2020 ජුලි 25 වන සෙනසුරාදා

ලංකාවේ ගුවන් පාලමක පළමු මාරක අනතුර...

 2020 ජුලි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 36

“විසි වැනිදා උදේම මට කෝල් එකක් ආවා. කතා කළේ මහත්තයා වැඩ කරන හමුදා කඳවුරේ නිලධාරියෙක්. නුගේගොඩ දී රිය අනතුරක් වෙලා ලලිත්, කළුබෝවිල රෝහලට ගෙනිච්චා කියලයි කීවේ. වැඩිය අමාරැවක් නෑ. ඒත් ඉක්මනට රෝහලට එන්න කියලා කීවා. ඒත් අනේ අපි එනකොට මගේ මහත්තයා මායි දරැවෝ දෙන්නයි දාලා ගිහින්. මම දැන් දරැවන්ට මොනවද කියන්නේ...”

නුගේගොඩ ගුවන් පාලම මත පෞද්ගලික බස් රථයක් හා යුද හමුදා කැබ් රථයක් එකිනෙක ගැටුණි. එය මෙරට ගුවන්පාලමක් මත සිදුවූ පළමු මාරක අනතුරයි. ඉන් ජීවිතක්ෂයට පත් වූ සෙබළාගේ බිරිය දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මෙසේ කියමින් සාක්ෂි දුන්නාය.

14 වැනි විජයබාහු රෙජිමේන්තුවට අනුයුක්තව මරදාන ට්‍රිපොලි යුද හමුදා කඳවුරේ රාජකාරියේ නියුතු සනත් කුමාර නැමැති කපිතාන්වරයෙකි. 20 වැනිදා අලුයම රාජකාරි කටයුත්තක් සඳහා පනාගොඩ යුද හමුදා කඳවුර වෙත යාමට මොහු ඇතුළු පිරිසට නියමිතව තිබිණ. යුද හමුදා රියැදුරු ලාන්ස් කෝප්‍රල් ලලිත් සමඟ තවත් සෙබළුන් ‍දෙදෙනෙක් ඒ ගමනට එක්ව සිටියහ. එදින අලුයම පහ පසුවෙත්ම පිරිස රැගත් කැබ් රථය මරදාන ට්‍රිපොලි කඳවුරෙන් පිටත් වී හයිලෙවල් මාර්ගය ඔස්සේ ධාවනය වෙමින් පැවතිණ. රථවාහන තදබදයක් නොවුණු මාර්ගයේ පිරිස රැගත් කැබ් රථය කිරුළපන ප්‍රදේශය පසුකරමින් නුගේගොඩ ගුවන් පාලම හරහා ධාවනය කිරීමට නියමිතව තිබිණ.

මේ ආසන්න උදෑසන මොහොතකදී මාර්ග අංක 138 ඔස්සේ කොට්ටාව සිට පිටකොටුව දක්වා ධාවනය වෙමින් පැවති පෞද්ගලික බස් රථයක් හයිලෙවල් මාර්ගය ඔස්සේ නුගේගොඩ පසුකරමින් තිබිණ. ඊට මත්තෙන් එම මාර්ගයේම ධාවනය කෙරුණු තවත් පෞද්ගලික බස් රථයක් හා තරගයට එය ධාවනය කොට තිබුණේ වැඩි වැඩියෙන් මගීන් පටවාගෙන අනෙකාට වඩා මඩිය තරකර ගැනීමටය. ඉදිරියෙන් ධාවනය කෙරෙන බස් රථය බස් නැවතුමක නවත්වන සැණින් එහි ගමන අඩාල කරමින් ඉදිරියෙන් නවත්වන මෙකී බස් රථය මගීන් බැසීමට ගොඩවීමට ප්‍රථම යළි ධාවනය කරන්නට වූයේ ඉදිරියෙන් යන බස් රථය පසුකර යාමටය. මේ ආකාරයට ගස්සමින් පද්දමින් වේගයෙන් යන ගමන ගැන ඇතැම් මගීන්ට වගක් නොවූයේ අලුයම නින්දේ පසු වූ බැවිනි. එහෙත් අවදියෙන් පසු වූ මගීන්ට හිතට දැනී තිබුණේ රියැදුරු පිළිබඳ අපැහැදීමකි.

නුගේගොඩ නගර මධ්‍යයේ පිහිටි ගුවන් පාලම පෙනෙන මානයේය. ඉදිරියෙන් ධාවනය වන බස් රථය පසුකර වේගයෙන් යන්නට විරුද්ධ මංතීරුවේ ධාවනය වනුයේ පෙර කී බස් රථයයි. ඒ වන විටත් මාර්ග නීති උල්ලංඝනය කරමින් පාලම මධ්‍යයේ වූ සුදු ඉරි දෙකක් සහිත සලකුණු අභිබවා ගිය බස් රථය ධාවනය කරමින් තිබුණේ විරුද්ධ මංතීරුව සම්පූර්ණයෙන් වසාගෙනය. ඒ මොහොතේදීම මරදාන ට්‍රිපෝලි හමුදා කඳවුරු පරිශ්‍රයෙන් පිටත් වූ කැබ් රථය නුගේගොඩ පාලම ඔස්සේ ධාවනය කරමින් තිබිණි. එම රථයේ ගමන අඩාල කරමින් එකී රථයට මුහුණලා මාර්ග නීති කඩකරමින් පැමිණි බස්රිය හමුවේ කැබ් රථයට තවත් මොහොතක් හෝ ඉතිරි වූයේ නැත. බස් රථයත් කැබ් රථයත් එකිනෙක මුහුණට මුහුණ ගැටුණේ ප්‍රදේශයම ගිගුම් දෙමිනි. එසැණින් ආපස්සට තල්ලු වූ කැබ් රථය එකම සුන්බුන් ගොඩක් බවට පත්වූයේ මාරක අනතුරක සාක්ෂි එක්රුස් කරමිනි. අනතුර සිදුකළ පෞද්ගලික බස් රථයේ වේගය හමුවේ ඊට ඉදිරියෙන් ධාවනය කළ බස් රථය මාර්ගයෙන් තරමක් පසෙකට ගෙන තිබුණේ අනතුර වළකන රිසියෙනි. එහෙත් ඊට ඉඩක් නොවුණු පසුබිමක එම බස් රථය පසෙකට ඇදී ගොස් පාලමේ යකඩ වැටේ ගැටිණි. එකිනෙක මුහුණට මුහුණ ගැටුණු බස් රථ කැබ් රථ අනතුරත් සමඟ කැබ් රථය යළිත් ආපස්සට මීටර් කිහිපයක් තල්ලු වී යන ආකාරය ද අසල තිබූ සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව තිබුණේ පෞද්ගලික බස්රථ මාරයාගේ රිය ධාවනයේ තරම පෙන්වා දෙමිනි.

ගුවන් පාලම මත සිදු වූ මාරක අනතුරත් සමඟ කැබ් රථයේ ගමන්ගත් හමුදා සාමාජිකයන් තිදෙනා බරපතළ තුවාල ලබා එම රථයේ සුන්බුන්වලට සිරවී සිටියදී ගිනි නිවන භටයන්ගේ සහාය ලබාගෙන ඔවුන් පිටතට ගෙන රෝහල්ගත කිරීමට ප්‍රදේශවාසීන් පියවර ගෙන තිබුණි. ඒ වන විටත් කැබ් රථයේ රියැදුරු වශයෙන් සේවය කළ ලාන්ස් කෝප්‍රල් ගොඩගේ ලලිත් ජීවිතක්ෂයට පත්ව සිටියේ අවාසනාවන්ත ලෙසය. බරපතළ තුවාල ලබා සිටි සෙසු හමුදා නිලධාරීන් දෙදෙනා ද කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව හමුදා කපිතාන්වරයා වැඩිදුර ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට මාරු කර යවනු ලැබීය. 

අනතුරින් මරණයට පත්වූ යුද හමුදා රියැදුරු ලාන්ස් කෝප්‍රල් ගොඩගේ ලලිත් අංක 853/1, නින්දාන, වතුරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 35 හැවිරිදි වියේ පසුවූ ඔහු දෙදරු පියෙකි. වයස අවුරුදු හතරක සහ අවුරුදු එකහමාරක වයසේ පසුවන දියණියන් දෙදෙනකුගේ පියෙක් වූ ලලිත් මහතා අවුරුදු දහතුනකට අධික කාලයක් යුද හමුදාවේ සේවය කළේය. යුද සමයේදී උතුරු ප්‍රදේශයේ ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටි ලලිත් මහතා දෙවතාවක් යුද බිමේදී ත්‍රස්ත ප්‍රහාරවලින් තුවාල ලැබූවෙකි. එවැනි බිහිසුණු යුද පිටියකදී ජීවිතය බේරාගෙන රට ජාතිය වෙනුවෙන් මෙහෙවරක නිරත වූ ලාන්ස් කෝප්‍රල් ලලිත් පෞද්ගලික බස් රථ මාරයකුට බිලිවීම අවාසනාවකි. 

සැකකාර රියැදුරා 55 හැවිරිදි පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරුට පවතින අධික රුධිර පීඩනය හේතුවෙන් ඔහු රෝහල්ගත කර සිටියි. අනතුර සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන අතර හිතාමතා මරණයක් සිදු කිරීමේ චෝදනාවට මනුෂ්‍ය ඝාතනය යටතේ නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

 සමන්ත ප්‍රදීප් විල්තෙ