2020 ජුනි 27 වන සෙනසුරාදා

යාළුවාගේ සුපිරි කාර් එක පස්සෙන් පන්නා අල්ලාගත්තා

 2020 ජුනි 27 වන සෙනසුරාදා, ප.ව. 06:00 474

ජීවිතයේ සැඳෑ සමයේ අකුරටම කළ රාජකාරී පිළිබඳව සාඩම්බර කතා කියන රටක් වටින විශ්‍රාමිකයන් අපි සොයා ගියෙමු. අද සිට ලියවෙන්නේ සුවබර විශ්‍රාම දිවියක් ගත කරන ඒ අපූරු විශ්‍රාමිකයාගේ මතක වස්තුවයි. රටම නොදත් නමුත් රටම දැනගත යුතු ඒ අපූරු අත්දැකීම් වර්තමානිකයන්ට බොහෝ කතා කියා දෙනු ඇත.

ඔහු විශ්‍රාමික රේගු අධ්‍යක්ෂවරයෙකි. නමින් රන්ජන් දන්තනාරායනය. ඔහුගේ සේවා කාලය තුළදී රේගුවේ කා අතරත් දන්තනාරායන නාමය සුප්‍රකටව පැවතියේය. ඒ ඔහු සිය රාජකාරී ජීවිතයේ දී සිදුකළ තරමක් අමුතු ආකාරයේ වීර වික්‍රමයන් සහ අසාමාන්‍ය ක්‍රියා නිසාය. 1978 දී රේගු නිලධාරියකු ලෙස සේවයට බැඳුණු හෙතෙම 2014 දී විශ්‍රාම යන විට මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රේගු අධ්‍යක්ෂකවරයා දක්වා උසස්වීම් හිමිකරගෙන තිබුණි. එසේම ඔහු රේගු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශකවරයෙකු ලෙසද කටයුතු කර තිබේ.

එක්තරා සැඳෑවක අපි පිළිසඳරක් සඳහා ඔහුගේ නිවෙසට ගොඩවීමු. සුහද කතාබහ අතරේ අපගේ ඉල්ලීම මත ඔහුගේ අපූරු මතකයන් රුසක් අවදි කළේය.

ඒ 1984 වර්ෂයයි. දන්තනාරායන මහතා අද මෙන්ම එදාත් වාහන පිළිබඳව උනන්දුවක් දක්වන්නෙකි. දිනක් සුහද හමුවකට පැමිණි මිතුරකු කී කතාවක් නිසා ඔහුට සැකයක් මතු වූයේ නිරායාසයෙනි. මිතුරා පවසා සිටියේ මෙරට ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක් හිමි සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ පුත්‍රයකු විසින් ස්වයංක්‍රීයව පාලනය වන අති සුඛෝපභෝගී නවීන මෝටර් රථයක් ආනයනය කර ඇති බව සහ දන්නා කියන  තවත් ප්‍රකට ව්‍යාපාරික පවුලක පුත්‍රයකුට ලක්ෂ තිස් හයකට එය විකුණා ඇති බවය. එකල ලක්ෂ 36ක මෝටර් රථයක් යනු අද වටිනාකම කෝටි තුන හතරක් විය හැකිය. සත්‍ය වශයෙන්ම එම කාලයේදී මෙවැනි මෝටර් රථයක් මිලදී ගැනීම සාමාන්‍ය පුද්ගලයකුට නම් සිහිනයක්ම පමණි.

එදා දන්තනාරායන මහතා මෙම වාහනය පිළිබඳව ඇතිවූ සැකය මත වැඩි විස්තර සහ අදාළ ලියකියවිලි පිළිබඳව ද විමසා ඇත. එහිදී මිතුරා පවසා ඇත්තේ මෝටර් රථයේ  ලියකියවිලි ලබා දී නොමැති නමුත් මුල් ලියාපදිංචිය හිමි ආනයනකරු විසින් අදාළ කටයුතු සිදුකර දෙන බවට පොරොන්දු වී ඇති බවයි. මෙම ආනයනකරුගේ සුප්‍රකට පියා එවකට සිටි රටේ බලවතකුගේ කුලුපග මිතුරෙකි. මෙම වාහනය මිලදී ගත් පවුල ද එවකට ලංකාවේ සුප්‍රසිද්ධ නමක් දිනා සිටි පවුලකි. කෙසේවෙතත් සැකයක් ඇතිවූ නිසා ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන කිරීමට දන්තනාරායන මහතා උත්සුක වුයේය. ඔහුගේම රේගු කණ්ඩායම් සගයකු වූ අද නීති කටයුතු පිළිබඳව ප්‍රසිද්ධ චරිතයක් වන මිතුරකුට මේ බව සැල කර සිටියේය. එහෙත් නම් ගම් කිසිවක් ප්‍රකාශ නොකිරීමට වග බලාගෙන තිබුණි. එදින සවස රාජකාරී නිමවන වේලාවේ හදිස්සියේම පැමිණි මිතුරා දන්තනාරායන මහතා හමුවී,

මචං අර කාර් එක කොහේද තියෙන්නේ?* කියා විමසා රේගු බදු වංචා කොට නිෂ්කාශනය කර ඇති වාහනයක් පිළිබඳ තමා ද සෙවිල්ලෙන් සිටින බව පවසා තිබේ. 

මෙය බලාපොරොත්තු වූවක් නොවූ නමුත් වාහනය තිබෙන ස්ථානය සැඟවීමට දන්තනාරායන මහතාට අවශ්‍යතාවයක් නොවීය. ඔහු සියල්ල හෙළිකර සිටියේය. වාහනය මිලදී ගත් ව්‍යාපාරික පවුල ද ඔහුගේ හිතවතුන් විය. නමුත් දැන් කරන්නට දෙයක් නැත. ඒ අවස්ථාවේදීම සගයා දැන්ම යමු යැයි කීවේය. තවත් රේගු කණ්ඩායම් සගයකු සමඟම එම නිවෙස බලා ඔවුහු පිටත් වූහ.

අපි නිවෙසට යනකොට පොඩි පොදක් වැටෙමින් තිබුණා. මාර්ගය අයිනේ නිවෙසේ ගරාජයේ කවරයකින් වසන ලද වාහනයකුත් තිබුණා. මම යාළුවාට කිව්වා වාහනයෙන් බැහැලා වැස්සට ගොඩවුණා වගේ ගරාජයට ගිහිල්ලා කවරය උස්සලා බලලා එන්න. මං ඉස්සරහින් වාහනය හරවන් එන්නම් කියලා. මං එනකොට යාළුවා එළියට ඇවිල්ලා වාහනයට නැගලා කිව්වා, මචං ඒක තමයි අපි හොයන වාහනය කියලා ආපසු කාර්යාලයට ඇවිල්ලා අපි උසස් නිලධාරියකුගෙන් සෝදිසි වරෙන්තුවක් ගන්න කටයුතු කළා. මං කිව්වා මගේ නම ඇතුළත් කරන්න එපා, ඒ පවුල මගේ හොඳ හිතවතුන් කියලා.

පසුවදා රාජකාරි නිමවී දන්තනාරායන මහතා නිවෙසේ සිටියදී අනපේක්ෂිත සිදුවීමක් විය. හිතවත් ව්‍යාපාරික පවුලේ ඥාතීන් දෙදෙනකු ඔහු හමුවට පැමිණ මචං මාර වැඩේ.. ගෙදරට කස්ටම් එකෙන් පැනලා පොලීසියත් එක්ක, වාහනයක් ගෙනියන්න. උඹේ යාළුවකුත් ඉන්නවා. උදව්වක් හැටියට අපිත් එක්ක යමුද? යැයි අසා තිබේ.

ඒ අනුව දන්තනාරායන මහතා, ගැටලුවක් නැති බව අවබෝධ කරගෙන ඔවුන් සමඟ එම නිවෙසට ගොස් ඇත. ඒ වන විට මෙරටට වාහනය ගෙන්වූ ආනයනකරැවා ද පැමිණ සිටියේය. හිතවත් ව්‍යාපාරික පවුලේ සාමාජිකයන් තැතිගෙන සිටියේ වාහනය මිලදී ගත් සිය පවුලේ සාමාජිකයාව රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනීවි යැයි කියාය. ඒ පිළිබඳව මිතුරා සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව කටඋත්තරයක් පමණක් ලබාගෙන වාහනය අත්අඩංගුවට ගෙන රුගෙන යාමට තීරණය විය. එහිදී මෙය නොදැනුවත්ව කළ මිලදී ගැනීමක් බව හිතවත් පවුලේ මිතුරා ප්‍රකාශ කර සිටියේය. පසුව අදාළ මෝටර් රථය අත්අඩංගුවට ගෙන කොළඹ වරාය පරිශ්‍රයේ රේගුව මගින් අත්අඩංගුවට ගන්නා වාහන ගාල් කරනු ලබන ජපන් ගුදමේ ගාල් කෙරිණි. එහිදී බැටරි ආරෝපණය ක්ෂය වීම වළක්වා ගැනීම සඳහා වයර් ගලවා බොනට් පියන වැසීමට උත්සාහ කළ ද එය කළ නොහැකි වී ඇත. ඊට හේතුව බොනට් පියන ද ස්වයංක්‍රීයව පාලනය වන විද්‍යුත් පරිපථයකට සම්බන්ධ වී තිබීමයි. මෙතරම් නවීන පහසුකම් සහිත වාහනයක් එතෙක් ලංකාවට ගෙන්වා නොතිබිණි. ඒ අනුව මෙම උපාංග සහ පහසුකම් රේගුවට සඟවා අඩු රේගු බදු ගෙවා රේගුවෙන් නිදහස් කරගෙන තිබූ බවද හෙළිදරව් විය

මෙයට තවත් මෙරට ප්‍රධාන පෙළේ මෝටර් රථ ව්‍යාපාරික පවුලක එක් සාමාජිකයෙක් සම්බන්ධව සිටියේය. ඔහු සහ ආනයනකරැ මිතුරෝ වූහ. ආනයනකරැ විදේශගත වූ අවස්ථාවකදී මෙවැනි මෝටර් රථයක් ගෙන්වා දෙන ලෙසට ඔහු පවසා තිබිණි. ඒ අනුව මිතුරා විසින් මෙම වර්ගයේ පැරණි මෝටර් රථයක් මිලදී ගෙන එය ලංකාවට ගෙන ඒම සඳහා ආනයන බලපත්‍රයක් ලබාගන්නා ලදී. නමුත් අලුත් මෝටර් රථයේ චැසි අංකය සහ එන්ජින් අංකය වෙනස් බැවින් ඔහු ලබාගත් ආනයන බලපත්‍රය විනාශ කොට ඒ ගැන එම රටේදී පොලීසියට පැමිණිල්ලක් කොට පුවත්පත් දැන්වීමක් ද පළකොට ඇත. එම පිටපත් ආනයන පාලක දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කොට ඔවුන් අලුත් වාහනයේ චැසි අංකය සහ එන්ජින් අංකය යෙදූ අලුත් ආනයන බලපත්‍රයක් ලබාගෙන තිබුණි. එදා අද මෙන් නොව අලුත් වාහන ගෙන ඒමේදී ලියකියවිලි පමණක් පරීක්ෂා කිරීම සිදුවිය.  එ බැවින් නිසි පරීක්ෂාවක් ද සිදුවී නොතිබුණි. නව බලපත්‍රයට අදාළ ලිපිගොනුව ද අස්ථානගත කිරීමට ඔවුන් කටයුතු කර තිබුණි.
සිද්ධිය සම්බන්ධව නිසි රේගු විමර්ශනයකින් සහ පරීක්ෂණයකින් අනතුරැව වාහනය රාජසන්තක කරන ලදී. එවකට සිටි මුදල් අමාත්‍යවරයා සහ මෙම ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සමඟ අතර තිබූ මතගැටුමක් හේතුවෙන් වාහනය පසුදිනම වෙන්දේසි කරන ලෙසට රේගුවට දන්වා ඇත. නමුත් රේගුවේ උසස් නිලධාරීන් විසින් එසේ කළ නොහැකි බවත් අභියාචනා සඳහා මාසයක කාලයක් ලබා දිය යුතු බවත් ප්‍රකාශ කර ඇත. එවිට මුදල් අමාත්‍යවරයා මාසයක කාලය පසුවන දිනම වෙන්දේසි කරන ලෙස නැවත උපදෙස් දෙන ලදී. එසේ නමුත් මාසයක කාලය ඉක්ම යාමට පෙර එවකට තිබූ රජයේ මැදිහත්වීම මත අමාත්‍ය මණ්ඩලයේ තීරණයකින් මෙම වාහනය රු. 600,000/- දඩ මුදලකට යටත්ව නිදහස් කිරීමට සිදුවිය. අදාළ රථය අත්අඩංගුවට ගැනීම මෙය මෙරට පුවත්පත්වල ප්‍රධාන ශීර්ෂ පාඨය ලෙස යොදාගෙන තිබුණි.

පසුව 1997 දී තවත් රාජකාරි කටයුත්තක් සඳහා පැමිණි විට වාහනය ගෙන්වූ ව්‍යාපාරිකයාගෙන් මම ඇහුවා කාර් එකට මොකද කළේ කියලා. ඔහු කිව්වා එය පසුව මැණික් ව්‍යාපාරිකයකුට විකුණුවා කියා. මම ඇහුවා වාහනය අත්අඩංගුවට ගන්න මූලික වුණේ කවුද කියලා. ඔහු එය නොදන්නා බව ප්‍රකාශ කර සිටියා. එසේ දැනගත්තොත් මොකද කරන්නේ කියලා මම නැවත ඇහුවා. අනේ දැන් මොනවා කරන්නද කියලා ඔහු කිව්වා. ඊටපස්සේ මං කිව්වා මගේ අනුදැනුම මත තමයි මෙය අත්අඩංගුවට ගත්තේ කියලා. ඔහු සිනාවකින් ප්‍රතිචාර දැක්වූවා. ඊටපසුව ඇතිවූ දැනහැඳුනුම්කම් හේතුවෙන් අදටත් අපි දෙන්නා හොඳ මිත්‍රයෝ* කියමින් ඔහු කතාව අවසන් කළේය.

 සංවාදය - චමිඳු නිසල් ද සිල්වා