2020 ජුලි 25 වන සෙනසුරාදා

කොළඹ හෙල්ලූ මාස්ටර් බේබි

 2020 ජුලි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 2937

පාතාලය ගැන කියූ පමණින් තරුණ පරම්පරාවට මතක් වෙන්නේ වෙලේසුදාලා, දෙමටගොඩ චමින්දලා, සමයංලා, අංගොඩ ලොක්කලා, මාකඳුරේ මධූෂ්ලා වැනි නම්ය, චරිතය, ඔවුන් කළ අපරාධයන්ය. එහෙත් මේ පාතාලය ගත් විට ඔබත් මාත් මේ පාතාලයේ දරුණුම සහ අඳුරුම අවධිය ගෙවා දමා අවසන්ය. අද තැන් තැන්වල එකා දෙන්නා වෙඩි තබා ඝාතනය කළ ද, එදා පාතාලය දිනපතා අහුරු ගණන් මිනීමැරුවේ විවිධ කොන්ත්‍රාත් හේතුවෙනි. 

එක් පැත්තකින් ආණ්ඩුවේ කොන්ත්‍රාත්ය, තවත් පැත්තකින් විකල්ප දේශපාලනයේ කොන්ත්‍රාත්ය, තවත් පැත්තකින් පාතාලයේ කිරුළ රැකගැනීමේ සටන්ය. මේ සියල්ල 88/89 සමයේදී මිනිසුන් බුරුතු පිටින් අමුඅමුවේ මහ මග ටයර් සෑයවල් මත ගොඩගැසීම්වලට ද හේතු විය.

කෙසේවෙතත් මේ කියන්නට යන්නේ එකී පාතාලයේ ආරම්භයේ කතා පෙළක් ගැනය. අද සිට මේ ආරම්භ කරන්නේ අඳුරු යුගයක ලේ පිපාසිත පිසාචයන්ගේ කතා පෙළකි. මෙහි එන නම් ගම් සියල්ල ඔබත් මේ කතා කියවන වැඩිහිටියනුත් දන්නා චරිතය.

මේ කියන්නට යන්නේ ලංකාවේ පාතාලය රජ කළ එකම එක පරම්පරාවක් ගැනය. මේ පරම්පරාවේ පිරිමින් මෙන්ම කාන්තාවන් ද පාතලයේ හරි හරියට රජ කළ අතර මේ පරම්පරාව අතර ද අවසානයක් නොමැති මරාගැනිලි එමට විය. මේ නිසාම මේ පරම්පරාව පාතාලයේ බොහෝ දෙනා හැඳින්වූයේ "පොළොං පවුල" කියාය. එය පාතාලය විසින්ම මේ පවුල හැඳින්වූ නමකි. මේ ඔබත් මමත් දන්නා ලංකාවේ පාතාලය උඩු යටිකුරැ කළ එකම පරම්පරාව වූ ‘අමරසිංහ’ පරම්පරාව වටා ගෙතෙන කතා වැලකි.

අමරසිංහ පරම්පරාවේ නමක් හදාගත් පළවැනි පාතාල සාමාජිකයා වන්නේ ‘මාස්ටර් බේබි’ හෙවත් නොයෙල් අමරසිංහය. නොයෙල් අමරසිංහ යනු කිසිම චාරයක් නොමැති නොසණ්ඩාලයෙක් වශයෙන් හංවඩු ගැසුණු අයෙකි. කිසිදු අයකු ඔහු විශ්වාස නොකරන අතර ඔහුව විශ්වාස කරන අයට ද කිසිදා නොයෙල් අමරසිංහගෙන් හොඳක් අසන්නට ලැබුණේ නැත.

නොයෙල් අමරසිංහගේ පියා ජස්ටින් අමරසිංහ විය. ඔහු ද ගමේ නමක් තබාගෙන සිටි චණ්ඩියෙකි. සිය පියාගේ අඩිපාරේ යන නොයෙල් තම පියාගේ හයියෙන් ගමේ බොහෝ දෙනකුට චණ්ඩි පාට් දමාගෙන සිටි අයෙකි. එහෙත් ඒ වන විටත් කිසිදා මිනීමැරැමක් නොකර සිටි නොයෙල් තම පියා සහ පියාගේ සොහොයුරා අතර ඇතිවූ මාරාන්තික සටනකට මැදිහත් වන්නේ පියාට සහයෝගය ලබා දෙමිනි. ඒ අනුව, නොයෙල් සිය පියා හා එක්ව පියාගේ සොහොයුරා ඝාතනය කළේය. ඒ නොයෙල්ගේ පළමු මිනීමැරැම විය.

එම මිනීමැරුමෙන් පසුව නොයෙලුත් පියාත් රිමාන්ඩ් බන්ධනාගාරගත වන අතර කාලයක් දෙදෙනාම සිරබත් කන්නට වූහ. එයින් එළියට පැමිණෙන නොයෙල් කොළඹ පාතාලයට අකුරැ කියන්නට එන්නේ වෙනම ලෝකයක් තනාගනිමිනි. 

මේ අතර නොයෙල්ගේ පියාගේ පැත්තෙන් නෑදෑයන් වූ පිරිසක් කොළඹ වෙනම අණසක පතුරවමින්  සිටියහ. ඔවුන් කසිප්පු සහ කුඩු ජාවාරමට ඍජුව සම්බන්ධ පිරිසකි. ඔවුහු ද අමරසිංහලා වූහ. ඔවුන්ගෙන් එකකු රංජිත් අමරසිංහ වූ අතර අනෙකා නිහාල් අමරසිංහ විය. මේ පිරිස නොයෙල්ලාට විරුද්ධව සිටි කණ්ඩායමකි.

නොයෙල්ගේ හයිකාරකම් හේතුවෙන් ක්‍රමයෙන් එවකට කොළඹ පාතාලයේ ගෝඩ් ෆාදර් වූ සොත්ති උපාලි ද ඔහුට එක් විය. සොත්ති උපාලි ඒ වන විටත් එවකට රජයේ ඉහළ පෙළත් සමඟ සමීපව ගනුදෙනු කළ නිසා හෙතෙම ඇතැම් කොන්ත්‍රාත් කරවා ගත්තේ නොයෙල් ලවාය. ඒ නොයෙල්ට තිබූ ලේ පිපාසය නිසාය.

සත්‍ය වශයෙන්ම නොයෙල් ආණ්ඩුවේ ජවිපෙ මර්දන වැඩ කටයුතුවලට ද එක්වී සිටියේය. ඒ එක් පැත්තකිනි. නොයෙල් කුලියට මිනීමැරුම් කළ නිසා ඔහුට යහමින් කොන්ත්‍රාත් එකින් එක එන්නට විය. 

නොයෙල් කෙතරම් දරුණු ද කිවහොත් තමා සමඟ සිටි මිතුරන් පවා සැකයට ඝාතනය කළේය. තමා දෙස කවුරැන් හෝ සැකයෙන් බැලුවහොත් ඔහු පිස්තෝලය ගෙන වෙඩි තබන්නට දෙවරක් සිතුවේ නැත. ඒ නොයෙල්ගේ හැටිය. නොයෙල් එක වරක් ඔරැගොඩවත්තේ තිබූ මළගෙදරක දී සිය ළඟම මිතුරන් දෙදෙනකු ඝාතනය කළේය. ඒ සැකය හේතුවෙනි. එම මරණයත් සමඟ ඉහළට එන නොයෙල් කොළඹ පාතාලයේ නාහෙට නොහාන එකෙක් ලෙස නමක් ද හදාගත්තේය.

එමෙන්ම නොයෙල්ලා, උපාලිලාගේ මිත්‍රකමට තවත් පිරිසක් එක්ව සිටියහ. ඒ කඩුවෙල පාතාලයේ පිරිසය. රටක් හඳුනන කඩුවෙල වසන්තට කලින් පාතාලයේ කිරැළු පැළඳ සිටියේ වසන්තගේ වැඩිමහල් සහෝදරයා වූ උපාලිය. මේ උපාලිත් කොළඹ උපාලිත් දෙදෙනාම එකට සිටි නිසා මේ කණ්ඩායම කොළඹ හොල්ලගෙන සිටියහ. ඒ උපාලිලා දෙදෙනාටම දේශපාලන හයිය තිබු බැවිනි.

එහෙත් නොයෙල්ට උපාලිලා සමඟ වැඩිකල් දීග කෑමට හැකිවුණේ නැත. සොත්ති උපාලි ළඟ සිටි අයෙක් නොයෙල්ගේ මේ නොසන්සුන් හැසිරීම ගැන සැකයක් උපද්දවා උපාලිත් නොයෙලුත් නයාට අඳුකොළ බවට පත් කළේය. මේ හේතුවෙන් එවකට බලයේ සිටි උපාලි නොයෙල්ට විරැද්ධව අවි අමෝරන්නට පටන් ගත්තේය.

උපාලි පසුව තම ළඟම ගෝලයා කර ගත්තේ මාදින්නාගොඩ අනිල්ය. අනිල් කුඩු ව්‍යාපාරය සඳහා කප් ගැසූ අයකු වූ අතර අනිල් සමඟ උපාලි එක්වීම ගැන බොහෝ දෙනෙක් පුදුම වූහ. එහෙත් උපාලිගේ ඇත්ත ස්වරෑපය එතැනින් එළියට එන්නට විය. ඇත්තෙන්ම උපාලි පාතාලයට සම්බන්ධ වුණාට වඩා ඔහුගේ මිත්‍රකම් හේතුවෙන් ඒ මිත්‍රයන් විසින් සිදුකළ ඝාතන ද සමඟ උපාලි ක්‍රමයෙන් පාතාලයේ රජු ලෙස ඉහළට පැමිණියේය. ඒ උපාලි විසින් ඔවුන්ව පොලීසියට ඇමතුම් ලබා දී බේරාගත් නිසාය.
උපාලි සමඟ නොයෙල් නයි වෛරය බැඳීමට සිද්ධි දෙකක් ඉවහල් විය. එකක් අනිල්ලා විසින් ඔබේසේකරපුර එවකට සක්කිලිවත්තට පැන සිදු කරන මහා මිනිස් සංහාරයයි. අනිල්ලා ඇතුළු පිරිසක් වත්තට ඇතුළු වී එකම දවසේ පුද්ගලයන් 16 දෙනකු ඝාතනය කළහ. ඒ වෙඩි තබා කපා කොටමිනි. එම ඝාතනයේදී නොයෙල්ගේ මස්සිනා කෙනකු ද ඝාතනය විය. ඔහු රාජගිරියේ ස්ටූඩියෝවක් කළ අයෙකි.

මේ සිද්ධියත් සමඟ කෝපයට පත් නොයෙල් එකී වාඩුව ගන්නේ නිහාල්ගේ සහෝදරයකු වූ කොටියාගොඩ රංජිව ඝාතනය කරමිනි. කොටියාගොඩ රංජි කසිප්පු ජාවාරමේ නිරත වූ අයෙකි. කෙසේවෙතත් මේ පළිගැනීම නිහාල් සහ අනිල් අත්හැරියේ නැත. එයට පළිගැනීම ලෙස අනිල්ලා නොයෙල්ගේ සහෝදරියක රැගෙන ගොස් බරපතළ ලෙස ලිංගික අපයෝජනය කර ඝාතනය කළහ. පසුව එම සිරුර රාජගිරියේ ගල් පල්ලිය අසල දමා ගියේ නොයෙල්ට පෙනෙන්නටය.

මේ සිද්ධියෙන් වේදනාවට පත් නොයෙල් අවසානයේ අනිල්ගේ හය දෙනකු වෙඩි තබා ඝාතනය කළේය. මේ සියල්ල නොයෙල් සිදු කළේ තනි අලියකු ලෙසය. එහෙත් නොයෙල්ට එරෙහිව කිසිවක් කිරීමට කිසිවකුට හැකිවුණේ නැත.

මීට අමතරව නොයෙල් රට පුරාම විවිධ අපරාධ සිදු කරමින් කරක් ගසන්නට විය. ඒ විවිධ කොන්ත්‍රාත් සිදු කරමිනි. නොයෙල්ට කිහිප වතාවක්ම බන්ධනාගාරගත වන්නට සිදුවූ අතර ඔහුට බන්ධනාගාරය ගෙදර මෙන් විය. එක් වතාවක දී නොයෙල් වැලිකඩ බන්ධනාගාරයෙන් පැන ගියේය. එසේ පැනගිය නොයෙල් සැඟව සිටියේ කැලණිය ප්‍රදේශයේය.

නොයෙල් කැලණියේ සිටින විට කැලණිය රජ කරගෙන සිටියේ ගෝනවල සුනිල්ය. සුනිල් ද දේශපාලන කෙරුමකු නිසා නොයෙල් සුනිල් සම්බන්ධයෙන් සිටියේ සැකයෙනි. ඒ නොයෙල්ගේ සුපුරුදු ක්‍රමයයි. එහෙත් ඒ වන විට බන්ධනාගාරයෙන් ද පැන සිටි නිසා කොයි මොහොතක හෝ සුනිල් විසින් ඔත්තුවක් දී තමන්ව කොටු කරතැයි නොයෙල්ට සැක පහළ විය. ඒ අනුව නොයෙල්ට වැඩි කල් එළියේ සිටින්නට සිදු වුණේ නැත. පොලීසියෙන් නොයෙල් සිටි ස්ථානය සොයාගෙන පැමිණ ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.

එම අත්අඩංගුවට ගැනීමත් සමඟ නොයෙල් සිතුවේ මේ ඔත්තුව ගෝනවල සුනිල් විසින් පොලීසියට ලබා දුන් බවය. එබැවින් ඔහු සුනිල් සමඟ නයිවෛරයක් ඇතිකරගන්නට විය. ඒ කොයි මොහොතක හෝ සුනිල්ට රිටර්න් එක ලබාදීමේ අරමුණෙනි.
නොයෙල්ව අධිකරණය මගින් බන්ධනාගාරගත කිරීමත් සමඟ තවදුරටත් ඔහු වැලිකඩ තබාගැනීමට නොහැකි බව බන්ධනාගාර අධිකාරිය විසින් තීන්දු කරනු ලැබීය. ඒ අනුව බන්ධනාගාර අධිකාරිය නොයෙල්ට බදුල්ල බන්ධනාගාරය වෙත මාරුවක් දෙනු ලැබීය. ඔහු ඒ අනුව බදුල්ල බන්ධනාගාරය වෙත පිටත් කරනු ලැබීය. බදුල්ල බන්ධනාගාරය නොයෙල්ගේ ජීවිතයේ සන්ධිස්ථානයකි. තමා කිසිවිටෙක නොසිතු ඉරණමකට බදුල්ල බන්ධනාගාරයේදී නොයෙල්ට මුහුණ දෙන්නට සිදුවිය. ඒ බදුල්ල බන්ධනාගාරයේදී හමුවන අලුත් මිතුරකු හේතුවෙනි. ඒ මිතුරා අලුත් අදහස් දැරෑ, අලුත්ම මතකයක් දැරෑ හමුදා සාමාජිකයෙක් විය. ඔහු නමින් ‘හෙට්ටි’ නොහොත් ‘බදුල්ලේ හෙට්ටි’ය. ඒ හෙට්ටි නොයෙල්ගේ ජීවිත කතාව අමුතුම තැනකට ගෙන යන්නට හේතු විය. ඒ කතාව අපි ලබන සතියට දිග හරිමු.

ලබන සතියේ

(බදුල්ලේ හෙට්ටි සහ නොයෙල් විජය කුමාරණතුංග ඝාතනය කරති!)

ගයාන් ගාල්ලගේ