2020 ජුලි 04 වන සෙනසුරාදා

බල්ලන් ඇමට දමා කොටින් මරණ මිනිස්සු

 2020 ජුලි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 228

ජූනි අග සතියේ හෝටන්තැන්න වනෝද්‍යානයේ නැගෙනහිර සීමාවේ පිහිටි උඩුවේරිය වතුයායේ වගාබිමක කෙළවර කම්බිවලින් ගැටගසා සිටි සුනඛයකු හමුවිය. එක් පුද්ගලයෙක් දිනකට එක් සුනඛයකු බැගින් සුනඛයන් මාරු කරමින් අමානුෂික ලෙස කම්බිවලින් ගැටගසා තබන බව ඒ පිළිබඳ කරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබේ. වනසතුන් දඩයම් කිරීම සඳහා වගාබිම අවට තබන ලද මදු විශාල ප්‍රමාණයක් ද වනජීවී නිලධාරීන්ට හමුව ඇත.

හෝටන්තැන්න වනෝද්‍යාන භාරකරු පී.කේ.එම්.සී. ප්‍රදීප් කුමාරගේ උපදෙස් අනුව නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකළ අතර නුවරඑළියේ ජිනප්‍රිය ගාල්ලගේ ඒ සඳහා මඟපෙන්වා තිබුණි. මදු තැබූ පුද්ගලයා පසුගිය 30දා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත විය. හෝටන්තැන්න වනෝද්‍යානය අවට සරන කොටින් මැරීමට ඇමක් ලෙස මෙම සුනඛයන් යොදාගත්තා ද යන සැකය මතු වී තිබේ. එලෙස ඇමට තබන සතුන් හඳුන්වන්නේ පැණිමුල නමිනි. බල්ලන් ආහාරයට ගැනීමට පැමිණෙන කොටි දඩයම් කිරීමට වියළි කලාපයේ කලකට පෙර මේ ක්‍රමය යොදාගත් බවට වාර්තා වේ. එළුවන්, ගවයන් වැනි සතුන් ඇමට තබා කොටි දඩයම් කිරීම ගැන ඉන්දියාවේ ජිම් කෝබට් සිය කෘතිවල සඳහන් කර තිබේ.්‍

මෑතක් වනතෙක් වනජීවී නිලධාරීන් නිගමනය කර තිබුණේ බහුතරයක් කොටි අසුවන්නේ ඌරන්ට හෝ ගෝනුන්ට අටවන මදුවලට බවය. නමුත් මේ වනවිට කොටි මරණ සිතාමතාම සිදුකරන ක්‍රියාදාමයක් ද යන සැකය මතු වී තිබේ. සමහර පරිසරවේදීන් පවසන්නේ පසුගිය කාලයේ කොරෝනා උවදුරෙන් එදිනෙදා ආදායම අහිමිවීම නිසා කොටින්ගේ සම, නිය, දත් විකුණා හොඳ ආදායමක් උපයා ගැනීමට කඳුකරයේ සමහරැ පෙළඹී සිටින බවයි. ඒ සමඟම කිව යුත්තේ කොටි සත්ත්ව කොටස් සඳහා හොඳ ඉල්ලුමක් රටේ ඇතිවී තිබෙන බවයි.

මේ අවුරුද්දේ මාස හයක් අවසන් වන විට කොටි මරණ 6 ක් වාර්තා විය. ඉන් 5 ක් කඳුකර වැසි වනාන්තර ආශ්‍රිතව හා ශේෂ කැලෑ ආශ්‍රිතව සිදු වූ මරණ වේ. ඒ සියල්ලම කම්බි මදුවලින් සිදු වූ ම්ලේච්ඡ ඝාතනය. අලුත්ම ප්‍රවෘත්තිය පසුගිය ජූනි 23දා මධ්‍ය කඳුකරයේ හෙල්බොඩ පුස්සැල්ලාව වතුයායේ දී කොටි දෙදෙනකු එකම ස්ථානයක දී මදුවලට හසුව හමුවීමයි. එම සතුන් දෙදෙනාගෙන් පැටවා වනජීවී නිලධාරීන් බේරාගෙන තිබෙන අතර, කොටි මව මියගොස් තිබේ.

කොටි වෙනුවෙන්ම යොදන ලද මදුවලට හසුවීමට අමතරව ගෝනුන්, ඌරන් වැනි වගා හානි කරන සතුන්ට තබන මදුවලට ද කොටි හසුවී අභ්‍යන්තර ඉන්ද්‍රිය හානිවීම නිසා මියයති. වෙඩිතැබීම, බොරැ වළවල් කැපීම, විදුලිය කැපීම, හක්කපටස් වැනි දඩයම් ක්‍රම ද කොටි ඝාතකයෝ යොදා ගනිති. විවිධ අන්ධ විශ්වාස නිසා කොටින්ගේ ශරීර කොටස්වලට ඇති ඉල්ලුම ඉහළ යමින් පැවතීම වනාන්තරය සුන්දර කරන මේ පැහැපත් සත්වයාගේ ඉරණම අඳුරැ කර තිබේ.

පසුගිය මැයි 29දා දුර්ලභ කළු කොටියෙක් මන්දකට හසුවී මියයාමත් සමඟ වනජීවී බලධාරීහු අවදි වූහ. කොටි මිනිස් ගැටුම කළමනාකරණය සඳහා සම්මත මෙහෙයුම් පටිපාටි නිකුත් කළහ. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කළ 1949 සිට මේ දක්වා එවැනි මෙහෙයුම් පටිපාටියක් තිබුණේ නැත. එලෙස නීති මාලාවක් නිකුත් වුණද, ඊට පසුවත් කොටි මරණ වාර්තාවීම නම් නතර වුණේ නැත.

වනාන්තරයේ ඉන්න ලස්සනම සතා කොටියා කියලයි මම විශ්වාස කරන්නේ. හිරැඑළිය වැටුණුවිට අපේ කොටියා කහපාටින් බබළනවා. මේ වගේ සතුන් ලෝකෙම දුර්ලභයි. ඒ නිසයි උන් ආරක්ෂා කරගෙන මතු පරපුරට ලබාදීම වැදගත් වන්නේ. කොටි සංරක්ෂණයට කැපවුණු ලෙපර්ඩ් ට්‍රස්ට්හි පරිසරවේදී රැක්ෂාන් ජයවර්ධන අප සමඟ කීවේය.

පශු වෛද්‍ය විජිත පෙරේරා පවසන්නේ ශ්‍රී ලංකාවේ කොටි පිළිබඳ සමීක්ෂණයක් කර නැතත් කොටි 800කට වැඩි ප්‍රමාණයක් වියළි කලාපයේ සහ තෙත් කලාපයේ වනාන්තරවල පැතිරී සිටින බවයි. රැක්ෂාන් ජයවර්ධන සඳහන් කරන්නේ ඒ සංඛ්‍යාව දහස ඉක්මවන බවයි.

ශ්‍රී ලංකාවට ආවේණික උප විශේෂයක් වන ශ්‍රී ලංකානු කොටියා (Panthera Pardus Kotiya) දහවලදී හැසිරැණත් ඌ නිශාචරයෙකි. ඌ වැඩිපුරම ගොදුරැ සොයා ඇවිදින රාත්‍රියේ දී මදුවලට අසුකර ගැනීම දඩයම්කරැවන්ගේ අරමුණයි. යටත්විජිත යුගයේ දී සුද්දෝ කොටි බහුලව දඩයම් කළහ. නමුත් පසුව කොටියා ශ්‍රී ලංකාවට ආභරණයක් තරම් වටිනා වනසීපාවෙක් විය. සංචාරකයෝ ඌ දැකගැනීමට වනෝද්‍යාන පීරූහ. ශ්‍රී ලංකානු කොටියා වඳවීමේ තර්ජනයට ලක්වූ සතකු වශයෙන් ලෝක ස්වභාව ආරක්ෂණ සංගමය නම් කළේ වසර කිහිපයකට පෙරය. දැන් ඒ සත්වයා වඳවීමේ දැඩි තර්ජනයට ලක්වූ (Highly Endangered) සතකු ලෙස රතු දත්ත පොතට ගොස් සිටී.

ඉස්සර ඉඳන් වෙනත් සතුන්ට අටවන මදුවලට කොටි හසුවීම සිදුවුණා. ඒ කලාතුරකින්. නමුත් මෑත අවුරුදු කිහිපයක සිට කොටියාම ඉලක්ක කරලා උගුල් අටවනවා. මේකට එක් හේතුවක් තමයි මිනිසුන්ගේ අනවශ්‍ය බිය. ගම්මානවලට ඇවිත් ජීවිත හානි කරාවි යන සැකය. ඒ වගේම උන්ගේ ශරීර කොටස් ලබාගැනීමටත් දඩයම් කරනවා. රුක්ෂාන් ජයවර්ධන කීවේය.

මෝටර් බයිසිකල්වල බ්‍රේක් කේබල් එක හෝ ත්‍රීවිලර්වල ක්ලච් කේබල් එක යොදා ශක්තිමත් මදු අටවයි. කේබල් එකෙන් මද්ද තනා කොටි ගමන් කරන පාරේ නැවෙන සුළු ගසක එය ගැටගසයි. මද්දට අසුවූ විට ඌ වේගයෙන් අදින්න පටන්ගන්න අතර, එවිට සතා තව තවත් මද්දට හිරවේ. බෙල්ල උදරය වැනි ප්‍රදේශයක් මද්දට හසුවුණොත් අභ්‍යන්තර ඉන්ද්‍රියයන් තුවාල වී මියයයි. පශු වෛද නිලධාරීන්ට පවා මදුවලට හසුවූ සත්වයා බේරාගැනීම අසීරු වන්නේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්වලට බරපතළ හානි සිදුව තිබීම නිසාය. පසුගියදා නල්ලතන්නියේ කළු කොටියා ද මියගියේ ඒ නිසාය.

කළු කොටි සිව්දෙනෙක් මදුවලට හසුවී මියගොස් ඇත. මුලින්ම වැද්දාගලින් ද, 2009 දෙනියායේ හත්මාලේ ඇල්ල ප්‍රදේශයේදීද, 2011 දී නැවත දෙනියායේදීද, පසුගිය මැයි මාසයේ නල්ලතන්නියෙන් ද වාර්තා වූයේ එලෙස මදුවලට දිවිදුන් කළු කොටිය.

මේ අතර වනජීවී නිලධාරීන් රට පුරා වනාන්තර ආශ්‍රිතව මදු ගසා වනජීවීන් ඝාතනය කිරීමට එරෙහිව මෙහෙයුමක් ආරම්භ කර තිබීම සතුටට කරුණකි. නුවරඑළියේ හග්ගල අඩවියේ වනජීවී නිලධාරීන්ට පෙනීගොස් තිබුණේ ජනාවාසයක් අසල කොටියකු දුටුවිට හෝ ගෘහාශ්‍රිත සතකුගේ මරණයක් අතුරුදන්වීමක් සිදුවූ විට ජනතාව එම කොටියා ඝාතනයට උපක්‍රම යොදන බවයි. පසුගිය 29දා හග්ගල අඩවි ආරක්ෂක කාර්යාලයකට ලැබුණු තොරතුරකින් කියැවුණේ පුස්සැල්ලාව සොගම වතුයායේ වතු නිවසක එළුවකු කොටියකුට ගොදුරු වී ඇති බවයි. වහාම වනජීවී නිලධාරීන් ඒ ස්ථානයට ගිය අතර, මියගිය එළුවාගේ සිරුර දැකගත හැකි විය. ඊටපසු නිලධාරීන් අවට ප්‍රදේශයේ පරීක්ෂාවක් සිදු කළහ. එහිදී අටවා තිබූ මදු පනහකට අධික ප්‍රමාණයක් ගලවා ඉවත් කිරීමට හැකි විය. ඊටපසු වනජීවී නිලධාරීහු වත්තේ පාලනාධිකාරිය ද දැනුවත් කළ අතර, මදු දැමීම නිසා සිදුවන හානි ගැන ද, කොටින්ගෙන් ආරක්ෂා විය හැකි ආකාරය ගැන ද ජනතාව දැනුවත් කළහ.

පසුගිය 26දා ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව ද අටවා තිබූ කම්බි මදු ඉවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි. පසුගිය 19දා වනජීවී මධ්‍යම කලාපයේ රාවණඇල්ල, තංගමලේ හා බෙලිහුල්ඔය වනජීවී නිලධාරීන් විසින් ප්‍රදේශයේ අටවන ලද මදු ඉවත් කිරීමේ වැඩසටහනක් වතු කළමනාකරැවන්ගේ ද සහයෝගයෙන් සිදු කළහ.

මදු හෙවත් මලපුඩු කෙතරම් ගැලෙව්වත් මදු සවිකිරීමේ ද අඩුවක් නැත. බෞද්ධ රටක මෙතරම් ම්ලේච්ඡ ලෙස වනසතුන් මැරීම අදහාගත නොහැක. මේ පිළිබඳව ජනතාව තුළ මතයක් ඇතිකර එයට ජනතාව තුළින්ම විරෝධයක් මතුකළ යුතුය. කම්බි මදු වසංගතය නැති කළ හැක්කේ එවිටයි.

 කුසුම්සිරි විජයවර්ධන