2020 ජුලි 18 වන සෙනසුරාදා

දඩකොළේට යකා නැග්ග ටිපර් මාරයා

 2020 ජුලි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 162

එකසිය පනස් හතර වසරක ඉතිහාසයක් ඇති පොලිස් දෙපාර්තමේන්තුව අසූපන්දහසකට අධික නිලධාරීන් පිරිසක් නියෝජනය කරන්නේ සමාජය තුළින්ම තේරී පත්වීමෙනි. මහජනතාව හරහාම ස්ථාපිත පොලීසියට ඉතිහාසය පුරා නැගුණු චෝදනාවලට වඩා ප්‍රසාදය අඩුය. බැණුම් ගැරහුම් කෙසේ වෙතත් අකුරට නීතිය ක්‍රියාත්මක කරන සුහදශීලී පොලිස් නිලධාරීහු වෙති. එහෙත් මහජනතාව අතර ඇතැමුන්ට පොලීසිය හා පවතින්නේ දැඩි අප්‍රසාදයකි. මාර්ග නීති උල්ලංඝනය කිරීමකදී දඩ කොළයක් ලිවීමට එරෙහිව ටිපර් රථයක් පදවා රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් යටකර අයකු ජීවිතක්ෂයට පත්කිරීම ඉහත ගැටලුවේ බරපතළ ඛේදවාචකයකි.

නීතිය ක්‍රියාත්මක කිරීමට උරණ වූ රියැදුරාගේ නොහික්මුණු ක්‍රියාව නිසා තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් බරපතළ තුවාල ලබා සිටිති. අනතුර හේතුවෙන් මියගොස් ඇත්තේ හක්මන පොලීසියේ රථවාහන අංශයට අනුයුක්තව සේවය කළ වලස්මුල්ල, මෝදරවාන ප්‍රදේශයේ පදිංචිව සිටි මාලිත විතාරණ (78262) නැමැති පොලිස් කොස්තාපල්වරයෙකි.

හක්මන පොලිස්ථානය මගින් දෛනිකව ක්‍රියාත්මක කරන ආරක්ෂක පියවර අතර රාත්‍රී ජංගම පොලිස් මුර සංචාර නියමිත පරිදි මේ සිද්ධිය වූ දිනයේ ද ආරම්භ කෙරී තිබිණි. අදාළ මාර්ගයන්හි පොලිස් යතුරැ පැදිවලට අමතරව පොලිස් ජීප් රථයක්ද රාජකාරියේ යෙදී සිට ඇත. ඒ අතර යතුරුපැදියක නැගී මුර සංචාරයේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකි. මොවුන් දෙදෙනා ඒ වනවිට රැඳී සිට තිබුණේ හක්මන - මාතර මාර්ගයේ ස්ථානයකය. මධ්‍යම රාත්‍රිය ආසන්නව පැවති මොහොතක මාතර දෙස සිට හක්මන දෙසට ධාවනය වෙමින් තිබූ බර වාහනයකි. ශබ්දයේ ස්වරූපය අනුව ටිපර් රථයක් යැයි අවබෝධ කොටගත් නිලධාරීහු එදෙසට අවධානය යොමු කළෝය. රථයේ ප්‍රධාන විදුලි ලාම්පු දෙකම ක්‍රියාත්මක විය යුතුව තිබුණද එකී රථයෙන් දැල්වී තිබුණේ එක් විදුලි ලාම්පුවක් පමණය.

රථවාහන නීති උල්ලංඝණය කරමින් ධාවනය කෙරෙන ටිපර් රථය නැවැත්වීම සඳහා ප්‍රමාණවත් දුරක් තබාම පොලිස් නිලධාරීන් සංඥා කොට තිබිණ. එහෙත් එම සංඥාව ගාණකට නොගත් ටිපර් රථයේ රියැදුරා මඳක් හෝ වේගය අඩාල නොකොට තවත් වේගයෙන් ධාවනය කොට තිබිණ. රථවාහන නීතිය උල්ලංඝණයට අමතරව අණ නොතකා පලාගිය රථ යම් නීතිවිරෝධී ද්‍රව්‍යයක් ප්‍රවාහනය කරන්නේද නැතිනම් යම් ජාවාරමක නිරත වන්නේද යන්න පොලිස් නිලධාරීන් හමුවේ ක්ෂණිකව මතු වූ ගැටලුවකි.

එසැණින් ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් දෙන්නා මාර්ගයේ ඉදිරියෙන් ස්ථාපිත පොලිස් මුරපොළ අමතා විශේෂ පණිවුඩයක් මගින් දන්වා තිබුණේ තනි විදුලි ලාම්පුවක් දල්වාගත් කහ පැහැති ටිපර් රථයක් අණ නොතකා ධාවනය කරන බවත් වහාම එය නවත්වා පරික්ෂාවට ලක්කරන ලෙසත්ය.

ඒ පණිවුඩය දුන් නිලධාරීන් දෙන්නා යතුරුපැදියට නැගී අදාළ ටිපර් රථය පසුපස හඹායන්නට වූයේ රථය කෙසේ හෝ අත්අඩංගුවට ගන්නා අදහසිනි. ඒ අනුව හක්මන කෝංගල නිලධාරීන් සැක සහිත ටිපර් රථය නවත්වා ගැනීමට සමත්ව තිබිණි. ඔවුන් එම ටිපර් රථය පරික්ෂාවට ලක්කරන මොහොතේදී එම රථය නැවැත්වීම සඳහා පළමුව අණ කරන ලද නිලධාරීන් දෙන්නා ද යතුරු පැදියෙන් එම ස්ථානයට පැමිණියහ.

ඒ සමඟ සැකකාර රියැදුරාගෙන් පොලිස් නිලධාරීන් ප්‍රශ්න කරන්නට වූයේ නොනවත්වා පලායාම සම්බන්ධයෙනි. වලංගු රියදුරු බලපත්‍රය ඉල්ලා සිටීමේදී සැකකරු විසින් ඉදිරිපත් කර තිබුණේ පොලීසිය විසින් රියැදුරු බලපත්‍රය තබාගෙන තාවකාලිකව නිකුත් කරන ලද බලපත්‍රයකි. ඒ පිළිබඳ විමසීමේදී සැකකාර රියදුරු විසින් කියා ඇත්තේ පසුගිය 9 වැනිදා තමා අතින් රිය අනතුරක් සිදු වූ බවය. එය කොටුවිල ප්‍රදේශයේදී සිදුව ඇති බවත් එහිදී වැලි පටවාගෙන ගිය ටිපර් රථය මාර්ගය පසෙක තිබූ විදුලි රැහැන් කණුවක ගැටුණු බවත් එහිදී විදුලි බල මණ්ඩලයට වූ අලාභය වශයෙන් රුපියල් 100,000ක පමණ මුදලක් ගෙවීමට සිදු වූ බවත් ඔහු ප්‍රකාශ කර ඇත. එම අනතුර සම්බන්ධයෙන් පොලීසිය පැවරූ නඩුව ජූලි 16 වැනිදා මාතර අධිකරණයේ විභාගයට ගැනීමට නියමිතව තිබී ඇත.

පැරණි සිදුවීම කෙසේ වෙතත් මෙදින රියදුරු විසින් සිදුකර ඇත්තේ වරදවල් දෙකකි. එහි පළමුවැන්න විදුලි ලාම්පු රහිතව අනතුරුදායක ලෙස රිය ධාවනය කිරීමය. අනෙක පොලිස් අණ නොතකා රිය ධාවනය කිරීමය.

මේ සඳහා අවවාද කොට නියමිත වරදට දඩපතක් නිකුත් කිරීම පොලිස් නිලධාරීන්ගේ රාජකාරියයි. 

ඒ අනූව නිකුත් කළ දඩ පත්‍ර යේ වටිනාකම රු 25000ක් බව වාර්තාවේ. එම දඩය ලිවීමට එරෙහිව රියදුරු විසින් නොයෙක් ආයාචනා කළද පොලීසිය මගහැර අණ නොතකා ගිය වරදට සැකකරුට දඩපතක් නිකුත් කිරීමට පොලිස් නිලධාරීන් ගත් පියවර නවත්වා නැත. එහිදී එම දඩය ලිවීම සම්බන්ධයෙන් කේන්තියෙන් පසුවූ රියැදුරා “උඹලට හෙණම ගහපන්” යැයි කියමින් එතැනින් පිටව ගොස් තිබුණි.

මොකුත් නොකියාම සිනහවෙන් පිළිතුරු දුන් පොලිස් නිලධාරීහු නිහඬව බලා සිටියහ. අනතුරුව සුහද කතාබහක නිරතව සිටි පිරිස අතර පොලිස් නිලධාරීන් හයදෙනෙක් වූහ. ඔවුන් වෙත තේ පිළියෙල කොටගෙන ආ අසල්වැසි නිවෙසක පුද්ගලයෙකි. ආ සැණින් තේ කෝප්ප ටික පිළිගන්වා ඔහු නිවෙස වෙත ගොස් තිබුණි. ඒ අතරතුර හක්මන දෙස සිට මාතර දෙසට ධාවනය වන බර වාහනයක හඬක් ඇසී තිබිණ.

වේගයෙන් එසේ පැමිණ තිබුණේ ඊට මිනිත්තු කිහිපයකට පෙර එම මුර පොළ අසලදී දඩ කොළයක් ලබාගත් ටිපර් රථයයි. පැමිණි වේගයෙන්ම මාර්ගයේ විරුද්ධ මංතීරුවෙන් ධාවනය කරමින් පොලිස් මාර්ග බාධකයේ හැප්පූ ටිපර් මාරයා නිලධාරීන් යට කරගෙන නොනවත්වාම ධාවනය කොට තිබිණි.

“මම පොලීසියේ මහත්වරුන්ට තේ අරගෙන යද්දී ටිපර් රියැදුරෙකුට දඩයක් ලියනවා දැක්කා. ඒත් සමඟ මම ගෙදර ආවා. විනාඩි කිහිපයක් යද්දි ශබ්දයක් ඇහුණ නිසා බලන්න පාරට ගියා. යද්දි පොලිස් මුරපොළ කැඩිලා පෙරළිලා. එතන හිටපු නිලධාරීන් බිම වැටිලා හිටියා. වාහනයක් හප්පලා ගියා කියලා දැනගත්තා. ඉක්මනින් ඒ අය රෝහලට යැව්වා.”

මෙසේ කීවේ අසල්වැසි නිවෙසක පදිංචිකරුවෙකි. තුවාල ලැබූ නිලධාරීන් අතර පොලිස් සැරයන් දිලීප් හා පුෂ්පකුමාර යන නිලධාරීන් සිටි අතර අනතුරින් මියගොස් ඇත්තේ වලස්මුල්ල මෝදරවාන පදිංචිව සිටි මාලිත විතාරණ (36) නැමැති දෙදරු පියෙකි. අනතුර සිදුකර පළාගිය ලොරි රථ රියැදුරා හුංගම ප්‍රදේශයේ පදිංචිකරැවකු බව අනාවරණ වූ අතර එම ටිපර් රථය රන්න ගෝඨයිම්බරගම දමාගොස් තිබියදී සොයාගෙන තිබිණි. සැකකරු පසුව අත්අඩංගුවට ගනු ලැබ තිබුණේ මනුෂ්‍ය ඝාතනය, මනුෂ්‍ය ඝානයට තැත් කිරීම, රාජකාරි නිලධාරීන්ට තුවාල සිදුකිරීම, අන්තරායකර රිය පැදවීම හා විරැද්ධ මාර්ගයේ ගමන් කිරීම යන චෝදනා රැසකට එරෙහිවය. අනතුරුව සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ පසුව ලබන 23 දක්වා බන්ධනාගාර ගතකිරීමට නියම කරනු ලැබීය.

 සමන්ත ප්‍රදීප් විල්තෙර