2020 ජුලි 25 වන සෙනසුරාදා

ජනතාව මත කඩා වැටෙන පොලී මරාලය

 2020 ජුලි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 65

කොවිඩ් 19 වසංගතයෙන් කඩා වැටුණු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගාසිටුවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කර ඇත. මේ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන රජයේ නියෝග පරිදි මහ බැංකුව මගින් වාණිජ බැංකුවලට මුදාහැරීම ආරම්භ කර තිබේ. බැංකුවල ද්‍රවශීලතාව හෙවත් අතැති මුදල් ශක්තිය වර්ධනය කිරීම සඳහා ණයවලට සමානුපාතිකව ශ්‍රී ලංකා මහ බැංකුවේ රඳවාගන්නා තැන්පතු අනුපාතිකය 4 සිට 2ක්වා අඩු කර ඇත. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් වාණිජ බැංකුවලට වැඩි මුදලක් ණයකරුවන්ට නිකුත් කිරීමට හැකියාව ලැබී තිබේ. ණය ලබාගැනීමේදී තැබිය යුතු සුරැකුම් පිළිබඳව ද යම් නම්‍යතා පිළිවෙතක් අනුගමනය කිරීමට ද වාණිජ බැංකුවලට උපදෙස් ලැබී තිබේ.

මෙලෙස සහන පොලියට ණය දීම නිසා රටේ බලපවත්නා සමස්ත පොලී අනුපාතිකවල යම් පෙරැළියක් සිදුව ඇත. ණය පොලිය අඩුවීම නිසා එයට සමානුපාතික ලෙස තැන්පතුවලට බැංකු ගෙවන පොලිය ද පහළ දැමීමට බැංකු කටයුතු කර තිබේ. මෙහිදී සාමාන්‍ය ඉතුරුම් තැන්පත් සහ ස්ථාවර තැන්පතුවලට තැන්පත්කරැවන්ට බැංකු ගෙවූ පොලී අනුපාත ණය පොලියට සාපේක්ෂව පහළ දමා ඇත. ඒ අනුව ඉතුරුම් තැන්පතුවලට ගෙවූ 6 - 7ප්‍රමාණයේ පොලිය 3දක්වා ද, ස්ථාවර තැන්පතුවලට ගෙවූ 10 - 11පොලිය 6 - 7දක්වා ද මේ වන විට පහළ දමා තිබේ. මේ අතර ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ලක්ෂ 15ක් දක්වා මෙතෙක් ගෙවූ 15 පොලී අනුපාතිකය ද පහළ දැමීමට වාණිජ බැංකු කටයුතු කළ නමුත් මුදල් අමාත්‍යාංශයේ නියෝගය පරිදි එම ක්‍රියාමාර්ගය තාවකාලිකව නවතා ඇත. කෙසේ නමුත් සමහර අයගේ අදහස වන්නේ මහ මැතිවරණයෙන් පසු මෙම සහනය වෙනස් වනු ඇති බවය.

කෙසේ වුවද මූල්‍ය වෙළෙදපොළේ පොලී අනුපාත මේ වන විට සෑහෙන මට්ටමට පහළ බැස ඇති බව පෙනෙන්නට තිබේ. මේ වාතාවරණය හමුවේ අනුමත රාජ්‍ය බැංකුවල තැන්පත් කර ඇති මුදල් ආපසු ගෙන ඒවා වැඩි පොලිය දෙන මූල්‍ය ආයතනවල තැන්පත් කිරීමට ජනතාව පෙළඹී සිටින බව පෙනෙන්නට තිබේ. මේ තත්ත්වය මුදල් මුදලාලිලාගේ කරල පැහීමක් බවට පත්ව ඇත.

මෙයට පෙර වාණිජ බැංකු වැඩි පොලියක් ගෙවන සමයේදී වුවද සමහරුන් වැඩි පොලිය ලබාගැනීමේ චේතනාවෙන් අවිධිමත් මූලඊට ආයතන කෙරේ ඇදී යාමේ ප්‍රවණතාවක් තිබූ බව පෙනෙන්නට තිබුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් සක්විති වැනි මූල්‍ය සමාගම් මෙන්ම දඬුවම් මුදලාලි වැනි පුද්ගලයන් ද විශාල වශයෙන් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ද බිහිවූ බව නොරහසකි. මෙවැනි සමහර පුද්ගලයන් ගමෙන් බිහිවූ පොලී මුදලාලිලා හා සමාන ලෙස ජනතාව සූරාකෑමට ලක් කළ අය බව පෙනෙන්නට තිබේ. මෙයට අතිරේක වශයෙන් අවිධිමත් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වලින් අමාරැවේ වැටුණු අය ගැන ද පසුගියදා අනාවරණය විය. මෙවැනි වංචා පිළිබඳ ප්‍රචාරය වන්නේ ඒවා නිසා ජනතාව විපතට පත්වූ පසුවය. එතෙක් ඒවා නිවී සැනසිල්ලේ ක්‍රියාත්මක වෙයි. මෙම බොහෝ ආයතන ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි නොවූ ඒවා වන අතර, එවැනි ආයතන ක්‍රියාත්මකව තිබෙන බව හෝ වගකිවයුත්තන් දන්නේ නැත. දැනටමත් මෙවැනි අනවසර ආයතන 50කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක වන බවද දැනගන්නට තිබෙන නමුත් රටේ ප්‍රධාන මූල්‍ය පාලන බලධරයා වන ශ්‍රී ලංකා මහ බැංකුව එම ආයතන පිළිබඳ විමර්ශනය කරන බවක් දැනගන්නට නැත.

මේ හැර ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි වූ පෞද්ගලික මූල්‍ය ආයතන ද රැසකි. ඒවායින් ද සමහරක් ජනතාවට වංචා සිදු කරමින් ඔවුන්ගේ මුදල් විවිධ ව්‍යාපෘතිවලට යොදාගැනීම නිසා තැන්පතුකරැවන්ට අදාළ පොලිය හෝ අවශ්‍ය වූ අවස්ථාවල තම ප්‍රාග්ධනය හෝ ආපසු ලබාගත නොහැකිව ඇත. පසුගියදා විශාල ප්‍රශ්නයක් වූ ඊ.ටී.අයි. ආයතනය, ද ෆිනෑන්ස් සමාගම, ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් සමාගම ආදිය ගනුදෙනුකරැවන් අමාරැවේ දැමූ මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය සමාගම් වේ. මේ නුදුරු දිනක චන්මිල් ඉන්වෙස්ට්මන්ට් නැමැති ලීසිං සමාගමකට ගිය ස්වයංරැකියා සංගම් ලේකම්ට පහර දී ඝාතනය කළ සිද්ධියක් ද වාර්තා විය.

අවිධිමත් ක්‍රියා අනාවරණය වීම නිසා ප්‍රකට මූල්‍ය ආයතන දෙකක් වූ ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් ලිමිටඩ් යන ආයතනවල ව්‍යාපාර කටයුතු පසුගිය 13දා සිට අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියා කර සිටියේය. එයට පෙර පැරණිතම මූල්‍ය සමාගමක් වූ ද ෆිනෑන්ස් සමාගම රජයට පවරාගෙන තැන්පතුකරුවන්ගේ මුදල් ගෙවීම කළමනාකරණය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට සිදු විය. මුලින් කී සමාගම් දෙකේ ද ගනුදෙනු පියවීමට මැදිහත් වීමට මහ බැංකුවට දැන් සිදුව තිබේ.

කොතරම් රාජ්‍ය හා වාණිජ බැංකු තිබුණද, ජනතාව මෙලෙස අනවසර මූල්‍ය ආයතනවලට ළංවීම වැඩි වී තිබේ. එයට හේතු කිහිපයකි. සාමාන්‍ය බැංකුවලට වඩා අධික පොලියක් ගෙවීම, මුදල් ලබාගැනීමේ කොන්දේසි ලිහිල් වීම, සුරැකුම් පිළිබඳ එතරම් සොයා නොබැලීම හා කඩිනමින් මුදල් ලබාගැනීමට හැකිවීම වැනි හේතු එයට බලපායි. ලබාගන්නා තැන්පතුවලට ද අදහාගත නොහැකි තරමට පොලියක් ගෙවන ආයතන බිහිවීම නිසා ඒවාට ඇබ්බැහි වන ජනතාවට පොලිය තබා අන්තිමට තම තැන්පතුව පවා අහිමි කර ගැනීමට සිදු වූ වාර අනන්තය.

මෙම වංචනිකයන්ගෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා එවැනි ආයතන නියාමනය කිරීමේ වැඩපිළිවෙළක් රජය වහාම හඳුන්වා දිය යුතුයි. මේ සඳහා ණයවලට සහ තැන්පතුවලට ගෙවිය යුතු උපරිම පොලී ප්‍රතිශතය රජය මගින් නියම කළ යුතුයි. භාණ්ඩවල උපරිම සිල්ලර මිල නියම කරනවා වගේ උපරිම පොලිය නියම කිරීම රජයේ මැදිහත් වීමෙන් සිදුකළ යුතුයි. මෙම පොලිය අභිබවා වැඩි පොලියක් අයකළහොත් හෝ ගෙවුවොත් එම ආයතනවලට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කිරීමට නීති පැනවිය යුතුයි. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙනම දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීම වැදගත්.
මෙලෙස අදහස් පළ කළේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමියන්ය.
උන්වහන්සේ මෙසේද පවසති.

කොවිඩ් 19 බලපෑම හමුවේ පොලී අනුපාත පහළ දැමීමට ශ්‍රී ලංකාවට පමණක් නොව මුළු ලෝකයටම සිදුවූවා. යුරෝපීය සංගමයේ සමහර රටවල පොලී අනුපාතය 0 දක්වා පහළ වැටුණු අතර ජපානය, ස්විට්සර්ලන්තය වැනි රටවල එය ඍණ (-) අගයක් ගත්තා. මෙලෙස පොලිය පහළ යාම රටක මූල්‍ය ප්‍රතිපත්තියට සම්බන්ධ වෙනවා. ලොව බොහෝ රටවල ප්‍රමුඛ ලෙස ක්‍රියාත්මක වන්නේ වෙළෙඳපොළ ආර්ථිකයයි. එහෙත් මෙහිදී වෙළෙඳපොළ පමණක් නොව ආණ්ඩු ද එයට මැදිහත් වෙනවා. අපේ රට ද එසේයි. රටක ආර්ථික ක්‍රියාවලියට රජය හෝ රාජ්‍ය ආයතන මැදිහත්වීමේ ක්‍රම තුනක් තිබෙනවා. මූල්‍ය ප්‍රතිපත්තිය මගින් පොලී අනුපාත අඩු වැඩි කර මුදල් සැපයුම කළමනාකරණය කිරීම, පිස්කල් ප්‍රතිපත්තිය හෙවත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය මගින් බදු අඩු වැඩි කිරීම, රාජ්‍ය වියදම් හා ආදායම් අඩු වැඩි කිරීම ද සිදුවෙනවා. එසේම තුන්වෙනුව රජයට සම්බන්ධ ව්‍යාපාරික ආයතන පවත්වාගෙන යාම මගින් ආර්ථික ව්‍යවසාය කටයුතුවලට රජය මැදිහත්වීම සිදු කරනවා. මෙයට අමතරව ආණ්ඩුව මගින් විවිධ සහනාධාර දීම ද රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට අඩංගුයි.

මෑතකාලීනව ලෝකයේ ආර්ථිකය හැසිරවීමේ ප්‍රධාන ක්‍රමය වූයේ පොලී අනුපාතික වෙනස් කිරීමයි. ආර්ථික වර්ධනය පහළ ගිය විට පොලී අනුපාත පහළ දමන අතර එහිදී ආර්ථිකයට මුදල් ගලා ඒම සිදුවෙනවා. හැකිළුණු ආර්ථිකය ප්‍රසාරණය වෙනවා. මේ නිසා ආයෝජන අරමුදල්වල වියදම් අඩු වෙනවා. වැඩිපුර ණය ගැනීම් සිදුවෙනවා.

මෙහි අනිත් පැත්ත වන්නේ ගෙවන පොලිය අඩුවන විට ඉතුරැම් කිරීමේ ප්‍රවණතාව පහළ යාමයි. මෙය තුළ සැගවුණු කරුණක් තිබෙනවා. මේ මත උද්ධමනය අඩු වැඩි වීම සිදුවෙනවා. සැබෑ පොලී අනුපාතිකය යනු නාමික පොලී අනුපාතයෙන් උද්ධමන අනුපාතිකය අඩු කළ විට ලැබෙන වෙනසයි. රටේ උද්ධමනය වැඩි නම් පොලී අනුපාතිකය වැඩි වුවද ලැබෙන ප්‍රතිඵලයක් නොමැතියි.
අපේ රට වැනි රටවල සාමාන්‍ය උද්ධමනයට වඩා ආහාර මිල උද්ධමනය ගැන ද සලකා බැලිය යුතුයි. දුප්පත්කම වැඩි රටවල ජනතාවගේ වියදමේ වැඩි ප්‍රතිශතයක් ආහාරපානවලට වැයවෙනවා. අපේ රටේ ආහාර මිල උද්ධමන අනුපාතිකය 10 වැනි ඉහළ මට්ටමක පවතිනවා.

මූල්‍ය ප්‍රතිපත්ති මනාව ක්‍රියාත්මක කළ හැක්කේ වෙළෙඳපොළ බලවේග හොඳින් ක්‍රියාත්මක වන රටවල පමණයි. අමෙරිකාව, යුරෝපීය සංගමය, එංගලන්තය, ඔස්ට්‍රේලියාව යන රටවල් ප්‍රධානයි. ජපානය ක්‍රියාත්මක වන්නේ මෙයට වෙනස් වූ ආකාරයටයි. දියුණු වෙමින් පවතින රටවල පොලී අනුපාතිකය වෙනස් කර එමගින් මුදල් සැපයුම පමණක් වෙනස් කර ආර්ථිකය හසුරුවන්න පුළුවන්ය යන මතය මිත්‍යාවක්. ව්‍යාපාර ඇරඹීමට අවශ්‍ය සෙසු කරුණු සම්පාදනය කිරීම ගැටලු සහගත වෙනවා. යටිතල පහසුකම් සංවර්ධනය, ගොඩනැගිලි ඉදිකිරීම, බලශක්ති ලබාගැනීම ආදී අවශ්‍යතාවල විශාල ප්‍රමාදයක් තිබෙනවා. මේ නිසා අඩු පොලියට මුදල් ලැබුණත් ආයෝජනයට පහසුකම් අඩුයි. මෙවැනි රටවල ඇත්තේ කළු ආර්ථිකය හෙවත් ඡායා ආර්ථිකයක්. මෙහිදී අවශ්‍ය ආර්ථික කටයුතු නීත්‍යානුකූල නොවන ලෙස ඉටුකර ගැනීමට උත්සාහ කරනවා. 50ක පමණ ප්‍රමාණයක් මෙයට නැඹුරැ වෙනවා.

අපේ රටේ මෙම වසරේදී පමණක් පොලී අනුපාත 5 වරක් පහළ දැමීම සිදුවුණා. වාණිජ බැංකුවල සංචිත අනුපාතය ද අඩු කළා. මේ නිසා වාණිජ බැංකුවල අධි ද්‍රවශීලීතාවක් හෙවත් මුදල් වැඩි බවට පත්වුණා. මුදල් තිබුණත් ණය දෙන්න සුදුසු අය නැහැ. වැඩිපුර මුදල් වැය කිරීමෙන් සිදුවන්නේ උද්ධමනය පහළ යාමයි. මේ තත්ත්වය සමනය කිරීමට නම් නිෂ්පාදනය ඉහළ නැංවිය යුතු වෙනවා. එයට ඇති බාධා ඉවත් විය යුතුයි. මෙහිදී පොලී අනුපාත වෙනස් කිරීම තුළින් ලැබෙන්නේ නිශ්චල ජලයට ගලක් දැමූ විට ජලයේ රුලි ඇතිවීම (Ribble out effect) වැනි ප්‍රතිඵලයක්. එයින් ලැබෙන ප්‍රතිඵල තාවකාලිකයි.

ජනතාව පුරුදු වී ඇත්තේ අවිධිමත් අන්දමට ඉහළ පොලියට හදිසි පාරිභෝජන අවශ්‍යතාවලට ණය ගැනීමටයි. ගෙවල් හැදීම, විවාහය, විනෝදය ආදියට. එසේම වැඩි පොලියට ඒවායේ මුදල් තැන්පත් කරලා අමාරුවේ වැටෙනවා. සමාජය තුළ තරගයක් තිබෙනවා. මූල්‍ය සාක්ෂරතාව නොදන්නා අය පාරිභෝජන රැල්ලට හසුවී ණය ලබාගෙන විපතට පත්වෙනවා.

මේ තත්ත්වය නැති කිරීමට නම් රජය මැදිහත් වී මෙහි යම් සීමාවක් ඇතිකළ යුතුයි. උපරිම ඉහළ පොලී අනුපාත ගැන නීති පැනවිය යුතුයි. පොලිය වාණිජ බැංකුවල ණය හා තැන්පතු පොලීවලට සාපේක්ෂව පැනවිය යුතු වෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය වෙළෙඳපොළ අලුතින් නීති පනවා හෝ නියාමනය කළහොත් යම් පමණකට මෙම රැල්ල මර්දනය කළ හැකියි.

 යසවර්ධන රුද්රිගු