2020 අගෝස්තු 01 වන සෙනසුරාදා

පාතාලයේ නීතිඥයෝ

 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 319

කුඩු ජාවාරම, කුලියට මිනී මැරීම, කප්පම් ගැනීම වැනි අපරාධ එළිකර ගැනීම ඊට එරෙහි පියවර ගැනීම හෝ තුරන් කිරීම බරපතළ ගැටලුවක්ව තිබෙන්නේ තත්ත්වය අනවශ්‍ය පරිදි ඔඩුදුවා තිබීමෙනි. ජීවිත ආරක්ෂාවත් සුව පහසුවත් තකා බොහෝ පාතාල නායකයන් හා ප්‍රබල දාමරිකයන් ඔවුන්ගේ නවාතැන් ලෙස හිරගෙදර තෝරාගෙන සිටිති. නම්දැරූ දරුණු පාතාල අපරාධකරැවන් සහ මත්කුඩු ජාවාරම්කරැවෝ හිරගෙවල්වල සිට නිදහසේ සිය අපරාධ හා ජාවාරම් මෙහෙයවති. ඔවුන්ගේ නඩු කටයුතු වෙනුවෙන් පෙනී සිටින ඇතැම් නීතීඥවරැන් සිය වෘත්තීය සබඳතාවයට එහා ගිය ගනුදෙනුවක් පවත්වමින් පාතාලයන්ට සහාය දක්වන බවට සැකයක් මේවනවිටත් මතුව තිබේ.

පාතාල අපරාධකරුවන්ට හිරගෙදරදී විශේෂ අපරාධකරැවන් ලෙස හඳුන්වයි. එයම වාසියට හරවාගත් පාතාලයන් සිය ඕනෑඑපාකම් සියල්ල සමඟ සියලු පාතාල ක්‍රියාකාරකම් මැනවින් ඉටුකර ගනිති. දරුණු පාතාල හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරැවන් වශයෙන් බන්ධනාගාරගතව සිටින ප්‍රබල ගණයේ සිරකරැවන් රුසක් මේ වනවිට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටිති. මොවුන්ට එරෙහිව පවතින නඩු කටයුතු වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරැ සිරකරැවන් හමුවීමට බූස්ස බන්ධනාගාරයට යති. එම තත්ත්වය වෘත්තීය මට්ටමට එහා ගිය සබඳතාවයක් බවට ආරක්ෂක අංශ සැක පහළ කරයි.

නම් දැරෑ පාතාලයන් හා ජාවාරම්කරැවන් හා පාතාල නායකයන් රුසක් දැනටමත් බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටිති. මේ අතර ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ බරපතළ අපරාධකරැවන් 150ක් පමණ සිටින බව වාර්තා වේ. මෙකී පිරිස කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටියදී ආරක්ෂක අමාත්‍යංශය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය, විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ ගණනාවක තීරණයක් අනුව බූස්ස බන්ධනාගාරයට මාරැ කිරීම සිදු කෙරිණි. වෙලේ සුදා, කැව්මා, සුසෙයි, පොඩි ලැසී, කොස්ගොඩ තාරක, කංජිපානි ඉම්රාන්, ඌරුජුවා, මට්ටක්කුලියේ රොෂාන්, ගොත අසංක, පරෙවි සුදා, බ්ලූමැන්ඩල් සංඛ, මර්ජින් ජානක, ගණේමුල්ල සංජීව සහ ජපන් චූටි ඇතුළු 14 දෙනෙක් එසේ බූස්ස බන්ධනාගාරයේ රඳවනු ලැබ සිටිති.

මෙම සිරකරැවන් විශේෂ ගණයේ අපරාධකරුවන් වශයෙන් රඳවා සිටියදී බාහිර පිරිස් සමඟ කිසිදු සබඳතාවයක් පැවැත්විය නොහැකිය. එහෙත් විවිධ කාරණා මතුකරමින් නීතීඥවරැ පිරිසක් නොකඩවා මෙම සිරකරැවන් හමුවට පැමිණීම පිළිබඳ බරපතළ සැකයක් ආරක්ෂක අංශවල සැකයට බඳුන් වී තිබේ. මෙම සිරකරුවන්ට බාහිර සමාජය හා සබඳතා පැවැත්වීම මුළුමනින්ම අවහිර කර තිබියදී මෙම පිරිස් හරහා දිගින් දිගටම සබඳතාව පැවැත්වීම පිළිබඳව ආරක්ෂක අංශ විමර්ශනයක් සිදුකර ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ බන්ධනාගාරගත රැඳවියන් පිරිස හා සබඳතා පවත්වන නීතීඥවරු පිරිස කාලයක පටන් ඔවුන් ඇසුරැ කරමින් සිට ඇති බවකි. බාහිර සමාජයේ සිට වරින් වර අපරාධකරුවන් හමුවන මෙම නීතීඥවරැන්ට පාතාල සගයන් හරහා නොයෙක් වරප්‍රසාද දීමනා ලැබෙන බවද කියති. ඒ වෙනුවෙන් සිය මැදිහත් වීම පාතාල අපරාධකරැවන් හා ජාවාරම්කරැවන් වෙත ලබාදීමට නීතීඥවරු කටයුතු කරති.

දැනට මෙම බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රුඳවියන් රුසකට විරුද්ධ පාතාල කල්ලිවල හා ජාවාරම් කල්ලිවල මරණ තර්ජන එල්ල වී තිබේ. ඒ අතර බහුතරය මාකඳුරේ මධූෂ්ගේ කල්ලියෙන් තර්ජනයට ලක්වූවන්ය.

බූස්ස බන්ධනාගාරය දැඩි ආරක්ෂිත පරිසරයක පිහිටුවා ඇති බව ආරක්ෂක අංශවල නිගමනයයි. බන්ධනාගාරයට පසෙකින් යුදහමුදා කඳවුරක් හා අනෙක් පසින් නාවික හමුදා කඳවුරක් පිහිටා තිබීමත් අසළින් පොලිස් අභ්‍යාස විද්‍යාලය පිහිටුවා ඇති නිසාත් ප්‍රදේශයේ පරිසරය ආරක්ෂිතය. මේ අතරින් කෙනෙක් බන්ධනාගාරය වෙත යන්නේනම් දැඩි පරික්ෂාවකට ලක්කෙරෙන අතර බන්ධනාගාර භූමිය සුවිසල් තාප්ප තුනකින් වටකර තිබේ. එසේ දැඩි රුකවල් සහිතව පවතින බූස්ස බන්ධනාගාරය මීට ඉහතදී එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ වූ රුඳවියන් රඳවා තැබීමට යොදාගනු ලැබිණ.

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල පාතාල අපරාධකරැවන් 14 දෙනා ජූනි මාසයේදී උපවාසයක් ආරම්භ කොට තිබුණේ ආහාර වර්ජනයේ යෙදෙමිනි. මේ සිකරැවන් උදේ සවස පැය තුන බැගින් සිර මැදිරිවලින් පිටතට ගන්නා ලෙසද ඉල්ලා තිබුණි. මේ පිරිස අතර සිරකුටි 27ක පාතාල රැඳවියන් රඳවා සිටිති. මොවුන් විසින් සිදුකරන නීති විරෝධී කටයුතු මැඩලීම සඳහා ජෑමර් යන්ත්‍ර ස්ථාපිත කිරීමට පියවර ගනු ලැබූ අතර ඊටද රුඳවියෝ වියරු වැටී සිටිති.

දරැණු පාතාලයන්ගේ අපරාධ හා ජාවාරම් අවහිරවන තත්ත්වයක් තුළ ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරැන් පාතාලයන්ගේ සල්ලි දේපළවලට යටවීම ගැටලුවකි. ඊට එරෙහි විමර්ශන මැද ඉදිරියේදී සැකකාර නීතීඥවරුන්ගේ නම්ගම් කෝම්බුව හෙළි කිරීමට නියමිතය.

 සමන්ත ප්‍රදීප් විල්තෙර