2020 ජුලි 25 වන සෙනසුරාදා

‍සෞඛ්‍ය ගැසට්ටුව ගැන දේශපාලන පක්ෂ කියන දේ

 2020 ජුලි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 44

මැතිවරණයට දින නියම කිරීමෙන් පසු මේ තාක්කල් දිගින් දිගට ඇදී ගිය මැතිවරණයක් මෙරට ඉතිහාසයේ පැවතියේ නැත. මෙවර මහ මැතිවරණයට ප්‍රබල අභියෝගය බවට පත්වූයේ මුළු ලෝකයම ගිල ගත් කොරෝනා වසංගතයයි. කොරෝනා වසංගතය  නිසාවෙන් මෙරට මහ මැතිවරණය දින කිහිපයක්ම ආපස්සට ගැනීමට මැතිවරණ කොමිසමට සිදු විය. එහෙත් දැන් ඡන්දය පැවැත්වෙන දිනය ස්ථිරවම පවසා ඇත්තේ මෙරටින් කොරෝනා තුරන් වූ නිසා නොව කොරෝනා සමඟ දෛනික ක්‍රියාකාරීත්වය පවත්වා ගත යුතු නිසාය.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය ගැසට්ටුවක් නිකුත් කරන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ මෙරට ඡන්ද දායකයන්ගේ තරම දන්නා නිසාය. දින කිහිපයක් ඒ සඳහා සෞඛ්‍ය අංශ සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡා වට ගණනක්ම පැවති අතර පසුගිය 17 වැනි සිකුරාදා මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය ගැසට්ටුව ප්‍රකාශයට පත් කිරීමට සෞඛ්‍ය බලධාරීහු පියවර ගත්හ.

එම ගැසට්ටුවේ විධිවිධාන අනුව  ඡන්ද ප්‍රචාරක කටයුතුවලට දැඩි නීතිමය සීමා තිබේ. ඒ අනුව  ප්‍රධාන නිර්දේශ  ලෙස රැස්වීමක් සංවිධානය කරන සෑම අයකුම පැය 24කට පෙර ඒ පිළිබඳ ලිඛිත දැන්වීමක් ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධරයා වෙත ලබා දිය යුතුය. පක්ෂ නායකයකු සහභාගී වන මහජන හමුවකට කැඳවිය හැකි උපරිම ජන සංඛ්‍යාව 500කි. ඒ සියලු දෙනා සමාජ දුරස්ථභාවය රැකෙන ලෙස ස්ථානගත කළ යුතුය. ඒ ආකාරයටම ප්‍රාදේශීය මට්ටමේ ජනහමුවකට සහභාගී විය හැකි උපරිම ගණන 300කි. ගෙන්ගෙට ප්‍රචාරක කටයුතු සඳහා යා හැකි පිරිස පස්දෙනකුට සීමා වෙයි. ඔවුන් සියලු දෙනා මුඛ ආවරණ පැළඳ සිටිය යුතුය. මහජන රැස්වීම්වලට සහභාගීවන්නන්ට අත් සෝදා පිරිසිදු කරගන්නට අවශ්‍ය පහසුකම් රැස්වීම් භූමියේ තිබිය යුතුය. 

කෙසේ වෙතත් මහ මැතිවරණයට අදාළව නිකුත් කෙරුණු මෙම සෞඛ්‍ය ගැසට්ටුව පිළිබඳව දේශයේ අප මෙරට දේශපාලන පක්ෂ නියෝජිතයන් කිහිප දෙනකුගෙන් අදහස් විමසීමක් කළෙමු.

විපක්ෂය දේශපාලන වාසි ගන්න හදනවා

ජාතික නිදහස් පෙරමුණ මොණරාගල දිස්ත්‍රික් අපේක්ෂක පද්ම උදය ශාන්ත ගුණසේකර

කොවිඩ් 19 පාලනය කිරීමට වර්තමාන රජය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. ඒ යටතේ ඉදිරි මහ මැතිවරණය සඳහා මේ වනවිට සෞඛ්‍ය නිර්දේශය නිකුත් කරලා තියෙනවා. විපක්ෂය සෑමවිටම කියා සිටියා මේ සෞඛ්‍ය ගැසට්ටුව නිකුත් කරන්නේ නැහැ කියලා. ඔවුන් සෑමවිටම දේශපාලන වාසි බලාගෙන තමයි විවිධ ප්‍රකාශ නිකුත් කරන්නේ. කොහොමත් සෞඛ්‍ය නිර්දේශ නිකුත් කරන්න පෙර සිටම අපි අපගේ ජන හමු මාලාවන් මැතිවරණ කොමිසමේ නීති රිතී රෙගුලාසිවලට අනුකූලව තමයි පැවැත්ව්වූවේ. කවදාවත් මේ ආණ්ඩුව ජනතාව ගැන සැලකිලිමත් නොවී ඉඳලා නැහැ. 

වැඩේ හොඳයි: ඒත් සමහරු නීති ගැන සැලකිල්ලක් නෑ

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක

සෞඛ්‍ය ගැසට්ටුව රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට පෙර සිටම අපි සමගි ජන බලවේගය නීති රීතිවලට අනුගත වෙමින් තමයි අපේ ජන හමු මාලවන් පැවැත්වූවේ. කොහොමත් ජනතාවගේ ආරක්ෂාව ගැන අපි නිරතුරුවම සැලකිලිමත් වුණා. ඇත්තටම මෙම සෞඛ්‍ය නිර්දේශ ගැසට් කරපු එක හොඳයි. නමුත් සමහර අපේක්ෂකයන් සංවිධානය කරන රැලිවල එම සෞඛ්‍ය නීතී අනුගමනය කරන බවක් පේන්න නැහැ. එවනි සංවිධායකන කෙරෙහි මැතිවරණ කොමිසමේ අවධායන යොමුවිය යුතුයි. මොකද ජනතාවගේ ආරක්ෂාව තමයි වඩාත් වැදගත් වෙන්නේ. 

ආණ්ඩුව වාසි ගන්න ගැසට් එක ප්‍රමාද කළා

ජාතික කම්කරු සංගමයේ නායක පලනි දිගම්බරම්

වර්තමාන ආණ්ඩුව තවමත් කොරෝනා රටින් තුරන් කරන්න සමත් වෙලා නැහැ. ඒ තත්ත්වය යටතේ තමයි මොවුන් මැතිවරණයට යන්නේ. ජනතාවගේ ආරක්ෂාවට වඩා මොවුන්ට ඕන වෙලා තියන්නේ බලය ලබා ගන්න. දැන් තමයි මොවුන් සෞඛ්‍ය නිර්දේශ ඉදිරිපත් කරලා තියෙන්නේ කොහොමද කියලා මැතිවරණවලට ජනතාව සහභාගි කරගන්නේ. නමුත් කඳුකරයේ ජනතාව විශාල වශයෙන් කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත බවක් නැතුව පසුගිය දිනවල ආණ්ඩුවේ අපේක්ෂකයන් විසින් කැඳවා තිබුණා. ඒ ගැන කිසිවකු කතා කළේ නැහැ. එහෙම අවස්ථාව දීලා තමයි දැන් මේ සෞඛ්‍ය නිර්දේශ නිකුත් කරලා තියෙන්නේ. ආණ්ඩුව වාසි ලබාගන්න තමයි මේ සෞඛ්‍ය නිර්දේශ ඉදිරිපත් කරන්න පරක්කු වෙලා තිබෙන්නේ.

මේ නීති ඔක්කොම විපක්ෂයට විතරයි

එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක දයා ගමගේ 

වර්තමාන ආණ්ඩුව ඔවුන්ගේ රුස්වීම් මාලා පවත්වා අවසන් අදියරේදී තමයි මේ සෞඛ්‍ය ගැසට්ටුව නිකුත් කරන්නේ. මැතිවරණ කොමිසම සහ සෞඛ්‍ය බලධාරීන් විසින් පසුගිය කාලයේ අනුගමනය කළ යුතු බවට කියූ කිසිවක් වත්මන් ආණ්ඩුව විසින් අනුගමනය කළේ නැහැ. ආණ්ඩුවේ ඇමැතිවරුන්, අගමැතිවරයා, ජනාධිපතිවරයා සහභාගි වන සියලු රැස්වීම්වලට ජනතාව රැස්වෙලා හිටිය ආකාරයන් අපි දැක්කා. නමුත් සෞඛ්‍ය බලධාරීන් පවා ඒ පිළිබඳ නිහඬ පිළිවෙතක් අනුගමනය කළා. කිසිවක් පැවසුවේ නැහැ. විපක්ෂයට විතරයි මේ සියලුම නීති රීති තියෙන්නේ. ඒ නිසා මේ සෞඛ්‍ය ගැසට්ටුව නිකුත් කිරීම රජය විසින්ම ප්‍රමාද කරා කියා සාධාරණ සැකයක් අපිට තියනවා.

ගැසට් කළ නීති අනුව අපි රැස්වීම් කරනවා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් අධි නීතීඥ සාගර කාරියවසම්

මැතිවරණ කොමිෂන් සභාව විසින් මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කළ දා පටන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සෞඛ්‍ය බලධාරීන් විසින් දීපු නීති රීතිවලට අදාළව තමයි කටයුතු කළේ. ඒ වගේම අවස්ථා ගණනාවකම අගමැතිවරයා මේ සෞඛ්‍ය ඇමැතිවරියගෙන් විමසීම් සිදු කරනු ලැබුවා. ජනතාවගේ ආරක්ෂාව ගැන හිතලා අපි දින තුනක් අපගේ රැස්වීම් මාලාවන් අවලංගු කිරීමටත් තිරණය කළා. දැන් සෞඛ්‍ය ගැසට්ටුව ප්‍රකාශයට පත් කරලා තියනවා. අපි එම ගැසට්ටුවේ තියන විධිවිධාන අනුව රැස්වීම් සංවිධානය කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි සාමාජිකයන්ට දන්වා තිබෙනවා.

► සටහන - හසිත් අංජන

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00