2020 ජුලි 25 වන සෙනසුරාදා

ගමට පනින සෝමාවතී කැලේ අලි

 2020 ජුලි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 69

දශක ගණනාවක් ගෙවී ගියත් වන අලි උවදුරෙන් පීඩා විඳින ජනතාවටත් ජනතාවගෙන් වනඅලින්ට සිදුවන පීඩා වෙනුවෙන් කිසිදු සහනයක් මෙතෙක් ලබාදීමට කිසිවකුටත් නොහැකි වී ඇත. එබැවින් පො‍ළොන්නරු දිස්ත්‍රික්කයෙහි ගම්මාන රැසක ජනතාවට මේ වනවිට දිවා රෑ වනඅලි උවදුරට මුහුණපෑමට සිදුව තිබේ.

අලි කොතෙක් මිනිස් ජීවිත සහ දේපළ විනාශ කළත් නිලධාරීහු බලධාරීහු නිසොල්මනේ සිටිති. අලි මිනිස් ගැටුම හේතුවෙන් මිනිසුන් සහ අලි ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව පොළොන්නරුවේ සීඝ්‍ර ලෙස ඉහළ අගයක් ගනී.
මෙම අලි මිනිස් ගැටුම විවිධ ප්‍රදේශවල උග්‍ර වී ජනතාව පෙළපාලි, උද්ඝෝෂණ සහ විරෝධතා කෙරිණි. එහි ප්‍රතිඵලයක් ලෙස අලි මිනිස් ගැටුම මර්දනය කිරීම සඳහා  බලයේ සිටි සහ බලයට පත්වන සෑම රජයක්ම රුපියල් කෝටි ගණන් වැයකර අලි ගම් වැදීම වැළැක්වීම සඳහා විදුලි වැටවල් ඉදිකිරිම් සිදුකළත් එයින් සිදුවූයේ අලි-මිනිස් ගැටුම තවත් උග්‍ර අතට හැරීමකි. එසේ වීමට ප්‍රධාන හේතුව ලෙස ජනතාව පෙන්වා දෙන්නේ අලි වැටවල් ඉදිකිරීම සඳහා එහි නියම ප්‍රමිතිය වනජිවි නිලධාරින් ලබා දුන්නත් කොන්ත්‍රාත්කරුවන් සහ විෂයභාර මහජන නියෝජිතයන් එක්ව ලබාදෙන මුදලට සරිලන විදුලි වැටක් ඉදි නොකරන බව ජනතාව කියති.

අලි මිනිස් ගැටුම හේතුවෙන් ඒ පළාත්වල මිනිසුන්ගේ දෛනික කටයුතු සියල්ල ඇණහිට තිබේ. මේ අතර ප්‍රධාන වශයෙන් ගොවින් වන අලින්ගෙන් සිදුවන වගාහානි නිසා ගොවිතැන අතහැර දමා තිබේ. එපමණක් නොව වන අලින් විසින් මිනිස්  ජීවිත විශාල සංඛ්‍යාවක් විනාශ කර තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස දරුවන්ට දෙමාපියන්ද  දරුවන්ට දෙමාපියන්ද බිරින්දෑවරුන්ට ස්වාමියන්ද ස්වාමියන්ද බිරින්දෑවරුන්ද අහිමිව තිබේ. කෙසේ නමුත් වනඅලින්ටද එසේමය. 
මේ අතර වැඩිම අලි මරණ සිදුව ඇති බවට වාර්තා වී ඇති 2016 ජනවාරි සිට අගෝස්‌තු මාසය වනවිට අලි ඇතුන් 148 දෙනකු පමණ මරණයට පත්වී ඇති බව වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව හෙළිදරව් කර ඇත. එපමණක්‌ නොව, එම කාලසීමාව තුළදී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අලි ඇතුන්ගේ පහරදීම්වලට ලක්‌වී මනුෂ්‍යයින් 43 දෙනෙකු පමණ මියගොස්‌ තිබේ. 2019 වසරෙදී පමණක් පො‍ළොන්නරුව වනජීවී කලාපයේ අලි මිනිස් ගැ‍ටුම් හේතුවෙන් වන අලි 90ක් පමණ මියගොස් මිනිස් ජීවිත 30ක් අහිමි වී ඇතැයි පො‍ළොන්නරුව වනජීවී සහකාර අධ්‍යක්ෂක කාර්යාලය හෙළිදරව් කර තිබේ.  

2018 වසරේදී අලි මරණ 76ක් ද මිනිස් මරණ 21ක්ද වාර්තා වූ අතර 2017 වසරේදී අලි මරණ 44ක් හා මිනිස් මරණ 16ක් සිදු ව තිබේ. මිල කළ නොහැකි මෙම අලි සම්පත මෙලෙස විනාශ වුවහොත් ඉදිරියෙදී රට තුළින් අලි සම්පත තුරන් වීමට ඉඩ ඇති බව පරසරවේදින් සහ වනජීවි නිලධාරීහු පවසති.

වන අලින්ගෙන් වැඩිපුර පීඩාවට පත්ව ඇත්තේ වස්ගමුව, මාදුරුඔය, කවුඩුල්ල, මින්නේරිය, අංගම්මැඩිල්ල සහ සෝමාවතිය ජාතික උද්‍යාන ආසන්නයේ ජීවත්වන ජනතාවයි. 
වැලිකන්ද කන්දකාඩු ගම්මානයේ පදිංචි එල්.ඒ. හීන්බංඩා:

ඉස්සර අලි ගමට අවේ නෑ. දැන් අලි ගමට එන්නේ මේ සෝමාවතියේ හිටපු අලි නෙවේ. කොහේ හරි හිටපු මිනීමරැ අලි අල්ලන් ඇවිත් මේ සෝමාවතියට තමයි ගෙනත් දාන්නේ. ඒ අලි දරුණු අලි. ඒ අලි රෑට ගම්වැදිනවා. මේ අලි පුරුදුවෙලා ඉන්නේ හොයාගෙන කන්න නෙවේ. ගෙවල් දොරවල් කඩලා ඒවාගේ තියෙන හාල් සහ වී  කන්න. ඒ ඇවිත් ගෙවල් දොරවල් කුඹුරු පිටි සියල්ල විනාශ කරනවා වාගේම මිනිස්සුන්ගේ ජීවිතත් බිල්ලට ගන්නවා. අපි වනජීවි මහත්තුරුන්ගෙන් ඉල්ලා සිටින්නේ හදලා තියෙන අලි වැට හරියට නඩත්තු කරන ලෙසත් වෙනත් පළාත්වල සිටින දරැණු අලි මෙහේට ගෙනත් දාන්න එපා කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ...
පී.ජී. අසෝක බණ්ඩාර:

අපේ මේ ගම අවුරුදු 40-50ක් විතර පරණ ගමක්. ඒ කාලේ මේ විදියට අලි ඇවිත් නෑ. ඒ කාලේ අලිවැටවල් තිබිලාත් නෑ. මේවාට මේ රට පාලනය කරන හැමදෙනාම වග කියන්න ඕනි. කොහොම වුණත් වනජීවි නිලධාරීන් අපි කැ‍ලේට ගිහින් දරකෑල්ලක් කැඩුවොත් අපිව අල්ලන් යනවා. ගඟේ මාලුවෙක් අල්ලන්න බෑ. අත්අඩංගුවට ගන්නවා. ඒ කරලා අධිකරණයට දැම්මාම රුපියල් ලක්ෂ ගණන් අපට දඩ ගහන්නේ. ඒ වුණාට  සෝමාවතිය ජාතික උද්‍යානයේ මහ කැලේ අක්කර දහස් ගණන් පිටරට ඉන්න අයට සහ මෝල්කාරයන්ටත් කුකුල් කොටු, ඌරැ කොටු දාන්න දෙනවා. ඒ අයට නීති නෑ. එදා වේල හොයාගෙන කන අපිට තමයි නීති දාන්නේ. අපේ රටේ පොඩි මිනිස්සුන්ට එක නීතියක් සල්ලිකාරයන්ට තව නීතියක් සහ දේශපාලකයන්ට තව නීතියක් එහෙම තමයි නීතිය ක්‍රියාත්මක වෙන්නේ...

ඩී. දයානන්ද ගොවියාගේ හඬයි මේ...

මම මේ ගමට ඇවිල්ලා සෑහෙන කලක් ගතවෙනවා. කිසිදු පහසුකමක් මේ ගමට මෙතෙක් ලබාදී නෑ. රෑ වෙනකොට වන අලි ගමට එනවා. වතුවල තියෙන සියලු දේ විනාශ කරනවා. විදුලි වැටට මේ ගම මායිම්වෙලා. ඒ නිසා නිතරම ජීවත්වන්නට සිදුවී ඇත්තේ බියෙන් සහ සැකයෙන්. මෙහෙ ඉන්නට ඇති බිය නිසා මගේ දරු පවුල වෙනත් තැනක නතර කරලයි ඉන්නේ. මම මේකෙ ගොවිතැන් කරනවා. ඒත් ඒ සියල්ල එක රැයකින් වන අලින් විනාශ කරනවා.
මේ සම්බන්ධයෙන් පො‍ළොන්නරුව කලාපය බාර වනජීවී සහකාර අධ්‍යක්ෂක ඩබ්.එම්.කේ.එස්. චන්ද්‍රරත්න මහතාගෙන්ද විමසා සිටි විට ඔහු මෙසේ කීය.

මේ ගැටලුවලට තිරසාර විසඳුම් මේ වනවිට සැලසුම් සකස් කරමින් සිටින්නේ. එහි පළමු පියවර ලෙස අපි සෑම ජාතික උද්‍යානයක් තුළම අනවසරයෙන් ඇතුළු වී විශාල ලෙස ගවයන් දමා සිටින සියලුම ගවයන් උද්‍යානයෙන් ඉවත් කිරීම සිදු කරනවා. ඒ වාගේ උද්‍යාන තුළ අනවසරයෙන් වගා කරන ගොවීන් ඉවත් කරනවා. මේ සියලු දෙනා ඉවත් කිරීම තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ උද්‍යාන තුළ වනඅලින්ට අනිකුත් සතුන්ට අවශ්‍ය ආහාරපාන සහ ඔහුන්ගේ දෛනික ක්‍රියාවලිය යථා තත්ත්වයට පත්කිරීම. එසේ කිරීම තුළින් වනඅලින් ගම්වලට පැමිණීම වැළැක්වෙනවා. 

එවිට අලි මිනිස් ගැටුම නැතිවෙනවා. ඒ වාගේ සෑම අලි වැටක්ම අපි බාරදීලා තියෙන්නේ සිවිල් ආරක්ෂික බළකායට. මේ වනවිට අපි සැලැසුම් කරමින් සිටිනවා අලිවැටවල් සාදා කිලෝමීටරෙන් කිලෝමීටරයට සිවිල් ආරක්ෂක නිලධාරීන් සේවයේ යොදවන්න. ඊට අමතරව සෑම ප්‍රධාන අලිවැටවල් ගෙට්ටු අසල සිවිල් ආරක්ෂක මුර කුටි හදන්න. තවත් අපි අපේ කලාපයේ සියලු ආයතන එක්ව කමිටුවක් පත්කිරීමට නියමිතව තිබෙනවා. දිස්ත්‍රික් ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන්. එවිට වනජීවි කලාප අසන්නයේ පිහිටි ආයතන එක්ව විසඳුම් සෙවීමටත් එහිදි ඉක්මණින් ප්‍රශ්න විසඳිය හැකි බවයි. ඒ වාගේම අපේ කලාපයේ වැඩි ප්‍රමාණයක් වනජීවී උද්‍යාන තිබෙන නිසා මිනිසුන් විසින් අනවසරයෙන් උද්‍යාන තුළට ඇතුළු වී ගස් කපනවා, වනසතුන් ඝාතනය කරනවා, වැලි ගොඩ දානවා. විවිධ නීති විරෝධී වැඩ කරනවා. එක පැත්තක  නීති විරෝධී වැඩ කරන පිරිස් අත්අඩංගුවට ගැනීමට යෑමේ වෙනත් ප්‍රදේශයක තවත් නීති විරෝධී ක්‍රියා කරන පිරිසක් අත්අඩංගුවට ගැනීමට තරම් අපිට කාර්යමණ්ඩලයක් නෑ. ඒකත් ජාවාරම්කරැවන්ට වාසියක් වෙලා තියෙනවා. කෙසේ නමුත් මේ වසරේ අලි මිනිස් ගැටුමෙන් මිනිස් ජීවිත 05ක් සහ අලින්ගේ ජීවිත 10ක් පමණ විනාශ වෙලා තියෙනවා. කෙසේ නමුත් ජාතික උද්‍යාන සහ රක්ෂිත තුළට කිසිදු හේතුවකට මිනිසුන්ට ඇතුල් වීමට නොහැකි වටපිටාවක් සැකසීමට හැකියාව තිබෙනවා නම් වනඅලින්ට කිසිම හේතුවකට ගම් වදින්න අවශ්‍යතාවයක් නැතිවෙනවා. 

හිඟුරක්ගොඩ ඩබ්.ඒ. පියතිලක