2020 ජුලි 25 වන සෙනසුරාදා

තොපේ ජේලර් මැරුවෙත් මම! බන්ධනාගාර පාතාල හඬ

 2020 ජුලි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 100

තම කණ්ඩායම සිර කුටිවල දමා මුළු දවසම වසා තබන බවට විරෝධය පළකර බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටි විශේෂ ගණයේ පාතාල රැඳවියන් 14 දෙනකු ආහාර වර්ජනයේ යෙදෙමින් උපවාසයක් ආරම්භ කර තිබුණේ පසුගිය ජූනි 26දාය. තමන් උදේ හවස පැය 3 බැගින් සිරකුටිවලින් පිටතට ගන්නැයි ඔවුන්ගේ මූලික ඉල්ලීම වී තිබුණි.

මෙම උපවාසයට එක්වී සිටි පිරිස අතර එවකට එහි තනි සිරකුටි 14ක දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ රඳවා සිටි රටේ නමගිය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෝ 14ක් ද වූහ. එහි විශේෂ ගණයේ සිරකුටි 46ක් ඇති අතර අද වනවිට ඉන් 27කම පාතාල රැඳවියන්ය.

කොස්ගොඩ තාරක, පොඩි ලැසී, වෙලේ සුදා, කැවුමා, සුසෙයි, කංජිපානි ඉම්රාන්, ගොත අසංක, ඌරුජුවා, මට්ටක්කුලියේ රොෂාන්, ගණේමුල්ලේ සංජීව, පරෙවි සුදා, ජපන් චූටි, බ්ලූමැන්ඩල් සංඛ හා මර්ජින් ජානක ඒ 14 දෙනා වෙති. තම ඉල්ලීම්වලට විසඳුමක් ලැබෙන තෙක් උපවාසය අත් නොහරින බවට සියල්ලෝම සපථ කර තිබුණේ එක හඬිනි.

බන්ධනාගාරය තුළ සිට සිදු කෙරෙන නීති විරෝධී ජාවාරම් මැඩපැවැත්වීම සඳහා ඊට ජෑමර් යන්ත්‍ර සවි කෙරුණේද මෙම වකවානුවේදී බැවින් ඇතැම් රැඳවියන් ඉන් වියරු වැටී සිටි බවටද තොරතුරු හෙළිවිය. වරෙක ඔවුන් නිලධාරීන්ට ද ගෙරෙව්වේ එබැවිනි.

කෙසේ වෙතත් වැඩේ දුරදිග යද්දි බන්ධනාගාර මූලස්ථානයෙන් පැමිණියේ ඉහළම නිලධාරීන් තිදෙනෙකි. බූස්ස බන්ධනාගාරය පැත්තෙන් පෙනී සිටියේ එහි සහකාර අධිකාරී එස්. ධම්මික මහතාය. ගැටලුව විසඳන්නට ආ බන්ධනාගාර ලොක්කන් අතර කොමසාරිස්වරුන් වන චන්දන ඒකනායක, තුසිත උඩුනුවර හා බුද්ධි අංශ ප්‍රධානි සහකාර අධිකාරී ප්‍රසාද් ප්‍රේමතිලක යන මහත්වරු වූහ.

ධර්මකීර්ති පෙරේරා විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක එහි රඳවා සිටියේ අංක 9 සිරකුටියේය. ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත් පොඩි ලැසී ඊට යාබද අංක 10 සිරකුටියේ රඳවා සිටි අතර කැලුම් ඉන්දික සම්පත් නොහොත් කැවුමා එදින සිටියේ ඊට සිරකුටි 2කට එහා අංක 12 සිරකුටියේය.

ඉහළ නිලධාරීන් තිදෙනාද උපවාසයකට නිරතව සිටි මෙම තිදෙනාගේ සිරකුටි අසලටම පැමිණ ආරක්ෂක අමාත්‍යංශයෙන් ලැබුණු උපදෙස් මත සිරකුටිවල වසා දැමීම සිදුවන බවට දැනුම් දුන්නේ ගැටලුවට විසඳුමක් වශයෙනි. එම පිළිතුරෙන් සෑහීමකට පත් නොවූ කොස්ගොඩ තාරක නැමැත්තා එකවරම සිය තර්ජනාංගුලිය එල්ල කළේ එම නිලධාරීන්ගේ මූණටමය. එදා මෙදා තුර තමන්ගෙන් අල්ලස් ගත් නිලධාරීන් පිළිබඳ නම්ගම් කියවෙන්නට ගත්තේද ඒ සමගිනි.

හැමදේම ආරක්ෂක අමාත්‍යංශයේ පිට දමා ප්‍රශ්නයෙන් ගැලවෙන්නට හදන බවත් එදා ගත්තේ ආරක්ෂක අමාත්‍යංශයේ කීමටද යන්නත් එහිදී විමසූ ඔවුන් නිලධාරීන් තිදෙනාට දෝෂාරෝපන්‍ය කළේ ද ඉවක්බවක් නැතිවය.

“අපි ළඟ ඕනෑතරම් ආයුධ තිබෙනවා. අපේ මිනිස්සු එළියේ ඉන්නවා. අපි හිර කළාට වැඩක් නැහැ. ඔය ජනාධිපති ඉන්නේ අවුරුදු 5යි. මට ජනාධිපතිත් ලොකු නැහැ. බන්ධනාගාර ලොක්කො මරණවා. ආරක්ෂක ලේකම්ටත් එච්චරයි කියන්න තියෙන්නේ. ඕනනම් එයාටත් මෙතනට එන්න කියන්න. මට වැඩි වෙලාවක් මේ හිරකුටියෙ ඉන්න බෑ. එළියේ ඉන්න ඕන. මට විරුද්ධ වුණොත් කොමසාරිස් ජනරාල්වරයාත්, කොමසාරිස්වරුන් එක්ක බන්ධනාගාර අධිකාරියත් මරණවා.”

කොස්ගොඩ තාරක එලෙස එකදිගට කියාගෙන යද්දී (පොඩි ලැසී)ද කරළියට ආවේය. 

“තොපේ ජේලර් මැරුවෙත් මම. ඇයි අපි මේකෙ හිර කළේ? අපි මේකේ හිරකළා කියලා වැඩක් නැහැ. එළියේ යකඩ ඔක්කොම ක්‍රියාත්මකයි. ජනාධිපතිටත්, ආරක්ෂක ලේකම්ටත් එච්චරයි. උඹලවත් බාවනවා.” යැයි ඔහු ගුගුලේ තාරකටද සමවෙන්නටය.
10 වැනි සිරකුටියේ සිටි කැවුමාද සිය හඬ අවදි කළේ හීයක සැරයෙනි.

“2012 වැලිකඩ කැරැල්ලේදී එස්.ටී.එෆ්. දම්මලා මාව මරන්න හැදුවා. දැන් මේකේ හිර කරලා මරන්න හදනවා. තොපි ඔක්කොම මරලා දානවා” යැයි ඔහු කියාගෙන ගියේය.

පාතාල රැඳවියන්ගේ ගැටලුවලට පිළිතුරු දින දෙකකින් ලබාදෙන බව පවසා කොළඹින් ගිය නිලධාරීන් තිදෙන එක පිම්මේ කොළඹ ආවේ රැඳවියන් තිදෙනාගේ තර්ජනය ගැන කොමසාරිස් ජනරාල්වරයාට පැමිණිලි කරන්නටය.

කොස්ගොඩ තාරකලා ඇතුළු පිරිස උපවාසය අත්හලේ දින දෙකකට පසු ලැබෙන පිළිතුර බලාපොරොත්තුවෙනි. ඒත් පසුගිය 9 දා තෙක්ම ඊට පිළිතුරක් නොලැබීම දෙවැනි උපවාසය ආරම්භයට හේතු වී තිබුණි. ඒ අනුව ඔවුන් 14 දෙනා 9 දා සිටි යළිත් ආහාර වර්ජනය කරමින් උපවාසයක් ආරම්භ කළේ වෙන කළයුතු දෙයක් නොවන නිසාය.

තමන්ට පාතාලයෙන් හා බන්ධනාගාරය තුළින් ජීවිත තර්ජන පවතින බවට සඳහන් කරමින් එහි සිටි මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් නැමැත්තා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේද මේ අතරය. පවතින ජීවිත තර්ජන හේතුවෙන් වෙනත් බන්ධනාගාරයකට මාරු කරන ලෙසද ඔහු සිය පෙත්සමෙන් ඉල්ලා තිබුණි.

ඉන් දින 5කට පසු එනම් පසුගිය 14 වැනිදා කොළඹ පැවති අධිකාරි සාකච්ඡාවේදී ගත් තීරණයකට අනුව එම රැඳවියන්ගේ ඉල්ලීම ඉටුකරමින් උදේ කාලයේ පැය 2ක්ද සවස කාලයේ පැය 2ක්ද වශයෙන් සිරකුටිවලින් පිටතට පැමිණීමට ඔවුන්ට අවසර හිමිවූයේ ඔවුන්ගේ ඉල්ලීම් මල්ඵල ගන්වමිනි.

කොස්ගොඩ තාරක, පොඩි ලැසී හා කැවුමා යන තිදෙනා ජනපතිවරයාටත්, ආරක්ෂක ලේකම්වරයාටත්, බන්ධනාගාර ලොක්කන්ටත් කළ තර්ජනය පිළිබඳව ඒ වනවිටත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා විසින් ආරක්ෂක අමාත්‍යංශයට හා පොලිස්පතිවරයාට පැමිණිලි කොට තිබුණි. ඒ අනුව ඉකුත් 20 වැනිදා රහස් පොලීසියේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ළමාහේවා මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් බන්ධනාගාර මූලස්ථානයට පැමිණියේ එම නිලධාරීන් තිදෙනාගෙන් ප්‍රකාශයක් ලබාගන්නටය. පැය කීපයක් තිස්සේ සිද්ධිය පිළිබඳව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සිදුවූ අතර වැඩිදුර පරීක්ෂණ සිදුවන බවද වාර්තා විය.

මෙම සිද්ධියත් සමඟම මුළු මහත් බන්ධනාගාර පද්ධතියම හෙල්ලුම් වී හමාරය. එදා කොටි හුරතල් කළවුන්ට අතීතයේදී අත්වූ දඬුවම් යම්සේද පාතාලය සුරතල් කළවුන්ට අත්වන ඉරණමද බැහැර කළ නොහැක්කේ කාගේ කාගේත් කිල්ලෝටවල හුණු ටිකක් හෝ ඇති බවට පාතාලයෙන්ම ඇසෙන කතා නිසාය. ඒ නිසාම බන්ධනාගාර ලොක්කන්ට විශේෂ ආරක්ෂාවක් සපයන්නට කොමසාරිස් ජනරාල්වරයාට සිදු වී ඇති අකරතැබ්බයද සුළුපටු නැත.

මේ පිළිබඳව සොයන්නට රහස් පොලිස් කණ්ඩායමක් බූස්ස බන්ධනාගාරයට යන්නටද සූදානම්ය. ඒත් එම පැමිණිල්ලේ නොකී කතා කොතෙකුත් ඇතත්, ඒවා කියන්නට දන්නේ එදා එහි සිටි නිලධාරීන්ම පමණි. ඒ කිසිවකුත් කළුගලේ ඔළුව ගහගන්නට කැමති නැති බවද අප මෙහිදී අමතක කළ යුතුද නැත.

 ජයන්ත සමරකෝන්

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00