2020 අගෝස්තු 01 වන සෙනසුරාදා

නිදි මරාගෙන රේඩියෝවෙන් ඡන්ද අහපු හැටි

 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 65

මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්...

කොළඹින් කතා කරන රේඩියෝ යන්ත්‍රය වටා තිහක හතළිහක පිරිසක් වාඩි වී සිටිති. ඔවුන් සඳහා ගෙදර ඇති පුටු කිහිපය ප්‍රමාණවත් නොවන බැවින් වැඩිදෙනා ඉඳගෙන සිටින්නේ බිම දැමූ පැදුරුවලය. ගෙයි සාලයේ කනප්පුව මත තබා ඇති ෆිලිෆ්ස් වර්ගයේ රේඩියෝව සඳහා අලුත් බැටරි පෙට්ටියක් ද සවිකෙරුණේ ඡන්දයට දින කිහිපයකට පෙරය. මිදුලේ ගස් දෙක අතර බැඳ ඇති ඒරියලය ද වඩා උස්කර සකස් කරන ලද්දේ රේඩියෝවේ ශබ්දය හොඳ හැටි ඇසෙන්නටය.

මේ විසි වැනි ශතවර්ෂයේ මැද භාගයයි. ඒ කාලයේ ඡන්ද ප්‍රතිඵල ඇසීම හා නැරඹීම සඳහා අද මෙන් ටෙලිවිෂන්, වෙබ්සයිට්, ෆේස්බුක් හෝ වට්ස්ඇප් තිබුණේ නැත. තිබුණු එකම උපකරණය වූයේ ගුවන්විදුලි යන්ත්‍රයයි. මෙම ගුවන්විදුලිය ද අද මෙන් ගමේ හැම ගෙදරකම නොතිබීම විශේෂය. මෙම පහසුකම තිබුණේ ගමේ ගෙවල් තුන හතරක පමණි. ඒවා වැදගත් නම්බුකාර පොහොසත් ගෙවල් ලෙස හැඳින්වුණි. මුළු ගමේම පවුල්වල සාමාජිකයන් ඡන්දය දමා අවසන් වී සවස් වරැවේ මෙම ගෙවල්වලට ඇදෙන්නේ ඡන්ද ප්‍රතිඵල අසන්නටය. ගම්පති, වෙලේවිදාන, රටේරාළ ආදීන් වැනි ප්‍රභූ පවුල්වල නිවෙස්වල ගුවන්විදුලි යන්ත්‍ර වැඩි වශයෙන් තිබුණි.

මෙලෙස එන පිරිසට සැලකීම සඳහා ඒ ගෙවල්වල අය කල් ඇතිව සූදානම් වෙති. ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම මෙන්ම ආහාරපානවලින් සංග්‍රහ කිරීම ද මෙම ප්‍රභූ ගෙවල්වල ඇත්තෝ තම රාජකාරියක් ලෙස සලකති. රාත්‍රියට පිටින් එන පිරිසට ආහාර සකස් කිරීමට ගමේ ගැහැනු කල් ඇතිව ඒ තැන්වලට එති. රාත්‍රී බත් ව්‍යංජනවලට අමතර නිදි වරන විට දීම සඳහා හැලප, සව්දොදොල්, අලුවා, අග්ගලා, මුංගුලි ආදී කෙටි කෑම වර්ග ද පිළියෙළ වේ. විටින් විට මේ කෑම සමඟ තේ කෝපි ආදිය ද පිළිගැන්වේ.

ගෘහ මූලිකයා එක දේශපාලන පක්ෂයකට අයිතිද, එම නිවෙසට වැඩිපුර රුස්වෙන්නේ අදාළ පක්ෂයට ඡන්දය දුන් අයයි. වෙනත් පක්ෂයකට හෝ කණ්ඩායමකට කතිර ගැසූ අය රැස්වෙන්නේ ඒ අදාළ පුද්ගලයාගේ නිවෙසේය. මෙම ගෙවල්වලට රතිඤ්ඤා පෙට්ටි කිහිපයක් ද සැපයේ. ඒවා දල්වන්නේ තමන්ගේ අනුගාමිකයන්ගේ ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන විටය. ඔවුන් ජයගෙන ඇතිවිට රතිඤ්ඤා පත්තු කර ඔල්වරසන් දී ජය නාද පවත්වති.
ඒ කාලයේ දැන් මෙන් මනාප ඡන්ද ක්‍රමයක් තිබුණේ නැත. එනිසාම මනාප උදෙසා ගහමරා ගැනීම්, කෑ කෝ ගැසීම්, ඡන්ද පෙළපාලි නොතිබුණි. ඡන්ද ප්‍රතිඵල නිකුත් වූයේ ආසන මට්ටමෙනි. එක ආසනයකට ප්‍රධාන පක්ෂවලින් හා කණ්ඩායම්වලින් කිහිප දෙනෙක් ඡන්දයට ඉදිරිපත් වී සිටියහ. ඒ කාලයේ තිබුණේ මුහුණට මුහුණලා කරන සටනකි. ආසනවලට තරග කරන අපේක්ෂකයන් ඒ ප්‍රදේශවලම පදිංචි කවුරැත් දැන හඳුනාගත් යමක් - කමක් කරන්න පුළුවන් සල්ලි බාගේ, ඉඩකඩම්, යාන වාහන (කාර් - බාර්) ඇති ධනවත් වැදගත් නම්බුකාර අයය. ඔවුන් කිසිවකුත් අද මෙන් මුදල් සොයන්නට දේශපාලනයට පැමිණි අය නොවේ. ඔවුන්ට වර්තමානයේ මෙන් පක්ෂවලින් සල්ලි කුට්ටි බෙදුවේද නැත. එහෙම මුදල් ගෙවන්නට එකල දේශපාලන පක්ෂ පොහොසත් නොවිණ.

මැතිවරණයට තරග කළ අය ඒ සඳහා අවශ්‍ය මුදල් සොයාගත්තේ තම වතුපිටි, ගහකොළ, ගෙවල් දොරවල් උගසට තබලාය. නැතිනම් විකුණා දමලාය. පිට පිට දේශපාලනයට ගොස් තරග කර තම පරම්පරාගත දේපළ අහිමි කරගත් අය ඒ කාලයේ අපේ ගම්වල සිටි බව අපට මතකය. ඔවුන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජනතාවට සේවය කරන්නට ගොස් තමන් සතුව තිබූ සබ්බ සකලමනාවම නැති කළ අයයි. ඒ ඒ කාලයේ දේශපාලනයේ හැටිය. එය අද මෙන් වැටුප් සහ වරප්‍රසාද ලබන රැකියාවක් නොවේ.

ජයගෙන පාර්ලිමේන්තුවට තෝරාපත් වුණද, අද මෙන් වංචා දූෂණවල යෙදී කොමිස් පගා ආදියෙන් මුදල් හම්බ කරන්නට සූදානම් වූයේ නැත. එලෙස වංචාවල යෙදීම තම නම්බුකාරකමට - ගරුත්වයට මදිපුංචිකමක් ලෙස ඔවුන් සැලකූ නිසා කිසිවෙක් ඒ පැත්තට යොමු වූයේ නැත. එබැවින් රාජ්‍ය මුදල්, දේපළ භාණ්ඩ, අවභාවිතය වැළකිණි. දේශපාලනය කර අතේ තිබූ තුට්ටු දෙක නැතිකර ගත්තා විනා අවිධිමත් ලෙස මුදල් ඉපයීමට ගියේ නැත. එයට ප්‍රකට උදාහරණයක් වන්නේ 1973 අප්‍රේල් 13දා එවකට අගමැතිව සිටි ඩඩ්ලි සේනානායක මියයන විට ඔහුගේ බැංකු පොතේ මුදල් ශේෂය රුපියල් සිය ගණනක් වීමය. ඒ කිසිවෙක් ජනතාවට යමක් කළා විනා ජනතාවගෙන් කරගත් දෙයක් නැත.
එසේම අද මෙන් ඔවුන්ට සුඛෝපභෝගී වාහන නොතිබුණු අතර ඇමැතිවරැන් පවා ගමන් කළේ පාරේ දිවූ බස් රියක, නැතිනම් කෝච්චියෙනි. කොන්දේගාය හැදෙනවා යැයි මෝටර් රථ පරිහරණය කළ අය නොවූහ. හිටපු ඇමැතිවරයකු වූ ඩබ්ලිව්. දහනායක මෙම චරිතවලට හොඳම උදාහරණය වේ.

මෙලෙස දේශපාලනය කිරීම නිසා වරප්‍රසාද ලැබුණු අය නොමැති වූ නිසා ප්‍රධාන පක්ෂවලින් පවා තරග බිමට බසින්නට ඉදිරිපත් වූ අය අතළොස්සක් විය. එහෙත් ඔවුන්ට වඩා උනන්දුවක් දැක්වූයේ ඔවුන්ට උදව් උපකාර කළ ආධාරකරුවන්ය. මේ නිසා හැකි ඉක්මනින් තමාගේ අපේක්ෂකතුමා ජය ගත්තේ ද යන්න දැනගැනීමේ නොතිත් ආශාවෙන් ආධාරකරුවෝ පෙළී සිටියහ.
ඒ කාලයේ අද මෙන් ගුවන්විදුලි චැනල් ද රැසක් නොතිබුණු ජනතාව රේඩියෝ ඇසුවේ නියමිත මීටරය ඇල්ලීමෙනි. ඒවා අතර දැඩි තරගකාරී බවක් ද තිබුණේ නැත. බොහෝ දෙනා මැතිවරණ ප්‍රතිඵල ඇසුවේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සේවයේ ස්වදේශීය හා වෙළෙඳ සේවා මීටරේ ඇල්ලීමෙනි. ගුවන්විදුලි සේවයන් කල් ඇතිව තම ප්‍රචාරණ කටයුතු පිළිබඳ ජනතාව දැනුවත් කළ අතර තම සේවයට ඔවුන් යොමුකර ගැනීමට උනන්දු වූ බව දක්නට ලැබුණි.
ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශනයේ දී ප්‍රචාරය කිරීම සඳහා සුදුසු ගීත තැටි තෝරාගැනීමේ දී ගුවන්විදුලි සේවා විශේෂ අවධානයක් යොමුකළ බවක් දැකගත හැකි විය. ජනතාවගේම වචනවලින් කිවහොත් නැගලා යන සින්දු ප්‍රචාරය කිරීමට කවුරු කවුරුත් උනන්දු වූහ. ආරම්භයේ දී ජාතිකාභිමානී, දේශානුරාගී ගීතවලින් ඇරැඹි මෙම ගුවන්විදුලි විකාශන රාත්‍රී වන විට විවිධ විනෝදාත්මක ගීතවලට යොමු වූ අන්දම අසන්නට ලැබුණි. කෙමෙන් මහ රූ බෝ වනවිට අවදියෙන් සිටීමට උපකාරී වන ඝෝෂාකාරී සින්දුවලට යොමු විය. අසන විට නැටවෙන, කෑගැසෙන සින්දු ප්‍රචාරය කිරීම ශ්‍රාවකයන් අමන්දානන්දයට පත් කිරීමට සමත් විය. එක් පක්ෂයක් පරාජයට පත්වෙමින් යන විට ඔවුන් උපහාසයට ලක් කරන ගීත ද ප්‍රචාරය වීම සිදුවිය. එසේම තවත් පක්ෂයක් හෝ කණ්ඩායමක් දිගින් දිගට ජය ලබන විට ඒ අයගේ ජයග්‍රහණ උද්දීපනය කරන ගීත ද ප්‍රචාරය විය.

උදාහරණයක් වශයෙන් කිවහොත් 1970 මැයි 27 දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රථම වතාවට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් තරග වැද ආසන පිට පිට ජය ලබන විට ගුවන්විදුලියෙන් ප්‍රචාරය වූයේ අසන්නන්ගේ ජය හඬ කුළුගැන්වෙන ලතා වල්පොල සංදේශය චිත්‍රපටයට ගැයූ මේ ගීතයයි.

රැජින මමයි අපේ රාජ්ජේ
රැජින මමයි - රැජින මමයි අපේ රාජ්ජේ...
ඒ කන්දත් අපේ තමයි - මේ කන්දත් අපේ තමයි
කඳු යායම අපේ තමයි අපේ රාජ්ජේ...
රැජින මමයි...

මෙම ජයග්‍රාහී ගීතයේ පදමාලාව ප්‍රවීණ ගේය පද රචක අරිසෙන් අහුබුදුවන්ගේය.
ඊළඟට ප්‍රචාරය වූ තවත් ගීතයක් මෙසේය. එය ද සංදේශය චිත්‍රපටයෙනි.
පෘතුගීසිකාරයා රටවල් අල්ලන්න සූරයා
හතුරු රාජ මාරයා මුළු ලොව හොල්ලන්න වීරයා
අපේ තුවක්කූ ඉහළම කාලතුවක්කූ
ගහන්න වෙනවා වැදුණොත් ලෝකෙට මුක්කූ...

මෙම ගීතයේ ද පද රචනය අරිසෙන් අහුබුදුවන්ගේ වන අතර ජෝතිපාල සහ සිඩ්නි ආටිගල ඇතුළු පිරිස ගීතය ගායනා කළහ.
ගුවන්විදුලිය මගින් ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන විට ඒවා සටහන් කර ගැනීම සඳහා අවශ්‍ය මැතිවරණ සටහන් පොත් මැතිවරණ දිනයට පෙර රටේ පුවත්පත් සමඟ පාඨකයන් අතට පත් කෙරුණි. යම් ආසන්න දිනයක පුවත්පත් සමඟ මැතිවරණ සටහන් පොත නිකුත් කරන බව කල් ඇතිව නිවේදනය කරන විට එම පුවත්පත් අලෙවිය ඉහළ නැංගේ වෙනදා පුවත්පත මිලට නොගත් අය ද මෙම මැතිවරණ පොත නිසා එම පුවත්පත් මිලට ගැනීමට පෙළඹීම නිසාය.
මැතිවරණ ප්‍රතිඵලවලට ඇහුම්කන් දෙන පිරිස අතර කිහිප දෙනෙක් තමන් අතේ ඇති ප්‍රතිඵල පොත්වල ඡන්ද ප්‍රතිඵල සටහන් කර ගනිති. ඒ ඒ පක්ෂවලින් තරග කරන අපේක්ෂකයන්ගේ නම්, පාට, ඡන්ද සලකුණ මෙම පොත්වල දක්වා ඒ ඉදිරියෙන් හිස් කොටු තබා තිබුණේ ප්‍රතිඵල සටහන් කර ගන්නටය. එම කොටුවල ලැබූ ඡන්ද සංඛ්‍යාව සහ වැඩි ඡන්ද සංඛ්‍යාව ද සටහන් කෙරේ. ඒ කාලයේ ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළේ අද මෙන් කොට්ඨාස මට්ටමින් නොව ආසන අනුවය. ආසනවලට අංක ද යොදා තිබුණි. එසේම අද මෙන් විශාල අපේක්ෂකයන් සංඛ්‍යාවක් අනවශ්‍ය පරිදි තරග නොකළ නිසා ප්‍රධාන පක්ෂවලින් තරග කළ කිහිප දෙනාගේ ප්‍රතිඵල ලිවිය හැකි අයුරැ මෙම පොත් සකස් වී තිබුණි.

ගුවන්විදුලි යන්ත්‍ර ළඟ වාඩි වී සිටි පිරිසේ තරුණ තරුණියන් කිහිප දෙනෙක් මෙම ප්‍රතිඵල සටහන් කිරීමේ කාර්යයේ නිරත වී සිටියහ. එක දිගටම එකම අයකු මෙම කාර්යයේ නිරත වී නොසිටි අතර විටින් විට කිහිප දෙනකු අතර මාරු විය.
ප්‍රතිඵල ප්‍රචාරය ආරම්භ වූයේ මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක් යනුවෙනි. දිස්ත්‍රික්කය ද, ආසනයේ නම සහ අංකය ද පවසා දේශපාලන පක්ෂය සමඟ වැඩිම ඡන්ද ලබාගත් අයගේ නම ප්‍රචාරය වේ. ඊළඟට දෙවැනි තුන්වැනියා ආදී වශයෙනි. අද මෙන් ඡන්ද ප්‍රතිශතය ආදී වැඩිමනක් විස්තර ප්‍රචාරය වීමක් සිදු වූයේ නැත. ප්‍රතිඵල වලින් ආසන තුනෙන් එකක් පමණ ප්‍රචාරය වූ විට ජය ගන්නේ කුමන පක්ෂය ද යන්න අසන්නන්ට වටහාගත හැකි වෙනවා ඇත. රැස්ව සිටි අය අතර වූ ගැටවරයෝ ප්‍රතිඵල නිකුත් කරන වාරයක් පාසා තම අපේක්ෂකයා ජයගත් විට රතිඤ්ඤා හෝ චීනපටස් දැල්වීම සිදු කළහ. අද මෙන් දිවා රෑ දෙකේම ප්‍රතිඵල ප්‍රචාරයක් ඒ කාලයේ සිදු නොවුණු අතර එළිවන විට බොහෝ විට සියලුම ප්‍රතිඵල නිකුත් කර අවසානය.

දිනූ අපේක්ෂකයන් පෙරටු කොටගෙන ජයග්‍රාහක පෙරහරවල් යාම ආරම්භ වන්නේ පසුදා උදේ සිටය. ජයග්‍රාහකයාට මල්මාලා දමා ආධාරකරුවන්ගේ ප්‍රීතිඝෝෂා මැද ගම වටා රැගෙන යන අතර ඔවුන් පිළිගැනීමේ රැස්වීම් තැන් තැන්වල සංවිධානය කර තිබේ. ප්‍රධාන ආධාරකරු නම නිවෙස හෝ වැඩපළ අසලට පැමිණෙන අපේක්ෂකයාට අදාළ වර්ණයෙන් යුතු මල්මාලා දමා බුලත් හුරුල්ලක් දී පිළිගනියි. එතැන වූ ටීපෝවක් මත පැණිබීම බෝතල් දෙක තුනක් ද වීදුරු ද තිබෙන අතර අපේක්ෂකයා එයින් උගුරක් හෝ පානය කර එතැන නැවතී තමාට ආධාර කිරීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් ස්තූති කතාවක් ද කර අනතුරුව එතැනින් නැගිට ඊළඟ ස්ථානය දක්වා ගමන් කරයි. ආධාරකරැවෝ ජයඝෝෂා නංවමින් පසුපස යති.

පුවත්පත් ජයග්‍රහණය කරන පක්ෂ සහ අපේක්ෂකයන් වෙනුවෙන් තරග ද සංවිධානය කර තිබුණු අතර ඒ ඒ පක්ෂ ලබන ඡන්ද සංඛ්‍යාව නියමිත දිනට පෙර ලියා යවා තරගවලින් ජය ගැනීමට උත්සාහ කළ අය ද වූහ. ඒ සඳහා අනිවාර්යයෙන්ම පුවත්පත්වල පළවූ කූපනය පුරවා යැවිය යුතු විය. ලබන ඡන්ද සංඛ්‍යාව ආසන්නටම පැවසූ අය ජයග්‍රාහකයා වන අතර පිළිවෙළින් එවැනි දෙතුන් දෙනකුට මුදල් ත්‍යාග හිමි වේ. එම තරග ජයග්‍රාහකයන්ගේ නම් සහ ඡායාරූප ද පුවත්පත්වල පළ වේ.
ඒ කාලයේ ඡන්ද ප්‍රතිඵලවලින් පසුව ගහමරා ගැනීම්, ප්‍රචණ්ඩ ක්‍රියා ඇති නොවූ අතර අද මෙන් විශාල ලෙස ත්‍රිවිධ හමුදාව හා පොලීසිය යෙදවීම ද සිදු වූයේ නැත. පෙළපාලි යාම තහනම් කිරීමක් ද සිදු නොවූ අතර ඇඳිරිනීතිය පැනවීමක් හෝ අවශ්‍ය නොවූයේ ඡන්ද දායකයන් හා ආධාරකරුවන් සාමකාමී ලෙස ජයග්‍රහණය සැමරීමට සැදී පැහැදී සිටි නිසාය.

 යසවර්ධන රුද්රිගූ