2020 අගෝස්තු 01 වන සෙනසුරාදා

නිරෝධායනය වෙන පිරිස ඡන්දය දෙන හැටි

 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 18

ශ්‍රී ලංකාව තුළ කොරෝනා දෙවැනි රැල්ලක් මතුවන්නේ නම් එය නොසැලකිල්ල හා සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය නොකිරීම නිසා ඇතිවිය හැක්කක් බව අපගේ පිළිගැනීමය. අප එසේ අවධාරණය කරන්නේ වසංගතය මර්දනය කිරීම සඳහා ගතයුතු සෑම පියවරක්ම රජය ගෙන ඇති බැවිනි. 

රාජ්‍ය නිලධාරීන් සේම පොදු ජනතාවද රජයේ උපදේශන පිළිපදිමින් ක්‍රියාකරන්නේ නම්, රෝගය ව්‍යාප්ත වීමට හේතුවක් නැත. කොරෝනා වසංගතය මර්දනය කොට ජන ජීවිතය යථා තත්ත්වයට ගත් සෑම රජයක්ම සෞඛ්‍ය පිළිවෙත් අකුරටම අනුගමනය කර තිබේ. දැනටද අනුගමනය කරමින් සිටී. කොරෝනා වසංගතය සමඟ ජීවත්වීම යනු එම සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීමය.

මහ මැතිවරණය වෙනුවෙන් සෞඛ්‍ය රෙගුලාසි පැනවීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය සෞඛ්‍ය ඇමැතිවරිය ප්‍රකාශයට පත් කළේ 17 වැනිදා රාත්‍රියේය. නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ 2020 අංක 01 දරන කොරෝනා වෛරස් රෝගය (ඡන්ද විමසීමේ) නියෝගය යනුවෙන් මෙම ගැසට් නිවේදනය සඳහන්ය.

මැතිවරණ කොමිෂන් සභාව පසුගිය දිනවල කියා සිටියේ නිරෝධායන මධ්‍යස්ථානවල සිටිනා පුද්ගලයන්ට සහ නිවෙස්වලට වී ස්වයං නිරෝධායනය වන පුද්ගලයන් සඳහා පසුගිය 31 වැනි සිකුරාදා ඡන්දය ලබාදීමට ඉඩ ප්‍රස්ථාව සලසන බවය. මැතිවරණ රාජකාරියේ යෙදී සිටින කණ්ඩායමක් එම කටයුත්ත සිදුකරන බවද එහිදී කියැවිණි. එහෙත් පසුගිය සඳුදා පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිසම අතර තිබූ සාකච්ඡාවෙන් පසුව මැතිවරණ කොමසාරිස්වරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ නිරෝධායන මධ්‍යස්ථානවල සිටිනා පුද්ගලයන් මෙන්ම නිවෙස්වලට වී ස්වයං නිරෝධායන වන පුද්ගලයන් සඳහාද අගෝස්තු මස 5 වැනිදා මහ මැතිවරණයේ ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබාදෙන බවය.

කෙසේ වෙතත් නිරෝධායන මධ්‍යස්ථානවල සහ නිවාසවල නිරෝධායනය පුද්ගලයන්ට නියමිත ඡන්ද දිනයට කලින් එනම් පූර්ව ඡන්ද අවස්ථාවක් ලබාදීම සම්බන්ධව මතුවූ විරෝධතා හේතුවෙන් පසුගිය 31 වැනිදාට තිබූ විශේෂිත මැතිවරණ දිනය කොමිසම මෙලෙස අවලංගු කර ඇත. මේ හේතුවෙන් නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් සහ නිවෙස්වල ස්වයං නිරෝධායනය වන පුද්ගලයින් ඡන්දය ලබාදෙන ආකාරය පිළිබඳව දේශයේ අප මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා මෙසේ කීය.

පසුගිය 31 වැනිදා නිරෝධායන මධ්‍යස්ථානවල ඉන්න අයට සහ නිවෙස් වල ස්වයං නිරෝධායනය වන අයට ඡන්දය ලබාදීම සඳහා අපගේ බලාපොරොත්තුවක් තිබුණා. නමුත් පූර්ව ඡන්ද ලබාදීම් පිළිබඳ මතු වූ විරෝධතාවයන් නිසා එම තීරණය අවලංගු කරන්න අපට සිදුවුණා. කෙසේ වෙතත් නිවෙස්වල නිරෝධායන වන පිරිස් හට ඡන්දය ලබාදීමේ අවස්ථාවක් සෞඛ්‍ය සේවා අධ්‍යෂකවරයා විශේෂ අවස්ථාවක් ලබා දෙනවා නම් ඔවුන්ට ඡන්ද පොළට පැමිණීමට වෙලාවක් වගේම වෙනම් ස්ථානයක් ඇතුළු වෙන කල පහසුකම් ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාවට පහසුකම් සලසන්න පුළුවන්. මොකද ඒ අය ඕනෑම ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙන්නේ සුළු පිරිසක්. ඒ කියන්නේ එක ඡන්දපොළකට තුන් හතර දෙනෙක් තමයි එන්නේ එහෙම වුණාම ඒ අයට ඕන සෞඛ්‍ය ක්‍රියා පටිපාටිය සුදු කරන්න ඡන්දපොළක සෞඛ්‍ය නිලධාරියෙක් සිටිනවා. එලෙස පැමිණෙන අයට වෙනම තීන්ත, අත් වැසුම් ආදිය අපි ලබා දෙනවා. අනතුරුව ඡන්දය භාවිත කරලා ඉවර වුණාම අපි ඒවා පුළුස්සා දමනවා. ඡන්දය ගණන් කිරීමේදීත් අපි සෞඛ්‍ය උපදෙස් අනුව තමයි කටයුතු කරන්නේ.

 හසිත් අංජන