2020 ජුලි 25 වන සෙනසුරාදා

මේ රට ගොඩගන්න එජාපයට බලය ලැබිය යුතුයි

 2020 ජුලි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 86

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

  • කවුරු ආණ්ඩු කළත් කොවිඩ් දෙවැනි වටය එනවා
  • අපට දැන් ඉන්නේ උගත් තරුණ කණ්ඩායමක්
  • ගිය ආණ්ඩුවේ ආර්ථිකය මෙහෙයවූයේ මමයි
  • ආර්ථික - සෞඛ්‍ය අර්බුදවලට විසඳුම් තිබෙන්නේ එජාපයේ
  • ජනපතිවරණය පැරදුණේ හේතු ගණනාවක් නිසා
  • අරසණ අයට මුදල් දෙන ක්‍රමය අපි කියලා තිබෙනවා

ඔබගේ නායකත්වය යටතේ මේ පළවෙනි වතාව පක්ෂෙන් කණ්ඩායමක් කඩාගෙන ගිහිල්ලා වෙනම තරග වදින. ඔබලත් එජාපයේ. ඒ අය කියන්නෙත් එජාපයේ කියලා. ඇත්තටම කාටද ජයග්‍රහණය තියෙන්නේ?

උසාවියෙන් තීන්දු කරලා තියෙන්නේ මේ පක්ෂය තියෙන්නේ මෙතන කියලා. අනිත් අය වෙස්මූණු දාගෙන නැටුවට මට කරන්න දෙයක් නෑ. ඒත් අද නීතියෙන් ප්‍රකාශ කරලා තියෙනවා පක්ෂය මොකද්ද කියලා. අනික අපි නෙවෙයි නඩු දැම්මේ. ඒ අයයි ඒ නඩු දැම්මේ. අනිත් ඒවා දැන් වෙන පක්ෂ. ඒ නිසා දැන් ඒ ගැන කතා කරලා තේරුමක් නෑ. මොකද ඉතිහාසය අපේ. අයිතිය අපේ. සාමාන්‍යයෙන් අපෙන් වෙන් වෙලා යන මිනිස්සු හැමදාම කියනවා ඒ අය එජාපයේ කියලා. ඒක ඉතින් හැමදාම කියන එකනේ.

හැබැයි ඒ අය කියන්නේ මේ අලුත් සන්ධානය හැදීම කෘත්‍යාධිකාරී මණ්ඩලෙත් ඔබතුමාගෙත් ආශිර්වාදය යටතේ සිද්ධ වුණේ කියලා?

මොනවද මේ කියන්නේ? මම හිතන්නේ ඔබත් නඩු තීන්දුව කියවලා නෑ වගේ.

මම කියවලා තියෙන්නේ. මම අහන්නේ ඒ අය කියන දේ.

අපි සාකච්ඡා කළේ සන්ධානයක් හදන්න. නමුත් වෙනත් අය පක්ෂයක් හැදුවා. දැන් එතකොට පක්ෂ දෙකක් මෙතන තියෙනවා. එතකොට තීන්දුවේම කියලා තියෙනවා පක්ෂ දෙකක් කියලා. ඊළඟ කාරණේ අසත්‍ය ප්‍රකාශ කළා කියලත් තීන්දුවේ තියෙනවා. මතක තියාගන්න එක්සත් ජාතික පක්ෂය කවදාවත් අසත්‍ය ප්‍රකාශ කරලා නෑ.

එජාපයේ නායකයා හැටියට ඔබ හිතන්නේ මේ මොහොතේ ඇයි ජනතාව එජාපයට ඡන්දය දිය යුත්තේ?

අපි මේ අවස්ථාවේදී ඉදිරිපත් වෙලා තියෙන්නේ රටේ තියෙන අර්බුදය වෙනුවෙන්. විශේෂයෙන් රටේ ඇති වෙලා තියෙන ආර්ථික අර්බුදයටයි සෞඛ්‍ය අර්බුදයටයි විසඳුම තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ. අපි ඒක මැතිවරණ ප්‍රකාශනය හරහා ඉදිරිපත් කරලා තියෙනවා. 

ඔබ හිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය මෙවර මහ මැතිවරණයේදී කොයි වගේ තැනකද තියෙන්නේ?

මට හිතෙන්නේ මේ අර්බුදය අස්සේ අපිටත් දැන් හැකියාවක් තියෙනවා මනාප ලබලා ජනතා ආණ්ඩුවක් බිහිකරන්න. ඒකයි අපි ඉදිරිපත් වුණේ. වෙන කවුරුත් මෙවැනි ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරලා නෑ.

හැබැයි විරුද්ධ පැත්තෙන් කියන්නේ එජාපය ආණ්ඩුවත් එක්ක එකතු වෙලා තමයි මේ මැතිවරණ ව්‍යාපාරය කරන්නේ කියලා.

දැන් මේ සැලැස්ම ගෙනාවේ ආණ්ඩුවට විරුද්ධවනේ. එහෙම නැතුව වෙනත් අයට විරුද්ධව නෙවෙයි. පොහොට්ටුව කිව්ව බලය ඕනේ කියලා අපි ඒකට විරුද්ධව තමයි මේ මැතිවරණ ව්‍යාපාරය ගෙනියන්නේ. අපි ඉල්ලන්නේ අපට බලය දෙන්න කියලා. එතකොට එහෙමනම් කොහොමද අපි ආණ්ඩුවත් එක්ක ඉන්නවා කියන්නේ?

ඔබතුමාගේ මැතිවරණ ප්‍රකාශයෙන් ඉදිරිපත් කරලා තියෙනවා කොවිඩ්වලින් පසුව රටේ ආර්ථික සැලැස්මක් සම්බන්ධයෙන්. 

නෑ. නෑ. කොවිඩ්වලින් පස්සෙ නෙවෙයි. කෝවිඩ් සමඟම ගොඩනගන ආර්ථික ක්‍රමවේදයක්.

ඔබ ඒකට යෝජනා කරනවා අසරණ පවුල් සඳහා රුපියල් 10,000ක් ලබාදෙනවා කියලා?

අසරණ පවුල් විතරක් නෙවෙයි රැකියා අහිමි අයටත් මේ 10,000 ලබාදෙනවා. 

මගේ ප්‍රශ්නය තමයි මෙච්චර ආර්ථික අර්බුදයක් තියෙනකොට ඔබ 10,000ක් දෙනවා කියනවා. සජිත් පාර්ශ්වයෙන් කියනවා රුපියල් 20,000ක් ලබාදෙනවා කියලා. මම අහන්නේ මෙහෙම දෙන්න සල්ලි කොහෙන්ද?

මම දන්නෙ නෑ 20,000 කාටද ගෙවන්නේ කියලා. මගේ අදහස තියෙන්නේ රටේම අසරණ වුණ පවුල් සඳහා ඒ මුදල ලබා දෙන එක. ඔස්ට්‍රේලියාව වගේ ශක්තිමත් ආර්ථිකයක් තියෙන රටක පවා එක පවුලකට ඩොලර් 3000ක් ලබාදුන්නා. නමුත් අපිට එහෙම කරන්න බෑ. ඒ වගේම අමෙරිකාවේ හැම සමාගමක්ම මුදල් දෙනවා තමන්ගේ සේවකයා රඳවගන්න. එතකොට අපිට පවුල් ලක්ෂ 10කට බිලියන 120ක් යන්නේ. මිලියනවලින් බැලුවොත් එක්ලක්ෂ විසිදාහක්. ඒක අපිට පුළුවන් අපේ අයවැයෙන් බලාගන්න. ඒක අමාරැ දෙයක් නෙවෙයි. පඩි වැඩි කරනකොට මීට වඩා අපි ගෙවනවා. 

මම අහන්නේ මේ මුදල කොහොමද හොයාගන්නේ? 

මුදල් ලබාදෙන ක්‍රමය අපි කියලා තියෙනවා. විශේෂයෙන් ආර්ථිකයට, අයවැයට මුදල් ලබාගන්න හැටි අපි කියලා තියෙනවා. ඒක ඇතුළේ මේ ගාණ තියෙනවා. හිතන්න මේ ගාණ වැඩි වුණොත් ඒකටත් ගෙවන ආකාරය අපි කියනවා. වැඩිම වුණොත් එන්නේ බිලියන එකසිය අසූවක්. ඒ කියන්නේ මිලියන එක්ලක්ෂ අසූදාහක්. ඒක හොයාගන්න හැටිත් අපි කියලා තියෙනවා. වෙන අය ගැන මම දන්නෙ නෑ. විසිදාහ දෙන්න පුළුන්ද බැරිද කියන එක. මේක දුෂ්කර කාර්යයක්. හැබැයි ඒ අයට ඒ ආධාර දෙන්න ඕන.

නමුත් ආණ්ඩුව කියන්නේ පසුගිය ඔබලගේ රජය විසින් සිදුකරලා ගිය ආර්ථික අවුල හේතුවෙන් ඔය කියන දේවල් කරන්න බෑ කියලා.

ඒ අයට කරන්න බැරිනම් අත්හැරලා දාන්න කියන්න. අපිට පුළුවන් කරන්න.

ඔබලගේ ආණ්ඩුව විසින් සිදුකරන ලද ආර්ථික ක්‍රියාදාමයන් නිසා ජනතාව ජනාධිපතිවරණයේදී පවා ඔබලාව ප්‍රතික්ෂේප කළා. ඔබ විශ්වාස කරනවද ඔය කියන දේවල් අහලා ජනතාව ඡන්දෙ දෙයි කියලා?

ජනාධිපතිවරණය පරාජයටනම් හේතු ගණනාවක් තිබුණා. අවුරැදු 40කට පස්සේ ප්‍රාථමික අයවැයේ අතිරික්තයක් තිබ්බා. විශේෂයෙන් පොලිය, ණය ගෙවලා පවා රජයේ ආදායම ඇති වුණා. ඒ පළවෙනි වතාව අවුරුදු 40කට පස්සේ. මතක තියාගන්න එතනට අපි ආර්ථිකය ගෙනාවා. තව අවුරුදු පහක් ගියානම් අපිට ආදායමෙන්ම ණය ගෙවන්න තිබ්බා. නමුත් පසුගිය අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයෙන් පස්සේ යම් කඩාවැටීමකට පත්වුණා.

ඔබ ඔය කියන පාස්කු ප්‍රහාරය නිසා ජනතාවට ආර්ථිකයට වඩා රජය සම්බන්ධයෙන් ආපු සැකය තමයි ජාතික ආරක්ෂාවට නිසි තැනක් දුන්නේ නෑ කියන එක?

මෙතන තියන ප්‍රශ්නේ ප්‍රහාරය සම්බන්ධයෙන් කලින් තොරතුරු තියෙන්න ඇති. නමුත් ඒකට ක්‍රියාත්මක වුණේ නෑ කියන එකයි තියෙන්නේ. විශේෂයෙන් මම සහ ඇමැති මණ්ඩලය නොදන්න එක විශාල වරදක්.

ජාතික ආරක්ෂාව වගේම තමයි ජාතික ආර්ථිකය අවුල් සහගත වුණේ මහබැංකු සිද්ධියෙන් පස්සෙ කියන චෝදනාව එනවා. හැබැයි ඒ සිද්ධියට අඩුමතරමේ විධිමත් පරික්ෂණයක්වත් ඔබලගේ කාලේ කළේ නෑ. ඒක වරදක් නොවේද?

අපි කමිටුවක් පත්කළා. ඒ වගේම පාර්ලිමේන්තුවේදී පරීක්ෂණයක් සිදු කළා. ඊටපස්සේ ජනාධිපති කොමිසමක් පත්කළා. ඊට එහා කරන්න දෙයක් නෑ අපිට. මේක විභාග කරලා තියෙන්නේ. ඒ කොමිසමේදී කිව්වා විගණනයක් කරන්න කියලා 2008 ඉඳලා. අන්තිමේදී ඒකෙ පෙන්නුවා අලාභ තිබ්බේ 2015ට පෙර කියලා. අඩුමතරමේ එදා තිබ්බ ක්‍රමවේදය මූල්‍ය මණ්ඩලයෙන් අනුමත කරලවත් තිබ්බෙ නෑ. අපිට ඕන වුණා නිසි ක්‍රමවේදයක්. අපි ඒ අනුව විනිවිදභාවයෙන් යුතුව වෙළෙඳපොළෙන් තමයි ලබාගන්නෙ කියලා තීන්දුවකට ආවා. අපි නීතිපති දෙපාර්තමේන්තුවට කිව්වා මේ ගැන නඩු දාන්න කියලා. දැන් ඒ නඩු දාගෙන යනවා.

පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහත්මයාව තරගයට දාලා එජාපයේ ඔබ ඇතුළු කණ්ඩායමක් කකුලෙන් ඇද්දයි කියලා කියනවා. ඇයි එහෙම කළේ?

පැරදුණාම හේතු හොයන්න එපැයි. අපි දිනුවේ මම මෙහෙයවපු කොළඹ නගරය විතරයි. අනික සිංහල ඡන්ද ලක්ෂ 25ක් නැති වුණේ මම හින්දා නෙවෙයිනේ. මට උවමනාවක් නෑ එච්චර ඡන්ද ප්‍රමාණයක් නැති කරගන්න. ඒ විශ්වාසය අපි නැතිකරගත්තා.

ඔබ හිතන්නෙ ඇයි මේ බෞද්ධ ඡන්ද නැතිකරගන්න හේතුව උවමනාවෙන්ම?

මට එවෙලේ ගිය මාර්ගය අනුව පෙනුණා ඒ ඡන්ද ප්‍රමාණය නැතිවෙනවා කියලා. නමුත් මම හිතුවෙ නෑ මෙච්චර ඡන්ද ප්‍රමාණයක් නැතිවෙයි කියලා. 

ඔබට හිතෙන්නැද්ද ඒ කරගත්ත දෙයින් එක්සත් ජාතික පක්ෂෙට විශාල හානියක් වුණා කියලා?

අපිට පාඩුවක්. හැබැයි ඒක ආවේ අපේ පක්ෂෙන් නෙවෙයි. හැබැයි 2015 වගේ ජනතා විමුක්ති පෙරමුණ වගේ එකතුමුතුවක් මේ පාර තිබුණේ නෑ. 

දැන් ඔබ කියන විදිහට බෞද්ධ ඡන්ද අහිමි වුණා වගේම ඔබ පිළිගන්නවද පාස්කු ප්‍රහාරයත් සමඟ කතෝලික ඡන්දත් එජාපයට අහිමි වුණා කියලා. 

ඒක නැතිවුණා. අපි පිළිගන්නවා.

ඔබ කොහොමද ඒ ජනතාවට සහතිකයක් දෙන්නේ?

අපි එන්නේ ප්‍රධාන පක්ෂයක් හැටියට. අනෙකුත් පක්ෂ දෙවැනි තුන්වැනි පක්ෂ හැටියට එන්නේ. අපි එන්නේ වගකීම් බාර අරගෙන. හැබැයි අපට විරුද්ධව අනිත් පක්ෂ ඔක්කොම ආවම මිනිස්සුන්ට බයක් තියෙනවා අනෙකුත් පක්ෂත් එක්ක විවිධ අන්තවාදී වැඩ වෙන්න පුළුවන් කියලා. ඒක මහ ජාතියද සුළු ජාතියද කියලා නෙවෙයි. එක්සත් ජාතික පක්ෂය කියන්නේ සුරක්ෂිත පක්ෂයක්.

ඔබට සිතෙන්නෙ නැද්ද ජනාධිපතිවරණ තුනකදී කකුල පස්සට අරගෙන විවිධ අය තරගෙට දාලා කරගත්ත දේ නිසා අද එජාපෙට මෙවැනි තත්ත්වයක් උදා වුණා කියලා?

අපි එකට එකතු වුණ තැන අපි පොදු තීරණවලට ආවා. ඒකෙන් අපිට හානියක් තියෙන්න ඇති. එහෙම අවස්ථා තිබුණා. හැබැයි 2015 ආණ්ඩු කරනකොට අපි එක්සත් ජාතික පක්ෂය හැටියට කළේ.

එජාපයෙන් ඉවත්ව ගිය කණ්ඩායම කියන්නේ එජාපයෙන් ඉහළට යන්න අවස්ථාවක් නෑ කියලා. විශේෂයෙන් තරුණ ප්‍රජාවට ඉඩකඩක් එජාපය තුළ නෑ කියන චෝදනාව එල්ල වෙනවා.

ඔය දැන් ඉන්නේ අපේ කණ්ඩායමේ තරුණ උගත් අය. දැන් ඒ අය කියනවා ඒ අයට පසුගිය කාලේ දේශපාලනයෙන් ඉහළට එන්න ඉඩ දුන්නෙ නෑ කියලා. සාමාන්‍යයෙන් දේශපාලනයෙන් ඉහළට යන්න අවුරුදු 20ක්, 30ක්වත් ඉන්න ඕන. හැබැයි දැන් ඉන්නවා අපිට විශාල තරැණ කණ්ඩායමක්. ඒ අය වෘත්තීයවේදීන්.

ඒ අය කියන්නේ නායකත්වය සම්බන්ධයෙන් ඉඩක් නෑ කියලා? 

ඔබ ඔය දිගින් දිගටම අහන්නේ එක් කණ්ඩායමක චෝදනා විතරයි. ඔබ අහන්න මගෙන් බලය ලැබුණට පස්සේ මොකද්ද කරන්නේ කියලා. අන්න ඒ ගැන අඩුපාඩු අහන්න. මං ඒ දේවල්වලට උත්තර දෙන්න ලෑස්තියි.

ආණ්ඩුව මේ වෙනකොට කියනවා ඔවුන් 2/3ක බලයක් අවශ්‍යයි කියලා. ඔබලා විසින් සිදුකර ගිය රාජ්‍ය පරිපාලන වැරදි නැවත නිවැරදි කරන්න එම බලය අවශ්‍යයි කියලා.

අපි ආණ්ඩු බලය සඳහා 2/3ක් ඉල්ලන්නේ නෑ. අපි ඉල්ලන්නේ බහුතර බලය. ඒ අයට 2/3 ඕන ඇයි කියලා ඒ අය කියන්න ඕන.

ඒ අය කියනවා සමහර කොමිෂන් සභා නිසා රටේ පරිපාලනයට විශාල හානියක් වෙලා තියෙනවා කියලා. 

ඔය කමිටුවලට සහ අනෙකුත් සියලුම දේවල්වලට පාර්ලිමේන්තුවේ එක් මන්ත්‍රීවරයකු හැරෙන්න අනිත් සියලුම දෙනා ඡන්දෙ දුන්නා. ඒ සරත් වීරසේකර මන්ත්‍රීතුමා විතරයි. එහෙම නැතුව ඔය කියන සියලුම දෙනා එදා ඡන්දෙ දුන්නා. අනිත් එක ඒ යෝජනා ඉදිරිපත් කළේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා.

ඔබ හිතනවද මේ වෙලාවේ ආණ්ඩුවට 2/3ක් අවශ්‍යයි කියලා?

රටේ සාමාන්‍ය නීතියක් සම්මත කරගන්න බහුතරයක් ඇති.

ඔබ විශාල ආර්ථික සැලැස්මක් යෝජනා කරනවා. හැබැයි පසුගිය කාලයේ සිදුවූ සමහර ආර්ථික හානිවලට එවකට විපක්ෂයේ චෝදනා එල්ල වුණු පාර්ශ්වයන් ඉන්නේ එජාපයේ ඔබත් සමඟ කියලා සමහරැ කියනවා. ජනතාවට විශ්වාසයක් තියාගන්න පුළුවන්ද?

මම තමයි ගිය ආණ්ඩුවේ ආර්ථිකය මෙහෙයෙව්වේ. වෙන කවුරුත් නෙවෙයි. මම තමයි ආර්ථික ඇමැති විදිහට දීර්ඝකාලීන සැලසුම් ක්‍රියාත්මක කළේ. මුදල් ඇමැතිවරු දෙන්නෙක් හිටියා ඒ කාලේ. හැබැයි සැලසුම් හැදුවේ මම. 

ඔබ කොවිඩ් වසංගතය සමඟ ආර්ථිකය ගොඩනගන හැටි කියනවා. ඒ වගේම ආණ්ඩුවෙනුත් කියනවා අපි ගාව හොඳ සැලසුමක් තියෙනවා කියලා. ඒ අය කියනවා සුළු කර්මාන්ත, සුළු ව්‍යාපාර සහ දුප්පත් ජනතාව වෙනුවෙන් උපරිම දේවල් ඉටු කරනවා කියලා. දැන් කවුරු කියන එකද පිළිගන්න ඕන?

ඔය කියන දේවල් අසාර්ථක වුණානේ. ඒකනේ අපි මේ කියන්නේ. ජයිකා ආයතනයෙන්ම කිව්වා මේ අය අසාර්ථකයි කියලා. සතයක් හොයාගන්න බැරිව ගියානේ. විශේෂයෙන්ම ලෝකෙ බලවත් රාජ්‍ය එකතු වෙලා හදපු G20 කමිටුව. ඒ අය කිව්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ සියලු දේ කරන්න ඕන ඒ අය මුදල් දෙනවා කියලා. දැන් අපි වටේ ඉන්න පකිස්ථානය, බංගලිදේශය, නේපාලය, මාලදිවයින, මියන්මාරය කියන රටවල්වලට මේ වෙනකොට දීලා. ඇෆ්ගනිස්ථානයටත් දීලා. තවමත් ලංකාවට නොදෙනවනම් අපේ ප්‍රතිපත්තිවල යම්කිසි වරදක් තියෙනවානේ. අනික මේ ආර්ථික අර්බුදය ඇතිවුණේ කොරෝනා නිසා නෙවෙයි. ජනවාරි මාසෙම රජය කිව්වා රජයේ සේවකයන්ට විශේෂ දීමනාව දෙන්න බෑ කියලා. ඒ කාලේ කොරෝනාවක් තිබ්බෙ නෑ. වැඩිම බහුතරයක් ඡන්දෙ දුන්නේ රාජ්‍ය සේවකයෝ පොහොට්ටුවට. එහෙම දුන්න අයට මාස එකහමාරක් යන්න කලින් විශේෂ දීමනාවක් දෙන්න බෑ කිව්වා. අද වෙනකොට කුඩා කර්මාන්ත කීයක් වැහිලා තියෙනවද? ආධාර දීලත් නෑ. කුඩා කර්මාන්ත ඇරඹුණේ අපි අතින්. ඔය කිව්ව එකක්වත් සාර්ථක වෙලා නෑ.

හැබැයි වත්මන් ජනාධිපතිවරයා කිව්වා කුඩා කර්මාන්ත සහ කුඩා ව්‍යාපාර සඳහා 8%ක වගේ පොලී අනුපාත මුදලකට ණය ලබාදෙන්න කියලා බැංකුවලට.

ඔය කිව්වට දීලා නෑනේ ඉතින් තාම. අනික බැංකුවලින් ණය මුදල් දෙන්නෙ නෑ ඔය කියන විදිහට. අනික බැංකු ඔය දෙන්නේ වෙන කාගෙන්වත් නෙවෙයි අපි වගේ තැන්පත්කරුවන්ගේ මුදල්. ඒකට ආරක්ෂාවක් නැතුව දෙන්නෙ නෑ. එහෙනම් ආණ්ඩුව මැදිහත් වෙලා කියන්න ඕන ඒ ගැන මැදිහත් වෙලා ආරක්ෂා කරනවා කියලා. ඒක කියන්නෙ නෑනේ.

හැබැයි ආණ්ඩුව කියනවා මේ වෙනකොට කෝවිඩ් ජයග්‍රහණය කරලා තියෙන්නේ, ඉතාම සාර්ථකයි, ඉදිරි සැළසුම් පටන් ගන්නවා කියලා?

ඒ කතා එදත් කිව්වනේ. අද වෙනකොට 3000කට ආසන්නයි ලෙඩ්ඩු. අපි කියන්නේ පරික්ෂා කරන්න. කොරෝනා දෙවැනි වටය එනවා. කවුරු ආණ්ඩු කළත් ඒක වෙනවා. අපි කියන්නේ ඊට කලින් පියවර ගන්න. දෙවැනි වටය එනකොට අපිට පාලනය කරන්න පුළුවන්.

ඔබ කියන්නේ මේ රටේ ව්‍යාප්ත වන්නේ කෝවිඩ් දෙවැනි වටය නෙවෙයිද?

ඒක අනිවාර්යයෙන් වෙනවා. ඒක ඡන්දෙන් ඉස්සෙල්ලා එයිද පස්සෙ එයිද කියලා දන්නෑ. අමෙරිකාව, සිංගප්පූරැව වගේ රටවල දෙවෙනිවටය ඇවිල්ලා. ඉන්දියාවත් ඒ තත්ත්වෙ ඉන්නේ. ඒක අපි හරියට පාලනය කළොත් ඇඳිරිනීතිය නැතුව අපිට ඒක පාලනය කරන්න පුළුවන්. නැවතත් ඇඳිරිනීතිය දැම්මොත් ව්‍යාපාර ගණනාවක් නැත්තටම නැතිවෙනවා. අනික මම විතරක් නෙවෙයි මේ කතාව කියන්නේ. වෛද්‍ය සංගම්, හෙද සංගම් හැම එකම මේ කතාව කියනවා. 

ඔබට හිතන්නෙ නැද්ද මේ කොවිඩ් වසංගතය වෙනුවෙන් මූණ දීලා ජාතික ආර්ථික ප්‍රතිපත්තියකට යන්න සියලු පක්ෂ එකතු වෙලා සම්මුතිවාදී ආණ්ඩුවකට ගියොත් හොඳයි කියලා?

මම දන්නෑ ඔක්කොම එකතු වෙලා ආණ්ඩු කරන්න පුළුවන්ද කියලා.

ඔබට තියෙන පරණ අත්දැකීම් එක්ක එහෙම හිතෙන්නෙ නෑ නේද?

(සිනාසෙයි) ඔව්. පරණ අත්දැකීමුත් තියෙනවනේ. අපි ඒ නිසයි කියන්නේ බහුතර බලයක් අපිට දෙන්න කියලා.

ඔබට ඔබේ කණ්ඩායම ගැන ජනතාවට දෙන්න පුළුවන් සහතිකේ මොකද්ද?

මගේ ඉන්නවා ඉතාම දක්ෂ කණ්ඩායමක්. ඒ අය අලුත් කණ්ඩායමක්.

ඔබව හැරගිය කණ්ඩායම නැවත පක්ෂයට එන්න ඇහුවොත් බාරගන්න ලෑස්තිද? 

ඒ අය වෙනත් පක්ෂෙකින් ඉල්ලනවනම් කොහොමද ගන්නේ? මේ ඡන්දෙදි ගන්න ඕන එක්සත් ජාතික පක්ෂයේ අය මිසක් වෙන පක්ෂවල අය නෙවෙයි.

ඒ කියන්නේ ඔබ කිසිම වෙලාවක ඒ කණ්ඩායමත් එක්ක සමගියකට යන්න කැමැත්තක් නෑ?

අපිට ඕන ව්‍යවස්ථාවට අනුව අපිට බලය තියෙනවා කියලා පෙන්නන්න.

අවසාන වශයෙන් ඔබෙන් අහන්නේ යම් හෙයකින් ඔබ බලාපොරොත්තු වන ජයග්‍රහණය ඔබට ලබාගන්න නොහැකි වුණොත් ඔබ සූදානම්ද විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට පාර්ලිමේන්තුවේ අසුන් ගන්න?

මම විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට මීට මාස කීපයකට කලිනුත් පාර්ලිමේන්තුවේ වාඩිවෙලා හිටියා. ඒ අය තීන්දු කළා බලයේ ඉන්න බෑ කියලා විපක්ෂයට යන්න ඕන කියලා. ඒ නිසා අපි ගියා. මට විපක්ෂයේ ඉඳලා පුරුදුයි. නමුත් මම කියන්නේ මේ රට ගොඩනගන්නනම් එක්සත් ජාතික පක්ෂයට බලය හිමිවිය යුතුයි කියලා.

 ගයාන් ගාල්ලගේ

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00