2020 ජුලි 04 වන සෙනසුරාදා

තේනුවරගේ නැගලා යන රොටී කඩේ

 2020 ජුලි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 3396

ඉන්ද්‍රනාථ තේනුවර.... ඔහු දක්ෂ ඡායාරූප ශිල්පියෙකි. මංගල ඡායාරූපකරණයේ ඔහු අංක එකේ අපූරු ඡායාරූප ශිල්පියෙකි. ඡායාරූපකරණය පිළිබඳ බොහෝ ගෝලයන් පිරිසක් බිහිකළ ඔහුගේ මඟ පෙන්වීමෙන් ඡායාරූපකරණයේ නියැලෙන බොහෝ ඡායාරූප ශිල්පීහු අදටත් මාධ්‍ය ක්ෂේත්‍රයේ වෙති. කෝවිඩ් - 19 වසංගතයත් සමඟ ඉන්ද්‍රනාථ තේනුවර අපූරු වැඩකට අතගසා තිබුණි. තම වෘත්තියටත්, ගුරු වෘත්තියටත් වඩා වෙනස් වුණු මේ අලුත්ම වැඩේට තේනුවර නම යොදා තිබුණේ පොල් රොටි සමඟ පෝක් කරිය යනුවෙනුයි. ඔහු අද වනවිට ව්‍යාපාරිකයෙකි. තම බෙන්ස් මෝටර් රථයේ හිඳ ඔහු බෝකුන්දර පසුකර කැස්බෑවට යන අලුත් මාර්ගයේ (By pass road) අයිනකට වෙන්න සවස් වරුවේ පොල් රොටි විකුණයි.

මීට අවුරුදු විසි පහකට පමණ පෙර සිටම ආහාර පානවලට සම්බන්ධ ව්‍යාපාරයක් ආරම්භ කරන්න මගේ හිතේ ලොකු ආසාවක් තිබුණා. ඒ කාලේ මම ඡායාරූපකරණය පිළිබඳව ඉතා කාර්යබහුලයි. ආසාව නිසාම මම ඒ කාලෙදි ඒ ව්‍යාපාරය සඳහා වාහනයකුත් ගත්තා. නමුත් ගෙදරින් තිබුණ විරෝධතා වගේම කාර්යබහුලකම නිසාම ඒ වැඩේ කෙරුණේ නෑ. ඒ නිසාම ඒ වැඩේ ආරම්භ කිරීම ඒ කාලෙදීම යටපත් වෙලා ගියා. කාලය ගෙවෙද්දී ආර්ථිකය වෙනස් වෙද්දී වැඩ ටිකක් අඩු වෙද්දී නැවතත් කෑම කඩයක් කරන්න හිතාගෙන හිටියා

ඉන්ද්‍රනාථ තේනුවර දේශයට අදහස් දැක්වූයේ එලෙසිනි.

ආහාරපාන සම්බන්ධ ව්‍යාපාරය ආරම්භ කරන්නට නැවතත් තේනුවරගේ හිතේ අදහසක් එකතු වෙද්දී නැවතත් වාහනයක් මිලදීගෙන එය වෙනස් ස්වරෑපයකට සකසා මොබයිල් කෑම වාහනයක් මෙම මාර්ගයේදීම (By pass road) ආරම්භ කරන්නට ඉන්ද්‍රනාථගේ හිතට අදහසක් ඇතිවිය. ඔහුගේ අදහස වූයේ ද රොටි වර්ග සෑදීමය.

අනපේක්ෂිත ලෙසින් කෝවිඩ් - 19 වසංගතය රට පුරා ව්‍යාප්ත වීමත් සමඟ ජනතාවගේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටුණි. ඉන්ද්‍රනාථ තේනුවරගේ සියලු කටයුතු ඉගැන්වීම් කටයුතු අතරමඟ නතරවුණි. ආදායම් මාර්ගය නතර වෙද්දී තම කාර්යාලය සඳහා මාසික කුලිය කෙසේ ගෙවන්නේදැයි ඔහුට ගැටලුවක් මතුවිය. බොරලැස්ගමුවේ ප්‍රදේශයේ පිහිටා ඇති කාර්යාලය සඳහා රුපියල් හැත්තෑදහසක පමණ කුලියක් ගෙවීමට ඔහුට සිදුව තිබිණි. ආදායම් මාර්ගයක් නැති මොහොතක එවැනි මුදලක් එකවර ගෙවීමද එතරම් පහසු වූයේ නැත. නමුත් තේනුවරගේ වාසනාවට එම ගෙහිමියන්ගේ ඇති මනුස්සකමට මාස දෙකක කුලී මුදල සම්පූර්ණයෙන්ම කපා හරිනු ලැබීය. එය තේනුවරගේ හිතට සහනයක් විය.

මාස දෙකක කුලී මුදල ඒ මිනිසුන් එපා කිව්වා. නමුත් ක්ලාස්වලට එන පිරිස අඩුවුණා. ඊළඟ මාසයට මම ආයෙත් කුලී මුදල කෙසේ හෝ ගෙවිය යුතුයිනේ. ඒ නිසා මම කාලයක් තිස්සේ මගේ හිතේ තිබුණ රොටි ව්‍යාපාරය ආරම්භ කරන්න මේ හොඳම කාලයයි කියලා හිතුණා. ඒ වෙනුවෙන් අලුතින් වාහනයක් ගන්න ඕනත් නැහැනේ. ඒකට මගේ වාහනය තියෙනවා. එතකොට ඒකෙන් මගේ කාර් එකටත් වටිනාකමක් ලැබෙනවා. ඒකට ආයෝජනය කළ මුදලට මොකක් හෝ වටිනාකමක් ලැබෙනවා. ඒ නිසා තමයි පාරේ අයිනේ ඉඳගෙන පොල් රොටි විකුණන්න මම තීරණය කළේ.

ඉන්ද්‍රනාථ තේනුවර පවසයි.
කෝවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථිකය බිඳ වැටුණු බොහෝ දෙනා රජයෙන් සහන ලැබෙනතුරැ බලා සිටියහ. ඇතැමුන් තම දුක්ගැනවිලි පවසමින් දේශපාලනඥයන් පසුපස ගියහ. රජයෙන් ලබා දුන් රුපියල් පන්දහසේ මුදල ගන්නට පොර කෑහ. මෙවැනි අඬා වැලපෙමින් හිස් අහස දෙස බලමින් සුසුම් හෙලූ මිනිසුන් අතරේ තේනුවරලා වැනි අලුත් දෙයක් ආරම්භ කරමින් ස්ව උත්සාහයෙන් නැගී සිටි පිරිසක්ද සිටියහ.

ඉන්ද්‍රනාථ තේනුවර අවුරුදු දෙකකට ආසන්න කාලයක සිටම බත් සහ පිෂ්ඨය සහිත කෑම වර්ග ආහාරයට නොගනී. ඔහුගේ ප්‍රියතම ආහාරය වූයේ ඌරැ මස්ය. ඔහු අවුරුදු දෙකකට ආසන්න කාලයක සිටම එළවළු, පළතුරු සහ මස් පමණක් ආහාරයට ගැනීමට පුරුදු විය. ඔහු පවසන පරිදි එයින් ඔහුගේ බර කිලෝ දහතුනකුත්, උදරය අඟල් පහකුත් අඩුවිය. ඒ නිසාම ඔහු තමන් කැමති ආහාරය විකුණන්නට සිතා ගත්තේය. පොල් රොටි සමඟ පෝක් කරිය ව්‍යාපාරය ඇරඹෙන්නේ එසේය.
විකිණීමට සාදන පෝක් කරිය සාදන්නේද තේනුවරමය. ඒ සඳහා ඔහුගේම අත්හදා බැලීම් කිහිපයකි. පසුව වෙනමම රසක් ද සාදාගත්තේය. මුල්ම දවසේ ඔහු රොටි පිච්චුවේ කුඩා ප්‍රමාණයකි. තමන් පිළිබඳව තම අත් ගුණය පිළිබඳව තේනුවරට විශ්වාසයක් තිබුණද ඔහු රොටි තිහක් සාදා තම මෝටර් රථයෙන් By pass road වෙත පැමිණ පාර අයිනේ තම රොටි විකිණීම ඇරඹුවේය. ඔහු හිතුවේවත් නැති අඩු වේලාවකදී ඔහුගේ රොටි තිහ පළමු දිනයේදීම විකිණී අවසන් විය. ඔහුගේ හිතට අමුතු ධෛර්යයක් ලැබුණි. ඡායාරෑපකරණයේ දැවැන්ත චරිතයක් වුණු තේනුවර රොටි ව්‍යාපාරිකයකු ලෙසින් අලුත් ගමනක් යන්නට අදිටන් කරගන්නේ ඒ පළමු දිනයේදීමය.

ඔහු දිනෙන් දින සාදන රොටි ප්‍රමාණය වැඩි කළේය. තේනුවර පවසන පරිදි මේ ඔහු ගෙවමින් සිටින්නේ එහි උපරිම අවස්ථාවය. අද ඔහුගේ රොටි සහ පෝක් කරියට කොතරම් ඉල්ලුමක් තිබුණද ඔහු සාදන්නේ රොටි එකසිය පනහකි. (තනි රොටි වශයෙන් ගත්කළ එය රොටි තුන්සීයකි.)

මම දැන් හදන්නේ තනි රොටි තුන්සීයක් විතරයි. ඊටවඩා ඉල්ලුමක් තියෙනවා. නමුත් ඊටවඩා හදනවානම් මම ඒ වෙනුවෙන් ලොකු භාජන ගන්න ඕනේ. ලොකු ළිපක් ගන්න ඕනේ. මම දැන් මේ රොටි ටික හදන්නේ මගේ කුඩා මුළුතැන්ගෙයි. තව රොටි හදනවනම් ඒ වෙනුවෙන් තවත් ඉඩක් වෙන් කරන්න වෙනවා. ඒ නිසා මේ හොඳටම ඇති. අද වෙද්දී මේ සඳහා විශාල ඉල්ලුමක් තියෙනවා. මම කරන්න ගත්තට පස්සේ ලැබුණු ප්‍රසිද්ධියත් එක්ක දැන් බොහෝදෙනා මේක කරන්න පටන් අරන්. ඉතින් ඒකත් ලොකු දෙයක්. රජයට, රටට බැණ බැණ ඉන්නවට වඩා හොරකමක් නොකර තමන්ගේ මෙවැනි ව්‍යාපාරයක් කරන්න පටන්ගන්න එක හොඳ දෙයක්ද? හැබැයි ඒක සැලසුම්සහගතව, පිළිවෙළට සහ පිරිසිදුවට කළයුතු වෙනවා. යැයි තේනුවර පවසයි.

මුල් දිනවලදී තනියම මේ සියල්ලම පිසූ තේනුවර අද ගෝලයන් කිහිපදෙනකු ද මෙයට එකතු කරගෙන සිටී. මේ වනවිට රොටි සාදන්නේ ඔහුගේ ගෝලයෙක් වුණු දක්ෂ පරිගණක ග්‍රැෆික් නිර්මාණ ශිල්පියකු වන ශ්‍රියන්ත වික්‍රම විසිනි. තේනුවරගේ මෙම ගෝලයන් මේ වනවිට එම ස්ථානයේදීම රොටි සමඟ පෝක් කරිවලට අමතරව කොච්චි සම්බෝල සමඟ මඤ්ඤොක්කාත්, හකුරු සමඟ කහට තේත් විකුණති. තේනුවරගේ බලාපොරොත්තුව වන්නේ ඉතා ඉක්මනින් මෙම ව්‍යාපාරය යම් ස්ථාවර ස්ථානයක පවත්වාගෙන යාමය. දරු දෙදෙනකුගේ පියකු වන තේනුවර තම ව්‍යාපාරයට දරුවන් දෙදෙනාගෙන්ද විශාල දිරිගැන්වීමක් ඇති බව කියයි. නවසීලන්තයේ ජීවත් වෙන මෝස්තර නිර්මාණ ශිල්පිනියක සහ එරට ගුරුවරියක ලෙසින් සේවය කරන තම දියණිය තේනුවරට පවසන්නේ අපි දැන් පොළවේ පය ගහලා ඉමු තාත්තේ කියාය.

තේනුවර රොටි සමඟ පෝක් කරියට අමතරව පෝක් සුප් එකක්ද මෙම ස්ථානයේ විකුණයි. ලුණු මිරිස් දැමූ කුඩා රොටි දෙකක් සමඟ පෝක් කරිය දැමූ කුඩා භාජනය රුපියල් එකසිය හැත්තෑවටත් පෝක් සුප් එක දැමූ භාජනය රුපියල් දෙසීයටත් මෙහිදී මිලදී ගතහැක. මෙය රෑ වේලක් නොවන අතර තේනුවර මෙය හඳුන්වන්නේ හවස් යාමේදී කෑ හැකි අමතර කෑම වේලක් වශයෙනි. රැකියාව අවසන් කොට සවස් යාමේ නිවස බලා යන අයත්, නිවෙස්වලට ඌරැ මස් ගෙනයා නොහැකි අයත් මෙම තේනුවරගේ රොටි වාහනයෙන් රොටි මිලදීගෙන ගෙන කති. වෙල් යායට මායිම්ව නිදහසේ සුළඟ වැදෙමින් හෙමීට පොල් රොටියක් කන එකත් වෙනස් විදිහේ අත්දැකීමකි.

2010 වසරේදී තමයි මම අවසන් වතාවට විවාහ උත්සවයක් ඡායාරූපගත කළේ. ඒ කාලේදිත් අසීමිත ලෙස විවාහ උත්සව මට ලැබුණා. මම උගන්වපු මගේම ගෝලයන්ට ඒ අවස්ථා ලබාදෙමින් මම ඒ ක්ෂේත්‍රයෙන් සමුගත්තා. පසුගිය අවුරුද්දේ බෝම්බ ප්‍රහාරත් සමඟ ආර්ථිකය සියල්ලගේම කඩා වැටුණා. ඒ නිසා ඉදිරියේදීත් මේ ව්‍යාපාර ක්ෂේත්‍රයට මගේ හිත යොමු වේවි. මුලදී මම තමයි පිටි ඇනුවේ. කවදාවත් කරලා නැති නිසා එය අධික වෙහෙසක් ගෙනදුන්නා. ඔය අතරේදී Fern water ආයතනයේ හිමිකරු වුණු ජාලිය මට පිටි අනන මැෂිමක් කඹුරුපිටියේ සිටම ගෙනත් දුන්නා. ඒකෙන් දැන් මට හරි පහසුයි. ඔය අතරේ මගේ තව ගෝලයෙක් රොටි තලන මැෂිමක් ඔහුගේ පියා සමඟ එකතු වී මටම නිර්මාණය කළා. ඔහු යුද හමුදා සංඥා බළකායේ සෙබළ, ඡායාරෑප ශිල්පී සම්පත් ශ්‍රී තම්මිටයි. සෑම දවසකම උදෑසන අටට පමණ මම අවශ්‍ය දෑ එකතු කරගන්නවා. පොල් වෙනත් තැනකට දී ගා ගන්නවා. ඒකෙනුත් ඒ මිනිස්සුන්ට යම් මුදලක් ලැබෙනවනේ. රොටි සහ පෝක් කරිය පිසගෙන මම හවස හතරහමාරට පමණ මේ තැනට එනවා. බොහෝ දවස්වලට ඉතා ඉක්මනින් මේ කෑම විකුණාගන්න මට පුළුවන් වෙලා තියෙනවා. යැයි තේනුවර කියයි.
කෝවිඩ් වසංගතය නිසාවෙන් ඡායාරූප ශිල්පියෙකු වුණු තේනුවර වරෙක කෝකීවරයෙක් වන්නේය. තවත් වරෙක ව්‍යාපාරිකයෙක් වන්නේය. ඒ සියල්ල හමුවේ අද ඔහුගේ හිත නිදහස්ය.

දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ