2020 අගෝස්තු 01 වන සෙනසුරාදා

බැංකු වලට ණය වෙච්ච කොළඹ නගර සභාව

 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 53

කොළඹ මහ නගර සභාවේ මූල්‍ය අර්බුදයක් පවතින බවට මහ සභාවෙන් ඇසුණේ වරක් දෙවරක් නොවේ. වසර 150කට වැඩි ඉතිහාසයක් ඇති නගර සභාව තුළ මෙවැනි තත්ත්වයක් දකින්නේ ප්‍රථම වතාවට බව කියන්නේ ද පැරැන්ණෝය. විපක්ෂයේ ඒ හඬ නිහඬ කරන්නට පාලක පක්ෂය ද නොගත් උත්සාහයක් නැති තරම්ය.

නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය සිය ධූරයේ වැඩ භාරගත්තේ මීට වසර දෙකහමාරකට පමණ පෙරය. ඒ, 2018 වසරේදීය. ජ.වි.පෙ. දිගින් දිගටම නගර සභාවේ දූෂණ, වංචා, අක්‍රමිකතා හෙළි කරමින් හැමදාමත් සභාගැබ තුළ නැගුවේ බරපතළ චෝදනා රැසකි. එහිදී පාලක පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු ද ඊට උත්තර බැන්දහ.
කෙසේ කොයි හැටි වෙතත්, මේ වනවිට නගර සභාව දුවන්නේ බැංකු අයිරාවකින් බව නොදන්නා කෙනෙක් නැත. කොවිඩ්-19 වසංගතය ආවේ මේ අතරය. ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා සෙයින් නගර සභාව ද අර්බුද රැසකට මැදිවූයේ තවත් බැංකු ණයක් ගන්නටය.

බැංකු අයිරාව රැපියල් මිලියන 2044 සිට 2244 දක්වා වැඩිකර ගැනීමටත්, කෙටිකාලීන ණය වශයෙන් රුපියල් මිලියන 600ක බැංකු ණයක් ලබාගැනීම සඳහාත්, ඉකුත් මාසයේ පැවති මහා සභාවට යෝජනාවක් ඉදිරිපත් වූයේ නාගරික භාණ්ඩාගාරිකවරියගෙනි. මූල්‍යමය දුෂ්කරතාවන්ට ඉදිරියේ දී සාර්ථකව මුහුණදීම සඳහා යැයි එහි දැක්වෙන්නේ ද නොකියා කියන කතාවක් නොවන්නේද?
සභාව විසින් විවිධ සංවර්ධන කාර්යයන් බොහොමයක් මේ වනවිට අරඹා ඇතැයි ද, ඒ සඳහා ගෙවීම් කළ යුතු බවද එම යෝජනාවේ දැක්වේ. පවත්නා තත්ත්වය තුළ මෙම ව්‍යාපෘති සඳහා ගෙවීම් කිරීමට සභාවේ අරමුදල් ප්‍රමාණවත් නොවන බැවින්, මෙම කෙටිකාලීන ණය මුදල ලබාගත යුතු බවට ද යෝජනා කෙරිණි. 

කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන ගිණුම් සියල්ලම පවත්වාගෙන යන්නේ මහජන බැංකුවේ පුරහල ශාඛාවේය. 2020-06-15 දිනට සභාව සතු ස්ථාවර තැන්පතුවල වටිනාකම රුපියල් මිලියන 2271කි. එහෙත්, හිටපු නාගරික භාණ්ඩාගාරික කේ.ඩී. චිත්‍රපාල මහතා 2018 ජූනි 20 වැනි දින ස්ථාන මාරු වී යන විට, ස්ථාවර තැන්පතුවේ තිබූ මුදල රුපියල් මිලියන 2580ක් බව මතක් කළේ ද මන්ත්‍රීවරුන් පිරිසකි. එදා ජංගම ගිණුමේ කිසිදු අයිරාවක් තිබී නැත. ණය සීමාව ද උපරිමය රුපියල් මිලියන 1033ක් බවට ද හෙළි විය. 

මේ අනුව බලන විට, නගර සභාවේ විශාල මූල්‍ය අර්බුදයක් නැති බව කියන්නට කිසිවකුටත් බැරිය. ඒ බවට කදිම සාක්ෂියක් නාගරික භාණ්ඩාගාරික සුනේත්‍රා පතිරත්න මහා සභාවේ අනුමැතියට ඉදිරිපත් කළ මුදල් පිළිබඳ ස්ථාවර කමිටු නිර්දේශයකින් හෙළි වී තිබුණි. නගර සභා ආදායමට බලපෑම් සිදුවී ඇති තුන් ආකාරයක් ගැන එහි සඳහන් කර තිබිණි. 
ඒ අනුව, 2020 වර්ෂයේ දී ඇස්තමේන්තුගත ආදායමෙන් නොලැබී යාම්, ප්‍රමාද වීම් හෝ අත්හැරීමට සිදුවීමෙන් අහිමි විය හැකි ආදායම් එකතුව පමණක් රැපියල් මිලියන 4691කි. 2020 වසර සඳහා වන අපේක්ෂිත සමස්ත ආදායම රුපියල් මිලියන 16145.994කි. අපේක්ෂිත වියදම රැපියල් මිලියන 16144.692ක් බව නගරාධිපතිනියගේ 2020 අයවැය වාර්තාවේ දැක්වේ. දැනට පවත්නා දත්ත අනුව, 2020 වාර්ෂික ඇස්තමේන්තුව මගින් අපේක්ෂා කළ රැපියල් බිලියන 05ක් පමණ මුදලක් මෙම වර්ෂය තුළ නොලැබේ යැයි ගණනය කළ හැකි බව නගර සභාවේ මූල්‍ය තත්ත්වය පිළිබඳ විමසුමේ සඳහන් වේ. 

ඉතා පිරිමැසුම්දායක ලෙස කටයුතු කරන ලෙස සියලුම නිලධාරීන්ට හා සේවකයන්ට උපදෙස් දීමටත්, අත්‍යවශ්‍ය නොවන යෝජනා සඳහා වියදම් සීමා කිරීම, කොවිඩ් වසංගතය සඳහා අලුතින් දැරීමට සිදුවී ඇති සෞඛ්‍ය ආරක්ෂණ වියදම් සඳහා ප්‍රමුඛත්වය ලබාදීම සහ අපද්‍රව්‍යවලට දරන විශාල වියදම අවම කර ගැනීම සඳහාත්, එම කටයුතු නගර සභා කාර්ය මණ්ඩලයෙන් ඉටුකර ගැනීමට ඇති හැකියාව සොයා බැලීම, අත්‍යවශ්‍ය නොවන පුනරුත්ථාපන වියදම් අවම කිරීම එහි සඳහන්ය.
මේ පිළිබඳව මුලින්ම අදහස් දැක්වූයේ, එජාප නාගරික මන්ත්‍රී දර්ශන ද සිල්වා මහතාය.
ආදායම් එකතු කර නොගැනීම නිසා නගර සභාවේ විශාල මූල්‍ය අර්බුදයක් තිබෙනවා. කොවිඩ්-19 ප්‍රශ්නයක් කරගන්නට අවශ්‍ය නෑ. කාලයක පටන් ආදායම් ලැබීමක් නෑ. එහෙත්, වියදම් පාලනයක් නෑ. පාලනයේ අදක්ෂභාවයක් තියෙනවා. ඒක සැඟවිය නොහැක්කක්. මෙහි මූල්‍ය පාලනයක් නෑ. මූල්‍ය විනයක් නෑ.

ජවිපෙ කණ්ඩායමෙන් නගර සභාවේ පාලනයට නිතර දෙවේලේ එල්ල වන්නේ බරපතළ අභියෝග රැසකි. ඒ පිළිබඳව නාගරික මන්ත්‍රී සුමිත් පස්සපෙරුම (ජවිපෙ) මහතා කීවේ මෙවැන්නකි.

නගර සභාවේ බරපතළ මූල්‍ය අර්බුදයක් තිබෙනවා. ආදායම් එකතු කිරීම මුළුමනින්ම අසාර්ථකයි. බැංකු අයිරාව වැඩිකර ගැනීම, රුපියල් මිලියන 600ක ණය මුදලක් ලබාගැනීම යන දෙකටම අපි විරුද්ධයි. බැංකු අයිරාවෙන් පවත්වාගෙන යන නගර සභාවක් තවත් ණය ගැනීම විශාල අවුලක්. ආදායම් එකතු කර නොගැනීම පාලනයේ අකාර්යක්ෂමතාවයක්. මෙම මුදල් යෝජනාව අපි පිළිගන්නේ නෑ. හැමදේම කොරෝනාවට දාන්න හදනවා. අවුරුදු ගාණක් තිස්සේ පවතින මූල්‍ය අර්බුදයට විසඳුම මේකද?

මේ පිළිබඳව විපක්ෂ නායක එච්.එම්. මන්සිල් මහතා (එජනිස) අදහස් දක්වමින් මෙසේ කීය.
බැංකු අයිරාවකින් අද නගර සභාව ගෙනියන්නේ. කොරෝනා ප්‍රශ්නය මුළු ලෝකයටම බලපාන්නක්. අද නගර සභාවට මුදල් නෑ. ලොකු අර්බුදයක් තිබෙනවා. නගරාධිපතිනියගේ අදක්ෂභාවයයි මෙතැන තියෙන්නේ. අම්මා යූ.ඇන්.පී. නගරාධිපතිනිය වුණාට පුතා සජිත්ගේ පන්නයේ. එතැනත් අර්බුදයක් තියෙනවා. මැතිවරණයෙන් පස්සෙ වෙනසක් කරන්නට වෙයි. පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් 60යි. විපක්ෂයේ 59යි.
නාගරික මන්ත්‍රිනී ශර්මිලා ගෝනවල මහත්මිය (ශ්‍රී.පො.පෙ) මෙසේ කීවාය.

නගර සභාවේ විශාල මූල්‍ය අර්බුදයක් තිබෙනවා. අහිමිවන ආදායම වැඩියි. කිසිම පාලනයක් නෑ. නාස්තිය උපරිමයි. නිසි කළමනාකරණයක් නෑ. වැඩි කල් යන්නට පෙර නගර සභාව කඩා වැටීමකට ලක්වෙනවා. කොරෝනා කිය කියා අලුතින් ගොඩනැගිලි හදන්නට යනවා. භාණ්ඩාගාරිකවරියට කිසිම දැනුමක් නෑ. දැනටමත් යන්නට ඉල්ලලා.
මේ පිළිබඳව නාගරික කොමසාරිස් රෝෂිණී දිසානායක මහත්මියගෙන් කළ විමසීමේදී ඇය පැවසුවේ මෙවැන්නකි.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් නගර සභාවට ලැබිය යුතු සියලු ආදායම් අද අහිමිවෙලා. වරිපනම් ලැබෙන්නේ නෑ. කෑම කුලී, රථගාල් කුලී, සංචාරක හෝටල්වලින් ලැබිය යුතු ගාස්තු, පළාත් සභාවෙන් මුද්දර ගාස්තු, අධිකරණ නඩු ගාස්තු කිසිවක් ලැබී නෑ. අමතර වියදම් දරන්නට වෙලා. කොවිඩ්-19 ආරක්ෂණ වියදම පමණක් රුපියල් මිලියන 200ක්. මුද්දර ගාස්තු මුදල රැපියල් මිලියන 20ක් ලැබෙන්නට තිබෙනවා. කොපමණ අමතර වියදම් දැරුවත් එදිනෙදා සේවාවන් එලෙසින්ම පවත්වාගෙන යා යුතුයි. මේක බරපතළ අභියෝගයක්. රුපියල් මිලියන 600ක තාවකාලික බැංකු ණයක් ගැනීමට සිදු වුණේ ඒකයි.

I ජයන්ත සමරකෝන්