එල්ල කළහ. වේදිකාවේ සිටි සමහරු තීන්තවලින් නැහැවී ගියහ. සම්පූර්ණයෙන්ම එදින රුස්වීම කඩාකප්පල් කළේ සුනිල් ඇතුළු කණ්ඩායම විසිනි. මේ නිසා ජවිපෙට සුනිල් නම් පාතාලයා හිසරදයක් විය.

ඒ පමණක් නොව සුනිල් විසින් කැලණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් දැඩි මර්දනයක යොදවන ලදී. විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ට සුනිල්ගේ ගෝලයෝ පහර දුන්හ. විශේෂයෙන් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් බටලන්ද වදකාගාරයට රුගෙන ගියේ සුනිල් බවට තොරතුරැ ආවේය. එපමණක් නොව සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නළ සිදුරුකර තෙල් ඇද්දේ සුනිල් බව කියැවිණි. කෙසේ වෙතත් සුනිල් හිරේ යැවූ වෛද්‍ය පෝල්ගේ දියණිය දූෂණය කිරීමේ චෝදනාව සැබවින්ම සුනිල්ට එරෙහිව ගෙතූ කතාවක් බව ඔහුගේ විරැද්ධවාදීහුද කියති. සුනිල්ගේ පෙනුමත්, කඩවසම් බවත් නිසා සුනිල්ට ඇති තරම් කාන්තාවන් ආකර්ෂණය වූ අතර එහිදී ඇති කරගත් ප්‍රේම සම්බන්ධයකින් පසුව උප පොලිස් පරික්ෂකවරයකුගේ මැදිහත් වීමක් හේතුවෙන් එකී චෝදනාව එල්ලවූ බව ප්‍රසිද්ධ රහසකි. කෙසේ වෙතත් එවකට ජනාධිපතිවරයා ඒ මොහොතේ සුනිල්ට නිදහස ලබාදීම ඒ සියල්ල යටපත් කරමින් උඩට ආවේය.

මේ හැමදේටම වඩා සුනිල් ගැන වෛරය ජවිපෙට ආවේ විජේවීරගේ රැස්වීමට සිදුකළ පහරදීම නිසාය. ඒ නිසාම සුනිල්ගේ ප්‍රශ්නය විසඳීම බදුල්ලේ හෙට්ටි විසින් බාරගනු ලැබීය. හෙට්ටි ඒ සඳහා යොදාගත්තේ සුනිල් සමඟ වෛරයෙන් සිටින නොයෙල් අමරසිංහය. හෙට්ටි පැමිණ නොයෙල්ගෙන් විමසුවේ සුනිල්ගේ පාවාදීමේ වාඩුව ගත්තාදැයි කියාය. 

එහෙත් එය සිදුනොවූ බවත් අවශ්‍ය ආයුධ තමන් සන්තකයේ නැති බවත් නොයෙල් දැනුම් දුන්නේය.

හෙට්ටි ඒ අඩුපාඩුව පිරවීමට කැමති විය. නොයෙල්ට ආයුධ ලබාදීමට එකඟ විණි. එසේම තවත් අඩුපාඩුවක් තිබුණේය. ඒ යතුරැ පැදියක්ය. ඒ සඳහා නොයෙල් හමුවීමට ගියේ එවකට පාතාලයේ ඉහළම සිටි එරික්ගේ සොහොයුරා වූ පාතාලයේ නමක් දිනා සිටි නාවල නිහාල්ය. පසුකලෙක ගෝඩ් ෆාදර් ලෙස හැඳින්වූයේ ඔහුය. නොයෙල් එලෙස ගියේ නිහාල්ට මුදල් තිබූ නිසාය. ඒ වගේම නිහාල්ටද සුනිල් සමඟ ගැටුමක් තිබූ නිසාය. ඒ නිහාල්ගේ ගෝලයෙකු වූ කිරිබත්ගොඩ අයකු ඝාතනය කිරීමේ සිද්ධියක් නිසාය. මේ නිසා නිහාල් එම ඝාතනයට සැක කළේ සුනිල්වය. එහෙත් සුනිල් විසින් සිදුකළ ඝාතනයක් නොවීය.

නොයෙල් තමන් පැමිණි කාරණාවත්, තමන්ගේ අරමුණත් නිහාල්ට කීවේය. නිහාල් නොයෙල්ට රුපියල් 7500 ක් ගෙවා ට්‍රේල් බයික් එකක් මිලදී ගෙන දුන්නේය. ඒ සුනිල්ට වෙඩිතැබීම සඳහාය. ඒ අනුව 1987 වර්ෂයේ එක්තරා දිනෙක සුනිල්ගේ නිවසට පැන නොයෙලුත්, හෙට්ටිත් එකදිගට ටී 56 ගිනි අවිවලින් වෙඩිතබා සුනිල්වත් ඔහුගේ බිරිඳවත් ඝාතනය කළහ. එම ප්‍රහාරය එවකට ආණ්ඩුවට ජවිපෙ විසින් එල්ලකළ බරපතළ ප්‍රහාරයක් වූ අතර එවකට නායකයන් පවා එයින් ගැස්සී ගියෝය. එයට හේතුවූයේ සුනිල් ආණ්ඩුවේ දකුණු අත මෙන් සිටි නිසාය. මේ ප්‍රහාරය ආණ්ඩුවට දුන් ප්‍රබල පණිවිඩයක් බව ආණ්ඩුවේ නායකයෝ වටහා ගත්හ.

ඒත් සමඟ 88 කලබලය උග්‍ර විය. සැබවින්ම ජවිපෙ සහ ආණ්ඩුව අතර 88/89 ගැටුම ආරම්භවූයේ සුනිල්ගේ ඝාතනයත් සමඟ බව බොහෝ දෙනා කියති. කෙසේ වෙතත් සොත්ති උපාලිටත් පෙර සිටම ආණ්ඩුව සමඟ ගනුදෙනු කළ සුනිල් ආණ්ඩුවේ කීමට නිතර හැප්පුණේ ජවිපෙ සමඟය. ඊටපසුව ආණ්ඩුවේ කීමට ජවිපෙ සමඟ හැප්පුණේ උපාලිය. එහෙත් උපාලි ජවිපෙ ඉලක්කයෙන් බේරුණේය. ඒ ඔහු වටා තිබූ දැඩි ආරක්ෂාව නිසාය.

කෙසේ වෙතත් සුනිල්ගේ ඝාතනය හෙට්ටි සහ නොයෙල් එක්ව සිදුකළත් ඒ ප්‍රහාරය පොදුවේ වැටුණේ ජවිපෙ ප්‍රහාරයක් ලෙසය. රටපුරාම පැතිරැණේ ජවිපෙ විසින් සුනිල් ඝාතනය කළ බවය. එපමණක් නොව ජවිපෙද එය පිළිගත්තේය. මේ හරහා සමාජවාදය ගැන මෙළෝ හසරක් නොදැන සිටි නොයෙල් සමාජවාදය වෙනුවෙන් අවි එසවූ වීරයෙක් බවට පත්විය. ඒ නිසා නොයෙල්ට විරැද්ධ පිරිස් නොයෙල්ව චේගුවේරාකාරයකු ලෙස හැඳින්වීමට පටන් ගත්හ. එහෙත් කොටියාගොඩ නිහාල් හෙවත් නිහාල් අමරසිංහත්, මාදින්නාගොඩ අනිලුත්, සොත්ති උපාලිත් නොයෙල් පසුපස හඹාඑමින් සිටියහ.

මේ අතර එක්තරා ඝාතන සිද්ධියකට නොයෙල්ට යළිත් සිරබත් කන්නට සිදුවිය. එම සිරගතවීම කොටියාගොඩ නිමල් සහ මාදින්නාගොඩ අනිල් ප්‍රයෝජන ගැනීමට උත්සාහ කළෝය. ඒ අනුව අනිල් සහ නිහාල් එක්ව වැලිකඩ බන්ධනාගාරයේ ජේලර්වරයකු හරහා ගිනි අවියක් ඇතුළට යැවීමට උත්සාහ ගත්හ. එහෙත් එය අවසානයේ කොටුවුණ අතර එදා නොයෙල්ගේ ජීවිතය රුකුණේ අනූනවයෙනි. කෙසේ වුවද එය පාතාලය පුරාම නොයෙල් ඝාතනයට නිහාල් අමරසිංහලා සුදානම් වන බවට නිකුත් වූ සංඥාවක් විය. මේ නිසා නොයෙල්ගේ හිතමිතුරෝ නොයෙල්ට කීපවතාවක් අනතුරැ ඇඟවූහ. එහෙත් නොයෙල් ඒ කිසිවක් ගණන් ගත්තේ නැත. නොයෙල් සිතුවේම තමන්ට පූසකු මෙන් පණ හතක් ඇති බවය. ඒ නොයෙල් ඝාතන සැලසුම් කීපයකින් බේරැණු නිසාය. එහෙත් නොයෙල් පසුපස මාරයා කෙමෙන් කෙමෙන් ළඟාවෙමින් සිටියේ ඔහුට හොරෙනි.

මේ අතර ලාංකේය දේශපාලනය උඩියටිකුරැ කරමින් දේශපාලන චරිතයක් උඩට එමින් සිටියේය. ඔහු වාමාංශික දේශපාලනය කරපින්නා ගත් මානවවාදී මිනිසෙක් විය. ඔහුව රටේ මිනිසුන් දැන සිටියේ දේශපාලනඥයකුට වඩා නළුවකු ලෙසය. ඔහු නමින් ජනප්‍රිය නළු විජය කුමාරණතුංග විය. විජයගේ දේශපාලන ප්‍රවාහය හැමදෙයකටම වඩා නැවුම් විය. ඔහුට හතුරෝ පවා ආදරය කළහ. ජනතාව ඔහුට ගෞරව කළා සේම ඔහුද ඒ ආකාරයෙන්ම ජනතාවට ගෞරව කළේය. ඒ නිසාම ඔහුට සුවහසක් ජනයා ආදරය කළේ ඒ මානවවාදී ගතිගුණයටය.

කෙසේ වෙතත් මේ සියල්ල ජවිපෙ බලාගෙන සිටියේය. විජය උතුරු නැගෙනහිර ප්‍රශ්නයට මැදිහත්වීමේ තැන සිටම ජවිපෙ ඉවසීමෙන් සිටියේය. එහෙත් ජවිපෙ විජය සමඟ ගැටෙන්නට වූයේ ජවිපෙ විරෝධී රදළ පවුලකින් විජය කසාදයක් කරගත් නිසාය. ඒ චන්ද්‍රිකා බණ්ඩාරනායකය. ඇයගේ විවාහයෙන් පසුව ජවිපෙ විසින් විජයට කීපවතාවක් නිල නොනිල අයුරින් දන්වා සිටියේ දැන් වමේ දේශපාලනයෙන් සමුගන්නා ලෙසටය.

වාමවාදී දේශපාලනයක නිරතවෙමින් මෙරට රදළ දේශපාලන පවුලක් සේම රටේ ප්‍රධාන දේශපාලන පවුලකින් කසාදයක් කරගැනීම හරහා තවත් වමට නායකත්වයක් දීමේ සුදුසුකම් විජය විසින් බිඳහෙලා ඇති බව ජවිපෙ මතය විය. ඒ නිසාම ජවිපෙ දිගින් දිගටම පැවසුවේ විජය දක්ෂිණාංශික දේශපාලනය කළත් තවදුරටත් වාමාංශික දේශපාලනය කිරීම අත්හරින ලෙසය. විජය ඒ සියල්ල අසා සිනාසුණා මිස ගණන් ගත්තේ නැත. උත්තර දෙන්න ගියේ නැත. ඔහු විශ්වාස කළේ තමා ඝාතනය කිරීමට තරම් කිසිවකුට උවමනාවක් නැති බවය. එහෙත් ඝාතනය සැලසුම් වෙමින් තිබිණි.

 ගයාන් ගාල්ලගේ
(විජය ඝාතනය වෙන ගිණුමකට බැරවෙයි)

 2020 ජුලි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුලි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුලි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුලි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුලි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00