2020 ජුලි 25 වන සෙනසුරාදා

පොහොට්ටුව අතුළේ ශ්‍රී ල.නි.පයට ටොකු ඇනිල්ල

 2020 ජුලි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 56

එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට තවත් ඇත්තේ දින දහයක් වැනි කාලයකි. මහ මැතිවරණයෙන් පසුව ශක්තිමත් හා ස්ථාවර ආණ්ඩුවක් පැවැතිය යුතුය යන්න පුරවැසියන්ගේ අදහසය. විධායකය හා ව්‍යවස්ථාදායකය දෙපැත්තක ගමන් කිරීමෙන් රටට ඇතිවන හානිය හා ජාතියට ඇති වන පාඩුව පසුගිය ආණ්ඩු කාලය හොඳින් පැහැදිලි කර දී තිබේ. එබඳු රාජ්‍ය තන්ත්‍රයක් යළි ගොඩනැඟුණහොත් ඇති වන විනාශය බරපතල විය හැකිය. පවතින සන්දර්භයට අනුව අත්හදා බැලීම්වලට හෝ කාලය නාස්ති කිරීමට හෝ අවස්ථාවක් නැත.

එළැඹෙන මහ මැතිවරණය තීරණාත්මක එකක් බව ඉතා පැහැදිලිය. එය තීරණාත්මක වන න්‍යායාත්මක සාධක හා ප්‍රායෝගික සාධක ගණනාවක් පවතී. මේ වනවිට ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ල මහ මැතිවරණයට සූදානම් බව පෙනී යයි. මැතිවරණයේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ ප්‍රධාන පක්ෂ දෙකම සන්ධාන ලෙස මැතිවරණයට ඉදිරිපත් වීමය. රටේ බහුතරයක් නියෝජනය කරන පුළුල් සන්ධානය ගොඩනගාගෙන ඇත්තේ පොහොට්ටුව ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව දේශපාලන විචාරකයෝ පවසති. ජනතාව ජාතික බලවේග ලෙසින් හඳුන්වනු ලබන දේශපාලන ව්‍යාපාර සියල්ල ඊට එක්වී සිටියි.

මෙම සන්ධානය ආරම්භ කිරීමට පෙර සිටම පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර මත ගැටුමක් පැවතිණි. ඒ මහ මැතිවරණයට ඉදිරිපත් වන ලකුණ පිළිබඳවය. දෙපාර්ශ්වය අතර දීර්ඝ සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව මහ මැතිවරණයට ඉදිරිපත් වන ලකුණ පිළිබඳ ගැටලුව අවසන් විය. ඉන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මහජන අපේක්ෂකයන් පොහොට්ටු වේදිකාවලට ගොඩ වනවිට පොහොට්ටු පාක්ෂිකයෝ හූ තැබූහ. පොහොට්ටුවේම ඇතැම් මැති ඇමතිවරැන්ගේ මැදිහත්වීම මත එය ද නැවතිණි. දැන් මැතිවරණ දිනය ළංවෙත්ම නැවතත් පොහොට්ටුවේ සහ ශ්‍රීලනිපයේ මනාප ගැටුමක් හටගෙන ඇත.

පොහොට්ටු පක්ෂයෙහි ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක වූ ප්‍රසන්න රණතුංග මහතා ප්‍රසිද්ධ වේදිකාවල හිටපු ජනාධිපති, ශ්‍රීලනිපයේ වර්තමාන සභාපතිවරයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝජනය කරන කිසිවකුටත් ඡන්දය ලබා නොදෙන ලෙස පැවසීම මෙවර පොහොට්ටු ශ්‍රීලනිප ගැටුම ආරම්භ වීමට මුලපුරා ඇත. ප්‍රසන්න රණතුංග ඇමැතිවරයාගේ කතාවට ශ්‍රීලනිපය නියෝජනය කරන මැති ඇමතිවරැන් කැමැත්තක් නොදක්වන අතර ඔවුන් ද මේ වනවිට අමත්‍යවරයාට පෙරළා පහර දීමට පටන් ගෙන තිබේ.
කෙසේ වෙතත් මැතිවරණයට තවත් ඇත්තේ දින දහයක කාලයකි. එවනි පසුබිමක් තුළ පොහොට්ටුවේ සහ ශ්‍රීලනිපයේ හටගෙන ඇති අර්බුදය ගැන දේශයේ අපි පක්ෂ දෙකෙහිම ප්‍රබලයන් කිහිපදෙනකුගෙන් විමසීමක් කළෙමු.

අපි අතපල්ලෙන් වැටුණු පක්ෂයක් නොවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ

ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය  රෝහණ ලක්ෂ්මන් පියදාස  

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පොදුජන පෙරමුණෙහි අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් දිගින් දිගටම එල්ල කරන චෝදනා, අපහාස, අවලාද පිළිබඳව ගන්න පුළුවන් නෛතිකමය පියවර පිළිබඳව අපගේ පක්ෂයේ නිතීවේදීන් විසින් සමාලෝචනය කරමින් සිටිනවා. මැතිවරණ, අපහාස හා ගිවිසුම් කඩ කිරීමේ නීති යටතේ තමයි අපි මෙම පියවර ගැනීමට බලාපොරොත්තු වෙන්නේ. අපි අපගේ දේශපාලන වේදිකාවල කාගෙවත් චරිත ඝාතනය කිරීම් කරලා නැහැ. අපේ ඇතැම් අපේක්ෂකයන් දැනුත් ඔවුන් කියන දේට පිළිතුරු ලබාදීම් තමයි සිදු කරන්නේ. ඒ වගේම තමයි අපි මැතිවරණයට එන්න පෙර සාකච්ඡා කළේ පොහොට්ටුවේ ප්‍රබලයන් එක්ක. අපි කාගෙවත් අතපල්ලෙන් වැටුණු පක්ෂයක් නෙවෙයි.

වැඩ බැරි උදවියගේ කතා අපට වැඩක් නෑ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර

අපි කිසිවිටෙකත් අනෙකාට අපහාස වන අයුරින් දේශපාලනය කරපු පක්ෂයක් නෙවෙයි. නමුත් පොහොට්ටුවේ එක්තරා ඇමැතිවරයෙක් දිගින් දිගටම කියනවා මෛත්‍රීට ගෑවුන කිසිවකුට ඡන්දය ලබා දෙන්න එපා කියලා. නමුත් අපි කැමතියි කියන්න අපි සන්ධානගත වුණේ ඔය කවුරැත් දේශපාලන වේදිකාවල කතා කරන අය එක්ක ගිවිසුම් ඇති කරගෙන නෙවෙයි. අපි සන්ධාන ගතවුණේ පොහොට්ටුවේ ප්‍රබල චරිත එක්ක සාකච්ඡා කරලා. ඒ නිසා පොහොට්ටුවේ ඉන්න අනෙකුත් වැඩ බැරි උදවිය කියන කතා කොහොමත් අපි ගණන් ගන්නේ නැහැ. මඩ දේශපාලනය අපේ නැහැ. අපිට එල්ල කරපු චෝදනාවලට විතරයි මම දේශපාලන වේදිකාවලත් පිළිතුරු ලබා දුන්නේ. කොහොමත් ශ්‍රීලනිපය නැතුව කාටත් තනි ගමනක් යන්න බැහැ.

අහසින් පාත් වෙච්ච අය අද ගෝඨාභය මහත්තයාගේ අයිතිකාරයෝ වෙලා

කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග

මම  හැමතැනම කියනවා පොහොට්ටුවට ඡන්දය දෙන්න කියලා. හැබැයි මතක තියාගන්න පොහොට්ටුවේ සියලුම අපේක්ෂකයෝ පොහොට්ටුවේ නෙමෙයි. පොහොට්ටු ගහගෙන පොහොට්ටුවේ පාට ඇඳගෙන මහින්ද මහත්තයාගේ, ගෝඨාභය මහත්තයාගේ ෆොටෝ ගහගෙන ආවට ඒ හැමෝම පොහොට්ටුවේ නෙමෙයි. අපි පොහොට්ටුව හැදුවේ තර්ජන මැද්දේ. අද දකුණු ආසියාවේ ශක්තිමත්ම දේශපාලන පක්ෂයක් බවට පොහොට්ටුව පත් වෙලා. අපි දෙවැනි වන්නේ චීනයේ කොමියුනිස්ට් පක්ෂයට විතරයි. ඒ නිසා පොහොට්ටුව විනාශ කරන්න කිසිවකුට ඉඩ දෙන්න බෑ. ඒකට හුඟදෙනෙක් උත්සාහ කරමින් ඉන්නවා. මිතුරු වෙසින් එන සතුරන්  පොහොට්ටුව විනාශ කරන්න හදනවා. පොහොට්ටුව රැකගන්න අපි ඕනෑම කැපකීරීමක් කරන්න ලෑස්තියි. මේ දවස්වල අහසින් පාත් වෙච්ච මිනිස්සු එනවා ඔබේ ඡන්දය ඉල්ලගෙන. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී, පසුගිය ජනාධිපතිවරණයේදී අපි ඒ අයව දැක්කේ නෑ. මේ අය පෙනී ඉන්නේ ගෝඨාභය මහත්තයගේ අයිතිකාරයෝ වගේ. මගේ වගකීම පළාත් පාලන මැතිවරණය, ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න පහුගිය වසර හතර හමාරේ දුක් විඳපු අය වෙනුවෙන් පෙනී සිටීම. මම ඒක ඊයෙත් කළා. අදත් කරනවා. හෙටත් කරනවා. පොහොට්ටුවෙන් ඉල්ලන හැමෝම පොහොට්ටුවේ නෙවෙයි. අහසින් වැටුණු මිනිස්සු පොහොට්ටුවේ නෑ. පොහොට්ටුව හැදුවේ ශ්‍රී ලංකාකාරයෝ. ඇත්ත ශ්‍රීලනිපය තියෙන්නේ මෙතන. බණ්ඩාරනායක ප්‍රතිපත්ති පංච මහා බලවේගය අද ඉන්නේ අපි එක්ක. 

අපේ අතරේ එකඟතා බිඳ වැටී නෑ

මහනුවර දිස්ත්‍රික් පොදුජන පෙරමුණ අපේක්ෂක කෙහෙළිය රඹුක්වැල්ල

මේ මහ මැතිවරණයේ විපක්ෂයෙන් අපිට කිසි අභියෝගයක් නැහැ. අනිවාර්යයෙන් අපිට පුළුවන් මේ මැතිවරණය ජයග්‍රහණය කරන්න 3/2 බලයක් ලබාගෙන. ශ්‍රීලනිපය කියන්නේ දැන් මේ පොදුජන පෙරමුණ සමඟ අත්වැල් බැඳගත්ත පක්ෂයක්. මීට පෙර ලකුණ පිළිබඳ ගැටලු මතු වුණ අවස්ථාවේ එක එක අය විවිධ කතා කිව්වා. නමුත් අන්තිමට මොකද වුණේ? එය විසඳගන්න සමත් වුණා. දැනුත් මේ දේශපාලන වේදිකාවල කියන කතා එතරම් ගණන් ගන්න බැහැ. අපි අතර තිබෙන එකඟතාවන් තාමත් බිඳ වැටිලා නැහැ. ඒ නිසා මහ මැතිවරණය ජයග්‍රහණය කලායින් පස්සේ ඕවා විසඳෙනවා. 


 සටහන - හසිත් අංජන

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00