2020 අගෝස්තු 01 වන සෙනසුරාදා

බොරු මිනිසුන් විසින් මුළු සමාජයම අද රවටනවා

 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 38

මාතර දිස්ත්‍රික් අපේක්ෂක - ජාතික ජනබලවේගය සුනිල් හඳුන්නෙත්ති

මෙවර කොහොමද ජාතික ජනබලවේගයේ මහමැතිවරණ ව්‍යාපාරය කෙරීගෙන යන්නේ?

පසුගිය කාලයේම ජනතාව කිව්වේ 225 ම අවශ්‍ය නෑ කියලා. හේතුව තමයි ජනතාව වෙනුවෙන් පොරොන්දු ඉෂ්ඨ කිරීම වෙනුවට බොරැ කිරීම නිසා ජනතාව පාලකයන් සම්බන්ධව දැඩි කලකිරීමක සිටීම. දැන් ජනතාව ඉන්නේ ඒ ක්‍රමය වෙනස් කළ යුතුයි කියන තැනක. විශේෂයෙන්ම ඇත්ත දේශපාලනඥයන් බලයට පත්කර ගැනීමේ උවමනාව ජනතාවට තිබෙනවා. බොහෝ ජනතාව තමන් කැමැති දේශපාලන පක්ෂය වෙනුවෙන් වැඩ කරනවා වෙන්න පුළුවන්. ඔවුන්ගෙන් බඩු මලු ගන්නවා වෙන්න පුළුවන්. හැබැයි ජනතාවට උවමනාවක් තිබෙනවා ඇත්ත දේශපාලනඥයන් බලයට පත් කරගැනීමට. විශේෂයෙන් මාලිමාව සම්බන්ධයෙන් ජනතාවට ලොකු විශ්වාසයක් තිබෙනවා.

ඔබලාගේ තේමාව ඇත්ත මිනිස්සු කියලා. දැන් එතකොට ඇත්ත මිනිස්සු ඉන්නේ මාලිමාවේ විතරද? වෙන පක්ෂවල නැද්ද? කියලා මිනිස්සුන්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්?

මෙතැන ඇත්ත මිනිස්සු සම්බන්ධයෙන් නෙමෙයි ප්‍රශ්නය තිබෙන්නේ. මෙතැන තියෙන්නේ සමාජය බොරැවෙන් රවටපු තත්ත්වයක්. ඒ සමාජයම රවටලා තිබෙන්නේ ව්‍යාජ මිනිස්සු. ව්‍යාජ දේශපාලනඥයන්. එතකොට බොරැව රජ කරපු සමාජයක ඇත්තක් නැහැ. එනිසයි අපි කියන්නේ ඇත්ත මිනිස්සු පත්කර ගන්න කියලා ඒ බොරුව පරාජය කරන්න. ඒක අපි පසුගිය කාලේ පාර්ලිමේන්තුවේදී පෙන්නුවා. ඒ වගේම අනිත් අය පෙන්නුවා හොරැ අල්ලන්න එන ආණ්ඩුව හොරැත් එක්ක ඩීල් දානකොට බොරැව කොච්චරද කියන එක.

මේ ඡන්ද ව්‍යාපාරය ඇතුළේ අලුත් අයත් ඉන්නවා. පරණ අයත් ඉන්නවා. ඒ වගේම ඇත්ත අයත් ඉන්නවා. බොරු අයත් ඉන්නවා. මිනිස්සු එතකොට කොහොමද හොයාගන්නේ ඇත්ත අයව?

ඇත්ත මිනිස්සු හොයාගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. දියෙන් කිරි වෙන්කළා වගේ ඇත්ත මිනිස්සු ඉන්නේ මාලිමාව යටතේ. ඔය අනික් තැන්වල ඉන්න හැමෝම ඉන්නේ හම්බ කරගන්න. ඔය විද්වත් කියාගෙන එන අය ව්‍යාපාරිකයෝ. මොකද ඒ අය වේදිකාවට නගින්නේම ගාණ කියලා. හැබැයි අපිත් එක්ක ඉන්න අය බලන්න. ඒ අය කලාකරැවෝ තමා. ඒ අය එන්නේ මුදල් පරමාර්ථයෙන් නෙමෙයි. අපි එක්ක ඉන්න සමහර අයට ලක්ෂ ගණන් පඩි අරන් පාඩුවේ ඉන්න පුළුවන්. හැබැයි ඒ අය මේ එන්නේ පෞද්ගලික පරමාර්ථයෙන් නෙමෙයි. මේ එන්නේ රටට දෙයක් කරන්න. අනික් පැතිවල ඉන්නේ ඔක්කෝම සල්ලිවලට. මම උදාහරණයක් හැටියට කියන්නම්. ඔය විද්වත් අය දැන් සභාපති පුටුවලනෙ ඉන්නේ. ඇවිත් ඔබ හොයන්න මාතර හෝටල්වල ඒ සභාපතිවරැ ඔක්කොම කාමර බුක් කරගෙන රාජපක්ෂ පරපුරේ පුතෙකුට වැඩ කරනවා. ඔන්න ඕක තමයි ඒ අයගේ විද්වත් ක්‍රමය.

දැන් ඔබලාගේ පැත්තේ ඉන්න කලාකරැවෝ විද්වත්හු සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෝ සම්බන්ධයෙන් එල්ල වෙන චෝදනාව තමයි ඒ අය එන්.ජී.ඕ. සාමාජිකයෝ කියලා. විශේෂයෙන් ආණ්ඩුවෙන් එල්ල කරන චෝදනාවක් ඒක.

ඕක තමයි ලාබ සිල්ලරම චෝදනවා. එක්කො කියනවා රතු අලි පැටව් කියලා. නැත්නම් දේශද්‍රෝහීන් කියනවා. එතකොට හොරකම් කරලා රටිනුත් පැනලා තව තවත් හොරකම් කරන මිනිස්සු දේශප්‍රේමීන් හැටියටයි ඒ අය සලකන්නේ. ජාත්‍යන්තර පොලිසියටත් අල්ල ගන්න බැරි මිනිස්සු ලංකාවට ඇවිල්ලා ඡන්ද ව්‍යාපාර කරනකොට ඒ අය දේශප්‍රේමීන් වෙලා. අපි මේ රටේ ඉඳන් දුප්පත් මිනිහා වෙනුවෙන් දේශපාලනය කරන කොට අපි දේශද්‍රෝහීන් වෙලා. අපිත් එක්ක රාජ්‍ය නොවන සංවිධාන නැහැ. හැබැයි රාජ්‍ය නොවන සංවිධාන කියන එක ලෝකය පිළිගත් සංවිධාන.

ඔබ කණ්ඩායම දරන මතයත් සමාජයේ බහුතරයක් දරන මතයත් එක සමානයි. හොරු දූෂිතයෝ පාර්ලිමේන්තු එවන්න එපා කියලා. හැබැයි ජනතාව කවදාවත් ඔබේ මතය ගරුකරලා බහුතර ඡන්දයක් දෙන්නේ නැහැ. මොකක්ද මේකට හේතුව?

ඒක දේශපාලනයේ විතරක් නෙමෙයි. පොදුවේ සිදුවන දෙයක්. විභාගයක ගොටුකොළ ගුණයි. පරිප්පු අගුණයි කියලා ලිව්වාට මිනිස්සු වැඩියෙන්ම කන්නේ පරිප්පු. බත් එකෙන් අයින් කරන්නේම ගොටුකොළ. ඒ වගේම තමයි අරක්කු බොන්න හොඳ නැහැ කියලා දැන දැනම කැඳ කඩේ පහුකරන් ගිහින් බාර් එකෙන් අරක්කු ගන්නවා. හැබැයි කැඳ ගුණ බව දන්නවා. මේ මේ විවෘත ආර්ථිකය විසින් හදලා තියෙන මායාව. විජ්ජාව. ගොඩක් අයට යථාර්ථයේ දේවල් ළං කරගන්න බැරිවුණාම හීන දකින්න කැමැතියි. 

එවැනි ජනතා මතයක් තිබෙන මොහොතක ඔබලාගේ ඔය දේශපාලන මතය මේ මහ පොළොවේ පැළ කරන්න පුළුවන්ද?

අමාරැයි ඒ වැඩේ. විභාගයක් ලියලා පාර්ලිමේන්තු යන්න පුළුවන් නම් 225න් 225ම යන්නේ අපි. මොකද ඡන්දයෙන් යන හින්දා තමයි මේ අමාරැව. ඡන්ද දායකයෝ ඡන්ද නැති කාලෙට අසාධාරණය අයුක්තිය ගැන හොඳට දන්නවා. අපිට වඩා හොඳට විචාරත් කරනවා. කරන්න ඕන දේත් උපදෙස් දෙනවා. රට හදන හැටිත් කියනවා. ඒ අස්සේ අපිටත් කියනවා ඕගොල්ලෝ තමයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕන කියලා. හැබැයි ඡන්දයක් ආවයින් පස්සේ අපි කැපුවත් කොළ, අපි කැපුවත් නිල් කියන කතාව තමා කියන්නේ. අත්ත මුත්ත නිසාම ඡන්දෙ දෙන අයත් ඉන්නවා. අඩුම තරමේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරැන් පත් කරන්නේ මොකටද කියන හේතුවවත් දන්නේ නැහැ සමහර අය. නීති ප්‍රතිපත්ති හදන්න තමයි මන්ත්‍රීන් පත් කරගන්නේ. හැබැයි පාර්ලිමේන්තු යන්නේ වැඩියෙන්ම නීති කඩන මිනිස්සු. 

රාජපක්ෂ කඳවුර කියන්නේ රට ගැන හිතනවා නම් එයාලට ඡන්දෙ දෙන්න කියලා. යූ.ඇන්.පී. එකේ අය සහ ඔය අලුත් පක්ෂය කියන්නේ ආර්ථිකය හදනවා නම් අපිට දෙන්න කියලා. එතකොට මාලිමාවට ඡන්දෙ දෙන්න ඕන මොනවා හදනවාටද?

රාජපක්ෂවරැන්ට ඡන්දෙ දෙන ගොඩක් අය දෙන්නේ දේශප්‍රේමීව රට ගැන හිතලා. හැබැයි රට ගැන හිතුවෙම නැත්තෙ රාජපක්ෂවරැ. ආර්ථිකයේ දියුණුව ගැන හිතලා තමයි යූ.ඇන්.පීයට ඡන්දෙ දෙන මිනිහා ඡන්දෙ දුන්නේ. හැබැයි ඒ අය හිතුවෙම නැත්තේ ආර්ථිකය තමා. ආර්ථිකය විනාශම කළා. ඒ අය හිතුවෙම ඒ අයගේ යාළුවන්ගේ ආර්ථිකය. සජිත් ප්‍රේමදාස මහත්තයා ගැන කියන්න ගියත් ඔය ටිකම තමයි. හැබැයි අපි එහෙම නෙමෙයි. අපි ඇත්තටම ජනතාවගේ උවමනාව සම්බන්ධව ඇත්තටම හිතන මිනිස්සු. ජනතාවගේ උවමනාවන් වෙනුවෙන් ඇත්තටම අරගල කරන මිනිස්සු. අපි ඒ බව පාර්ලිමේන්තුවේදී වගේම මහපාරෙදිත් සනාථ කළා. අපි ජනතාව කියන්න කලින් ජනතාවට වැඩකරන මිනිස්සු. 

ජනතාව හිතනවානේ වචනයෙන්ම කියනවා නම් ජේ.වී.පී. කාරයෝ ඇතුලේ ඉන්න ඕන කියලා?

ඔව්. ඕනෙයි කියලත් කියනවා. ඒ වගේම ඡන්දෙ දෙන්නත් ඕන. ඉන්න ඕනෙ කියලා විශ්වාස කරනවා නම් ඇයි ඡන්දෙ දෙන්න තිබෙන බාධාව. පසුගිය පාර්ලිමේන්තුවේදී හොඳම දහ දෙනා අතර අපේ හයදෙනාම ඉන්නවා. 

ජනතා විමුක්ති පෙරමුණ හැටියට ගත්තම ඔබලා ඉතිහාසයේ ඉඳන්ම පක්ෂවලට උදව් කළා. විශේෂයෙන් මහින්ද රාජපක්ෂ මහත්තයට යුද්දෙ ආරම්භයේ ළඟින්ම හිටියා. හැබැයි ඒ සියලු දේ කරපු ඔබලා අද බැනුම් අහන සියයට 3 කියලා විවේචනයට ලක්වෙන කණ්ඩායමක් බවට පත්වෙලා. හේතුව මොකක්ද?

මහින්ද රාජපක්ෂ මහත්තයාට උදව් කළේ යුද්දෙදි නෙමෙයි 2015දී. අපි එතුමාට කිව්වා ඔය ජනාධිපති ක්‍රමය අහෝසි කරලා අගමැති හැටියට වාඩිවෙමු කියලා. හැබැයි ඔහු ගණන් ගත්තේ නැහැ. අද එහෙනම් ඔහු ජනාධිපති වගේ තමයි අගමැති පුටුවේ ඉන්නේ. අද කුරැණෑගලින් හරි ඡන්දෙ ඉල්ලලා එන්න හදන්නේ ඔය පුටුවටනේ. 

2015 මහ මැතිවරණයේදී කතාවෙච්ච දෙයක් තමයි හඳුන්නෙත්ති කොහොමද මාතරින් පැරදුණේ කියලා. ඔබ ඒ බව දැන දැනම නැවතත් මාතරින් ඉල්ලනවා. විශ්වාස කරන්න පුළුවන්ද?

ඒ පැරදුණේ මාතර ජනතාව ඡන්දෙ නුදුන් නිසා. ඒ වැරැද්ද මේ පාර මාතර ජනතාව නිවැරුදි කරනවා. ඒක සහතිකයි. එතැන එදා වුණේ මහින්ද රාජපක්ෂ මහත්මයා පරාද වෙලා ඉන්න කොට මහ මැතිවරණයත් පරාජය වුණොත් එතුමා විදුලි පුටුවට අරගෙන යයි කියලා ඒ අය විසින්ම කතාවක් හැදුවා. මහින්ද රාජපක්ෂ මහත්තයා ජයග්‍රහණය කරන්න ඕන නිසා සියලු දෙනාම කළේ මහින්ද මහත්තයා කුරැණෑගලින් ඉල්ලුවත් මාතර මිනිස්සුත් මහින්ද මහත්තයා බේරාගන්න ඒ පක්ෂයේ අයට ඡන්දෙ දීමයි. ඒ නිසයි එදා හඳුන්නෙත්ති පැරදුණේ. තව කට්ටියක් මහින්ද පරද්දන්න ඕන හින්දා යූ.ඇන්.පී.යට ඡන්දෙ දුන්නා. ඕක තමයි එදා වුණේ. හැබැයි දැන් ජනතාව ඒ හැමදේම තේරැම් අරන් ඉන්නේ. 

අවසාන වශයෙන් අහන්නේ ජාතික ජනබලවේගයට මෙවර මහ මැතිවරණයේදී මොන වගේ තත්ත්වයක් උදාවෙයිද?

සියලු පක්ෂ ආණ්ඩු කරපු දේවල් ගැන ජනතාව ඉන්නේ කලකිරීමෙන්. ඒ අත්දැකීම ජනතාවට තිබෙනවා. ජනතාව අලුත් දේශපාලන සංස්කෘතියක් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් ජනතාවට වග කියන ඇත්ත කියන පාලකයෝ තමයි ජනතාව හොයන්නේ. ඒ අනුව එහෙම කණ්ඩායමක් ඉන්නේ මාලිමාව ඇතුළේ. ඒ නිසා ජනතාව ඇත්ත මිනිස්සු බහුතර ඡන්දෙකින් මෙවර තෝරා පත්කරලා යවයි කියන විශ්වාසය අපිට දැඩිව තිබෙනවා.

 ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00