2020 ජුනි 27 වන සෙනසුරාදා

තම්බයියා මුදලාලි හැදූ පිටකොටුවේ බෝධිරාජ පන්සල

 2020 ජුනි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 321

කොළඹ නගරයේ කාර්බහුලම ස්ථානය පිටකොටුවයි. මේ කාර්යබහුල ඝෝෂාකාරී බව මඳකට දුරුකරමින් ගිනිගහන අව්කාස්ටකයට සිසිලක් ගෙන දෙන්නේ පිටකොටුව බෝධියයි. උදේ පාන්දරට පිරිත් හඬ ඇසෙන්නේද ධර්ම දේශනා හඬින් අවට පිංබර පරිසරයක් මවන්නේද පිටකොටුව බෝධීන් වහන්සේ පිහිටි බෝධිරාජ විහාරයයි. පන්සලක් නැති පිටකොටුවේ පිහිටි එකම බෞද්ධ පූජනීය ස්ථානය වන්නේද මෙම ස්ථානයයි.

පිටකොටුවේ ප්‍රධාන මඟ සලකුණ වශයෙන් ප්‍රකටව පවතින මෙම බෝධියේ ඉතිහාසය වසර 197ක් වන බව පැවසේ. බොහෝ දෙනා මෙම බෝධිය හාස්කම් සහිත ස්ථානයක් ලෙස සලකති. දශක ගණනාවක සිට මේ බෝධීන් වහන්සේ රැකබලාගන්නේ පිටකොටුව එක්සත් බෝධිරාජ සමිතිය මගිනි. බෝධිය රැකබලා ගන්නවා පමණක් නොව තවත් සමාජ සද්කාර්යයන් රාශියක්ද එම සමිතිය මගින් ඉටු කෙරේ.

පිටකොටුව ප්‍රදේශයේ බෞද්ධ ව්‍යාපාරික පිරිසකගේ දායකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම පූජනීය ස්ථානයට පදනම වැටුණේ දෙමළ ව්‍යාපාරිකයකුගෙනි. ඒ පිටකොටුවේ ලීලා මුදලාලි හෙවත් ෂන්මුගම් තම්බයියා සින්නදුරේය. 
1903 ජූලි 23දා යාපනයේ කන්කසන්තුරේ උපන් ෂන්මුගම් තම්බයියා කොළඹ පිටකොටුවට පැමිණ සුරුට්ටු විකිණීම ආරම්භ කළේය. ඔහුගේ ව්‍යාපාරික ස්ථානය පසුව ලීලා ස්ටෝර්ස් නම් විය. ලීලා මුද්‍රණාලය ආරම්භ කර 1950 වර්ෂයේ සිට ලීලා පංචාංග චිත්‍ර දින දර්ශනය ආරම්භ කළේය. ඔහු ද්‍රවිඩයන් අතර සිංහලෙන් වැඩ කළ අතර දරුවන් ආනන්ද විද්‍යාලයට ඇතුළත් කර සිංහල අධ්‍යාපනය ලබාදුන්නේය. ඔහු 1980 මාර්තු 5දා මෙලොව හැර ගියේය.

බෝධියේ ඉතිහාසය ලියැවෙන විට ලීලා මුදලාලිගේ නමද මුල්තැන්හි ලා කියැවේ. එදා මේ බෝධීන් වහන්සේ වැඩ සිටි ස්ථානය පිහිටි මාර්ගයේ බේරේ වැව හා මුහුද යා කෙරෙන ඇළ මාර්ගයක් තිබුණා. ඒ දවස්වල මේ ඇළේ කිඹුලන් ද හිටියා. ඉංග්‍රීසින් 1815දී මේ ඇළ වසා දැමුවා. ඒ කාලයේ නාට්ටාමිවරයෙක් හා රික්ෂෝකරුවෙක් බේරේ වැව ආසන්නයේ තිබූ බෝ පැලයක් ගෙනෙවිත් මෙතැන රෝපණය කළා. මේ බෝධිය ලොකු වෙනකොට බොහෝ දෙනා මේ ගහේ හරක් බඳින්න පටන්ගත්තා. ඒ අතර මෙයට වන්දනාමාන කිරීම ද ඇරඹුණා. 1841දී සුදු මහත්වරු මේ බෝ ගස කැපීමට තීරණය කළා. ඒ අවස්ථාවේ කරත්තකාරයෝ, නාට්ටාමිලා ආදී පිරිස සමඟ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් ගස කැපීමට නොදී එතැනට රැස්වෙලා හිටියා. පසුව සුදු නිලධාරීන් ඒ වැඩේ නවත්වා තිබෙනවා. පසුව පිටකොටුව ප්‍රදේශයේ චණ්ඩි, සිංහල ව්‍යාපාරිකයෝ, නාට්ටාමිලා එකතු වෙලා ගල් බැම්මක් හදලා බෝ ගස ආරක්ෂා කර තිබෙනවා. බෝධීන් වහන්සේගේ ඉතිහාසය එලෙස සඳහන් කරන්නේ එක්සත් බෝධිරාජ සමිතියේ ලේකම් ජේ.පී. සමරසිංහය.

ක්‍රමයෙන් පිටකොටුව බෝධිය මල්, පහන් පුදන පූජනීය ස්ථානයක් බවට පත්විය. පිටකොටුවේ සිංහල බෞද්ධ විශාල පිරිසක් ගැවසුණද පන්සලක් නැතිවීමේ අඩුව ඉන් සැපිරිණි. මේ වනවිට බෝධියේ සෙවණ ඉදිරිපිට යාපනයෙන් විත් සුරැට්ටු ව්‍යාපාරයක් කරගෙන ගිය තරුණයකුගේ කඩයක් ද විය. ඒ ලීලා ස්ටෝර්ස්ය. සුරුට්ටු විකුණන අතර ඔහු මුද්‍රණාලයක් අරඹා ප්‍රවීණ කවීන්ගේ පොත් මුද්‍රණය කිරීමද කළේය. පී. බී. අල්විස් පෙරේරා, සාගර පළන්සූරිය වැනි කවීහු ඒ අතර වූහ.

යළිත් වර්ෂ 1938දී නගරය මැද පිහිටි මේ බෝධි වෘක්ෂය කපා ඉවත් කිරීමට සුදු පාලකයෝ තීරණය කළහ. ඒ තීරණයට එරෙහිව ඉදිරියට පැමිණියේ සුරැට්ටු ව්‍යාපාරික ෂන්මුගම් තම්බයියාය. ඔහුට පිටකොටුවේ බෞද්ධ ව්‍යාපාරික පිරිසකගේ සහාය ද හිමිවිය. යළිත් බෝධිය ආරක්ෂා විය. ෂන්මුගම් මුදලාලි පසුව බෝධිය අවට කරත්තකරැවන්ගේ හරක් බැඳීම වළක්වා ආරක්ෂක වැටක් ඉදි කරවූයේය. ඉදිරිපිට කුඩා කාමරයක් තනා එහි අඩි දෙකක් උස කිරිගරුඬ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කළේය. කුඩා පිංකැටයක් ද එහි තබන ලදී;. එකල පිටකොටුව බෝධියෙහි කටයුතු කෙරුණේ ඒ අසල පිහිටි වීර හෝටලයේ අධිපති සී. ජේ. ආරච්චිගේ ප්‍රධානත්වයෙන් පැවති වීර සමාජයේ මූලිකත්වයෙන් බව පැවසේ. මෙම ස්ථානයට විදුලිය ද ලබා ගැනිණි. පිංකැටයේ මුදල් එතැන සිටි පුද්ගලයන් තම තමන්ට අවශ්‍ය පරිදි පරිහරණය කළ නිසා එහි නඩත්තුව නිසි ලෙස සිදුවූයේ නැත. මේ නිසා හය මාසයක විදුලි බිල වූ රු.215ක් ගෙවීමට නොහැකි වීමෙන් විදුලි බල මණ්ඩලය විසින් විදුලිය අත්හිටවීය. ලීලා මුදලාලි ඉදිරිපත් වී විදුලි බිල ගෙවා සමිතියක් ගොඩනගා බෝධිය පිහිටි ස්ථානය පාලනය කිරීමට තීරණය කෙරැවේය. ඒ පිළිබඳව සඳහන් කරන ලේකම්වරයා, 

ඒ අනුව තමයි 1958දී එක්සත් බෝධිරාජ සමිතිය පිහිටුවා ගත්තේ. එහි මුල්ම සභාපති වන්නේ වරායේ සේවකයකු වූ එන්. යූ. ගුණසේකර මහතායි. ලේකම් වුණේ විලියම් සිල්වා. භාණ්ඩාගාරික වූයේ ලීලා මුදලාලි. ඊටපසුව ලීලා මුදලාලි වෙනුවට එන්. ඩබ්. රත්නපාල මහතා භාණ්ඩාගාරික ලෙසත් යූ. ඩබ්. සුමතිපාල සභාපති ලෙසත් පත්වුණා.

ක්‍රමයෙන් එක්සත් බෝධිරාජ සමිතිය තම කාර්යභාරය පුළුල් කළේය. කොළඹ ප්‍රධාන තොරණක් වන පිටකොටුව තොරණද එම සමිතිය මගින් ඉදිකෙරේ. මේ අතර සභාපති  වශයෙන් ඊ. ඩී. එන්. පෙරේරා, නවගිරි සමූහ ව්‍යාපාරයේ අධිපති පී. නවරත්න, පී. ඩබ්. සුනිල් ශාන්ත යන මහත්වරු ද වරින්වර පත්වූහ.

බෝධිරාජ විහාරය පාන්දර 4.00ට විවෘත කරනවා. රාත්‍රී 10.00ට වසනවා. මෙම විහාරයේ හාමුදුරුවරු නෑ. ව්‍යාපාරික පිරිසක් තමයි සියලු කටයුතු කරන්නේ. ගිනිගහන කතරක නොමිනිසුන් මැද මිනිසුන් රැඳෙන තැනක් ලෙස මේ ස්ථානය සැලකීමට පුළුවන්. දුගී මගීන්ට, අසරණයන්ට අපි පිහිට වෙනවා. පිට පළාත්වලින් කොළඹට වැඩම කරවන භික්ෂූන් වහන්සේලාට විවේක ගැනීමට දානය ලබාගැනීමට අවශ්‍ය පහසුකම් මෙහි සලසා තිබෙනවා.* එලෙස අප සමඟ පැවසුවේ පිටකොටුවේ ව්‍යාපාරික ජිනදාස ලියනගේය.

මුලින්ම පිහිටවූ අඩි දෙකක් උස කිරිගරැඬ ප්‍රතිමාව වෙනුවට පසුව අඩි  6ක් දිග සැතපෙන ප්‍රතිමාවක් පිහිටවිණි. බුද්ධ ප්‍රතිමාවේ ශීර්ෂයෙහි සර්වඥ ධාතූන් තැන්පත් කිරීමේ අදහසක් මතුවිය. ඒ අවස්ථාවේ ලීලා මුදලාලි ඉදිරිපත්ව මහව ශ්‍රී මංගලාරාධිපති පළමුගෙදර සෝමානන්ද නායක හිමියන්ගෙන් සර්වඥ ධාතූන් ලබාගැනිණි.

විශාල පිරිසක් මරුමුවට පත්කරමින් 1988 පිටකොටුවේ කොටි බෝම්බය පුපුරා ගියේද බෝධීන් වහන්සේ ඉදිරිපිටදීය. එහිදී මෙම විහාර ගොඩනැගිල්ලට කිසිදු අනතුරක් සිදු වූයේ නැත. ඊටපෙර 1987දී ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව විශාල විරෝධතාවක් පැවැත්වූයේ ද බෝධිය ඉදිරිපිටදීය.

එවකට පැවති කුඩා බුදුමැඳුර වඩාත් අලංකාර කර චිත්‍රවලින්ද යුක්තව සරසා නව බුද්ධ ප්‍රතිමාවක් ද ඉදිකර 1998 ජනවාරි 31 දින සමිතියේ සභාපති වූ නවගිරි සුමන ව්‍යාපාරයේ අධිපති පී. නවරත්න අතින් විවෘත කෙරිණි. ඊටපසු විහාර මන්දිරය තුන්මහල් කර තැනවූ අතර එය මත විශාල හිඳි බුද්ධ ප්‍රතිමාවක් ද ඉදි කෙරිණි. දාගැබක්ද අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ ප්‍රතිමා ද විහාර මන්දිරය ආශ්‍රිතව ඉදිකර තිබේ.
අද බොහෝ දෙනෙක් තම ආගමික භක්තිය පළකර මනස සන්සුන් කර ගැනීමට බෝධිය වන්දනා කරති. ඒ සඳහාම පූජා ද්‍රව්‍ය විකුණන වෙළෙඳසලක් ද බෝධිය අසල පිහිටුවා තිබේ.

  සටහන සහ සේයාරූ I කුසුම්සිරි විජයවර්ධන