2020 අගෝස්තු 01 වන සෙනසුරාදා

මහ මැතිවරණයේ අලුත් ප්‍රචාරක ජිමික්

 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 40

මෙවර පැවැත්වෙන මහා මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තෝරා පත්කර ගන්නේ අපේක්ෂකයන් 196 දෙනෙකි. (ඉතිරිය ජාතික ලැයිස්තුවලිනි.)  එහෙත් ඒ සඳහා තරග වදින අපේක්ෂක සංඛ්‍යාව 7452කි. මින් පිළිගත් දේශපාලන පක්ෂවලින් ඉදිරිපත්ව ඇති පිරිස 3652ක් වන අතර ස්වාධීන අපේක්ෂකයන් සංඛ්‍යාව 3800කි. මැතිවරණ උණුසුම ක්‍රමයෙන් මතුව එද්දී අපේ මනාපය ඉල්ලන විවිධ පක්ෂවලට අයත් අපේක්ෂකයන් විවිධාකාරයේ ප්‍රචාරක ක්‍රම මගින් තමන්ට මනාපයක් ලබා ගැනීමට උත්සාහ කරන බව පෙනෙන්නට තිබේ.  

අතීතයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා නිවෙසින් නිවෙසට යෑම, අතින් ලියූ හෝ මුද්‍රණය කළ ප්‍රචාරක පත්‍රිකා බෙදීම, කවි කොළ මගින් අපේක්ෂයාට ප්‍රචාරය ලබා ගැනීම, මැතිවරණ ප්‍රචාරක රැලි පැවැත්වීම ප්‍රධාන ප්‍රචාරක විධි විය. මුදල් හදල් ඇති පිරිස් පුවත් පත් හා ගුවන් විදුලි මාධ්‍ය ඔස්සේ දැන්වීම් ප්‍රචාරයට කටයුතු කළහ.  

1977න් පසු ඒකල මන්ත්‍රී ක්‍රමය වෙනුවට මනාප ක්‍රමය නිර්මාණය වීම හේතුවෙන් දිස්ත්‍රික්කය පුරාම මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතවීමට අපේක්ෂකයන්ට සිදු වූ අතර ඒ හේතුවෙන් විශාල තරගයක්ද ඇති විය. එකම දිස්ත්‍රික්කයේ වුවද ඇතැම් ජනයා අපේක්ෂකයන් නොහැඳීනීම හේතුවෙන් වැඩි ප්‍රචාරයක් ලබා දීමට සිදු විය. 

බොහෝ අපේක්ෂකයන්ට තම ප්‍රචාරක කටයුතු සඳහා ලාබදායී ක්‍රමය වූයේ ඡන්ද පෝස්ටරයයි. විද්‍යුත් මාධ්‍ය හා පුවත්පත්වල දැන්වීම් පළ කිරීම සඳහා විශාල මුදලක් වැය කිරීමට නොහැකි අපේක්ෂකයෝ තම ප්‍රධාන ප්‍රචාරක මෙවලම ලෙස පෝස්ටරය තෝරාගත්හ. ගම්මට්ටමේ සිටින බොහෝ අපේක්ෂකයන් තම මනාප අංකය ජනතාවට දැන්වීම සඳහා යොදා ගත්තේ පෝස්ටරයයි. නව මැතිවරණ නීතියට අනුව මෙවර පෝස්ටර් ප්‍රදර්ශනය කිරීම තහනම්ය.
ඡන්ද විමසීම්වලදී එයට ඉදිරිපත්වන දේශපාලන පක්ෂ සහ  ස්වාධීන අපේක්ෂකයන් විසින් අනුගමනය කළ යුතු ආචාරධර්ම පද්ධතියක් සහිත අති විශේෂ ගැසට් පත්‍රිකාවක් මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කර තිබේ. තම පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම හෝ අපේක්ෂකයන්ගේ හෝ ජයග්‍රහණය පතා හෝ වෙනත් පාර්ශ්වයක් පරාජය කිරීමේ අපේක්ෂාවෙන් මැතිවරණ ප්‍රචාරණ දැන්වීම්, ප්‍රචාරක පුවරු, එයට අදාළ ඡායාරෑප, චිත්‍ර යනාදිය අවසර ලත් නිවේදික කාර්යාලවල හෝ ප්‍රචාරක රුස්වීම් පැවැත්වෙන දින රැස්වීම් භූමියේ හෝ හැර මහජනයාට ප්‍රදර්ශනය වන පරිදි රාජ්‍ය හෝ පෞද්ගලික ගොඩනැගිල්ලක, වාසස්ථානයක, හිස් භූමියක හෝ මහජනයාට ප්‍රවේශ වීමට අවසර ඇති මාර්ගවල හෝ පොදු ස්ථානවල නීති විරෝධී ලෙස ප්‍රදර්ශනය කිරීමෙන් වැළකී සිටිය යුතුයැයි එහි සඳහන්ය.

එම තහංචිය නිසා බොහෝ අපේක්ෂකයෝ තම ප්‍රචාරක කටයුතු සඳහා ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකා භාවිත කිරීමට පෙළඹී සිටිති. මේ දිනවල රූපවාහිනී නාලිකාවල විකාශය වන මැතිවරණ ප්‍රචාරක දැන්වීම් පිළිබඳ විමසීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු අපේක්ෂකයන් විශාල වශයෙන් රූපවාහිනී නාලිකා භාවිත කරන බව පෙනේ. දෙවනුවට වැඩි ප්‍රචාරයක් ලබා දෙන්නේ සමගි ජනබලවේගයයි. ඒ හැර අපේ ජනබල පක්ෂයේ එක් අපේක්ෂිකාවක විශාල වශයෙන් ප්‍රචාරක කටයුතුවල නිරත වන බව පෙනේ.

රූපවාහිනී, ගුවන් විදුලි දැන්වීම්වලට අමතරව රූපවාහිනි, ගුවන්විදුලි හා පුවත්පත්  සම්මුඛ සාකච්ඡාවලට සහභාගී වීම මගින්ද ඇතැම් අපේක්ෂකයන් අනියම් ආකාරයෙන් ප්‍රචාරයක් ලබා ගනු දැකිය හැකිය. ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය ජාල වැඩි වශයෙන් භාවිත කරනු පෙනේ. විවිධ අපේක්ෂකයන් විසින් මුහුණු පොතේ නිර්මාණය කළ පිටුවලට අමතරව ඔවුන්ගේ හිතවතුන්ගේ පිටු මගින්ද ප්‍රචාරය ලබාගනු දැකිය හැකිය. මුදල් ගෙවා සමාජ මාධ්‍යවල දැන්වීම් පළ කිරීමද මේ වනවිට විශාල ලෙස ඉහළ ගොස් ඇති බව පෙනේ. ෆේස්බුක් සමාගම මගින් Adlibrary Tool නොහොත් දැන්වීම් පුස්තකාල උපාංගය නමින් උපාංගයක් එක් කර තිබේ. එමගින් මුහුණුපොතේ දැන්වීම් සඳහා කොතරම් මුදලක් වැයකර තිබේද? එම දැන්වීම් කුමන අරමුණක් සඳහාද? වැනි තොරතුරු සපයාගත හැකිය. යූ ටියුබ් නාලිකාව හා විවිධ ගොසිප් පිටුවලද ප්‍රචාරක කටයුතු සිදු කෙරෙන බව පෙනෙන්නට තිබේ. තම අදහස් රූගතකොට යූ ටියුබ් නාලිකාව ඔස්සේ ජනතාවට ඉදිරිපත් කිරීමට ඇතැම් අපේක්ෂකයෝ කටයුතු කරති.

මේ වනවිට ප්‍රචාරක මාධ්‍යයක් ලෙස භාවිත කෙරෙන නවතම ක්‍රමවේද වන්නේ දුරකථන ඇමතුම් හා එස්.එම්.එස් පණිවිඩයි. ලංකාවේ සෑම පුරවැසියකුම පාහේ ජංගම දුරකථනයක් භාවිත කරන බැවින් මෙම ක්‍රමවේදයන් ඔස්සේ  තමන්ට මනාපයක් ලබා ගැනීමට ඔවුහු උත්සාහ කරති. 

අතීතයේ සිටම අපේක්ෂකයන් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ දී විවිධ පොරොන්දු ලබා දුන්නද මෙවර මහමැතිවරණයේදී පෙරට වඩා වෙනස්වූ පොරොන්දු ලබා දෙනු දැකිය හැකිය. මෙවර මැතිවරණයේදී තමන්ට ලැබෙන සෑම මනාපයක් වෙනුවෙන්ම පැළයක් බැගින් සිටුවන බවට එක් අපේක්ෂකයෙක් පොරොන්දු වී තිබේ. පාර්ලිමේන්තු මැතිවරණ සමයේ සිදුවන පරිසර විනාශය යම් පමණකින් හෝ සමනය කර ගැනීම සඳහා හොඳම විසඳුම ගස් වගා කිරීම බවත් එහෙයින් තමාට හිමිවන සෑම මනාපයක් වෙනුවෙන් එක පැළයක් රෝපණය කරන බවත් ඔහුගේ පොරොන්දුව වී තිබේ. අගනුවර තවත් අපේක්ෂකයකු ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පොරොන්දුවක් ලබාදෙමින් ප්‍රකාශ කර සිටියේ තමා පාර්ලිමේන්තුවට තේරී පත් වුවහොත් තමාට හිමිවන තීරුබදු රහිත සුඛෝපභෝගී මෝටර් රථය ලබා නොගන්නා බවටය. මෙවර පළමුවරට මැතිවරණයට ඉදිරිපත්වන විශේෂඥ වෛද්‍යවරයකුගේ පොරොන්දුව වන්නේ පාර්ලිමේන්තු වැටුප, දීමනා හෝ කිසිදු වරප්‍රසාදයක් ලබා නොගන්නා බවටය. තමාගේ එකම අරමුණ අනාගත දරු පරපුර වෙනුවෙන් කිසියම් කැප කිරීමක් සිදුකිරීම යැයි ඔහු පවසයි.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ සංවිධානය සඳහන් කරන අයුරින් පක්ෂ අපේක්ෂයන් 3652 අතුරින් ක්‍රියාකාරී ලෙස මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතව සිටින්නේ අපේක්ෂකයන් 2500 වැනි පිරිසකි. ස්වාධීන අපේක්ෂකයන් 3800 අතුරින් 700ක පමණ පිරිසකි. ඇතැම් අපේක්ෂකයන් ප්‍රචාරණය කෙසේ වෙතත් තමාට මනාපයක් දෙන ලෙසට තම දිස්ත්‍රික්කයේ ජන්දදායකයන් වෙත ලිපියකින් හෝ දැනුම් දී නොමැති බවද එම සංවිධානය පෙන්වා දෙයි. ඒ අනුව මැතිවරණයට තරග කරන්නන් වාලේ තරග කරන පිරිසක්ද සිටින බව පැහැදිලිය.

මෙලෙස සක්‍රිය ලෙස ප්‍රචාරණයේ යෙදෙන පිරිස අවම වුවද මැතිවරණ කොමිසම මෙම සමස්ත අපේක්ෂකයන් 7452 වෙනුවෙන් මිලියන 1000කට අධික මුදලක් වැය කරයි. එහෙයින් තැන්පත් කළ යුතු ඇප මුදල ඉහළ දැමීම හා යම් යම් නිර්ණායක හඳුන්වාදීම මගින් අනවශ්‍ය පුද්ගලයන් මැතිවරණවලට ඉදිරිපත් වීම අවම කළ හැකිය.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00