2020 අගෝස්තු 01 වන සෙනසුරාදා

ගනුදෙනුකරුවන්ගේ රීරිමාංස උරන ක්‍රෙඩිට් කාඩ් පොලිය

 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 21

ශ‍්‍රී ලංකා මහ බැංකුව අලුත් පරිවර්තනයකට මුල පුරා තිබේ. එදිනෙදා ගනුදෙනුවලදී මුදල් පරිහරණය අවම කරන පියවර ගෙන ඇත. මහ බැංකුව කරන දිරිගැන්වීම අනුව ඉදිරියේ දී මුදල් පරිහරණය අවම විය හැකිය. එක පැත්තකින් දිරිගන්වන අතර අනෙක් පැත්තෙන් මුදල් වෙනුවට කාඩ්පත් වලින් හෝ අන්තර්ජාලයෙන් කරන ගනුදෙනු සම්බන්ධව ලෙහෙසිය ඇති කළ යුතුය. අද පවතින සංකීර්ණ වාණිජ මුහුණුවර අනුව බැංකු හෝ මූල්‍ය ආයතනවල හැසිරීම කනගාටුදායකය. ශ‍්‍රී ලංකාවේ මුහුණුවර හා තීරණ ගන්නා ස්වභාවය ගැන නොයෙක් අවස්ථාවල කරැණු දක්වා තිබේ. බලධාරීහු ඒවා ගැන තකන්නේ නැත.

ණය හා තැන්පත් පොලිය අඩු කරන සේ බල කරන ආණ්ඩුව ක්‍රෙඩිට් කාඩ් ගැන අවධානය යොමු නොකරන්නේ ඇයි? අධික ගාස්තු අය කරන අතර නියමිත දිනට නොගෙවීම මත ඉසිලිය නොහැකි පොලියක් අය කරයි. මහ බැංකුව ජනතාව මුහුණ දෙන මෙම පීඩනය ගැන නොසලකන්නේ මන්ද?

තැන්පත් පොලිය මෙන් හතර ගුණයක ක්‍රෙඩිට් කාඩ් පොලිය

මහ බැංකුවේ තීරණය අනුව ණය පොලිය අඩු කර තිබේ. එය කොවිඩ්-19 වසංගතයේ ප‍්‍රතිඵලයකි. ආර්ථිකය බලවත් දුෂ්කර තැනකට පත්ව ඇති අතර ජනතාව පමණක් නොව ව්‍යාපාර පවා සංකීර්ණ ප‍්‍රශ්නවලට මුහුණ පා සිටියි. ඇතැම් දේශීය ආයතනවලට සිය සේවකයන්ගේ වැටුප් ගෙවාගැනීමට පවා නොහැකි වී තිබේ. සංචාරක කර්මාන්තය බිංදුවට වැටී ඇති අවස්ථාවක එය ආශ‍්‍රිතව තිබුණු සේවා අංශවල නිරත වූ ලක්ෂ තුනකට අධික සේවක පිරිසක් නඩත්තු කරන්නේ කෙසේද? ගුවන් සේවා ආයතන මෙහෙයුම් නතර කර තිබේ. එයින් යැපුණු ව්‍යාපාරිකයන් ද සේවකයන් ද අසරණය. එවැනි අංශයන්ගේ සේවක වැටුප් ගෙවන්නට පවා සහන ණය පොලී වැඩසටහන් ක‍්‍රියාත්මක කර ඇත. එය අවශ්‍යයෙන් සිදුවිය යුතුය. එහෙත් එම ආයතනවල සේවය කරන ලද පිරිස ගැන පමණක් අවධානය යොමු කළ ද ඔවුන් පරිහරණය කරන ලද ක්‍රෙඩිට් කාඩ්පත්වල ගනුදෙනු පියවන්නේ කෙසේද? පොලිස් ඇඳිරිනීතිය පනවා තිබුණු කාලය තුළ ණය පියවීමට ක්‍රෙඩිට් කාඩ් නිකුත් කළ බැංකු මගින් සහන වැඩපිළිවෙළක් තිබුණි. ගෙවීම අවශ්‍යම නොවූ අතර පොලියක් අය කළේ නැත. එහෙත් එම කාලසීමාව තුළ එකතු වූ ගනුදෙනු ද සමඟ කාඩ්පත් හිමියෝ බලවත් දුෂ්කරතාවයක සිටිතියි වාර්තා වී තිබේ.

දැනට පවතින ක‍්‍රමවේදය අනුව නොගෙවන හිඟ මුදල මත වාර්ෂිකව සියයට විසි අටක පොලියක් අය කරයි. එයට අමතරව දඩ මුදලක් ද අය කෙරේ. දැනට ස්ථිර තැන්පත්වලට ගෙවන පොලිය සියයට හත ඉක්මවන්නේ නැත. සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමකට බැංකු ගෙවන පොලිය සියයට හතරකි. සියයට හතරකට ගන්නා තැන්පත් වලින් ව්‍යාපාර මෙහෙයවන වාණිජ බැංකු ක්‍රෙඩිට් කාඩ්වලින් සියයට විසිඅටක පොලියක් අය කිරීම සාධාරණීකරණය කළ හැකිද? ස්ථිර තැන්පත් පොලිය අනුව පවා එය හතර ගුණයකින් වැඩි පොලියකි. මහ බැංකුව මෙම ව්‍යුහය ගැන අවධානය යොමු කළ යුතුය.

කොවිඩ් අර්බුදය හමුවේ ගනුදෙනු  හරි අඩකින් පහතට

වාණිජ තොරතුරැ අනාවරණය කරන අන්දමට රට තුළ පවතින ප‍්‍රශ්න නිසා ක්‍රෙඩිට් කාඩ්වලින් කරන ගනුදෙනු හරි අඩකින් පහත වැටී තිබේ. එය සුදුසු නැති තත්ත්වයකි. සාමාන්‍යයෙන් ජනතාව සමාජ දුරස්ථකරණයක සිටිය දී අන්තර්ජාලයෙන් ඇණවුම් කිරීම හා ගනුදෙනුවලට ක්‍රෙඩිට් කාඩ්පත ඉතාම සුදුසු මාධ්‍යයකි. එයින් ප‍්‍රයෝජන ගත හැකි බව අවධානයට ගෙන නැත. පරිහරණයක් නොවන අවස්ථාවක කාඩ්පත් නිකුත් කළ බැංකුවලට ඇති වාසිය කුමක්ද?

මෙම අර්බුදකාරී අවස්ථාවේ දී පොලිය අඩු කරන තීරණයකට යා හැකිය. එය ජනතාවට සහනයකි. රුපියල් ලක්ෂයක ගනුදෙනුවක් කරන කාඩ් හිමියකුට නියමිත පරිදි නොගෙවුවහොත් මාසය අවසානයේ දී රැපියල් දෙදහස් පන්සියයක දඩයක් හා එයට සමාන පොලියක් මාසය අවසානයේ ගෙවන්නට නියම වෙයි. එකක් ගෙවා ගත නොහැකි අවස්ථාවක තවත් බරක් ගෙවන්නට පුළුවන්කමක් නැත. අවසානයේ දී පොලිය ඉහළ යන අතර අවුරුද්දක් ඇතුළත පරිහරණය කරන ලද මුදලින් හතරෙන් එකකටත් වඩා මුදලක් ගෙවන්නට සිදුවුවහොත් ප‍්‍රතිඵලය ඛේදවාචකයකි. ශ‍්‍රී ලංකාවේ මැදි ආදායම් තරුණ ජනගහනයෙන් සෑහෙන කොටසක්, එනම් විධායක මට්ටමේ ශ‍්‍රම බලකාය මෙම උගුලට හසුවී සිටිති. 

බැංකු ණය පොලිය අඩු කිරීමට ආණ්ඩුව මහත් වෙහෙසක් දරණ බව පෙනේ. වත්මන් ආණ්ඩුව පමණක් නොව පසුගිය යහපාලන ආණ්ඩුව ද බැංකු පොලී අනුපාත ගැන  සොයා බලන විශේෂ කමිටුවක් පත් කරන ලද බව මතක් කළ යුතුය. ණය පොලිය සියයට දහය දක්වා අඩු කරන බව එවකට එම කමිටුව නිර්දේශ කර තිබේ. එම තීරණය ගැන නොසලකා සිටිය දී අලුතින් පත් වූ වත්මන් ආණ්ඩුව කොවිඩ්-19 වසංගතය පදනම් කරගෙන ණය පොලිය පාලනය කරනු ලැබීය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එල්ල කරන ලද තද දෝෂදර්ශනයකට පසු එවැනි පියවරක් අනුගමනය කරන ලද බව අමතක කළ යුතු නැත. ක්‍රෙඩිට් කාඩ් ගැන ද එවැනි තරවටුවක් අවශ්‍යව තිබේ. 

අලුත් සමීක්ෂණ වාර්තා ගැන දක්වන දුර්වල අවධානය

විද්වත් පර් යේෂණ ආයතන ලෝකයේ බැංකු හා මූල්‍ය අංශ සම්බන්ධයෙන් අලුත් වාර්තා නිතිපතා ඉදිරිපත් කරයි. ඒවා ගැන අනවධානය වරදකි. යල්පැන ගිය සහ කිසිම ලෙසකින් වෙනස් වෙන්නට අකැමැති මෙරට බැංකු හා මූල්‍ය අංශය රටට මහත් අවාසියකි. ජනතාව සූරාගෙන ජීවත්වන තැනට පත්ව තිබේ. සියයට විසි අටක පොලියකින් ජනතාවට දෙන පණිවුඩය කුමක්ද?

ලෝක බැංකුව පෙන්වා දෙන පරිදි ශ‍්‍රී ලංකාවේ ක්‍රෙඩිට් කාඩ් පරිහරණය දියුණු කළ හැකිය. භාවිත කරන පිරිසගෙන් සියයට හතලිස් එකක් සිය ගනුදෙනු සම්පූර්ණයෙන්ම කාඩ් මත තීරණය කළ හැකි බව පෙන්වා දී තිබේ. එය බැංකුවල වාසියට හරවා ගත යුතුය. අනෙක තවත් පැත්තක් තිබේ. මෙරට ගිණුම් හිමි ජනගහනය සියයට හැත්තෑ හතර ඉක්මවයි. එය ඉතා හොඳ තත්ත්වයකි. ඉන්දියානු ආණ්ඩුව පවා ජනතාව බැංකුවලට පොළඹවන්නට ගිණුමක් විවෘත කරන සේ බල කර තිබිණි. මෙරට තත්ත්වය ඉතා දියුණුය. එහෙත් ගිණුම් හිමි පිරිෙසන් සියයට පහක පමණ පිරිසකට ක්‍රෙඩිට් කාඩ්පතක් තිබේ. එය දකුණු ආසියාවේ ඉතාම අඩුම ප‍්‍රතිශතයයි. මෙවැනි තත්ත්වයකට හේතුව කුමක්ද? බැංකු පමණක් නොව මුදල් භාවිතය දුර්මුඛ කරන්නට පියවර ගන්නා මහ බැංකුව ද එම ඉලක්කම් ගැන අවධානය යොමු කිරීම නරක නැත. 

නිරීක්ෂණය කළ හැකි අන්දමට මෙරට වාණිජ බැංකුවල ආදායම තර කරන මාර්ග දෙකක් තිබේ. එකක් රන් උකස් ගැනීමයි. එය දුප්පත් සාමාන්‍ය ජනතාවගේ එකම වස්තුව ඇපයට තබාගෙන ණයක් දෙන ක‍්‍රමයකි. කිසිම අවදානමක් නැති මෙකී ණය ක‍්‍රමයට වැඩිම පොලියක් අය කරන අතර වසරක් ඇතුළත ණය හෝ පොලිය නොගෙවුවහොත් රන් භාණ්ඩ වෙන්දේසි කරයි. අනෙක ක්‍රෙඩිට් කාඩ් ක‍්‍රමය බව දැක්වීම අවශ්‍යය. ගනුදෙනු කරන ණයපත්වල සම්පූර්ණ මුදල නියමිත දිනයට ගෙවීම අතපසු වුවහොත් එය දැවැන්ත උගුලකට හසුවීමකි. ප‍්‍රමාද ගාස්තු, දඩ පොලිය ඇතූළු තවත් බර දරන්නට ගනුදෙනුකරුට සිදුවෙයි. 

ජනතාව මුහුණ පා ඇති ඉරණම බරපතළ එකකි

මහ බැංකුව හෝ ආණ්ඩුව ක්‍රෙඩිට් කාඩ් ගනුදෙනුකරැවන් මුහුණ පා ඇති ඉරණම ගැන ගැඹුරින් අවධානයක් යොමු කර නැත. 2018 ඔක්තෝබර් මාසය වන විට මෙරට කාඩ්පත් හිමියන් නොගෙවා තිබුණු ණය ප‍්‍රමාණය රුපියල් මිලියන 101,353 ක් බව අනාවරණය වෙයි. එය එයට කලින් මාසයේ, එනම් සැප්තැම්බර් මාසයේ තිබුණු රුපියල් මිලියන 99,763 සමඟ සසඳන විට විශාල ඉහළ යෑමකි. නිල දත්ත නිකුත් වී නැති අතර ගෙවී යන මෙම වසරේ තත්ත්වය ඉතාම නරක තැනක බව උපකල්පනය කළ හැකිය. 2000 වසර අවසානයේ දී මෙරට සම්පූර්ණ ක්‍රෙඩිට් කාඩ් ණය ප‍්‍රමාණය රුපියල් මිලියන 31,133 ක් බව දැක්විය යුතුය. වසර අටක් තුළ මෙරට පුරවැසියන් ක්‍රෙඩිට් කාඩ් මගින් ණය වී ඇති තරම හිතාගැනීම අපහසු නැත. ණය ගෙවාගත නොහැකි වූ පිරිස ගෙවන පොලිය මෙරට පරිභෝජනය අවහිර කරන බව පෙන්වා දිය යුතුය. එය නිෂ්පාදන හා සේවා අංශ පිරිහීමකට ද හේතුවකි. 

2015 වසරේ දී මෙරට විසි දෙනකුගෙන් එක් අයකු මෙම ක්‍රෙඩිට් කාඩ් ණයපත් භාවිත කරන බව වාර්තා වී තිබුණි. දැනට රට පුරා සංසරණය වන ක්‍රෙඩිට් කාඩ් ප‍්‍රමාණය 1,450,000 බව දැක්වෙයි. මෑත භාගය වන විට ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කළ කරුණක් වූයේ ලෝකයේ යම් ස්ථරයක් මෙම ක්‍රෙඩිට් කාඩ් ගනුදෙනුවලින් අත්අඩංගුවට පත්ව ඇති බවය. තමන්ට උපයන්නට නොහැකි තරමට වියදම් කරන අතර කරන ලද වියදම ගෙවාගත නොහැකි පිරිසක් බිහිවී තිබේ. එයට අනුව ක්‍රෙඩිට් කාඩ් භාවිත කරන සිය දෙනකුගෙන් හැට දෙනෙක් තමන්ගේ මාසික බිල්පත සම්පූර්ණයෙන්ම ගෙවා දමති. නොගෙවන සියයට හතළිහෙන් සියයට පහළොවක් කලාතුරකින් සම්පූර්ණ බිල ගෙවන නමුත් ඉතිරි ප‍්‍රතිශතය කිසිසේත් තමන්ගේ මාසික බිල නිසි ආකාරයට ගෙවන්නේ නැත. මෙම දත්ත අදට ගණන් බැලීම වගකිව යුතු අංශවල යුතුකමකි.

  ගාමිණී සරත් ගොඩකන්ද

 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00