2020 ජුලි 11 වන සෙනසුරාදා

බල්ලන්ගේ පූසන්ගේ අවමංගල්‍ය අධ්‍යක්ෂ

 2020 ජුලි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1333

කනිෂ්ක අසේල විදානගේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි. උපාධිධාරියකු ලෙසින් විශ්වවිද්‍යාලයෙන් සමුගෙන රජයේ රැකියාවක් හෝ වෙනත් කෙනකු යටතේ රැකියාවක නිරත වන්නට කනිෂ්කගේ හිතේ එතරම් කැමැත්තක් නොවීය. කුඩා කල සිටම තමන්ගේ ව්‍යාපාරයක් කරන්නට, බොහෝ දෙනකු නොකරන කටයුත්තකට අතගසන්නට කනිෂ්කගේ හිතේ අදහසක් පළපැදියම් වී තිබුණි. ඒ හීනය අද වන විට යම්තාක් දුරකට හැබෑකර ගන්නට ඔහුට හැකි වී තිබේ. අද ඔහු මියගිය සුරතල් සතුන්ට ලබාදිය හැකි අවසන් ගෞරවය හා සමුගැනීම ඒ අයුරින්ම ලබාදිය හැකි Boocat ආයතනයක් පවත්වාගෙන යයි.

කනිෂ්ක මූලික අධ්‍යාපනය ලැබුවේ නාරාහේන්පිට ඩඩ්ලි සේනානායක විදුහලෙනි. ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂයෙක් විය. පාසලේ 13න් පහළ ක්‍රිකට් නායකයා වූයේ ද ඔහුය. ඒ දක්ෂතාවය හේතුවෙන්ම නවය වසර ඉගෙනුම ලබන අවධියේදීම කනිෂ්කට කොළඹ ලුම්බිණි විදුහලට ශිෂ්‍යත්වයක් ලැබුණි. එතැන් සිට ඔහු ලුම්බිණි විද්‍යාලයේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන් දීප්තිමත් ශිෂ්‍යයෙක් ද විය. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් ඔහු ඒ සාමාර්ථ හතක් සහ සාමාන්‍ය සාමාර්ථ දෙකක් ලබමින් උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලැබීය. වාණිජ විෂය ධාරාවෙන් උසස් පෙළ හැදෑරූ කනිෂ්ක ඒ සාමාර්ථ තුනක් ලබමින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් විය.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී ව්‍යවසායකයන් ඇගයීමට වසරක් පාසා පවත්වනු ලබන සම්මාන උළෙලේ දී පසුගිය වසරේ හොඳම තරුණ ව්‍යවසායකයා සම්මානයත්, හොඳම නවෝත්පාදන අංශයේ දෙවැනි ස්ථානයත් කනිෂ්කගේ ව්‍යාපාරයට හිමි විය.
කනිෂ්ක Boocat pet memorial service ආයතනය ආරම්භ කරන ලද්දේ 2019 මාර්තු මාසයේදීය. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ආරම්භ කරන ලද සුරතල් සත්ව අවමංගල්‍ය සේවයයි.

මමත් සුරතල් සත්ව ලෝලියෙක්. මම සතුන්ට හරි ආදරෙයි. පුංචි කාලේ ඉඳන්ම මම ආස කළේ කා ගාව හරි සේවය කරනවාට වඩා මගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්නයි. නමුත් ඒ වෙනුවෙන් මට ඒ කාලේ අදහසක් තිබුණේ නැහැ. කවුරුත් කරන රැකියාවල්, ව්‍යාපාරවල් කරනවාට වඩා අලුත් දෙයක් කරන්න මට ඕනෑ වුණා. ඔය අතරේදී අන්තර්ජාලයේ තිබුණු එක්තරා ඡායාරූප පෙළක් ළඟ මගේ හිත නතර වුණා. සුරතල් සතෙක් මියගියාට පසුව රෙද්දක් උඩ බිම දමා තිබුණු සුරතලා වෙනුවෙන් හාමුදුරු නමක් පාංශුකූලය පවත්වන ඒ ඡායාරූප පෙළ දැකලා තමයි මට මේ අදහස ඇතිවුණේ. යැයි කනිෂ්ක තම ව්‍යාපාරය අරඹන්නට මුල් වූ අතීත සිදුවීම දේශයට පැවසීය.

ඔහු තම ව්‍යාපාරය අරඹන්නට අඩිතාලම දැමුවේය. පළමුව ඔහු බස්නාහිර පළාතේ පිහිටි සෑම පශු වෛද්‍ය මධ්‍යස්ථානයකටම පාහේ ගොස් එම පශු වෛද්‍යවරුන් දැනුවත් කොට මේ පිළිබඳ දැන්වීම් පළ කළේය. නුගේගොඩ පශු වෛද්‍ය මධ්‍යස්ථානයක පළ කළ දැන්වීමක් දුටු එක්තරා විදේශීය කාන්තාවකගෙන් කනිෂ්කගේ ව්‍යාපාරයට මුල්ම දුරකතන ඇමැතුම ලැබුණි. ඒ මියගිය සුරතල් සුනඛයා ආදාහනය කර දෙන ලෙස දන්වමිනි.

විදෙස් කාන්තාව වගේම ඇතැම් කතෝලික අයත් තම සුරතල් සතුන් ආදාහනය කර ඒ සතාගේ අළු ඉල්ලනවා. ඒ විදෙස් කාන්තාව අපේ සේවය ගැන ගොඩක් සතුටු වුණා. ඇත්තටම එදා ඒ මියගිය සුරතලා වෙනුවෙන් ඇය ගොඩක් ඇඬුවා. ඒ කාන්තාවට ගෙදර වෙන බල්ලකුත් හිටියා. අපි ඒ නැතිවුණු බල්ලා සෝදද්දී අනෙක් බල්ලා ළඟට ඇවිත් ඒ නැතිවුණු බල්ලව ලෙවකෑවා. අපි මියගිය බල්ලව කුඩා පෙට්ටියේ දාලා තියෙද්දීත් ඒ බල්ලා බොහෝ වෙලා එතනටම වෙලා හිටියා. ඇත්තටම ඒක හරිම සංවේදී මොහොතක් වුණා. යැයි කනිෂ්ක වැඩිදුරටත් පැවසීය.

නහවා පිරිසුදු කොට කුඩා පෙට්ටියක තැන්පත් කරන මියගිය සුරතලා වෙනුවෙන් මල් වඩමක් තබා අවසන් ගෞරවය දක්වන්නට සූදානම් කරන කනිෂ්ක සුරතල් සතා සෙල්ලම් කළ සෙල්ලම් බඩු කිහිපයක් ද පෙට්ටියේ තබයි. බොහෝ විට එවැනි දේ සිදු කරන්නේ සුරතලාගේ අයිතිකරුවන්ගේ ඉල්ලීමට අනුවය. එමෙන්ම අයිතිකරුවන්ගේ කැමැත්ත අනුව පාංශුකූලය ද පවත්වයි.

අවමංගල්‍ය කටයුතු සඳහා අවශ්‍ය සියලුම භාණ්ඩ ද ප්‍රවාහනය කරනුයේ කනිෂ්කගේ සේවා ආයතනයයි. එමෙන්ම සුරතලාගේ අයිතිකරැවන්ගේ කැමැත්ත මත මියගිය සුරතලා ආදාහනය කිරීම හෝ භූමදානය කිරීම සිදුකරයි. මෙහිදී සුරතල් සතුන් වෙනුවෙන් මල් හා මල් වඩම් සැකසීම ද සිදු කරන අතර මියගිය සුරතලා වෙනුවෙන් මරණ සහතිකයක් ද මෙම ආයතනය මගින් නිකුත් කරයි.

ශ්‍රී ලංකාවේ තවමත් මියගිය සතුන් ආදාහනය හෝ භූමදානය කිරීම සඳහා වෙන්වුණු ඉඩමක් හෝ ස්ථානයක් නොමැත. එබැවින් කනිෂ්ක ඒ සඳහා වෙන්කර ඇත්තේ කළුඅග්ගල පිහිටා ඇති ඔහුට අයත් පෞද්ගලික ඉඩමකි. එම ඉඩමේ මියගිය සතුන් වෙනුවෙන් සොහොන් බැඳීමක් සිදු නොකරන අතර මියගිය සුරතලා ගෙන ගොස් භූමදානය කොට සුරතලාගේ පින්තූරයක් සහිත කුඩා බැනරයක් පළ කරයි. බොහෝ අයිතිකරුවෝ කනිෂ්ක සමඟ කළුඅග්ගල පිහිටි ඉඩමට ගොස් තම සුරතලා ආදාහනය හෝ භූමදානය කර තම අවසන් ගෞරවය දක්වති.

මියගිය සුරතලා නහවා පිරිසුදු කොට කුඩා පෙට්ටියක තැන්පත් කර මල් වඩම් තබා අවසන් ගෞරවය දැක්වීමට සැලැස්වීම එක් අතෙකින් සේවයකි. ඊට අමතරව අයිතිකරුවන්ගේ කැමැත්ත මත මියගිය සුරතලා දර සෑයක ආදාහනය කිරීම ද සිදුකළ හැක. බොහෝ කතෝලික බැතිමතුන් තම මියගිය සුරතලාව මෙසේ දර සෑයක ආදාහනය කොට එම සතාට අවසන් ගෞරවය දැක්වීමට වැඩි කැමැත්තක් දක්වන බව කනිෂ්ක පවසයි. මීට අමතරව මියගිය සුරතලා බැලීම සඳහා ගෙවත්තේ ඉඩකඩ නොමැති අවස්ථාවකදී කළුඅග්ගලට ගෙන ගොස් භූමදානය කිරීම පමණක් සිදු කරයි. මේ සඳහා වෙන්වුණු විශේෂ මිල ගණන් දර්ශකයක් Boocat pet memorial service ආයතනය සතුව පවතී. මේ වන විට කනිෂ්ක මියගිය සුරතලුන් පනස් හතර දෙනකුගේ අවසන් කටයුතු සිදුකිරීම, අවසන් ගෞරවය දැක්වීම අයිතිකරැවන්ගේ කැමැත්ත අනුව සිදුකර තිබේ. සුරතලයට ඇතිකළ බල්ලන්, බළලුන්ට අමතරව එක් හාවකුගේ අවසන් කටයුතු ද කනිෂ්ක මෙලෙස සිදු කළේය.

කනිෂ්කට මෙවැනි ආයතනයක් අරඹන්නට අදහසක් පැමිණියද, ඔහුගේ මිතුරෝ එයට අකැමැත්ත කළ පළහ. ඇතැම්හු  උඹට පිස්සුද.. ඉගෙනගෙන ඕවාගේ එකක් පටන් ගන්නෙ. යැයි කීහ. කනිෂ්කගේ මවගේ හිතේ ද තම එකම දරුවා අරඹන්නට යන ව්‍යාපාරය ගැන පැහැදීමක් නොවීය. නමුත් අද වන විට ඇය කනිෂ්ක ගැන සතුටු වන්නීය. ඇතැමුන් කනිෂ්කගේ ව්‍යාපාරය ගැන සෑහීමකට පත් නොවුණද, &උඹ කරපං.. හොඳ වැඩක්* යැයි කියමින් ඔහුගේ තවත් මිතුරෙක් වූ යොහාන් ඔහුව දිරිගැන්වීය. ඔහු ද කනිෂ්කට උදව් කළේය. ඒ දිරිගැන්වීමෙන් ඇරඹුණු මෙම ව්‍යාපාරය ගැන අද කනිෂ්කගේ හිතේ ඇත්තේ විශාල සතුටකි. මියගිය කුඩා සුරතලුන්ට අවශ්‍ය මිනීපෙට්ටිය පවා ඔහු දන්නා මල් ශාලාවකට ඇණවුම් කොට ලබා ගනී.
පසුගිය දවසක පිළියන්දල ප්‍රදේශයේ සුරතල් බල්ලකුගේ අවසන් කටයුතු සිදු කළා. මම ඕන තරම් අවසන් කටයුතු කරලා තියෙනවා. ඒ වුණාට මේ සුරතලා ගැන මම ගොඩක් සංවේදී වුණා. අපි සුරතලා නාවද්දී පවා ඒ සුරතලාගේ අයිතිකරුවන් ඇඬුවා. අවසන් කටයුතු කරද්දී පවා ඒ අය ගොඩක් සංවේදී වුණා. අවසන් කටයුතු කරන්න වැඩම කළ හාමුදුරැවන් මෙවැනි පින් වැඩක් කිරීම ගැන මාව අගය කළා. මට පින් දුන්නා. ඇත්තටම ඒ සුරතලා ගැන ගෙදර හැමෝම එදා ගොඩක් දුක් වුණා.* කනිෂ්ක පැවසීය.

කනිෂ්ක සුසිලා කූරගමගේ (කෝපි කඩේ එන්සිනා)ගේ මුණුපුරාය. අද වනවිට විශ්වවිද්‍යාලයේ අලෙවි කළමනාකරණ උපාධි අවසන් වසරේ ඉගෙනුම ලබන කනිෂ්ක ලංකාවේ මෙතෙක් කිසිදු කෙනකු නොකළ යහපත් ආයතනයක් ආරම්භ කරමින් කාටවත් කරදරයක් නොවී ජීවත් වෙයි. නොබෝ දිනෙකින් උපාධිය සම්පූර්ණ කළ ද, කාටවත් බරක් නොවී තම ව්‍යාපාර කටයුතු කරගෙන යාම ඔහුගේ ලොකුම පැතුමයි.

 දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරුව - සුමුදු හේවාපතිරණ