2020 අගෝස්තු 01 වන සෙනසුරාදා

රික්ස් ඩොලර්වලින් ගනුදෙනු කළ කොළඹ ඇත්තෝ

 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 234

ශ්‍රී ලංකාවේ මුදලේ ඉතිහාසය දෙස නෙත් යොමුකරන විට රන් කාසි භාවිතය අනුරාධපුර යුගයේ පටන්ම පැවතුණි. ඒත් නෝට්ටු අපට හඳුන්වාදුන්නේ ලන්දේසි හෙවත් ඕලන්දයන් විසිනි. ඒ අනුව මුලින්ම මුදල් නෝට්ටු නිකුත් කර තිබෙන්නේ 1785 දීය.
අමෙරිකන් යුද්ධය හේතුවෙන් 1780 වනවිට ශ්‍රී ලංකාවේ මුදුහුබඩ පළාත් පාලනය කළ ලන්දේසීන්ට සතුරු තර්ජන එල්ල විය. ඒ නිසා මෙරට සතුරු හමුදාවන්ගෙන් ආරක්ෂා කර ගැනීමට යුද හමුදා ඛණ්ඩ සේවයේ යෙදවිණි. ඔවුන්ට වැටුප් ගෙවීමට විශාල මුදලක් ඕලන්ද ආණ්ඩුවට වැය විය. ඒ නිසා 1785 වනවිට ආදායම අඩුවී භාණ්ඩාගාරය සම්පූර්ණයෙන් හිස්විය. එකල මෙරට ඕලන්ද ආණ්ඩුකාරයා වූයේ ජේකොබ් විලියම් වැන් ද ප්‍රෙෂ් (1785 - 1794) ය. ඔහු මේ මුදල් හිඟයට පිළියමක් ලෙස මුදල් නෝට්ටු මුද්‍රණය ඇරඹීය.

ඒ කාලයේ ඕලන්දයන් විසින් කොළඹ කොටුවේ ව්‍යාපාරික ස්ථානවල ආරක්ෂිතව තැන්පත් කළ මුදල්වලට කුවිතාන්සි දීමේ සිරිතක් ද අරඹා තිබුණි. මේ නිසා අලුතින් නිකුත් කළ මුදල් නෝට්ටු සංසරණය හුරැවීම පහසු විය. වර්ෂ 1785 මාර්තු 19 දින ආණ්ඩුකාරයා විසින් කැඳවූ රැස්වීමකදී පතාග 25000ක් නිකුත් විය. වටිනා මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට අනුමත විය. එතෙක් කාසිවලට හුරුවී තිබූ රටේ පළමු වරට නෝට්ටු කාණ්ඩයක් මුදල් ඒකකයේ නම පතාග (රික්ස් ඩොලර්) ය. ඒ 1785 මැයි 10 දාය. පතාග 50, 100, 500 සහ 1000 මුදල් නෝට්ටු මුලින්ම නිකුත් කෙරිණි. පසුව පතාග 2, 3, 4, 5, 10 යන කුඩා මුදල් ඒකක සඳහා ද නෝට්ටු නිකුත් කෙරෙණි. මෙම පතාගයක නෝට්ටුවේ සිංහල, දෙමළ හා ඕලන්ද භාෂාවලින් “පතාග එකකට හොඳයි” යනුවෙන් මුහුණතේ සඳහන් විය. යට පැත්තෙහි මුදල් නෝට්ටුවේ අංකය, නිකුත් කළ දිනය සහ එම පතාග මුදලට වර්ෂයකට 3% බැගින් පොලිය ලැබෙන බව මුද්‍රණය කර තිබේ. මේවා ආරක්ෂිත උපක්‍රම කිසිවක් නැති මුද්‍රිත කඩදාසි කැබලි පමණි. එහෙත් ඒවායේ ආණ්ඩුවේ නිලධාරින් තිදෙනකුගේ අත්සන යොදා තිබුණි.

මෙම නෝට්ටු ක්‍රෙඩිට් බ්‍රීමන් ලෙස හැඳින්වුණි. මුලින්ම කොළඹ ව්‍යාපාරික කටයුතු සහ රාජ්‍ය නිලධාරින්ගේ වැටුප් ගෙවීම ආදියට යොදාගත් පතාග නෝට්ටු 1789 දී මඩකලපුව ඕලන්ද කොටුවට හඳුන්වා දුන් අතර, 1788 දී ත්‍රිකුණාමලයේ කොටුවේ ගනුදෙනු සඳහාත් නිකුත් කළ බව සඳහන්ය. ක්‍රමයෙන් පතාග නෝට්ටු හොරාට අච්චු ගැසීමටත් සමත් හොරු එකල ද සිටි බව පෙනේ. ඒ හොර නෝට්ටු ද සංසරණයට පැමිණි හෙයිනි. 1793 දී ව්‍යාජ මුදල් නෝට්ටුවලට එරෙහිව ඕලන්ද ආණ්ඩුව නියෝග නිකුත් කළේය. පැරැණි මුදල් නෝට්ටු ආපසු කැඳවා ඒ වෙනුවට අලුත් අත්සන් සහිත නව නෝට්ටු නිකුත් කිරීමෙනි.

පතාග නිකුත් කරමින් වැඩි කලක් ගනුදෙනු කිරීමට ඕලන්දයන්ට වාසනාව ලැබුණේ නැත. ඕලන්ද පාලනය යටතේ පැවති මුහුදුබඩ ප්‍රදේශ තවත් යුරෝපීය ජාතියක් වන බ්‍රිතාන්‍යයන් යටත් කර ගත්තේය. ත්‍රිකුණාමලය බලකොටුවේ 1795 අගෝස්තුවලදී බ්‍රිතාන්‍ය කතිර කොඩිය එසවුණු අතර 1795 සැප්තැම්බර්වලදී යාපනය ඉංග්‍රීසින්ට යටත් විය. කොළඹ 1796 දී යටත් කර ගැනීමත් සමඟ සියලුම ඕලන්ද බලකොටු ඉංග්‍රීසින් යටතට පත්විය. යටත්වීමේ ගිවිසුමේ 6 වැනි වගන්තිය ප්‍රකාරව බ්‍රිතාන්‍යයන් ඕලන්ද වගකීම් ස්ටර්ලිං පවුම් 50000 (රික්ස් ඩොලර් 418750) ක්ද බාර ගත්තේය. මෙම බැරකම් සඳහා 3%ක් පොලිය ද ගෙවිය යුතු විය. ඒ අනුව ස්ටර්ලිං පවුම්, තාරකා පගෝදි 2.5ක් හෝ රික්ස් ඩොලර් 9.375කට ගණනය කෙරුණි. 

ඕලන්දයන් සතුව තිබූ කොළඹ මුද්‍රණාලය 1796 දී බ්‍රිතාන්‍යයන්ට හිමි වූ නිසා මුදල් නෝට්ටු 1806 දක්වා මුද්‍රණය කෙරුණේ එහිදීය. 1800 මාර්තුවලදී බ්‍රිතාන්‍යයන් රික්ස් ඩොලර් 100, 50, 25 යන නෝට්ටු ඩොලර් 30000ක වටිනාකමට නිකුත් කෙරිණි. ඊට පසු තවත් රික්ස් ඩොලර් 45000ක නෝට්ටු ප්‍රමාණයක් නිකුත් කෙරිණි. 1801 ඔක්තෝබර් වනවිට මෙරට සංසරණය වෙමින් පැවති මුදල් නෝට්ටුවල වටිනාකම ස්ටර්ලින් පවුම් 10,000ක් විය.

1806 මාර්තු නිකුත් කළ පතාග 2 (රික්ස් ඩොලර්) නෝට්ටුවේ රටේ නම ඉංග්‍රීසියෙන් සඳහන් නොවේ. එහි සිංහල, ඉංග්‍රීසි හා දෙමළෙන් මුදලේ වටිනාකම පතාග දෙකයි යනුවෙන් ද “ලංකාවේ ආණ්ඩුව” යනුවෙන් රටේ නම වැරදියට මුද්‍රණය වී ඇත. නෝට්ටුවේ විශාලත්වය මී.මී. 115X94ක් විය. එහි නිලධාරින් දෙදෙනකු අතින් අත්සන යොදා තිබුණි.

මෙසේ ඉංග්‍රීසින්ට යටත් මුහුදුබඩ පළාත්වල පතාග නෝට්ටු භාවිත වුවත් උඩරට රාජධානියේ බලය පැවති රට තුළ සංසරණය වූයේ කාසි පමණි. ඒ පනම්, ලාරින් (රිදී කොකු කාසි), තංගම කාසිය (පෘතුගීසින් හඳුන්වා දුන් ටැංගෝ මස්ස)යි. අවසාන රජතුමා වූ ශ්‍රී වික්‍රම රාජසිංහට ලැබුණු මුළු ආදායම රන් පවුම් 1500කට වැඩි නොවූ බව ජෝන් ඩේවි සඳහන් කරයි.

එතෙක් කොළඹ මුද්‍රණය නිකුත් කළ මුදල් නෝට්ටු 1809 දී ලන්ඩනයේ සිල්වෙස්ටර් සමාගමේ මුද්‍රණාලයට ලබාදීම සිදුවිය. එම නෝට්ටුවලද රටේ නම සිංහලෙන් හා දෙමළෙන් සඳහන් කර නැත. මේවායේ මුල්වරට බ්‍රිතාන්‍ය කොඩිය නිරෑපිත චිත්‍රයක් ද ඇතුළත් විය. 1815 මාර්තු 2දා උඩරට පළාත් ඇතුළුව ශ්‍රී ලංකාවම බ්‍රිතාන්‍යයන්ට යටත් විය. 

ක්‍රමයෙන් කොළඹ වරාය හරහා කෙරෙන වෙළෙඳ කටයුතු ඉහළ යමින් පැවතුණි. කොළඹ නගරයේ වෙළෙඳ ව්‍යාපාර බිහිවිය. මේ නිසා මුදල් භාවිතය ඉහළ යන්නට විය. 

“ලාංකාවේ ආණ්ඩුව කස්බ්‍රිප්පුව” යනුවෙන් ද සිංහලෙන් මුද්‍රණය කර තිබුණි. 1820 වනවිට සංසරණය වෙමින් තිබූ මුදල් නෝට්ටුවල වටිනාකම රික්ස් ඩොලර් මිලියන 2.5ක් බව සඳහන්ය. 1823 මැයි 5දා එයට පෙර නිකුත් කර තිබූ සියලුම රික්ස් ඩොලර් නෝට්ටු ආපසු කැඳවා අලුත් මුදල් නිකුත් කෙරැණි. ඒ කොළඹ කච්චේරියේ සිදුවූ මුදල් හොරකමක් නිසාය. 1820 හා 1825 අතර විවිධ හේතුන් නිසා ආපසු කැඳවූ රික්ස් ඩොලර් ප්‍රමාණය 866016කි. 1825 වනවිට සංසරණය වෙමින් පැවති රික්ස් ඩොලර් ප්‍රමාණය 1561669ක් විය.

කුසුම්සිරි විජයවර්ධන
සේයාරූ - ආචාර්ය කාවන් රත්නතුංග (Lankvidiya.org)