2020 අගෝස්තු 01 වන සෙනසුරාදා

ගුරුකමට මුවාවී දරුවන් බිල්ලට ගත් නරුමයා

 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 509

දරුවා රියැලිටි වැඩසටහනකට සහභාගී කොට ගීතයක් ගායනා කරවා හෝ නර්තනයක් ඉදිරිපත් කරන අතරතුර සිනාසෙමින් අත්පුඩි තලන මාපිය යුවළගේ සෙනෙහස රටට පෙන්වන්නට උත්සාහ ගන්නා ඇතැම් මව්පියෝ උජාරුවෙන් උදම් අනති. නව්‍යකරණය වූ ජීවන රටාවේ රියැලිටි කලාව සිය ජීවිතයේ අංගයක් කරගන්නට උත්සාහ ගන්නා ඇතැම් මාපියන්ගේ නොසැලකිල්ල නිසාම හය හතර නොදත් ආදරණීය දරු පැටවුද විවිධ හිංසනයන්ට පත්වෙති. මේ බව දන්නා නරැමයකු ගුරුවරයකු ලෙස පෙනී සිටිමින් උතුම් ගුරු වෘත්තියට නිගාකොට අහිංසක දරු පැටවුන් ලිංගික හිංසනයට ලක්කළ බව හෙළිදරව් වූයේ කිසිවකුත් නොසිතුව ලෙසය.

බාල වයස්කාර පිරිමි දරුවන් ලිංගික අපයෝජනයට ලක්කොට එම අවස්ථා ඡායාරෑප හා වීඩියෝ පටිගත කොට විදෙස් රටවලට විකිණීමේ ජාවාරමක් අනාවරණය වූයේද මේ සමඟය. ඒ හරහා ශ්‍රී ලාංකික දරුවන් සමලිංගික සේවනයට යොදාගත හැකි බව අඟවා එවැනි ඡායාරූප හා වීඩියෝ විදේශිකයන්ට අලෙවි කරන ගුරුවරයකු ලෙස පෙනී සිටි සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් සමත්ව තිබේ.

විදෙස් රටක වාසය කරන ශ්‍රී ලාංකික අයකු විසින් වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ ඡායාරෑප කිහිපයක් හා වීඩියෝ කිහිපයක් යොමුකරමින් ජ්‍යෙෂ්ඨතම පොලිස් නිලධාරියකු වෙත ලබාදුන් ඔත්තුවකි. අදාළ කාරණය සම්බන්ධයෙන් බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට තොරතුරු ලැබෙන්නේ ඉන්පසුවය. සාමාන්‍ය කාරණයකට එහා ගිය සිද්ධිය සම්බන්ධයෙන් සුවිශේෂී මෙහෙයුමක් දියත් කළයුතු බවට අනුමාන කළ දේශබන්දු තෙන්නකෝන් මහතා මාතර ළමා හා කාන්තා කාර්යාංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මිය කොළඹට ගෙන්වා ඇයව යොමුකර තිබුණේ කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණරත්න මහතා වෙතය. එහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම නිලධාරි දෙපළ හමුවේ ඡායාරෑප 17ක් සමඟ වීඩියෝ දර්ශන 9ක් තබා කියා සිටියේ ඡායාරෑපවල හා වීඩියෝ දර්ශන තලවල පෙනී සිටින පුද්ගලයා වහාම අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සිදුකරන ලෙසය.

ඡායාරෑප හා වීඩියෝ පට අධ්‍යයනය කරන විට පෙනීගොස් තිබුණේ යම් වැඩිහිටියකු විසින් කුඩා පිරිමි දරුවන් අපයෝජනයට ලක්කරන බවය. ඒ අනුව බෝගහවත්ත මහත්මිය හා සුමිත් ගුණරත්න මහතා විශේෂ ඡායාරෑප දෙකක් වෙත අවධානය යොමුකර තිබිණ. එහි එක් ඡායාරෑපයක පාසල් නිල ඇඳුමින් සැරසුණු දරුවෙක් වඩාගෙන සිටින පුද්ගලයෙකි. මැදිවියේ පෙනුමක් ඇති ඔහුද පාසල් නිල ඇඳුමකින් සැරසී සිට ඇත. අනෙක් ඡායාරූපයේ පාසල් නිල ඇඳුමින් සැරසුණු දරුවකු පසුපසින් පෙනෙන යතුරුපැදියකි. ඡායාරෑප දෙක ඔස්සේ ඇරඹි පරීක්ෂණ අතරතුර යතුරුපැදියේ අංකය අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණරත්න මහතා විමර්ශන අරඹද්දී බෝගහවත්ත මහත්මිය සැකකරුගේ ඡායාරූපය ඔස්සේ විමර්ශන ආරම්භ කළාය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තොරතුරු පදනම් කොටගෙන යතුරැපැදි හිමිකාරිය අනාවරණය කොටගෙන ඇති අතර ඒ වනවිටත් හිමිකාරිය විදෙස්ගතව සිටින බවද වෙනත් අයකු විසින් යතුරුපැදිය පරිහරණය කරන බවද හඳුනාගෙන තිබිණ. ඒ අනුව අදාළ ලිපිනය සොයා පන්නිපිටිය ප්‍රදේශයේ නිවෙසකට ගිය නිලධාරීන්ට දැනගැනීමට ලැබී තිබුණේ යතුරුපැදිය හිමිකාරියගේ ස්වාමියාගේ නැගණිය යතුරුපැදිය භාවිත කරමින් සිටින බවය.

මේ අතර වරුණි බෝගහවත්ත මහත්මිය සැකකරැ වඩාගෙන සිටි දරුවාගේ නිවෙස සොයා ගියාය. එම දරුවා රූපවාහිනිය හරහා ජනප්‍රියත්වයට පත් දරුවෙකි. එකී දරැවාගේ මව ඡායාරුපය බලා කියා තිබුණේ සැකකාර පුද්ගලයා තම දරුවාගේ ඡායාරූප ලබාගැනීමට පැමිණි අයෙක් බවය. මේ අතර කාලයේදී යතුරුපැදිය හඳුනාගෙන එහි හිමිකරු පාර්ශ්වයෙන් පෙරකී ඡායාරූපය පෙන්වා විමසීමේදී මේ අපේ දරුවාගේ ඉංග්‍රීසි මාස්ටර්නේ යනුවෙන් කියා තිබිණ. ඔවුන්ගෙන් ලබාගත් තොරතුරු අනුව අනුමාන කළ ලිපිනයක් සොයාගෙන ගොස් තිබුණේ පන්නිපිටිය දෙපානම දෙසටය. එම නිවසට ගියවිට එහි රැඳී සිට තිබුණේ ඡායාරූපයේ පෙනී සිට අත්අඩංගුවට ගැනීමට සෙවූ පුද්ගලයාය. සැකකරු අත්අඩංගුවට ගෙන දෙමහල් නිවාසයක් වූ එහි පහත මාලයේ තිබියදී දරුවන් යොදාගෙන සැකසූ වීඩියෝ පට 130ක් සමඟ පරිගණකයක්, දත්ත ගබඩා 3ක් සහ සැකකරු දරුවන් සමඟ ලබාගෙන තිබූ ඡායාරෑප 200කට අධික ප්‍රමාණයක් සොයාගනු ලැබීය.

මීට අමතරව නිවෙසේ කාමරයක තිබූ අල්මාරියක කැමරාවකට අමතරව කුඩා පිරිමි දරුවන්ගේ යට ඇඳුම් තොගයක් හමුවී ඇත. ඒ අතර පාසල් නිල ඇඳුම් සමඟ ප්‍රසිද්ධ පාසල් කිහිපයක නිල ලාංඡනද තිබී ඇත. මේ ආකාරයට අත්අඩංගුවට ගත් සැකකරු පිරිමි දරුවන් අපචාර සඳහා යොදාගත් බව පිළිගෙන තිබුණේ මම අවුරුදු දහය දොළහ ඉඳන් දහඅට විතර වෙනකම් පිරිමි ළමයින්ට ගොඩක් ආසයි. ඒක මගේ හොබී එක.* යනුවෙන්ද පාපොච්චාරණය කරමිනි. අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරීන් එම ස්ථානයට කැඳවා සිදුකළ පරීක්ෂාවේදී දරුවන් ගණනාවකට අයත් කෙස්ගස් 192ක් එම නිවෙස තුළ තිබියදී සොයාගෙන තිබිණ. මෙම සැකකරු තනිවම නිවසේ රුඳී සිටි අයෙකි. කාලයක් විවාහව සිටි බිරිඳගෙන් වෙන්ව සිටින බවද හඳුනාගෙන තිබේ. එසේ ජීවත්වන අතරතුර පාසල් දරුවන්ට ඉංග්‍රීසි භාෂාව උගන්වන ගුරුවරයකු ලෙස පෙනී සිට ඇත. ඊට පෙර පිළියන්දල ප්‍රදේශයේ කොමියුනිකේෂන් ආයතනයක් පවත්වාගෙන ගොස් තිබූ මොහු ඡායාරූප හා වීඩියෝකරණය තරමක් ඉගෙනගෙන ඇති බවද කියා ඇත. ඉංග්‍රීසි භාෂාව උගන්වන අමතර පංති පවත්වන බව පත්‍රිකා බෙදමින් සිය නිවසේ සහ දරුවන්ගේ නිවෙස්වලට ගොස් උගන්වන අතරතුර අහිංසක දරුවන් ලිංගික හිංසනයට ලක්කිරීමට මොහු ක්‍රියාකර තිබේ.

ඇතැම් දරුවන්ට තෑගි බෝග ලබාදෙමින් ඔහු සිය අවශ්‍යතාව සඳහා දරුවන් පොළඹවාගෙන ඇතැයි හෙළි වී තිබේ. නොමිලේ පාසල් නිල ඇඳුම් ලබාදෙමින් ඒවා සිය නිවෙසේදී අන්දවා ඒ අතරතුරදී ලිංගික කටයුතු සඳහා යොදාගෙන ඡායාරූප හා වීඩියෝ පටිගත කිරීම සිදුකළ බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. සැකකරු මෙරට නිමැවූ ළමා චිත්‍රපටයක තිරපත් රචකයාද වේ. එහි රඟපෑ දරුවන්ගේ මෙන්ම චිත්‍රපට නිෂ්පාදකගේ දරුවාද මොහු විසින් අපචාරයට ලක්කර ඇතැයි කියති. එසේම ප්‍රසිද්ධ රූපවාහිනී නාළිකාවක් විසින් දරුවන් වෙනුවෙන් සූදානම් කළ රියැලිටි වැඩසටහනක වේදිකා පසුතල නිර්මාණකරණයේද මොහු නියැලී තිබෙන බව හෙළිවී ඇත. මේ අතර රූපවාහිනී නාලිකා සංවිධානය කරන ළමා රියැලිටි වැඩසටහන් සඳහා මොහු ඡායාරෑප ශිල්පියකු ලෙස ගොස් ඡායාරෑප ලබාගෙන ඒවාද සිය ජාවාරමට යොදාගෙන ඇතැයි හෙළිකර තිබේ.

නිරන්ත එදිරිසිංහ නමින් පෙනී සිටි සැකකරු ඉංග්‍රීසි ගුරුවරයකු බව කියමින් බාල අපචාර සිදුකර දරුවන් නොමඟට යැවූ නරැමයෙකි. මොහු ලාංකික දරු පරපුර ලිංගික සූරාකෑමට ලක්කිරීමේ උත්සාහයක නිරතව තිබුණේ කාලයක සිට සැලසුම් සහගතව බවද පෙනී යයි. 
සැකකරු අගෝස්තු 5 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන අතර මොහු සම්බන්ධයෙන් තවත් තොරතුරු වේ නම් කොල්ලුපිටිය පොලිසියට හෝ ළඟම පොලිස්ථාන වෙත දන්වැන්නැයි පොලිසිය ඉල්ලා සිටියි.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00