2020 ජුලි 18 වන සෙනසුරාදා

තිස් ගණන්වල සිට ඇසුණු ඡන්දෙට ලියූ කවි

 2020 ජුලි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 229
පළමු අකුරේ සිටම කවි කොළයට දේශපාලනයක් තිබුණේය. මක්නිසාද යත්, ඔහු සමාජ භූමියෙහිම උපන් එහිම නිපන් කවියකු වූ නිසාය. ඔහු ගමන් කළේ සියවසක් (1900 - 2000) ගලා ගිය දේශපාලන ගංගාවක් දිගේය. ඒ හරහාය. විවිධ දේශපාලන පක්ෂ ප්‍රවණතාවල කියුම් කෙරුම් කවි කොළයෙන් පින්තූරගත වෙනවා මෙන්ම ඒවා කවියාගේ විමසුම්වලට ද භාජනය වී ඇත.*= (පරාක්‍රම කොඩිතුවක්කු - සකල සිරින් පිරි කවි කොළේ)
 
අද මෙන් රූපවාහිනී මාධ්‍ය, සමාජ මාධ්‍ය ගැන හිතලාවත් නොතිබූ 40 - 50, 60, 70 දශකවල මතු නොව 80 දශකයේ පවා කවි කොළයට දේශපාලනයේ දී ලැබුණේ විශාල පිටුබලයකි. මේ නිසා මැතිවරණයක් ආසන්න වන විට විවිධ අපේක්ෂකයන්ගේ ගුණ වනමින්, පැවති ආණ්ඩුවේ වැඩ විවේචනය හෝ වර්ණනා කරමින් ලෙටර්ප්‍රෙස් අච්චු කන්තෝරැවල කවිකොළ දහස් ගණනින් මුද්‍රණය කර බෙදාහැරීම සිදුවිය. ඒ අතර ගම්වල නගරවල ඡන්ද රැස්වීම්වල හිටිවන කවීහු පැමිණ කවි කතා පැවැත්වූහ. අද අපට දක්නට ලැබෙන්නේ එවන් කවි කතා නොව සමහර අපේක්ෂකයන් විරුද්ධවාදීන් උපහාසයට ලක් කරමින් ඉඳහිට කවියක් දෙකක් කීම පමණි.
එදා ඡන්දය ලබාගැනීමට ජනතාව අතරට තම පණිවුඩය ගෙන යාමේ ජනප්‍රිය අංගයක් වූ ඡන්ද කවි විමසා බැලීම රසවත් අත්දැකීමකි.‍
 
1936 දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභා මහ මැතිවරණය පැවැත්වුණි. ඒ වර්ෂයේ පෙබරවාරි - මාර්තු මාසවල දින 11ක් පුරා මැතිවරණය පැවති අතර මන්ත්‍රීවරැන් නියෝජනය කළ පක්ෂවලට අදාළ රතු, නිල්, කොළ, කහ පාට සහිත ඡන්ද පෙට්ටි තැබීම සිදුවිය. මේ නිසා පක්ෂයට නියමිත වර්ණය ජනප්‍රිය කරවීම අවශ්‍ය විය. ඡන්ද සලකුණු නොකර අදාළ පෙට්ටියට දැමීම පමණි, කළ යුතු වූයේ. මේ ඡන්දයට මාතර ආසනය නියෝජනය කරමින් ඉදිරිපත් වූ අපේක්ෂකයෙක් වූයේ අනගාරික ධර්මපාලතුමාගේ සොයුරාගේ පුතා වූ රාජා හේවාවිතාරණය. මේ ඔහුගේ ඡන්ද ප්‍රචාරක පත්‍රිකාවක පළ වූ කවියකි.
 
 
අපේ පාට කොළ පාටයි
ජය පාටත් කොළ පාටයි
කොළ පාටට ඡන්දය දෙමු
රාජා මැතිට ජය පතමු
 
කොළ පාට කොඩියක් දුටු වහාම ජයවේවායි ශබ්ද නගා ප්‍රාර්ථනා කරනු!
එවකට රට පුරාම පතල මහා කවියකු වූ ආනන්ද රාජකරුණා ද රාජා හේවාවිතාරණ වෙනුවෙන් කවි ලිව්වේය. මේ ඔහු පළ කළ කවි අතරින් කිහිපයකි.
 
ලොසසුන වැවේවා
ජාතිය ද සුරුකේවා
එ මාතර හේවා
විතාරණ නම බැබළේවා
 
තේජා නුබාවත් තෙරුවන දරාගෙන
ඕජා කුලුනු ගුණ ගත උතුරුවාගෙන
රාජා වීරයා හේවා          විතාරණ
පූජා තුති ලබයි මාතර    දිනාගෙන
 
1936 මැතිවරණයෙන් ඡන්ද 25895ක් ලබා ජයගත් රාජා හේවාවිතාරණ 1947 දක්වා රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළේය.
මෙම ඡන්දයට අවිස්සාවේල්ල නියෝජනය කරමින් ඉදිරිපත් වූ ප්‍රබල චරිතයක් වූයේ වර්තමාන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ පියා වූ පිලිප් ගුණවර්ධනය. ඔහු වෙනුවෙන් ලියැවුණු කවියකි, මේ.
 
ඔළුවට පොලු පහර ආවත් හෙණ  වදින
කිසිවිට බිය නොවී තම යුතුකම  ලෙසින
සමයට දෑ රටට නිතියෙන් වැඩ    කරන
මැතිඳුට නොදුන්නොත් වරදකි හෙණ  ගහන
 
1947 මහ මැතිවරණයට හම්බන්තොට ආසනය නියෝජනය කරමින් ඩී.එම්. රාජපක්ෂගේ වැඩිමහල් පුතු වූ ලක්ෂ්මන් රාජපක්ෂ ඉදිරිපත් විය. ඔහුගේ පියා 1945 දී මියයන විට ලක්ෂ්මන්ගේ වයස අවුරුදු 21කි. මහ මැතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ලක්ෂ්මන් ඉදිරිපත් විය.
 
 
ඔල මොළ කපටි කිව්වත් ඔය මොන  මොනවා
යහපත රටට රජපස මැතිගෙන්        වෙනවා
මහජන ඡන්දෙ දින දින දැන් ළං      වෙනවා
සහතික ඇත්ත තරුවට නම් ජය      වෙනවා
 
ලක්ස්මන් මැතිගෙ සේවය රුහුණට      වේවා
හම්බන්තොට දියුණුව ඉන්          සැලසේවා
මිතුරන් හිතවතුන් සමගින් සැර          දේවා
තෙරුවන් සරණ ලැබ මැතිඳුට ජය      වේවා
 
කවි කොළයේ ප්‍රාර්ථනා කළ අන්දමටම ලක්ෂ්මන් රාජපක්ෂ ව්‍යවස්ථාදායක සභාවට තේරීපත් වූ අතර 1952 දී ලංකා සමසමාජ පක්ෂයෙන් ඉදිරිපත්ව පරාජයට පත් විය. යළිත් 1956 මහ මැතිවරණයේ දී මහජන එක්සත් පෙරමුණෙන් තරග වැද ජය ලැබීය.
1956 මහ මැතිවරණය මෙරට දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක සන්ධිස්ථානයක් විය. ප්‍රබල එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව ඇස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් යුත් ළදරු මහජන එක්සත් පෙරමුණ තරග කළේය. මහජන එක්සත් පෙරමුණට පක්ෂව ලියැවුණු කවි පෙළකින් ගත් කවියකි, මේ.
 
කන්නට අපට සලසද්දී මිනී මස්
දැන් තවදුරට සිටියෝතින් පියා ඇස්
යූ.ඇන්.පිය යළි බලයට නැගී ගොස්
අයියෝ දමයි මහජනයගෙ කටේ පස් 
 
1956 දී මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් හොරණට තරග කළේ ප්‍රකට කවියකු වූ සාගර පලන්සූරියයි. ඔහු දිරිමත් කිරීමට තවත් කොළඹ යුගයේ කවියකු වූ බොරලැස්ගමුවේ පී.බී. අල්විස් පෙරේරා ලියූ කවියකි, මේ.
 
මෙදා පොටේ යූ.ඇන්.පිය    පරදිනවා
කවුරුත් අතේ ලකුණට ඡන්දය දෙනවා
සාගර පලන්සූරිය යැව්වම        දිනවා
මැති බණ්ඩාරනායක අගමැති    වෙනවා
 
වැල්ලවත්ත - ගල්කිස්ස ආසනයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළේ ඇස්. ද ඇස්. ජයසිංහය. මේ ඔහු ප්‍රචාරය කළ කවියකි.
 
ජාතික ගසේ ජාතික කොඩිය නගන විට
කතිරය ගසනු මැන අලියා        ඉදිරිපිට
වැල්ලවත්ත ගල්කිස්සේ අසුන      මෙම
ගියවර ජය ලබා පිදු සේවයට      ළැම
 
ජයසිංහ ඇස්. ද ඇස්. මැතිඳුනි ඇතිව පෙම
ඡන්දය දෙනු මැනවි රැකගනු පිණිස   ගම
 
 
1960 ජූලි මහ මැතිවරණයට පෙරම ඒ ගැන අනාවැකි කියූ කවි පොතක් නිකුත් වී තිබුණි. එහි සඳහන් ජ්‍යොතිෂ අනාවැකි 95ක්ම නිවැරදි බව ඡන්දයෙන් පසුව කියැවිණි.
 
කැස්බෑව මෙවරත් දිනන්නේ අපේ මහ කවි සෝමවීරයි
පක්ෂයක් අද නැතුව ආවත් රත්නසිරිවම හොරණ තෝරයි
බුලත්සිංහල බිබිලෙ පැරදී සමසමාජෙට එතැන වාසියි
මතුගමින් ජය හඬ නගන්නේ දයා ඩී. පැස්කුවල් මැතිඳුයි
 
මෙම මැතිවරණයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 75ක් හිමිකරගෙන ජයග්‍රහණය කළේය. මේ ආණ්ඩුවේ කටයුතු වර්ණනා කරමින් විල්සන් ජයවික්‍රම නම් කවිකොළකරුවා 1960 නිදහස් ලංකාව නොහොත් සමගි බලය නම් කවිකොළය රචනා කළේය. එහි ජනසතු ව්‍යාපාරය ප්‍රශංසා කර ඇත්තේ මෙලෙසයි.
 
බස් ටික සේරම ජනසතු කරලා ලංගම කියලා නම  තැබුවා
බස්වල යන අය නැවතීමට නැවතුම් පොළවල් ඉදිකෙරුවා
එහෙම කරලා ලංකාපුරයේ කුඹුරු පනත සම්මත කෙරැවා
මෙහෙම කරලා නැත මින්පෙර කවුරුත් දුප්පත් අඳ ගොවි දෙස බැලුවා
 
1965 මාර්තු 22දා පැවැත්වූ හයවැනි පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ හවුල් ආණ්ඩුවක් පිහිටවීය. අගමැති වූයේ ඩඩ්ලි සේනානායකය. වම පාවාදුන් වගයි යනුවෙන් නිකුත් කවි පත්‍රිකාවක එම ඡන්දය ගැන මෙසේ සඳහන් විය.
 
යූ.ඇන්.පිය පෙඩරල් හා පල්ලිය උසිගන්නා
ජාතියේ හදවතටත් පිහි පාරක් ඇන්නා
හොරණෑවටත් ගිනි පිට කළ අයිය මලෝදෙන්නා
පරණ කෙරුම් අමතක කොට සටන පාවා දුන්නා
 
 
 
කවි කොළයෙන් ජනතාවගේ හදවතට ආමන්ත්‍රණය කිරීමක් සිදුවිය. ඒ අවධියේ රටේ තොටේ අපරාධ, මිනීමැරැම් ආදිය ද කවි කොළයට වස්තු විය. ගමේ සතිපොළවල කවිකොළකාරයකු කවි කියමින් කවිකොළ විකිණීම සුලබ සිද්ධියක් විය. ජනතාවගේ හැඟීම්වලට ආමන්ත්‍රණය කරමින් ඡන්දය දැමීමට ඔහු පොළඹවා ගැනීමට එකල කවියෙන් විශාල මෙහෙවරක් සිදුවිය. 1970 මහ මැතිවරණය ද විශාල උණුසුමක් පැවති ඡන්ද ව්‍යාපාරයකි. ශ්‍රීලනිපය ප්‍රමුඛ සමගි පෙරමුණ ද එක්සත් ජාතික පක්ෂය ද අතර විශාල තරගයක් පැවතුණි. වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ පළමු වරට දේශපාලනයට පිවිසියේ මෙම මැතිවරණයෙනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බෙලිඅත්ත ආසනයට තරග කළ ලාබාලම අපේක්ෂකයා වූ ඔහුට සහයෝගය පතා ලියැවුණු කවියකි, මේ.
 
දහදුක් විඳින ජනතාවට සහාය  දෙමින්
ජාතිය නැගූ රුහුණෙහි මිණිපහන වෙමින්
මියගිය පියාගේ පියවර අනුව යමින්
පොඩි පුතු පෙරට එයි ඔබ හැම පරදවමින්
 
මෙම මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජය ලබන විට ඔහුගේ වයස අවුරුදු 24ක් පමණි. ඔහු පාර්ලිමේන්තුවේ ලාබාලම මන්ත්‍රීවරයා වෙමින් දීර්ඝ දේශපාලන ගමනකට මුල පිරීය.
සමගි පෙරමුණේ ජයග්‍රහණයෙන් පසු නැවතත් අගමැති ධූරයට සිරිමාවෝ බණ්ඩාරනායක පත් වූවාය. පොදු ජනතාව වඩාත් සතුටට පත් සිද්ධියක් වූ එම රජයට සමසමාජ පක්ෂවල සහාය ද හිමි විය. නව රජයට සුබ පතා නිකුත් වූ කවි කොළයක මෙසේ සඳහන් විය.
 
සමසමාජ පක්සේ ආචාර්ය ඇන්.ඇම්. ප්‍රේරා මැතිඳු තමා
කොමිනිස් පක්සේ දොස්තර ඇස්.ඒ. වික්‍රමසිංහ මැතිඳු  තුමා
මෙම කටයුතු ගැන නිරත වෙලා සිටි අනෙකුත් ප්‍රභූ මැති සැමටා
සැම ජන තුති පුද දෙනවා ලක්වැසි මැතිනිය අගමැති කෙරෙව්වටා
 
  කුසුම්සිරි විජයවර්ධන
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00