2020 අගෝස්තු 01 වන සෙනසුරාදා

කොවිඩ් යටකරමින් ගොඩගත යුතු ආර්ථිකය...

 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 43

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපතිවරයකු බිහිකරගන්නා විට තිබුණු ජාතික සහ ජාත්‍යන්තර සමාජ දේශපාලන ආර්ථික වටපිටාව පසුගිය මාස කිහිපය තුළ සැලකිය යුතු අන්දමින් වෙනස් විය. එම නිසාම පොදුජන පෙරමුණු ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමේ දී යෝජනා කරන ආර්ථික ප්‍රතිපත්ති සහ ක්‍රමෝපායන් පිළිබඳ විමසීමට අපි තීරණය කළෙමු. හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමඟ අප සංවාදයක් ඇතිකර ගත්තේ ඒ අනුවය. 

පවතින තත්ත්වය මත වුවද ආර්ථිකමය වශයෙන් රටක් ලෙස අපට ඇති ඉලක්ක වෙනස් වී නැත. එසේම සෞභාග්‍යයේ දැක්ම හරහා නිර්මාණය කළ ආර්ථික රාමුවේ ද වෙනසක් වී නොමැත. උදාහරණයක් ලෙස නීතිඥවරකු වීමට ඉගෙනගන්නා දරුවකු ඒ අතරතුර රෝගාතුර වූවා යැයි සිතමු. රෝගය සුවකර ගැනීම සිදු කරන නමුත් දරුවාගේ ඉලක්ක වෙනස් නොවේ. කොවිඩ් වසංගතය හරහා යම් ආර්ථික පීඩනයක් අප වෙත එල්ල වූ බව සැබෑවකි. පෙර කාලවලදීත් මෙවන් වූ පීඩනයන් අප වෙත එල්ල විය. ලෝක ආ‍ර්ථික අවපාතයක් නිර්මාණය වී තෙල් මිල ඉහළ ගොස් දැවැන්ත ගැටලුවකට ලෝකය මුහුණ දුන් යුගයක් තිබූ බව සිහි කළ යුතුය. නමුත් එම වකවානුවේ ද සියයට හතක අටක වර්ධන වේගයක් අත්පත් කරගත යුතු බවට අපට ඉලක්කයක් තිබුණි. ඒ අනුව කොවිඩ් ආර්ථික පීඩනයෙන් මිදීමට අප තවකාලික ආර්ථික මෙවලම් භාවිත කරනු ඇත. නමුත් නිර්මාණය කරගත් දිගුකාලීන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය ප්‍රතිපත්ති දිගින් දිගටම ක්‍රියාත්මක වනු ඇත. 

කෙසේ නමුත් මේ මොහොතේ නිර්මාණය වී ඇති ආර්ථික වටපිටාව අවබෝධ කර ගැනීම වටියි.  මේ අවස්ථාවේ දී විදේශ රටවලින් අප වෙත ගලා එන මුදල් ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු වී ඇත. එසේම අපනයනය දුර්වල වී ඇති අතර සාපේක්ෂව ආනයන ප්‍රමාණය ද අඩු වී තිබේ. ආනයන පාලනය වීම, ආනයන සීමා පැනවීම මතම පමණක් නොව තෙල් මිල අඩුවීම ආදිය ද හේතු කොටගෙන සිදු වී තිබෙන්නකි. ඒ අනුව පවතින තත්ත්වයේ යම් පාලනයක් නිර්මාණය වී ඇත. කෙසේ නමුත් සංචාරක ක්ෂේත්‍රය ප්‍රමුඛව බොහෝ ක්ෂේත්‍ර ඉදිරි මාස කිහිපයේ දී ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරෙයි. එම කාලය තුළ මෙම පීඩනය කළමනාකරණය කර ගනිමින් දරා සිටීමට අපට සිදු වේ.  අනතුරුව සුපුරුදු ලෙස යථා තත්ත්වයට පත්වීමට හැකිය. 

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යෝජනා කළ සෞභාග්‍යයේ දැක්ම තුළ කෘෂිකර්මාන්තය සඳහා වැඩි ඉඩක් වෙන් වී තිබුණි. මේ වන විටත් යම් කෘෂි ප්‍රබෝධයක් නිර්මාණය වෙමින් පවතී. ඒ අනුව කෘෂිකර්මාන්තයට අදාළ බීජ, ජලය, ඉඩම්, අස්වනු ගබඩා කිරීම, හොඳ මිලක් ලබා දීම, අලෙවිකරණය ආදී සියලු අංශ කෙරෙහි අප අවධානය යොමුකර තිබේ. දැනටමත් ඒ උදෙසා ඇතැම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ අනුව ගෝඨාභය රජයක් තුළ ගොවියාගේ අනාගතය සුරක්ෂිත බව කිව හැකිය. 

රටේ ජනගහනයෙන් 35%ක් පමණ කෘෂි ක්ෂේත්‍රයේ නියුතුව සිටිය ද, රටේ අනෙකුත් ක්ෂේත්‍ර ද අපට අමතක කළ නොහැකිය. දැනට රටේ ආර්ථිකයෙන් 60%ක් නියෝජනය කරන්නේ සේවා ක්ෂේත්‍රයයි. කර්මාන්ත ක්ෂේත්‍රය ද 32%ක දායකත්වයක් සපයයි. මේ අංශවල ද නියුතුව සිටිනුයේ අප රටේම පුරවැසියෝ වෙති. කෘෂිකාර්මික සංවාද අතරතුර මෙම අංශ ගැන ද ඉහළ වටිනාකමකින් සලකා බැලීමට අපේක්ෂා කෙරේ.

අප රට තුළ ගොඩනැගෙන නව ව්‍යවසායකයන් මුහුණදෙන ප්‍රධානම ගැටලුව මූලික ප්‍රාග්ධනය සපයා ගැනීමයි. එම ගැටලුවට ඔවුන් නිරන්තරයෙන් පිළියම ලෙස දකින්නේ ණය ලබාගැනීමයි. ණය ලබාගැනීමේ දී ගැටලුව වන්නේ ණය සඳහා දිගින් දිගටම පොලී ගෙවීමට සිදුවීමයි. ඒ අනුව පොලී අනුපාතය අඩු වැඩිවීම්වලදී ඔවුන් වෙත පීඩනයක් එල්ල වේ. ව්‍යාපාරවල ආදායම අඩුවීම හේතුවෙන් පොලිය ගෙවාගැනීමට නොහැකි වුවහොත් ව්‍යාපාර බිඳවැටීමේ අවදානමක් වුවද මතුවිය හැක. එම නිසා ප්‍රාග්ධනය වැඩි කර ගැනීම ඉතා වැදගත් වේ. ප්‍රාග්ධනය වැඩිකර ගැනීමට වෙනම ක්‍රියාමාර්ගයක් යෙදිය යුතු වේ. 

අප අරමුණ වනුයේ ලෝකයේ පවතින ප්‍රාග්ධන අරමුදල්වලින් රටට අවශ්‍ය ප්‍රාග්ධනය ගලා ඒමට සැලැස්වීමයි. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන නිර්මාණය කිරීමට අපි බලාපොරොත්තු වෙමු. එසේම ශ්‍රී  ලංකාවේ දැනට සිටින ආයෝජකයන් රට තුළ අලුතින් ආරම්භ වන කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට ද, අරඹා ඇති ව්‍යාපාරවලට ද ආයෝජනය කිරීමට පෙළඹවිය යුතුය. කොටස් වෙළෙඳපොළ තවදුරටත් පුළුල් කිරීම, ප්‍රාග්ධන වෙළෙඳපොළ ශක්තිමත් කිරීම ඒ සඳහා අවශ්‍ය කාරණාය. දැනටමත් ඒ වෙනුවෙන් නව ක්‍රමවේද සකසා ඇත. ඒවා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයක් යටතේ ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙමු.

විදෙස් ආයෝජන සැලසීමේ දී 2014 වසරට පෙර මෙරටට ආයෝජන ගලා එමින් තිබූ වග සිහිපත් කළ යුතුය. මෑතකාලීනව කිසිදු ආයෝජනයක් අප රට වෙත ගලා නො ආවේ විශ්වාසය බිඳවැටීම හේතුව කර ගනිමිනි. පසුගිය රජය ආයෝජකයන්ගේ විශ්වාසය බිඳවැටෙන අයුරින් බොහෝ දෑ සිදු කර තිබේ. එම නිසා විදෙස් ආයෝජන සැලකීමේ දී අප ප්‍රමුඛතාව ලබාදිය යුත්තේ පළමුව රට පිළිබඳ විශ්වාසයක් ගොඩනැගීමටයි. නව රජයක් යටතේ ඇති ප්‍රධානම ආර්ථික අභියෝගයක් ලෙස අපි එය හඳුනාගෙන සිටිමු. 

මේ අතර අප ඇඟලුම් කර්මාන්තය, කොවිඩ් සමඟ මුහුණ දුන් අර්බුද සහ ඊට සාධනීය පිළියම් ද සංවාදයට ගත යුතුය. ඇඟලුම් කර්මාන්තයේ දිශාව වෙනස්කොට නැවත ස්ථාපනය කර ගැනීමක් මේ මොහොතේ අත්‍යාවශ්‍යය. කොවිඩ් වසංගතය හරහා ඇතැම් නිෂ්පාදන සඳහා ඉල්ලුම අඩු වී ඇති බව සත්‍යයකි. එහෙත් වෙනත් නිෂ්පාදන සඳහා ඉල්ලුම වැඩි වී තිබේ. උදාහරණයක් ලෙස බිලියන හතක ලෝක ජනගහනයෙන් බිලියන හතරක් දිනකට මුව ආවරණ දෙක බැගින් භාවිත කරන්නේ නම් දෛනික මුව ආවරණ වෙළෙඳපොළ බිලියන අටකි. ඒ අනුව අප මුව ආවරණ නිෂ්පාදනයට ඉතා ඉක්මනින් පෙළඹිය යුතුය. මෙය උදාහරණයක් පමණි. නමුත් අප යාන්ත්‍රණය සකස් විය යුත්තේ මෙසේය. සුහුරු සහ වේගවත් (Fast and Smart) නිෂ්පාදන මෙහි දී ප්‍රමුඛ වේ. මෙම නව අවස්ථා හඳුනා ගැනීමට රජය දැනටමත් ඔවුන්ට උපකාර කරමින් සිටී. ඉදිරියේ දී නව අවස්ථා අරභයා කර්මාන්තකරුවන්ට ප්‍රතිව්‍යුහගත වීමට ද රජය උපකාර කිරීමට බලාපොරොත්තු වෙයි. 

පසුගිය සමයේ විකුණා දැමුණු සහ රටට අහිමි වූ සම්පත් ඇත. ඒවා නැවත ජාතික ආර්ථිකය නගා සිටුවීමට දායක කර ගැනීම ද එළඹෙන පොදුජන පෙරමුණු රජයකට ඇති ප්‍රමුඛ අභියෝගයකි. එය බලයට පත්වූ සැණින් කළ හැක්කක් නොවේ. මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වන විට තිබූ ත්‍රස්තවාදයට එරෙහි සටන් විරාමය ක්‍රමයෙන් අහෝසි කිරීමට වසර දෙකක කාලයක් ගත විය. අවසානයේ යුද්ධයෙන් ද ජය ලැබීමට රටක් ලෙස අපට හැකි විය. මේ අවස්ථාව ද කළමනාකරණය කර ගත යුත්තේ එපරිද්දෙනි. එකවරම ජාත්‍යන්තර ගිවිසුම් කුණු කූඩයට දැමීමට අපට නොහැක. ඒ අනුව  යම් ක්‍රමවේදයක් යටතේ අපට අහිමි වූ සම්පත් නැවත ලබාගැනීමට ගෝඨාභය රාජපක්ෂ රජයක කටයුතු සකස් වනු ඇත. 

ණය අර්බුදය සම්බන්ධව පසුගිය සමයේ දැඩි අවධානයක් ජනතාව තුළ තිබුණි. කෙසේවෙතත් මේ වසරේ දී ගෙවන්නට ඇති ණය ගෙවීමේ හැකියාව අප සතු බව මුදල් අමාත්‍යාංශය සහ මහා භාණ්ඩාගාරය දැනටමත් රජයට දැනුම් දී තිබේ. ඉදිරි වසරේ දී ගෙවිය යුතු ණය ප්‍රමාණය සම්බන්ධව සැලකිලිමත් වීම අත්‍යාවශ්‍ය කරුණක් බව සැබෑය. එසේම අප ජාත්‍යන්තර මූල්‍ය අරමුණ සහ ලෝක බැංකුව සමඟ සාකච්ඡාවල යෙදීම අවශ්‍ය කරුණකි. මන්ද කොවිඩ් සමඟ මතු වූ මෙම ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූවක් නොවේ. ගෝලීය ප්‍රශ්නයකට ගෝලීය විසඳුමක් ලබාගැනීමද අත්‍යාවශ්‍යය. 

සංවාදය ඇසුරින් සටහන 
 චමිඳු නිසල් ද සිල්වා