2020 ජුලි 18 වන සෙනසුරාදා

වෙබිඅඩවි මඟුල් කපුවෝ

 2020 ජුලි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 920

“කටාර්හි සේවය කරන වයස අවුරුදු 37ක් වූ උගත්, රූමත් දියණියට සුදුසු ගුණවත්, වැදගත් පවුල් පසුබිමක් හිමි සහකරුවෙක් මව්පියෝ සොයති. පළමු විවාහයෙන් වෙන් වී ඇත. දික්කසාද වී දරුවන් නොමැති සහකරුවකු වුවද කම් නැත.”
\ කලක් තිස්සේ පුවත්පත්වල මංගල තීරයේ පළවූ මෙවැනි දැන්වීම් වර්තමානයේ දී අන්තර්ජාලය ඔස්සේ වෙබ්අඩවි තීරවල ද එහා මෙහා සැරිසරයි. මෙවැනි මඟුල් කපුකමේ යෙදෙන වෙබ්අඩවි කිහිපයක්ම මේ වන විට අන්තර්ජාලය ඔස්සේ සහකාරියන්ට සහකරැවන් සොයා දෙයි. සහකරැවන්ට සහකාරියන් සොයා දෙයි.

එකල ගමේ මඟුල් කපුවා සුවිශේෂී චරිතයක්ම විය. කොණ්ඩය බැඳ, කළු කෝට් කබායක් හැඳ, කළු කුඩය කරේ හොවාගෙන බුලත්විටක් සපමින් ගමේ දීග යන වයසේ ඉන්නා ළමිස්සියන්ගේ නිවෙස්වලට, ඉලන්දාරීන්ගේ නිවෙස්වලට යාම ඒම මේ මඟුල් කපුවන්ගේ සිරිතකි. කල්ගත වෙද්දී වැඩිහිටි කාන්තාවෝ ද පන්මල්ලක් කිහිල්ලේ ගසාගෙන, පරණ කාලේ සාරියකුත් ඇඟ දවටාගෙන ගෙයින් ගෙට යමින් කපුකමේ නිරත වූහ.

“හාමිනේට කියන්න ඒ යස ඉලන්දාරියෙක්. අරක්කු උගුරක් කටේ තියන්නෙ නැහැ. හරියට ගෑනු ළමයෙක් වගෙයි...” යැයි කියමින් ඉලන්දාරීන්ගේ පුරාජේරුව ළමිස්සියන්ගේ වැඩිහිටියන් ඉදිරියේ වැමෑරුවද, ඒ බොහෝ ඉලන්දාරීන් බේබද්දන් වග ඔවුන් නොදැන සිටියේ ද නැත. නැති ගතිගුණ ඇති ගතිගුණ කරන්නට මෙවැනි මඟුල් කපුවන්ට අපූරු හැකියාවක් තිබේ. ඔවුන් ළඟ ඕනෑ තරම් ළමිස්සියන්ගේ ෆොටෝ කෑලි ඇත. ඒ එක් ඡායාරූපයක් අඩුම තරම් ඉලන්දාරීන් හතර පස් දෙනකුටවත් පෙන්වා ගුණ වර්ණනා කරති. එවැනි නිවෙස්වලට යන සෑම මොහොතකම ඔවුන්ට අතමිට මෙලවෙයි. කහට කෝප්පය වරදින්නේ නැත. කෙසේ හෝ පවුල් දෙකක් පූට්ටු කොට මංගල්‍යයක් සිදුකරද්දී දෙපාර්ශ්වයෙන්ම මඟුල් කපුවන්ට කාසි පනම් ලැබෙයි. එදාට මඟුල් කපුවාගේ කල්ල මරේය.

කල් යත්ම මේ මංගල යෝජනා පත්තර පිටු අතරට එක්විය. ජාතික පුවත්පත්වල වර්තමානයේදීද මෙවැනි මංගල යෝජනා ඕනෑ තරම් පළවෙයි. එක් යෝජනාවකට දිනකට පිළිතුරු ලිපි කිහිපයක්ම තැපෑලෙන් ලැබෙයි. වචන ප්‍රමාණයට අනුව දැන්වීමේ මුදල තීරණය වන හෙයින් බොහෝ දැන්වීම් පළවන්නේ ඉතාමත් සීමිත වචන ප්‍රමාණයකටය. කෙසේ වුවද පුවත්පත් දැන්වීම් තීරය ඔස්සේ හඳුනාගත්, සාර්ථක විවාහ ජීවිත ගතකරන ඕනෑ තරම් අඹු සැමියෝ වෙති.

පුවත්පත් දැන්වීම් තීරයෙන් නොනැවතුණු මේ මංගල යෝජනා අද වන විට අන්තර්ජාලය ඔස්සේ ද පළවෙයි. එවැනි මංගල යෝජනා සේවා අන්තර්ජාලය ඔස්සේ පවත්වාගෙන යනු ලබන ආයතන කිහිපයක් ද මේ වන විට මෙම තරගකාරී වෙබ්අඩවි රටාවට එක් වී හමාරය.

මෙවැනි ආයතනවලින් බොහෝමයක් ලියාපදිංචි වීම සඳහා යම් මුදලක් අයකරන අතර ඇතැම් ආයතන එවැනි මුදලක් ලබාගන්නේ නැත. ඔවුන් පවසන්නේ ඔවුන්ගේ සේවය නොමිලේම ලබා දෙන බවයි.

“මම මේ සේවාව පටන්ගත්තේ මීට අවුරුදු පහකට විතර උඩදියි. මේ සෑම කාලයකදීම රටේ තියෙන ලොකුම ප්‍රශ්නයක්නෙ. ඒ නිසාම තමයි මට මේ වගේ සේවාවක් ආරම්භ කරන්න හිතුණේ. මේ සේවාව අපි ලබා දෙන්නේ නොමිලේ. අපේ වෙබ්අඩවියට පිවිස එහි මුලින්ම ලියාපදිංචි වෙන්න ඕනෙ. ඒ සඳහා තියෙන සරල පෝරමයේ නම, දුරකතන අංකය, ජාතික හැඳුනුම්පත් අංකය සහ විද්‍යුත් තැපැල් අංකය සඳහන් කළ යුතු වෙනවා. ඒ දුරකතන අංකවල රහස්‍යභාවය අපි රකිනවා. එලෙස ලියාපදිංචි වීමෙන් පසුව ඔවුන්ට අපගේ වෙබ්අඩවියේ සඳහන් මංගල යෝජනා දැන්වීම් බැලීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම ඔවුන්ටත් දැන්වීමක් පළකර ගැනීමේ හැකියාව ලැබෙනවා. අපි මේ සඳහා කිසිදු මුදලක් අයකරන්නේ නැහැ.” යැයි මංගලකපු.lk වෙබ්අඩවියේ හිමිකරු වන ජනිත් රුවන් දේශයට අදහස් දක්වමින් පැවසීය.

මේ වන විට මෙම වෙබ්අඩවිය ඔස්සේ මංගල දැන්වීම් බොහෝමයක් පළ කර ඇති අතර, ලියාපදිංචි වූ පිරිස් ද බොහෝ වෙති. ඒ අතරින් මංගල යෝජනා සාර්ථක වී විවාහ වූ අය ද සිටින අතර ඇතැමුන් තමන්ට දුරකතන ඔස්සේ කතා කොට ඒ බව දන්වා සිටින බවත්, ඇතැමුන්ගේ විවාහ උත්සවවලට තමන්ට ද ආරාධනා කළ බවත් ජනති පවසයි.

මංගල යෝජනා පළකිරීමට අමතරව සිය වෙබ්අඩවිය ඔස්සේ ඉතා ඉක්මනින්ම මංගල ඡායාරූපකරණය, උත්සවශාලා පහසුකම්, ජ්‍යොතිෂ්‍ය සේවා, රූපලාවන්‍ය සේවා, මංගල වාහන, පෝරු ආදී සේවා ලබා දීමට ද අදහස් කරන බවත්, එකම වෙබ්අඩවියක් ඔස්සේ මෙම සියලුම සේවා ලබාදීමට කටයුතු කරන බවත් ජනිත් වැඩිදුරටත් දේශය සමඟ පැවසීය.

මංගලකපු.lkට අමතරව තවත් මංගල සේවා වෙබ්අඩවි බොහෝමයක් මේ වන විටත් අන්තර්ජාලය ඔස්සේ සිය සේවය ලබා දෙයි. ඒ බොහෝමයක් වෙබ්අඩවි තමන්ගේ කැමැත්ත පරිදි එහි අනෙක් සාමාජිකයන්ට දැකගත හැකිවන සේ ඡායාරූපයක් ද සමඟ විස්තර පළ කරයි. මේ බොහෝ ඡායාරූපවල සිටින සහකාරියන් ඉතා රූමත්ය. සහකරුවන් ඉතා කඩවසම්ය. බොහෝ ඡායාරූප සංස්කරණය කොට ලබාගත් ඡායාරූප වෙයි. නමුත් එවැනි ඡායාරූපවල පෙනී සිටින ඇතැමුන් සැබෑවටම දුටු කල සම්පූර්ණයෙන්ම වෙනස් පෙනුමකි. වෙබ්අඩවිවල පළවන මෙවැනි ඡායාරූප පමණක් නොව, වර්තමානයේ දී කපු මහතුන්ගේ කපු නෝනාවරුන් ළඟ ඇත්තේ ද මෙවැනි හැඩවැඩ කොට සංස්කරණය කර ලබාගත් ඡායාරූප වේ. නමුත් බොහෝ විවාහ අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ සැබෑ පෙනුම ඊට හාත්පසින්ම වෙනස්ය.

ඇතැම් මංගල යෝජනා වෙබ්අඩවිවලට පිවිසීමට එම සේවාව විසින් යම් යම් කොන්දේසි කිහිපයක් පනවා තිබේ. එම කොන්දේසිවලට එකඟ වන්නේ නම් තම සේවය ලබාගත හැකි බව එම වෙබ්අඩවි පවසයි. ඒ අනුව ඔවුන් තම සේවා ලබාදෙනු ලබන්නේ වයස අවුරුදු විසි එක සම්පූර්ණ වූ මනමාල හෝ මනමාලියන්ටය. එමෙන්ම ඔවුන්ගේ අනන්‍යතාවය හැඟවෙන පෞද්ගලික කරුණක්, ඡායාරූපයක් හෝ දුරකතන අංකයක් පළ නොකරන අතර, දැන්වීම පළකිරීම සඳහා අත්තිකාරම් මුදලක් ගෙවිය යුතු වෙයි. කිසියම් පාර්ශ්වයක් කෙරෙහි යම් කැමැත්තක් යෝජනා වන්නේ නම් ඒ සම්බන්ධව දෙපාර්ශ්වයම සම්බන්ධ කරලීම සඳහා සම්පූර්ණ සේවා ගාස්තුව ගෙවිය යුතු වෙයි.

මේ ආකාරයට ඇතැම් මංගල සේවා වෙබ්අඩවි මුදල් ලබාගනිමින් එම සේවාව සපයයි. බොහෝවිට මෙවැනි වෙබ්අඩවි සිය සේවය ලබාදෙනු ලබන්නේ විද්‍යුත් තැපෑලෙනි.

අන්තර්ජාලයේ වෙබ්අඩවිවලට අමතරව වර්තමානයේ දී මුහුණුපොත (Facebook) හරහා ද මංගල දැන්වීම් පළ කරනු ලබන ගිණුම් ක්‍රියාත්මක වෙයි. මේ බොහෝ දැන්වීම්වල සහකරුවාගේ හෝ සහකාරියගේ ඡායාරූපයක් පළ කර තිබේ. ඇතැමුන් අපැහැදිලි ඡායාරූප පළ කර ඇති අතර තවත් පිරිසක් සංස්කරණය කර ලබාගත් ඡායාරූප පළ කරති. මෙවැනි බොහෝ මංගල දැන්වීම් සඳහා දක්වා ඇති අදහස් පිළිබඳව බොහෝ විට සෑහීමකට පත් විය නොහැක. බොහෝ අය මෙම ඡායාරූපවලට අසභ්‍ය අශීලාචාර අදහස් පළ කරති. මේ නිසා මෙලෙස මුහුණුපොත හරහා ක්‍රියාත්මක වන මංගල යෝජනා දැන්වීම් හරහා සාර්ථක ප්‍රතිඵලයක් ලබාගත හැකි වන්නේ ද යන්න සැක සහිතය.

විවාහය යනු කෙනකුගේ ජීවිතයේ වැදගත් තීරණයකි. එවැනි තීරණයක් ගැනීමේදී සැලකිලිමත් වීම ඉතා වටී. මඟුල් කපු මහතාගේ සිට අන්තර්ජාලය තෙක් දිව ගිය මෙම කාර්යය වර්තමානයේ දී නිවැරදිම තීරණය ඔස්සේ සුදුසු සහකාරිය හෝ සහකරුවා තෝරාගැනීම පිළිබඳව දෙවරක් සිතා බැලිය යුතු කාලවකවානුවකට එළැඹ තිබේ.

 දිශානි ජයමාලි කරුණාරත්න

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00