2020 ජුලි 25 වන සෙනසුරාදා

සරසවි සිසු බැංකු ගිණුම්වලට පාතාල මුදල් ගිය හැටි

 2020 ජුලි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 49

පාතාල නායකයන් කියන කිසිවෙක් එළිපිට පෙනෙන්නට නැත. ඔවුන් හැමවිටම මරබියෙන් කල් ගෙවන්නේ සැඟවීගෙනය. මෙරටදී බැරිම තැන විදේශවලට පලා ගොස් මේ රටේ අනුගාමිකයන් ලවා සිය අරමුණු ඉටුකර ගන්නට ඔවුහු දක්ෂයෝ වෙති. මැරකමට හිත ඇතත් තනිව ක්‍රියාත්මක වන්නට පිටකොන්දක් නැති ඔවුහු සල්ලි විසිකරමින් ගෝලබාලයන් ලවා පාතාලය හසුරැවමින් සිටිති. ආරක්ෂක අමාත්‍යාංශය හරහා සිදුකෙරෙන සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දන මෙහෙයුම් නිසා දැන් පාතාල නායකයන් ගෝලබාලයන් කවුරුත් පසුවන්නේ දෙගිඩියාවෙනි.

සංවිධානාත්මක අපරාධ සමඟ කුඩු පාතාලය මෙරටින් තුරන් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ අදහසකට අනුව ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙසින් පොලිස්පතිවරයාගේ මගපෙන්වීම යටතේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කොට තිබේ. එම මෙහෙයුම අතරතුර බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත්තේ බස්නාහිර පළාත තුළ පමණක් පාතාල කල්ලි 25ක් ක්‍රියාත්මකව පවතින බවය. ඒ අතර කල්ලි 20ක් සක්‍රීයව සංවිධානාත්මක අපරාධවල සහ කුඩු පාතාලයේ නිරතව සිටින බව හෙළි වී තිබේ. වැඩිදුරටත් හඳුනාගෙන තිබෙන්නේ පෙර කී අපරාධ කල්ලි 20ට අයත් සාමාජිකයන් 388 දෙනකු සිටින බවය. මොවුන් අතර පාතාල කණ්ඩායම් මෙහෙයවන නායකයන් බව කියන බහුතරය මේ වන විටත් විදෙස් රටවලට පලා ගොස් සිටිති. ඇතැම්හු පොලීසියට හා ආරක්ෂක අංශ වෙත කොටුවීමෙන් පසුව දැනට මහඋළුගෙදර තපිමින් සිටිති. එසේ සිටින පිරිස් වෙත එළියේ ඉන්නවාට වඩා ආරක්ෂාවක් සමඟ පාතාල ක්‍රියාකාරකම් සඳහා නිදහසක් පවතින බවද කිව යුතුය. 

ප්‍රබල පාතාල සගයෝ රක්ෂිත බන්ධනාගාරගත වුවද ඇප මත නිදහස්ව සිටිති. ඔවුන් පොලීසියටත් වැලි ගසමින් කට්ටි පනින අතරතුර පාතාල නායකයන්ගේ උපදෙස් මත ඕනෑ තරම් අපරාධ හා ජාවාරම් සිදු කරන බවද හෙළි වී තිබේ. බස්නාහිර පළාතේ පොලිස් වසම් 53ක් තුළ විසිරී සිටින මෙකී පාතාල අනුගාමිකයන් 388 දෙනා අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් දැනට ක්‍රියාත්මකව පවතී.

පාතාල නායකයන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන්ගේ දේපළ හා වත්කම් පිළිබඳ සිදු කරන සොයා බැලීමේදී ඔවුන් සතු බැංකු ගිණුම් සම්බන්ධයෙන් සූක්ෂ්ම මෙහෙයුමක් ආරම්භ කොට තිබිණ. ඒ සමඟ හෙළිව තිබුණේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අයත් බැංකු ගිණුම් හරහා පාර්ශ්ව කිහිපයකට අයත් බැංකු ගිණුම් වෙත මුදල් බැරකර තිබෙන බවය. ඒ අතර විශ්වවිද්‍යාල සිසුන් හා සාමාන්‍ය ජනතාවගේ ගිණුම් වෙත මුදල් බැරකර තිබීම ජාවාරම්කරුවන්ගේ තවත් නවතම උපක්‍රමයක් බවට වාර්තා වී තිබේ.

දින කිහිපයකට ඉහතදී බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකි. එහිදී සමාජ මාධ්‍ය උපයෝගී කරගෙන හඳුනාගන්නා පිරිස් වෙත ඔවුන්ගේ ගිණුම්වලට මුදල් බැර කරමින් ඊට කොමිස් මුදල් ලබාදෙන ව්‍යාපාරයක් ආකාරයෙන් පවත්වාගෙන යන ජාවාරමක කරුණු හෙළිදරව් කර තිබිණ. ඉන් දින කිහිපයකට පසුව විද්‍යාල සිසුන් හා වෙනත් තරුණ අය කිහිප දෙනකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා හමුවට පැමිණ තමන් එවැනි ගනුදෙනුවක නිරත නොවූ බවත් ජාවාරමක් බව නොදන්නා බවත් කියමින් ඔවුන් දන්නා කරුණු ප්‍රකාශ කර ඇත.

එම තොරතුරු ඇසුරු කරගෙන දින කිහිපයක් තුළ අදාළ විමර්ශන සිදුකර තිබේ. එහිදී අනාවරණය වී තිබෙන ආකාරයට අන්තර්ජාලයේ ෆේස්බුක් හා වෙබ්අඩවි පරීක්ෂා කොට තාවකාලික රැකියාවක් හෝ අමතර ආදායමක් සෙවීමට උත්සාහ කරන තරුණ පිරිස් ඉලක්ක කොට ෆේස්බුක් පිටුවේ ආකර්ශනීය දැන්වීමක් පළකර අතරමැදි සේවාවක් ඉටුකර මුදල් උපයන්න යැයි දන්වා තිබූ බවය.

ඊට අවනත වූ තරුණ පිරිස් දැන්වීමට අනුව සිය ගිණුම් අංක ලබා දී තිබෙන අතර ඒ වෙත ලැබෙන මුදල් ඊසිකෑෂ් ක්‍රමයට තැන්පත් කිරීම සිදුකළ යුතුය. මේ ගනුදෙනුව නිසි පරිදි සිදු කරන විට සතියකට රුපියල් 5000ක දීමනාවක් එම තරුණයන් වෙත ප්‍රදානය කිරීමට දැන්වීම්කරුවන් ක්‍රියා කර තිබේ. මේ කටයුත්ත ජාවාරමක් බවට පොලීසිය මාධ්‍ය හරහා ප්‍රකාශ කරන තෙක්ම එකී තරුණයන් මේ ගැන දැන සිට නැත. එවැනි ගනුදෙනුවලට පැටලී කාලයක් මේ ක්‍රියාවේ යෙදී සිටි තරුණයන්ට සැක සිතී නියෝජ්‍ය පොලිස්පතිවරයා හමුවේ මේ ගැන කරුණු කියා තිබු‍ණේ ඒ අනුවය. මෙම තරුණයන්ගේ ගිණුම් වෙත ලැබෙන මුදල් සියල්ල මත්කුඩු ජාවාරම හරහා උපයන ඒවාය. කෙසේවෙතත් නොදැනුවත්කම නිසා බොහෝ තරුණ පිරිස් මෙකී ජාවාරමේ කොටස්කරුවන් බවට පත්ව ඇතැයි ද ඉන් බහුතරය විශ්වවිද්‍යාල සිසුන් හා පරිගණක සාක්ෂරතාව ඇති තරුණයන් බවද කියති.

පාතාල කල්ලි නායකයන්ගේ වත්කම් සොයන මෙහෙයුම පිළිබඳ සැලවීමත් සමඟ ජාවාරමේ නිරත ඔවුන් මෙකී උපක්‍රමය භාවිත කර ඇතැයි ද දැනගන්නට තිබේ. මේ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ මෙකී ජාවාරමේ ගනුදෙනු සඳහා දැනුවත්ව දායකත්වය ලබාදෙන පිරිස් ඇත්නම් ඔවුන්ට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කරන බවය.

මෙම මෙහෙයුම අතර දරුණු ගණයේ අපරාධකරුවන් විදෙස්වල සැඟවී සිටින බවද හෙළි වී තිබේ. ඒ අතර පාතාල නායකයන් 15 දෙනකු මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු සිදු කරමින් පවතී. ඔවුන් සම්බන්ධයෙන් පොලිස් රතු නිවේදන නිකුත් කිරීමට ද පොලීසිය ක්‍රියා කර ඇත. ඒ අනුව ඉදිරියේ දී අධිකරණයට කරුණු වාර්තා කර එම ජාවාරම්කරුවන්ට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කිරීමට නියමිතය.

මෙම කටයුතු සාර්ථකව සිදුකිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ආරම්භ කර ඇත්තේ ඊට අයත් උප ඒකක 7ක් ද ඇතුළත් කරමිනි. මේ තුළින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් හා පාතාල ක්‍රියාවලින් උපයාගත් මුදල් හා දේපළ සොයා රාජසන්තක කිරීමට කටයුතු කෙරේ.

 සමන්ත ප්‍රදීප් විල්තෙර