2020 අගෝස්තු 01 වන සෙනසුරාදා

පාතාලෙට වැඩකළ මුහුදු උකුස්සා

 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 53

සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දන මෙහෙයුම් ආරක්ෂක අමාත්‍යංශ අධීක්ෂණය යටතේ නිතිපතා සිදුකෙරෙයි. තැන තැන සැඟවෙන කට්ටි පනින පාතාල සගයන් වරින්වර කොටුවෙද්දී පාතාල නායකයන් සහ ගෝලබාලයෝ දෙගිඩියාවෙන් පසුවෙති. මේ පසුබිමේ ඉන්දියාවේදී ඝාතනයට ලක්වූ බවට අවිනිශ්චිත රාවයක් පැතිරුණු පාතාල නායක මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා හෙවත් අංගොඩ ලොක්කාගේ කුඩු ජාවාරමට යොදාගත් උකුස්සකු මීගොඩ ප්‍රදේශයේදී කොටුකර ගැනුණේ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය මගිනි.

සංවිධානාත්මක අපරාධ කල්ලිවලට එරෙහි මෙහෙයුම් අතරතුරදී පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකි. මීට මාසයකට පමණ ඉහතදී කළ මෙහෙයුමේදී අත්අඩංගුවට ගැනුණේ අංගොඩ ලොක්කාගේ හිතවතෙකි. ඔහු නාවලමුල්ල ගයාන් නැමැත්තෙකි. මොහු මීගොඩ අවට ප්‍රදේශයේ ජනතාව බියවද්දා කොල්ලකෑම් හා සොරකම්වල සහ සංවිධානාත්මක අපරාධවල නිරත වූවෙකි. පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට කොටු වූ ගයාන් උජිත නානායක්කාර නැමැත්තා සිය නිවෙසේ සඟවා තිබූ නිදහස් රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් ඊට අයත් උණ්ඩ 2ක් හිස් කොපු 1ක් සහ කඩු දෙකක්ද සමග අත්අඩංගුවට ගෙන මීගොඩ පොලිසිය වෙත බාර කෙරුණේ වැඩිදුර විමර්ශන සඳහාය.
බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය වෙත “පාතාල උකුස්සකු” පිළිබඳ තොරතුරක් ලැබී තිබුණේ මීට දින තුන හතරකට ඉහතදීය. වහාම සූදානම් වූ නිලධාරීහු අතුරැගිරිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සමග වැටලීමට සූදානම් වූහ. අංගොඩ ලොක්කාගේ හිතවතකු වන මාසයකට පමණ ඉහතදී අත්අඩංගුවට ගත් නාවලමුල්ල ගයාන් රැකබලාගත් අංගොඩ ලොක්කාගේ උකුස්සකු සිටින බවත් ඌ කුඩු ජාවාරම සඳහා පුරුදු පුහුණු කළ සතකු බවටත් තොරතුරු ලැබී තිබිණ. රහසිගත තොරතුරු ඔස්සේ ක්‍රියාත්මක නිලධාරීහු මීගොඩ, නාවලමුල්ල ප්‍රදේශයේ සත්ව ගොවිපළක් වැටලීමට ක්‍රියාකළහ. පිටස්තර අය ඇතුල්වීම තහනම් යැයි සඳහන් පුවරැවක් ගොවිපළ පිවිසුමේ සඳහන්ව තිබුණද මෙහෙයුමේ නිරත නිලධාරීන් එහි ළඟාවූයේ කාටත් නොදැනෙන්නටය.

සුනඛයන් රැසකගේ බිරුම් හඬ මැද ගොවිපළට ඇතුල් වූ පිරිසට අවබෝධ වී තිබුණේ මෙතරම් සුනඛයන් ගොවිපළ පරිශ්‍රයේ රඳවා ඇත්තේ පිටස්තර පුද්ගලයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට බවය. ලැබුණු තොරතුරැ ආශ්‍රයෙන් සිදුකළ පරීක්ෂාවේදී ඌරන්, කුකුළන්, වටු කුරුල්ලන් මසට අලෙවි කරන ගොවිපළ පරිශ්‍රයේ තැනක වූ විශේෂ කූඩුවකි. එහි රඳවා සිට ඇත්තේ තරමක විශාල උකුස්සෙකි. ඒ සමඟ ගොවිපළ පරිශ්‍රයේ රැඳී සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තේ වායු රයිෆලයක් සහ උණ්ඩ දහයක් සමඟය. එම සැකකරුවන් වූයේ ගොවිපළේ හිමිකරු හා තවත් පුද්ගලයෙකි. ලද තොරතුරු අනුව වාර්තා වී තිබුණේ මාසයකට ඉහතදී අත්අඩංගුවට ගත් ගයාන් මෙම ගොවිපළේ සිට උකුස්සා රැකබලාගත් බවය. අංගොඩ ලොක්කා විසින් ගයාන් බාරයට මෙම උකුස්සා පත්කළ බවද හෙළිවූයේ ඉන්පසුවය. ගයාන් විසින් ගොවිපළේ මස් ආහාරයට දෙමින් උකුස්සා රැකබලා ගත්තද ඔහු අත්අඩංගුවට පත්වූ පසුව ගොවිපළ හිමියා හා සහායකයා විසින් උකුස්සා රැකබලාගෙන තිබෙන බවත් උකුස්සා ඔවුන් දෙන්නාට තරමක් හීලෑ වී ඇති බවත් පෙනී ගොස් ඇත.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය වෙත ලැබුණු තොරතුරු සත්‍ය වුවද උකුස්සා පිළිබඳ විශේෂ වාර්තාවක් ලබාගැනීමට සිදුවූයේ ඉදිරි පරීක්ෂණ සඳහාය. ඒ සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහාය ඉල්ලූ නිලධාරීන් හමුවට එම දෙපාර්තමේන්තුවේ හදිසි වැටලීම් ඒකකයේ නිලධාරීන් පැමිණ උකුස්සා පරීක්ෂාවට ලක්කර ඇත. එහිදී නිශ්චිතවම හඳුනා ගැනුණේ ඌ “කුසඇලි මුහුදුකුස්සා” (Sea eagle) ලෙසය. දඩයම් කරමින් ආහාර සපයාගන්නා මෙම උකුසු වර්ගයේ සතකුට කිලෝග්‍රෑම් දහයක පමණ බරක් ඔසවාගෙන යා හැකි බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. ඒ හැර වෙනත් භාණ්ඩ ප්‍රවාහනය සම්බන්ධයෙන් හෝ එවැනි පුහුණුව ලැබූ උකුස්සන් පිළිබඳ මීට පෙර වාර්තා වී ඇත. ඒ සම්බන්ධයෙන් තහවුරු කරගැනීම සඳහා පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත යටතේ උකුස්සා ආරක්ෂිත සත්වයෙකි. එවැනි සත්වයකු යම් පුද්ගලයෙක් සන්තකයේ රඳවා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදකි. කුසඇලි මුහුදුකුස්සා මුහුදු රාජාලියා නමින්ද හඳුන්වයි. මේ විශේෂය ලංකාවේ වැව් කලපු ආශ්‍රිතව දැකිය හැකි අතර විදෙස් රටවලද වාසය කරයි.

බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත බස්නාහිර දකුණ බාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය, නුගේගොඩ කොට්ඨාස බාර පොලිස් අධිකාරී එස්. රත්නායක මහත්වරුන්ගේ උපදෙස් මත අතුරුගිරිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුනිලක රූපසිංහ මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන පවත්වති.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00