2020 අගෝස්තු 01 වන සෙනසුරාදා

පාර්ලිමේන්තුවේ තීරක බලය ගැනීම අපේ අරමුණයි

 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 32

අපේ ජනබල පක්ෂයේ නායක ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක 
අතුරලියේ රතන හිමි

ඔබවහන්සේ මුලින්ම කිව්වේ ඕනෑම ආණ්ඩුවකට පාර්ලිමේන්තුව තුළ බලය ලබාගන්න උදව් කරන්නේ ඔබලා කියලා. නමුත් මෙවර ආරම්භයේම ඔබවහන්සේගේ පක්ෂයේ නාමයෝජනා කිහිපයක් ප්‍රතික්ෂේප වෙනවා. ඒ තත්ත්වය එක්ක කොහොමද ඔබලා ජය ගන්නේ?
අපිට බලපාන්නේ කොළඹයි, කුරැණෑගලයි දෙක අහිමිවීම. නමුත් ගාල්ල, මහනුවර, බදුල්ල, මාතලේ වගේ දිස්ත්‍රික්‍කවල අපේ කණ්ඩායම ඉතාම ශක්තිමත්. ගම්පහ ඉතාම හොඳින් අපි ප්‍රචාරණ කටයුතු කරනවා. ඉතින් අපි හිතනවා මෙවරත් පාර්ලිමේන්තුව තුළ අපිට තීරක බලයක් බවට පත්වෙන්න පුළුවන් කියලා. මොකද, පාර්ලිමේන්තුව තුළ ඕනෑම කෙනෙක් නිවැරදි මඟට ගන්න තමයි අපි ඉන්නේ. ඒ බව බොහෝ ජනතාව දන්නවා. ඒ බව දන්නා ජනතාව අනිවාර්යෙන්ම අපිට ඡන්දය ලබා දෙනවා.

ඔබවහන්සේ අතීතයේ ඉඳන් දේශපාලනයේ කැපීපෙනෙන චරිතයක්. නමුත් පසුගිය කාලයේ ඔබවහන්සේ හැම ආණ්ඩුවක්ම විවේචනය කළා. ඒ වගේම අවස්ථා කිහිපයකම ඔබවහන්සේ විවිධ පක්ෂ හරහා දේශපාලනය කළා. ඇයි මේ පැති මාරු කරන දේශපාලනය?
ලංකාවේ එකක්වත් දේශපාලන පක්ෂ නැහැ. මේ තියෙන ඔක්කොම බමුණු කුල. මේවා රදලයන්ගේ පක්ෂ. මේවා ඇතුළේ ප්‍රජාතන්ත්‍රවාදය නෑ. අපි රට තුළ හොඳ දේශපාලන භූමිකාවක් නිර්මාණය කරන්න බැලුවා. නමුත් අවාසනාවකට වගේ ඒක වුණේ නෑ. ඒ නිසා මම නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගත්තා. 2025 වෙනකොට මේ රටේ රාජ්‍ය බලය ලබාගැනීමේ දැවැන්ත වැඩපිළිවෙළක් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නෙ. අපි මෙවර ඒ වැඩපිළිවෙළට හොඳ ආරම්භයක් ලබාගෙන තියෙනවා.

මෙවර මහ මැතිවරණය පොහොට්ටුව ජයග්‍රහණය කරලා ආණ්ඩුවක් පිහිටුවුවවොත් ඔබේ සහයෝගය ආණ්ඩුවටද? එහෙම නැත්නම් ඔබවහන්සේ විපක්ෂයේ ඉඳන් සටන් කරනවද?
ඒ සන්දර්භය තුළ තමයි එය තීරණය කරන්න ඕන. අපි තීරක බලයක් වුණොත් ආණ්ඩුවට සහාය දෙනවා. අපිට තීරක බලයක් නැත්නම් විපක්ෂය තුළ ඉඳගෙන කටයුතු කරනවා. විශේෂයෙන්ම අපි හිතන්නේ නෑ කොහොමවත් 2/3ක බලයක් පොහොට්ටුවට ගන්න පුළුවන් වෙයි කියලා. අපි හිතනවා අපිට බොහෝ දුරට තීරක බලයක භුමිකාවට පණ පොවන්න පුළුවන් කියලා.

ග්ලයිපොසෙට්, ඒ වගේම රසායනික ද්‍රව්‍ය රට තුළ තහනම් කළ යුතුයි කියලා ඔබවහන්සේ විශාල සටනක් ගෙනිච්චා. ඒ සටනේ ප්‍රතිඵල ඔබේ ඡන්ද ව්‍යාපාරයට මොනවගේ බලපෑමක් ඇති කරලා තියෙනවද?
මම රටේ ජනතාව වෙනුවෙන් ගෙන ගිය ඒ සටන ගැන ජනතාව දන්නවා. මට ඉතුරුවෙලා තියෙන්නේ ඒ ජනතාව වෙනුවෙන් කරපුවා විතරයි. ඒ වගේම පසුගිය කොරෝනා වසංගතය කාලයේ ගෙදරදී පොහොර හදන ආකාරය පිළිබඳව වැඩසටහනක් අපි හඳුන්වා දුන්නා. මම මැතිවරණ ව්‍යාපාරය කරගෙන යද්දි මම දැක්කා ජනතාව ඒවා හදලා තියෙන ආකාරය. ඒ වගේ දේවල් නිසා ජනතාව මම ගැන දන්නවා. රට වෙනුවෙන් මම කරපු ඒ දේවල් නිසාම මට මහ ලොකු මැතිවරණ ප්‍රචාරණයක් ඕන වෙන්නේ නෑ.

ඕනෑම ආණ්ඩුවකට අසීමිත බලයක් ලැබුණාම ඒ ආණ්ඩුව අත්තනෝමතික ලෙස රට පාලනය කරනවා කියලා ජනතාව චෝදනා කරනවා. ඊළඟට පිහිටුවන ආණ්ඩුව විශාල බලයක් එක්ක පිහිටුවා එලෙස කටයුතු කළොත් ඔබවහන්සේලා ගන්න ක්‍රියාමාර්ගය කුමක්ද?
කවුරු ඊළඟට ආණ්ඩුව පිහිටුවුවත් රට අත්තනෝමතික ලෙස පාලනය කරනවා නම් පාර්ලිමේන්තුව තුළ හිටියත් නැතත් අපි අනිවාර්යෙන්ම විරුද්ධ වෙනවා. අපි සැලකිය යුතු පාර්ලිමේන්තු බලයක් ලබාගත්තොත් රටට අහිතකර කිසිම දෙයක් වෙන්න ඉඩ තියන්නෙ නෑ. මීට පෙරත් අපි රටට අහිතකර දේවල් වෙන්න දීලා නෑ.

 

තුනෙන් දෙක ඉල්ලන්නේ ජනතාව වෙනුවෙන්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක 
මහින්ද යාපා අබේවර්ධන

මාතර උග්‍ර මනාප සටනක් තියෙනවා. කණ්ඩායම් කිහිපයක් බෙදිලා ඉන්නවා. කොහොමද ඒ සටනින් ඔළුව උස්සන්නෙ?
එහෙම මනාප සටනක් නෑ. අනික අපිට තියෙන මනාප අපිට තියෙනවා. එහෙම කාටවත් ඒ මනාප යන්නෙ නෑ. මේ ඡන්ද ක්‍රමයේ හැටියට කණ්ඩායම් හැදෙනවා. ඒක නවත්තන්න බෑ. කොහොමත් ජනතාව දන්නවා කවුද ගමට රටට වැඩ කරලා තියෙන්නෙ කියලා. ඒ අනුව ජනතාව මනාප ලබා දෙයි. ඔය කවුරුත් කියන ආකාරයේ මනාප සටනක් මාතර නෑ. 

ඔබ යහපාලනය දැඩිව විවේචනය කරපු පරිණත දේශපාලකයෙක්. නමුත් ඒ විවේචන පහසුයි. දැන් ඔබලා බලය ලබාගත්තොත් කොහොමද ඒ දෙන පොරොන්දු ඉටු කරන්නේ?
අපි ආණ්ඩු බලයට පත්වෙලා ජනතාවට දීපු පොරොන්දු ඉටු කරන්න තමයි ජනතාවගෙන් 2/3ක බලයක් ඉල්ලන්නෙ. මොකද, ශක්තිමත් ආණ්ඩුවක් තිබුණාම ඒ ඕනෑම දෙයක් ජනතාවට දෙන්න පුළුවන්. මීට පෙරත් අපේ ආණ්ඩු කාලයේ අපි ජනතාවට දීපු පොරොන්දු ඉටු කරලා තියෙනවා. මේ රට සංවර්ධනයේ අරුණැල්ල වෙත ගෙනිච්චේ අපේ ආණ්ඩුව. නමුත් ඒ සංවර්ධන කටයුතු 2015න් පස්සෙ නැවතුණා. නැවත ඒ නැවතුණු තැනින් පටන් අරගෙන ශක්තිමත් රටක් බිහිකරන්න තමයි අපි මේ බලය ඉල්ලන්නෙ.

ඔබේ පක්ෂයේ නායකයන් 2/3ක බලයක් තමයි ඉල්ලා සිටින්නෙ. නමුත් රටේ ජනතාවට ප්‍රශ්න තියෙනවා. එහෙම ජනතාවට ප්‍රශ්න තියෙද්දි ඔබලා ඉල්ලන 2/3 ලැබුණොත් ඒ ජනතා ප්‍රශ්න විසඳෙයිද?
අපි මොන විදියේ වෙනස්කම්, සංශෝධන කළත් කරන්නේ ජනතාව වෙනුවෙන්. නැතුව අපි වෙනුවෙන් නෙවෙයි. ජනතාවට සහන දෙන්න, බදු බර අඩු කරන්න තමයි අපි මේ හැමදේම කරන්නෙ. අපි බලයට පත් වුණාම අනිවාර්යෙන්ම ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුමක් ලැබෙනවා. ඒක ස්ථිරවම කියන්න පුළුවන්.

ඔබ රටේ කෘෂිකර්මය පිළිබඳව දැඩිව උනන්දුවක් දක්වන දේශපාලකයෙක්. ඔබ එම විෂය භාරව ඉන්න කාලයේ කෘෂිකර්මාන්තය වෙනුවෙන් වැඩ කොටසක් ඉටු කළා.  නමුත් පසුගිය කාලයේ ගොවි නිෂ්පාදනවලට නිසි මිලක් ලැබුණේ නෑ. පොහොර ගැටලු මෙන්ම ජල ප්‍රශ්නත් ජනතාවට තිබුණා. නව ආණ්ඩුවක් පිහිටුවීමට ඔබලාට හැකි වුණොත් මොනවද ගොවි ජනතාව නගා සිටුවන්න තියෙන නව වැඩපිළිවෙළවල්?
ගොවියා දිවිනසා ගත්තේ පසුගිය කාලයේ. අපේ ආණ්ඩු කාලය යටතේ ගොවීන්ට විශාල සේවයක් අපි ඉටු කළා. ගොවීන්ගේ ජීවිත නගාසිටවූවා. පොහොර අඩු මිලට ලබා දුන්නා. යල මහ කන්න වගා කරන්න ජලය ලබා දුන්නා. බීජ  ලබා දුන්නා. විශාල සේවයක් කළා. නමුත් පසුගිය ආණ්ඩු කාලයේ ඒ සියල්ලම නැති කළා. මේ මැතිවරණයෙන් පස්සේ නැවත ගොවියා රජ කරවන යුගයක් ඇති කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

මහ මැතිවරණයෙන් පස්සෙ සුළු පක්ෂවල සහාය නැතුව තමයි ඔබලා ආණ්ඩුවක් පිහිටුවන්න බලාපොරොත්තු වෙන්නෙ. දකුණේ ඡන්දවලින් විතරක් රට කරගෙන යන්න පුළුවන්ද?
මුළු රටේම ඡන්ද අපිට ලැබෙනවා. අපි ජාතිවාදය පදනම් කරගෙන ආණ්ඩු පිහිටුවන්නෙ නෑ. පසුගිය  මහ මැතිවරණයේ යම් වෙනසක් වුණා. නමුත් ඒ ජනතාවටත් තේරුම් ගිහින් තියෙනවා කාටද මෙවර ඡන්දය දිය යුත්තේ කියලා.

 

 ► හසිත් අංජන