2020 ජුලි 18 වන සෙනසුරාදා

ආර්ථිකය අවුල් වුණේ ජනාධිපතිවරණයෙන් පස්සේ...

 2020 ජුලි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 92

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් රුවන් විජයවර්ධන

මේ රටේ පරම්පරාගත දේශපාලන පවුල් ති‍යෙන්නේ ඉතාම කිහිපයයි. ඒකෙන් විශාල ඉතිහාසයක් තියෙන පවුලක කෙනෙක් තමයි ඔබ. නමුත් ඔබ පවුල් දේශපාලනයෙන් ගැලවිලා තරැණයෙකු වශයෙන් දේශපාලනය කරන කෙනෙක්. ඔබ දකින්නේ කොහොමද දේශපාලන ක්‍රමය? 

එදා වගේ නෙවෙයි මම හිතන්නේ නෑ පවුල් දේශපාලනයට තැනක් තියෙනවා කියලා අද. අද ජනතාව ඡන්දෙ දෙන්නේ අදාළ පුද්ගලයා විසින් ජනතාවට, රටට, සමාජයට කරන ලද සේවය අනුව තක්සේරැ කරලා. විශේෂයෙන්ම මේ තරුණ සමාජය බලනවා වැඩියි. ඔය පවුල් පසුබිම කියන එකනම් තරැණ සමාජයට අදාළ වෙන්නෙම නෑ. ඒ වගේම තරැණ සමාජය පක්ෂ, පාට බලන්නෙත් නෑ. පුද්ගලයා බලලා තමයි ඡන්දෙ දෙන්නේ. මම තව දෙයක් දකිනවා. සාමාන්‍යයෙන් අදාළ පුද්ගලයාගේ පවුලේ අය විසින් කරන ලද දේවල් සම්බන්ධවත් යම්කිසි සොයාබැලීමක් කරන්න ඕන.

ඔබ තරුණ නායකයෙක්. ඔබ තරුණ්‍යයත් සමඟ ගනුදෙනු කරන කෙනෙක්. සමාජයේ දැන් කතාවක් හැදිලා තියෙනවා තරුණයන්ට රට බාරදීලා වයසක අය දේශපාලනයෙන් අයින් වෙන්න ඕන කියලා. ඔබ කොහොමද ඒක දකින්නේ?

ඇත්තටම තරුණයෝ දේශපාලනයෙන් ඉදිරියට එන්න අවශ්‍යයි. ඒ වගේම ඇතැම් අයගේ දේශපාලන ඉතිහාසයත් ඒ වගේම අත්දැකීමුත් එක්ක ඒ අය දේශපාලන ජීවිතය ඇතුළේ විශාල ඉදිරියකින් ඉන්නේ. ඒ නිසා ඒ අත්දැකීමුත් අපට අවශ්‍යයි. හැබැයි දැන් රට තත්ත්වය අනුව රටේ ජනතාවට උවමනාවක් තියෙනවා තරුණයන්ට මේ රට භාරදෙන්න. මම හිතනවා ඉදිරියේදී ඒ අවකාශය තරුණයන්ට විශාල වශයෙන් හැදෙයි කියලා. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂය මේ අවස්ථාවේ විශාල ඉඩකඩක් තරැණයන්ට දීලා තියෙනවා. 

එජාපයේ පැහැදිලි වෙනසක් අවශ්‍යයි. ඒ වගේම සජිත් ප්‍රේමදාස නායකත්වයෙන් ඉහළට එන්න ඕන. තරැණයන්ට ඉඩ ලබාදෙන්න ඕන කියලා ඔබ විසින් ඔබේ පක්ෂයට ඉතා නිරවුල් ප්‍රති සංවිධාන වාර්තාවක් ලබාදෙනවා. හැබැයි ඒක ක්‍රියාත්මක නොවුණ නිසා ඔබේ පක්ෂය අද විශාල අර්බුදයකට මුහුණ දීලා තියෙනවා නේද?

ඇත්තටම අපි හිතුවේ නෑ මේ ආකාරයෙන් පක්ෂෙ කණ්ඩායමක් කඩාගෙන යයි කියලා. මගේ වාර්තාවේ මම දුන්නා ඊළඟ නායකයා හැටියට සජිත් ප්‍රේමදාස මහත්මයා ඉහළට ගෙන යා යුතුයි කියලා. ඒකේ සමහර යෝජනා මේ වෙනකොට ක්‍රියාත්මක වෙලා තියෙනවා. හැබැයි අවාසනාවකට සජිත් ප්‍රේමදාස මහත්මයා පක්ෂෙ කඩාගෙන ගිහිල්ලා වෙනත් පක්ෂෙකින් තරග වදිනවා. හැබැයි මම හිතනවා සජිත් ප්‍රේමදාස මහත්මයා හදිස්සි වුණා වැඩියි කියලා. විශේෂයෙන් එතුමා 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවී 2025 ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණානම් ඒ වෙනකොට එතුමා නායකත්වයත් අරගෙන රටේ ජනාධිපති වෙන්න තිබ්බා. නමුත් එතුමා දැන් ගිහිල්ලා ඉවරයි. දැන් එතුමා පක්ෂ නායකයෙක් හැටියටවත් අපිට දකින්න බෑ. දැන් පක්ෂෙට අවස්ථාවක් තියෙනවා අලුත් කෙනෙක්ට තැනක් දෙන්න.

ඔබ හිතන්නෙ නැද්ද ඔබ දුන්නු වාර්තාව අඩුම තරමේ දැන්වත් ක්‍රියාත්මක කළානම් මේ අර්බුද ටිකක් හෝ සමනය කරගන්න පුළුවන් වෙයි කියලා.

අනිවාර්යයෙන් මම හිතනවා. සමහර යෝජනා ක්‍රියාත්මක වුණාට ක්‍රියාත්මක නොවුණු යෝජනා ඉක්මණින් සිදු කළොත් පක්ෂය විශාල වෙනසකට ලක්කරන්න පුළුවන් කියලා. ඒක මැතිවරණයෙන් පස්සේ නායකයකුට කතා කරලා තීන්දු කළේ.

දැවැන්ත පක්ෂයක් වුණ ශ්‍රිලනිපය අද ඉන්නේ පොහොට්ටු පක්ෂයේ සහායක පක්ෂයක් හැටියට. අද එජාපෙට උදා වෙලා තියෙන තත්ත්වයත් එක්ක එජාපයටත් කැඩී ගිය කණ්ඩායමක කොටසක් වෙන්න වෙයිද නැත්නම් ඒ කණ්ඩායමට එජාපයේ කොටසක් වෙන්න වෙයිද?

අලුත් පක්ෂෙ දිහා බැලුවොත් ඒ පක්ෂය තුළ ඉන්නවා සුළු පක්ෂ ගණනාවක්. මැතිවරණයෙන් පස්සේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව උත්සාහ කරනවා තමන්ට ආණ්ඩුවක් සහ 2/3ක් හදාගන්න. එතකොට ඔය අලුත් පක්ෂෙ ඉන්න පක්ෂ කිහිපයක් ඉදිරියේදී මහින්ද රාජපක්ෂ මහත්මයාගේ දෑත් ශක්තිමත් කරන්න අනිවාර්යයෙන්ම කඩලා ගන්නවා. සමහරවිට මේ වෙනකොට ඒ කණ්ඩායම බැසිල් රාජපක්ෂත් එක්ක සාකච්ඡා කරනවත් ඇති. ඒ නිසා අවසානයේ වෙන්නේ ඒ කට්ටියට නැවත මහගෙදරට එන්න වෙන එක.

ඔබ හිතනවද ඒ ගිය පිරිස නැවත පක්ෂයට ගත්තොත්, යහපත් තත්ත්වයක් පක්ෂය ඇතුළේ උදාවෙයි කියලා? ඔබේ පක්ෂයේ ඇතැම් අය දැනටමත් කියනවා ගිය අය ගන්නෙ නෑ කියලා. 

යම්කිසි ගැටීමක් ඇතිවෙන්න පුළුවන්. මම දන්නවා එතන ඉන්නවා දීර්ඝ කාලයක් තිස්සේ පක්ෂය ඇතුළේ ගැටුම් නිර්මාණය කරපු අය. ඒ නිසා ඉදිරියේදී ගන්නකොට තෝරාලා බේරලා ගන්න වෙයි. මැතිවරණයෙන් පස්සේ එකතු වෙනවනම් ඒ ගැන සලකාබැලීමක් අපි කරන්න ලෑස්තියි.

මැතිවරණයෙන් පස්සේ එජාපය ආණ්ඩුවත් එක්ක 2/3 හදාගන්න එකතු වෙනවයි කියන්නේ ඇත්තද?

කෘත්‍යාධිකාරී මණ්ඩලය තීන්දුවක් අරන් තියෙන්නේ කිසිම ලෙසකින් ආණ්ඩුවත් එක්ක 2/3ක් හදාගන්න එකතු වෙන්නේ නෑ කියලා. අපේ අරමුණ තියෙන්නේ එජාප ආණ්ඩුවක් හදන එක.

එජාප පාක්ෂිකයෝ දැන් දෙලොවක ඉන්නේ. යම්කිසි පාක්ෂිකයෙක් එජාපයට ඡන්දෙ දෙන්න හිතනවනම් ඇයි ඔහු එජාපයට ඡන්දේ දියයුත්තේ?

එජාපය කියන්නේ දීර්ඝ ඉතිහාසයක් තියෙන රටට විශාල වැඩ කොටසක් කරපු පක්ෂයක්. එජාපය ගැන සඳහන් කළොත් එජාපය තනි පුද්ගලයෙක් වටා හැදුණු පක්ෂයක් නෙවේ. මේ පක්ෂෙ හැදුණේ ප්‍රතිපත්ති මත. විශේෂයෙන් ආර්ථික සැලසුමක් මත. ඒ නිසා ඒ ගැන විශ්වාසයක් තියාගෙන තමයි එජාප පාක්ෂිකයා පක්ෂෙට ඡන්දෙ දෙන්නේ. විශේෂයෙන් ආර්ථික පෙරළියක හැමදාම රට සැකසුවේ එජාපයයි. මොකද ඒ හැකියාව එජාපයට තියෙනවා.

ඔබලත් එක්ක ඉවත් වුණු කණ්ඩායමටත් ඔය සැලසුම තියෙනවනේ?

දැන් ඒ අයට තියෙන්නේ පක්ෂය අල්ලන්න, සිරිකොත අල්ලන්න, රනිල් වික්‍රමසිංහ මහත්මයා එලවන්න වගේ අරමුණු. විශේෂයෙන් පක්ෂයක් ඉදිරිපත් වෙන්නේ බලය අල්ලන්න මිසක් වෙනත් පක්ෂයක මූලස්ථානයක් අල්ලන්න නෙවෙයි.

ඔය ගිය මන්ත්‍රීවරු ඔබත් එක්ක කතා කරනවද?

ඔව් මාත් එක්ක කතා කරනවා. ඒ අය කියනවා ඒ අය කරගත්තේ අපරාධයක් කියලා. ඒ අය ආසාවෙන් ඉන්නවා නැවත එජාපයට පැමිණෙන්න. ඉදිරියේදි අපි සලකලා බලලා ලබාගන්නවා. 

දැන් එජාපයට තියෙන ලොකුම අභියෝගය සජිත් ප්‍රේමදාස එක්කද නැත්නම් පොහොට්ටුව එක්කද?

අපිට අභියෝගය තියෙන්න ඕන පොහොට්ටුව එක්කනේ. අපි බලන්නේ ඉදිරියේදී ආණ්ඩුවක් හදන්න. ඒ නිසා අපිට තියෙන්නේ අභියෝගය පොහොට්ටුවත් එක්ක. අවාසනාවන්ත ලෙස සජිත් ප්‍රේමදාස මහත්මයා පක්ෂය කඩාගෙන යෑමෙන් වාසිය වුණේ එතුමටවත් එජාපයටවත් නෙවෙයි. ආණ්ඩුවට. ඇත්තටම කනගාටු වෙනවා මේ පක්ෂ නායකකම් ගැන හිතන්නැතුව හිටියනම් අද ආණ්ඩුවට ලොකු අභියෝගයක් එල්ලවෙනවා අපෙන්.

ඔබලා කියනවා ආර්ථිකය ගොඩනගන්න එජාපයට ඡන්දෙ දෙන්න කියලා. සජිත් ප්‍රේමදාස මහත්මයා කියනවා විසිදාහක් දෙන්නම් කියලා ජනතාවට. හැබැයි ආණ්ඩුව කියනවා මේ සියලු ආර්ථික අර්බුදයට හේතුව යහපාලන ආණ්ඩුව කියලා. මිනිස්සු බලය දෙයිද?

ආර්ථිකය අවුල් කළේ ජනාධිපතිවරණයෙන් පස්සේ. ජනාධිපතිතුමා වැට් බද්ද අයින් කරපු තමයි පළවැනි වැරුද්ද. ඒක හරහා ආණ්ඩුවට එන ආදායම සීඝ්‍රයෙන් අඩු වුණා. අන්තිමට මේ වෙනකොට කෝවිඩ් ප්‍රශ්නෙට මූණදෙන්නවත් ආණ්ඩුවට සල්ලි නෑ. ඒ නිසා සල්ලි අච්චු ගහන්න වෙලා. සාමාන්‍යයෙන් දේශපාලනයේදී ආර්ථිකය අවුල් කළේ හිටපු ආණ්ඩුව කියලා කියනවා. හැබැයි එජාප ආණ්ඩුව අවුරැදු හතරහාමරක් තිස්සේ සියලු බාධක මැද්දේ රට හරිහැටි කෙරැවා. මට ප්‍රශ්නයක් තියෙනවා මේ ආණ්ඩුවට පන්දාහක් දෙන්න අමාරැවක් තියෙද්දී සජිත් ප්‍රේමදාස මහත්මයා විසිදාහක් දෙන්නේ කොහොමද කියලා. 

එජාපයත් සජිත් ප්‍රේමදාස මහත්මයත් ජයග්‍රහණය ලබාදෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලනවා. හැබැයි ආණ්ඩුව ජයග්‍රහණය සම්බන්ධව විශාල විශ්වාසෙකින් ඉඳන් ඊටත් එහා ගිහින් 2/3ක බලයක් ඉල්ලනවා. ආණ්ඩුවට 2/3 ගන්න පුළුවන් වෙයිද?

මං විශ්වාස කරන්නෙ නෑ මේ ආණ්ඩුවට 2/3ක් ගන්න පුළුවන් වෙයි කියලා. දිනෙන් දින මේ ආණ්ඩුවට තියෙන විශ්වාසය, ප්‍රසාදය නැතිවෙමින් යනවා. මැතිවරණයෙන් පස්සෙ ආණ්ඩුව 2/3 හදන්න විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු බාගන්න උත්සාහ කරයි. හැබැයි ආණ්ඩුවට 2/3ක් ගියොත් ලොකුම විනාශයක් වෙන්නේ. මිනිස්සුන්ගේ නිදහසට විශාල වශයෙන් සීමා මායිම් බැඳෙනවා. දැනටම සමාජ මධ්‍යවල කතා කරන දේවල්වලට පවා වාරණ. 2/3 දුන්නොත් රටක් නැතිවෙනවා. 

ඔබ ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය කොට්ඨාසය නියෝජනය කරන අපේක්ෂකයෙක්. ඔබේ විරැද්ධවාදියා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා. ඔබ කොහොමද ගම්පහ එජාප ජනතාවගේ විශ්වාසය ඔබටත් පක්ෂයටත් ලැබෙයි කියලා විශ්වාස කරන්නේ?

අපි ගම්පහ දිස්ත්‍රික්කයේ සමහර ආසන දෙස බැලුවොත් ඒ ආසන එජාපයත් එක්ක බොහෝම සමීප ආසන. ඒ නිසා අපිට මෙවර අභියෝගයක් තියෙනවා. විශේෂයෙන් පක්ෂය කැඩීයාම නිසා ඒ අභියෝගය ටිකක් වැඩියි. හැබැයි ගම්පහ ජනතාව රට ගැන හිතලා එජාපයට ඡන්දය ලබාදෙයි කියලා අපි විශ්වාස කරනවා.

 සටහන -  ගයාන් ගාල්ලගේ
සේයාරුව | සුමුදු හේවාපතිරණ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00