2020 ජුලි 25 වන සෙනසුරාදා

කොරියානු කෙල්ල එක්ක මහපාර අයිනේ රෝස්පාන් විකුණන ලංකාෙව් කොල්ලා

 2020 ජුලි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 86

මිහිඳු සඳමාල් විජේතුංග කිඹුලාවල හන්දියේදී අපිට මුණගැසුණු ධෛර්යවන්ත තරුණයෙකි. එක් කනක අරුංගලයක් පැළඳු බැලූ බැල්මට ටිකක් සෙල්ලක්කාර ජීවිතයක් ගතකරන තරුණයකු යැයි පෙනුණද මිහිඳු කාටවත් අතනොපා ජීවත් වන්නට උත්සාහ කරණ ආදර්ශමත් තරුණයෙකි. කිඹුලාවල හන්දියේ ත්‍රීරෝද රථයක කුඩාවට පවත්වාගෙන යන පුංචි ව්‍යාපාරය මිහිඳුගේ අනාගත බලාපොරොත්තු මල්ඵල දරන්නට ගන්නා උත්සාහයකි.

(Mama’s supper) නමින් ඌරු මස් සමඟ රෝස් පාන් විකුණන මිහිඳුගේ ධෛර්යවන්තකමට අත්වැලක් වන්නේ තම පියාත්, තම පෙම්වතියත්ය. ඇය දකුණු කොරියානු ජාතික තරැණියකි. කිඹුලාවල හන්දියේ ත්‍රීරෝද රථය නතර කරමින් මෙම ව්‍යාපාරය මිහිඳු පවත්වාගෙන යද්දී ඊබු ඔහු අසල කුඩා බංකුවක හිඳ ඔහුට උදව් කරන්නීය.

මිහිඳු උපන්නේ කුවේට් රටේදීය. එවකට ඔහුගේ මවත් පියාත් කුවේට් රටේ සේවය කළහ. මිහිඳුට වැඩිමහල් සහෝදරයෙකි. කුඩා කල කුවේට් රටේ ළමා කාලය ගතකළ මිහිඳු මුල්ම වරට පාසල් අධ්‍යාපනය ලැබුවේ ශ්‍රී ලංකාවේදීය. ඒ වෙද්දී මිහිඳුගේ සහෝදරයා ගුරුතලාව ශාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙනුමලබමින් සිටියේය. මවත් පියාත් තම බාල සහෝදරයාත් කුවේට් රටේ ජීවත් වෙද්දී මිහිඳුගේ සහෝදරයා ගුරැතලාවේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ තනිවම අධ්‍යාපනය හැදෑරුවේය. මේ නිසාම වයස අවුරුදු පහක් ගතවෙද්දී මිහිඳුව ලංකාවට ගෙන ආ මවත් පියාත් මිහිඳුවද ගුරුතලාවේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ නතර කර නැවත කුවේට් රටට ගියහ. තම එකම සහෝදරයා සමඟ එකම නේවාසිකාගාරයේ ගතකරන්නට හීන ඇහින්දද මවත් පියාත් මෙරට තනිකර නැවත ගිය දිනයේ සිට මිහිඳු දින කිහිපයක් ඇඬුවේය. ඒ සෑම රාත්‍රියකම ඔහුට නින්දෙන් මුත්‍රා පිටවිය.

“අම්මලා මාව දාලා ගියපු දවසේ ඉඳන් මම දවස් ගාණක්ම ඇඬුවා. හොස්ටල් එකේ ළමයි හොටු පෙරාගෙන අඬනවා කියලා මට සෑහෙන්න විහිළු කළා. දවස් ගාණක්ම මම රෑට ඇඳේ මුත්‍රා කළා. පහුවදා උදේ පාන්දර පහමාරට විතර වතුරෙන් මාව මේට්‍රන් නාවනවා මට අද වගේ මතකයි. ඊටපස්සේ ටිකින් ටික මාත් ඒ තනිකමට හුරුවුණා. අවුරුදු කිහිපයකට පස්සේ අම්මයි තාත්තයි ලංකාවට ඇවිත් අපි දෙන්නව ජාත්‍යන්තර පාසලකට ඇතුළත් කළා. ඒ දෙන්නත් ලංකාවේ ව්‍යාපාරයක් පටන් අරගෙන ලංකාවේ නතර වුණා. ඒ වෙද්දී අපිට කෑගල්ලේ ලොකු ව්‍යාපාරයක් තිබුණට ව්‍යාපාර දැනුමක් නොතිබුණ නිසාම අපිට ඒ ව්‍යාපාරය අවුරුදු දෙකක් ගතවෙද්දී වහන්න සිද්ධ වුණා.”

මිහිඳු අතීතය ආවර්ජනය කරමින් පවසන්නීය.

එතැන් සිට මිහිඳුගේ ජීවිතයට ආර්ථික අපහසුකම් දැනෙන්නට පටන් ගත්තේය. ඒ වෙද්දී මිහිඳුගේ සොහොයුරා තම අධ්‍යාපනය අවසන් කොට තිබුණි. ආර්ථික අපහසුතාත් සමඟ මිහිඳුගේ පාසල් ගාස්තුව ගෙවන්නට ඔහුගේ දෙමාපියන්ට වත්කමක් නොතිබුණි. ඒ නිසාම මිහිඳු නවය වසරේදී පාසල් ජීවිතයට ආයුබෝවන් කීවේය. නැවතත් මේ පවුලේ ආර්ථිකය නගාසිටවූයේ සොහොයුරාට ලැබුණු රැකියාවත් සමඟය.

මිහිඳු රැකියාවල් කිහිපයකටම ඉල්ලුම් පත්‍ර දැම්මේය. ඒ සියල්ල සිහිනයක්ම විය. නමුත් ඔහු උත්සාහය අත්නොහැරියේය. සොහොයුරාගේ මාර්ගයෙන් මිහිඳු අලෙවි නියෝජිතයකු ලෙස මුල්ම රැකියාව ලබාගත්තේය. ටික කලකින් එයද අත්හැර දැමූ මිහිඳු ත්‍රීරෝද රථයක් දවසේ මුදලට කුලියට ගෙන ධාවනය කළේය. නමුත් එය හිතන තරම් ලෙහෙසි වූයේ නැත. ඇතැම් රථ රියැදුරන්ගේ නොමනා හැසිරීම් මිහිඳුගේ හිත පෑරුවේය.

“පුතා ඔය රස්සාව කරන්න එපා”

මිහිඳුගේ මව නිතරම කීවාය. මිහිඳුට රැකියාවක් ලැබුණි. ඒ යාල හෝටලයේ කළමනාකරු ලෙසිනි. ඒ අවදියේදී මිහිඳුගේ මව දැඩිලෙස අසනීප විය. නිතර නිතර අම්මාගේ අසනීප වීමත් සමඟ මිහිඳුගේ හිත කඩා වැටුණි. ඔහු යාල කැලයේ තනියම කාටවත් නොපෙනෙන්නට හැඬූ දවස් අනන්තය. වරක් අම්මා අසනීප වී බලන්නට නිවසට ගිය දවසක ඔහු කතාවක් නැති අම්මා තුරුළු කර එළිවෙනතුරු අවදිව සිටියේය. මිහිඳු මවගේ කනට “අම්මේ මාව දැන්මම දාලා යන්න එපා” යැයි කොඳුළේය. ටික කාලයක් ජීවත් වුණ ඇය මිහිඳු තනිකර දෑස් පියාගත්තාය.

ජීවිතය නතර වූවායැයි මිහිඳුට සිතුණි. ඒ වෙද්දී මිහිඳුගේ සොහොයුරා රැකියාවක් සඳහා විදෙස්ගතව සිටියේය.  මිහිඳු විදෙස් සංචාරකයන්ට මගපෙන්වන්නෙක් විය. විවිධ රටවල්වලින් පැමිණි විදෙස් සංචාරකයන් සමඟ ඔහු රට වටේ සංචාරය කළේය.
පසුගියදා දිනෙක දකුණු කොරියාවේ සිටි ඊබුටද මිහිඳු හොඳ මඟපෙන්වන්නෙක් වූවේය. වැඩිය කතාබහක් නැති ඊබුගේ හිත මේ ලංකාවේ ලොක්කා ළඟ නතර වන්නට ඇත්තේද දෙදෙනාටම හොර රහසෙනි. ඊබු සංචාරය නිම වී යන දිනය ළඟා විය. ගුවන් තොටුපොළේදී ඊබුගේ ඇස්වලින් කඳුළු ගලා හැළුණේය. මිහිඳුට යමක් දැනුණි. ඒ ආදරය බව ඔහුගේ හිත ඔහුට කීවේය. ඒ වෙද්දිත් මිහිඳුගේ හිතද මේ සුරෑපී කොරියානු කෙල්ල ළඟ නතර වී තිබුණි. දෙරටක ආදර කතාව ඇරඹුණේ එලෙසිණි. ඊබු ලංකාවේ තව ටික දවසක් නතර වන්නට හිතාගත්තාය.

මිහිඳුගේත් ඊබුගේත් ආදරය ගලා යන්නට ගතවූයේ ටික දවසකි. කෝවිඩ් 19 වසංගතය මුළු ලෝකයම වෙලා ගනිද්දී කොරියානු තරුණියට මව් රටට යාමට නොහැකි විය. සංචාරකයන් මෙරටට නොපැමිණීම හේතුවෙන් මිහිඳුගේ රැකියාවද අහිමි විය.
මිහිඳු හිත හදා ගත්තේය. අම්මා ජීවතුන් අතර සිටින කාලෙදී මිහිඳු අම්මා සමඟ එකතු වී රස ආහාර පිසුවේය. එය එකල ඔහුගේ විනෝදාංශයක්ම විය. අම්මාගේ අත්ගුණය හරි අපූරැවට මිහිඳුට පිහිටා තිබිණි. දෙවරක් නොසිතාම පාරේ අයිනකට වන්නට ඌරු මස් සමඟ රෝස් පාන් විකුණන්ට මිහිඳු උත්සාහ ගත්තේය. පාරේ කෑම විකුණන මේ ධෛර්යවන්ත ශ්‍රී ලාංකික තරුණයාට දකුණු කොරියානු තරුණිය ලොකු ශක්තියක් වූවාය. අව්වට පිච්චෙමින්, වැස්සට තෙමෙමින් යන්නට හරිහමන් වැසිකිළි පහසුකමක් පවා නැතිව පාරේ අයිනේ කුලියට ගත් ත්‍රීරෝද රථයක හිඳ මිහිඳුත්, ඊබුත් අද රෝස් පාන් විකුණන්නේය. සවස් කාලයේදී කිඹුලාවල හන්දියට ගියහොත් මිහිඳුගේ (Mama’s supper) ත්‍රීරෝද රථයෙන් ඔබටත් මෙය රසබැලිය හැක. බොහෝවිට ඊබු ලබන අගෝස්තුවේ නැවතත් තම මව් රටට යන්නට නියමිතය. ඒ අහම්බෙන් හමුවුණු ශ්‍රී ලාංකික ධෛර්යවන්ත තරුණයා ගැන තම දෙමව්පියන්ට පවසා ආශිර්වාද ලබා නැවතත් මෙරටට ඒමේ අරමුණිනි.

“ඊබු මාව ගොඩක් තේරුම්ගත්ත කෙනෙක්. එයා වැඩිය කාත් එක්කවත් කතා කරන්නේ නැහැ. හැබැයි එයා ලංකාවට හරි ආදරෙයි. මගේ තාත්තා ගැනත් ඊබු හොඳට හොයලා බලනවා. හැමදාම නවයට මාත් එක්ක මේ කෑම විකුණන්න ඊබු එනවා. මෙතන හරියට වැසිකිලි පහසුකමක්වත් නෑ. එයා ඒ ගැනවත් හිතන්නේ නෑ. පසුගිය වැස්සට අපි දෙන්නම හොඳටම තෙමුණා. එයාට ඒක ගාණක් නැහැ. සමහරදාට ඉතුරු වුණත් (අපි තව ටිකක් බලමු) කියලා රෑ වෙනකල්ම එයා මාත් එක්ක ඉන්නවා. මගේ අම්මා හැමවෙලේම කියපු දෙයක් තමයි රස්සාවක් කරනවනම් හිතේ සතුටින් කරන්න පුතේ කියලා. මම මේක කරන්නේ සතුටින්. මමමයි ඌරු මස් කරිය හදන්නේ. ඒක මගේ අම්මා මට කියලා දීපු රෙසිපි එකක්. මගේ තාත්තත් ඊබුත් මට උදවු කරනවා. මගේ අයියා ඉන්නේ ඔස්ට්‍රේලියාවේ. සමහරවිට අපි දවසක ඒ රටට යාවි.”

 දිශානි ජයමාලි කරුණාරත්න
     සේයාරූ - සුමුදු හේවාපතිරණ