2020 ජුලි 18 වන සෙනසුරාදා

සුපිරි ජීප් රථයක් වූ ඩබල් කැබි එක

 2020 ජුලි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 664

ඒ 1992 වර්ෂයයි. එම කාල වකවානුවේදී අප කථානායක දන්තනාරායන මහතා රේගුවේ මෝටර් රථ පරීක්‍ෂණ සහ තක්සේරු අංශයට අනුයුක්තව සේවය කරමින් සිටියේය. එම අංශයේ සේවය කළ යුතු මුළු කාලය මාස 6ක් විය. නමුත් මාස එකහමාරක් වැනි සුළු කාලයකදී ඔහුට මාස තුනකට ත‍්‍රිකුණාමල රේගුවට සේවයට වාර්තා කිරීමට සිදුවූයේය. 1989 දී රේගු පරිපාලනය විසින් සිදු නොකළ යුත්තක් සිදුකිරීම ඊට හේතුව විය.

මෙම සුළු කාලය තුළදී දිනක් ඔහු වරාය පරිශ‍්‍රයේ තිබූ ආනයනික වාහන නිෂ්කාශණය කරගන්නා තුරු නවතා තැබෙන අංගනයේ පරීක්‍ෂාවකට ගියේය. එහි සිදුවූයේ ආනයනකරැවන්ගේ නිෂ්කාශණ නියෝජිතයන් විසින් ඉදිරිපත් කරනු ලබන ආනයන ලියකියවිලි අදාළ වාහනය සමඟ පරීක්‍ෂා කොට වාහනයේ මාදිලිය, චැසි අංකය, එන්ජින් අංකය, ප‍්‍රකාශ කරන ලද උපාංග සහ ප‍්‍රකාශ නොකරන ලද උපාංග සහ අනෙකුත් අදාළ විස්තර පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් ලබා ගැනීමයි. ඔහු රේගු පරීක්‍ෂණ සහ තක්සේරැ නිලධාරියෙක් ලෙස එම කටයුතු සිදුකළේය. අනතුරැව සකස් කෙරෙන වාර්තාව රේගු තීරු බදු සහ අනෙකුත් බදු අයකර ගැනීම සඳහා නිෂ්කාශණ නියෝජිතට භාරදීම සිදුවිය.

මෙලෙස දන්තනාරායන මහතා අතුළු පිරිස  වාහන පරීක්‍ෂා කරමින් සිටියහ. ටොයෝටා 4X4 ඩබල් කැබ් රථයක් ලෙස ලියකියවිලිවල ප‍්‍රකාශ කර තිබූ වාහනයක් පරීක්‍ෂාකොට අදාළ වාර්තාව දන්තනාරායන මහතා අතට එක් නිෂ්කාශණ නියෝජිතයෙක් ලබා දුන්නේය. වාහන පරීක්‍ෂා කරමින් සිටියදී මෙය ඩබල් කැබ් රථයක් ලෙස පෙනුණද එය මගී මෝටර් රථයක් බවට සැකයක් අප කතානායකයා තුළ ඇතිවී තිබිණි. වහාන පිළිබඳ හසළ දැනුමක් තිබුණු හෙතෙම අදාළ ලියකියවිලි රුගෙන නියෝජිතයා සමඟම එම රථය වෙත නැවත ගොස් පරීක්‍ෂා කරන්නට වූයේය. බැලූ බැල්මට ඩබල් කැබ් රථයක් ලෙස පෙනුණද පිටුපස ආවරණය නිෂ්පාදකගේ නම සහ ලාංඡනය සහිත ආයතනයේදීම සවිකළ එකක් විය. ඉදිරිපස මගී කොටස සහ භාණ්ඩ සඳහා ඇති පිටුපස කොටස සාමාන්‍ය කැබ් රථ මෙන් ස්ථීරව බෙදා වෙන්කොට නැති බවත් පෙන්නට තිබුණි.

ඒ අනුව මෙය ටොයෝටා සර්ෆ් සුඛෝපභෝගී වර්ගයට අයත් ව්‍යවහාරික පද වලින් ජීප් රථයක් බව දන්තනාරායන මහතාට අවබෝධ විය. හෙතෙම නියෝජිතයාට ඒ බව පැහැදිලිකර වැඩිදුර විමර්ශන සඳහා අදාළ ලියකියවිලි ළඟ තබා ගත්තේය. මෙම කාලවකවානුවේදී මගී මෝටර් රථ සඳහා වැඩි රේගු තීරැබදු ප‍්‍රමාණයක්ද අනෙකුත් ඩබල් කැබ්, වෑන් වැනි වාහන සඳහා ඊට අඩු බදු ප‍්‍රමාණයන් පනවා තිබුණි.

එමෙන්ම විදේශයන්හි පාවිච්චි කරන ලද මගී මෝටර් රථ ආනයනය කිරීමේදී එරටේ මුල් ලියාපදිංචි කළ දිනයේ සිට වසර තුන නොඉක්මවූ වාහන සඳහා ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුවෙන් ආනයන බලපත‍්‍රයක්ද ලබාගත යුතු තිබිණි. මෙම මෝටර් රථය ඩබල් කැබ් රියක් ලෙස ප‍්‍රකාශ කොට අඩු තීරු බදු ප‍්‍රමාණයක් ගෙවීම සඳහා මගී මෝටර් රථ නොවන කාණ්ඩයේ වසර තුන ඉක්මවූ ලෙස ලියකියවිලිවල දක්වා තිබුණේ එබැවිනි. ඒ අනුව මෙම රථයට ආනයන බලපත‍්‍රයක්ද ලබාගෙන නොතිබිණි. අප කතානායක තැනට දැන් කරැණු ප්‍රත්‍යක්ෂ වී හමාරය. මෙය රේගු බදු වංචාවක් මෙන්ම ආනයන බලපත‍්‍ර කොන්දේසි උල්ලංඝණය කිරීමකි.  වංචනික ලෙස වාහන නිෂ්කාශණය කර ගැනීමට ගත් උත්සාහයකි.

එදිනට ඉදිරිපත් කරන ලද ලියකියවිලිවලට අදාළ වාහන පරීක්‍ෂා කටයුතු නිමා විය. කාර්යාලයේ තීරුබදු ගෙවීම සඳහා ඉදිරිපත් කරනු ලබන ලියකියවිලි පරීක්‍ෂා කරමින් සිටියදී නිෂ්කාශණ නියෝජිත සමඟ ඔහුගේ ප‍්‍රධානියා දන්තනාරායන හමුවට පැමිණියේය. ඔවුන් ප‍්‍රකාශ කළේ පසුගිය කාලය පුරාවට මෙම රථ ඩබල් කැබ්රථ ලෙස කිසිදු ගැටලුවකින් තොරව නිෂ්කාශණය කරගත් බවයි. එම නිසා මෙම රථයද හැකිනම් ඩබල් කැබ් රථයක් ලෙස නිෂ්කාශණය කර ගැනීමට අනුමැතිය දෙන ලෙසට ඔවුහු ඉල්ලා සිටියහ.

ඊට සාවධානව සවන්දුන් දන්තනාරායන මහතා ඔවුනට යමක් පැහැදිලි කරන්නට වූයේය. ඔහු ලියකියවිලි අතර තිබූ කුඩා ප‍්‍රමාණයේ වාහනයක ලියකියවිලි පෙන්වා එහි ගෙන යා හැකි බර ප‍්‍රමාණය පැහැදිලි කළේය. අනතුරැව සිදුවීමට අදාළ වාහනයේ ගෙන යා හැකි බර ප්‍රමාණයද පෙන්වීය. ප්‍රමාණයෙන් විශාල වුවත් මෙම රථයේ ගෙන යා හැකි බර ප‍්‍රමාණය අඩු බව පැහැදිලි කළේය. එම හේතූන් මත මෙය මගී මෝටර් රථ කාණ්ඩයට අයත් බව ප‍්‍රකාශ කොට තම විමර්ශන වාර්තාව පසුදින උසස් නිලධාරීන්ට ඉදිරිපත් කරන බව කීය. එවිට ඔවුහු තවත් ඉල්ලීම ඉදිරිපත් කරන්නට වූහ. වාහන අංගනයට ගොස් වාහනය පරීක්‍ෂා කර පසුදින උදෑසන පැමිණ හමුවන තෙක් එම වාර්තාව ඉදිරිපත් නොකරන ලෙසට ඔවුහු ඉල්ලා සිටියහ.

පසුදින උදෑසන නිෂ්කාශණ ප‍්‍රධානියා නැවත පැමිණියේය. සර් කියපු දේ හරි, මෙච්චර කලක් අපිවත් දැනගෙන සිටියේ නෑ* පැවසීය. එවර ඔහු වරද පිළිගෙන තවත් යෝජනාවක් ඉදිරිපත් කළේය. ඒ අනුව මෙම වාහනය ඩබල් කැබ් රියක් ලෙස නිෂ්කාශණය කරගැනීමට සැලකිය යුතු මුදලක් යෝජනා විය. එය ප්‍රතික්ෂේප කළ දන්තනාරායන මහතා යම් දිනෙක වෙනත් නිලධාරියකු මෙම වංචාව සොයාගතහොත් තමාගේ නමට කැළලක් ඇති විය හැකි බව දැඩිව කීවේය. අනතුරැව හෙතෙම සිය විමර්ශන වාර්තාව උසස් නිලධාරීන්ට ඉදිරිපත් කළේය.

ඒ අනුව නිෂ්කාශන නියෝජිතයන් කැඳවූ උසස් නිලධාරීහු වාහනයේ ආනයනකරු සමඟ පැමිණ රේගු පරීක්‍ෂණයට සහභාගී වන ලෙසට දිනයක් ලබාදී දුන්හ. වාහනය සුරක්‍ෂිත කරගන්නා ලෙසට දන්තනාරායන මහතාට උපදෙස් ලැබුණි. ආනයනකරැ හෝ නියෝජිතයෝ පරීක්ෂණයට සහභාගී නොවූහ. නැවත නැවතත් ලිපි මගින් කැඳවීම් සිදුකෙරිණි. එහෙත් ඔවුන් නොපැමිණි අතර වාහනය රාජසන්තක කරන ලදුව රේගු භාරයට ගන්නා ලෙස නියෝග නිකුත් විය. ඊට පසු අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා ලබාදෙන මාසයක කාලයද ඇවෑමෙන් වාහනය ප‍්‍රසිද්ධ රේගු වෙන්දේසිය සදහා ඉදිරිපත් කරන ලදී. නමුත් එම කාලයේදී නිෂ්කාශණය කරගත් වාහන සඳහා අඩු මිල ගණන් වූ බැවින් රේගුව අපේක්ෂිත මිල ගණන්වලට ඉල්ලීම් ලැබී නොමැත.

මෙසේ කිහිපවරක් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබියදී හිටපු ජනාධිපතිවරයාගේ හදිසි වියෝවෙන් පසු එම තනතුරට පත් වූ නව ජනාධිපතිගේ කාර්ය මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීමකට අනුව රාජසන්තක වී තිබූ මෙම වාහනයද ඇතුළු වාහන කිහිපයක් ජනාධිපති කාර්යාලයේ භාවිතය සඳහා නිදහස් කර තිබිණි. පසුව ජනාධිපති කාර්යාලයෙන් ලැබුණු උපදෙස් අනුව මෙම රථයේ වටිනාකමට අදාළ මුදල මුදල් අමාත්‍යාංශය විසින් රේගුව වෙත ලබාදෙන ලදි. රේගු ආඥා පනතට අනුව එම මුදල්වලින් කොටසක් රේගු ත්‍යාග මුදල් ලෙසට නිලධාරීන්ට අයවීමද සිදුවිය. එදා නිෂ්කාශණ නියෝජිත ප‍්‍රධානියා යෝජනා කළ මුදලට වඩා තුන් ගුණයකට ආසන්න මුදලක් මෙම වංචාව වැළැක්වීම හේතුවෙන් දන්තනාරායන මහතාට ත්‍යාග වශයෙන් ලැබුණි.

එදා එම වාහනය ආනයනය කර තිබුණේ මහනුවර ප‍්‍රදේශයේ එවකට ප‍්‍රසිද්ධ වාහන ව්‍යාපාරයක් හිමි වෛද්‍යවරයකු විසිනි. මෙම රථය අදත් රථවාහන පිළිබඳ සාමාන්‍ය දැනුමක් ඇති අයකුට ඩබල් කැබ් රියකින් වෙන්කර හඳුනාගැනීම අපහසුය. මෙම සිදුවීමෙන් පසු තම මෝටර් රියෙන් ගමන් බිමන් යන අතර දන්තනාරායන මහතා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබූ මෙවැනි ටොයෝටා සර්ෆ් වර්ගයේ වාහන 6ක් නිරීක්ෂණය කර තිබේ. 52 - සහ 53 - කාණ්ඩය යටතේ ද්විත්ව කාර්යය වාහන වූ ඒවා පිළිබඳ තොරතුරැ වැඩිදුර විමර්ශන සඳහා උසස් නිලධාරීන්ට ලිඛිතවද දැනුම්දීමටද ඔහු කටයුතු කර තිබේ.

මෙම රථ හයෙන් එකක් රාජකාරි නිමවා යමින් සිටි එක් සහකාර නිවාරණ නිලධාරියකු විසින් පිටකොටුව ප‍්‍රදේශයේ නවතා තිබෙනු දැක අත්අඩංගුවට ගෙන තිබිණි. අනතුරැව කරන ලද විමර්ශනයකින් සහ රේගු පරීක්‍ෂණයකින් පසුව එය රාජසන්තක කර තිබේ. කෙසේ වෙතත් එම රථය නිෂ්කාශණය කරගෙන තිබූ බැවින් රුපියල් දසලක්ෂයකට ලිහිල් කරන ලද දඩ මුදලකට යටත්ව හිමිකරැට වෙත නිදහස් කර ඇත. එම නිදහස් කිරීම සම්බන්ධව පසුව ආයතනික මට්ටමින් ගැටලු මතුව තිබේ. එම දඩ මුදල අවමවීම හේතුවෙන් මුදල් අමාත්‍යාංශයට නිදහසට කරැණු පැහැදිලි කිරීමට රේගුවට සිදුවූ බව දන්තනාරායන මහතා පවසයි.

හෘදසාක්‍ෂියට එකඟව රාජකාරිය කරනවා නම් යම් දිනෙක හොඳ ප‍්‍රතිඵල ලැබෙනවා. වර්තමාන නිලධාරීන්ට නවකයන්ට මේ සිද්ධිය හොඳ උදාහරණයක්* එය සුවබර විශ්‍රාම දිවියක් ගතකරන දන්තනාරායන් අභිමානයෙන් කී කතාවකි.

කෙසේ වුවද දන්තනාරායන මහතා මෙම රේගු වංචාව වැළැක්වීමෙන් පසු මෝටර් රථ ආනයනකරුවන් ටොයෝටා සර්ෆ් මගී මෝටර් රථ නියමිත කාල සීමාවන්ට අදාළව නියමිත රේගු තීරු බදු සහ අනෙකුත් බදු ගෙවීම අද වනවිට සිදුවෙයි. දන්තනාරායන මහතා පවසනුයේ මේ නිසා අනාගතයේදී විශාල මුදලක් භාණ්ඩාගාරයට හිමිවනු ඇති බවයි. සුවබර විශ්‍රාම දිවියක් ගතකරන මේ අපූරැ නිලධාරියා ඒ සම්බන්ධ සිටිනුයේ අපමණ සතුටකිනි. එනිසා රාජකාරිය දේවකාරිය කරගත් මේ අපූරු මිනිසාගේ උදානයකින්ම අපි අද කතාව නිමාකරමු.

හෘදසාක්‍ෂියට එකගව රාජකාරි කටයුතු කළොත් යම් දිනෙක හොඳ ප‍්‍රතිඵල ලැබෙනවමයි. ඉතින් ඒකට මේ මතකය හොඳම උදාහරණයක්...

 සංවාද - චමිඳු නිසල් ද සිල්වා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00