2020 ජුනි 20 වන සෙනසුරාදා

කෝවිඩ් 19 දෙවැනි රැල්ල උතුරෙන්ද..?

 2020 ජුනි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 163

ලෝකය තුළ විවිධ රටවල මේ වනවිට කෝවිඩ් 19 නව කොරෝනා දෙවැනි රැල්ලක් හිස ඔසවා එමින්  ඇත. ඒ අතර මෙරට තුළ ද කොරෝනා වෛරසයේ දෙවැනි රැල්ලක් ඇති වීමේ ඉතා ඉහළ අවදානමක් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ඉකුත්දා අනතුරු ඇඟවීමක් සිදුකළේය. සෞඛ්‍ය අංශවල නිර්දේශ අනුකූලව සංචරණ සීමා ලිහිල් කර ඇතත් මේ වනවිට මෙරට ජනතාව කොරෝනා වසංගතය අමතක කරමින් හිතූමතේ අනාරක්ෂිත ලෙස කටයුතු කරන බවක් පෙනී යයි. ඒ නිසා දෙවැනි රැල්ලක් ඇති වීමේ වටාපිටාව සැකසෙමින් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. ශ්‍රී ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ද මේ අනතුරු ඇඟවීම සනාථ කරමින් කරුණු දක්වති.

රට තුළ සංචරණ සීමා ඉවත්කර ඇතත් කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා පනවා ඇති සෞඛ්‍ය මාර්ග උපදේශන සීමාවන් අනුව ජනතාව අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතු බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තරයේ අවවාද කරයි. එසේම ඒවා ඉවත් කරන දිනයක් තවම නිශ්චිතව පැවසිය නොහැකි බවද ඔහු සඳහන් කර තිබේ. කෝවිඩ් සමඟ එයට ගොදුරු නොවී ජීවත් වන්නට අපට පුරුදු වීමට කාලය පැමිණ ඇති නිසා හඳුන්වාදී ඇති පූර්ව සෞඛ්‍ය ආරක්ෂිත උපක්‍රම අතපසු නොකර එදිනෙදා කටයුතු පවත්වා ගත යුතුබව ඔහු කියයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය නවින්ද සොයිසා අප සමඟ කීවේ කලින්  සංචරණය සීමා වී තිබූ කාලයේ සියයට 80ක් පමණ ගමන් බිමන් අඩු වීම නිසා රෝග ව්‍යාප්තිය අපට හඳුනාගෙන පාලනය කළහැකි මට්ටමක රැඳී තිබූ බවය. නමුත් දැන් සංචරණ සීමා ඉවත් කිරීමත් සමඟ පුළුල්ව ගමන්බිමන් ඇති වීමත් ජනයා රැස්වෙන අවස්ථා සහ ස්ථාන, වැඩි වීමත් සමඟ රෝගය පිළිබඳ පාලනය බිඳහෙලන මට්ටමකට පැතිරීම ඉහළ යාමේ අවස්ථාව වැඩිය. මුල් අවදියේ පුද්ගලයන් වෙන්ව හඳුනා ගනිමින් ඔවුන් හේතුවෙන් හටගන්නට ඉඩ ඇති රෝගී පොකුරු පවා හඳුනාගැනීමට පහසු වූ අතරම සෞඛ්‍ය අංශවල පූර්ව අනතුරු ඇඟවීම් ගරුකර හඳුන්වා දී තිබූ ආරක්ෂක උපක්‍රමද භාවිතයට ජනතාව පෙළඹුණේය. නමුත් දැන් ඒ පිළිබඳ දැඩි උනන්දුවක් නැත. මේ හේතුව නිසා රෝගය වැළඳෙන්නටත් රට පුරා වැඩි පිරිසකට මෙය පැතිරෙන්නටත් අවස්ථාව වැඩි අතරම රෝගී පොකුරු වෙන්කර හඳුනාගැනීමේ දත්ත රැස් කිරීමද අපහසුය. ඔහු පෙන්වා දෙන්නේ මේ කියන අපරීක්ෂාකාරි අවදානම නිසා කොවිඩ් 19 දෙවෙනි රැල්ලක් සඳහා දැඩි අවදානක් පවතින අතරම එවැන්නක් ප්‍රථිඵල වුවහොත් එය ඉතා සංකීර්ණ බවට පත්ව පාලනයේ තොර මට්ටමකට අනතුරුදායක විය හැකි බවය.

ඔහු විශේෂයෙන් පෙන්වාදුන් කරුණක් වන්නේ නීති විරෝධි සංක්‍රමණික ගැටලුව මෙයට බලපානා ආකාරයයි. මේ දිනවල අසල්වැසි ඉන්දියාවේ වසංගතය පාලනයකින් තොර දැරිය නොහැකි මට්ටමට ළඟා වී ඇති බවයි. එරට ආසාදිතයන් ගණන දිනකට 2000ක් පමණ ඉහළ මට්ටමකින් වාර්තා වේ. සෞඛ්‍ය අංශවලව මෙය පාලනය කළ නොහැකි මට්ටමකි. රෝහල්වල ඉඩ නැත. මේ නිසාම ඉන්දියානුවෝ පිළිසරණ පතා අසල්වැසි රටවලට සංක්‍රමණය වෙති. ඒ බොහෝ විට නීති විරෝධි ලෙසටය. එහිදී ඔවුන් තෝරා ගන්නා පහසු ඉලක්කයක් වී ඇත්තේ ලංකාවයි. මෑතකදී චෙන්නායි සිට මෙරටට ගෙන්වා ගත් පිරිස අතරින්ද කොරෝනා ආසාදිතයන් බහුලව වාර්තා විය. වෛද්‍ය නවීන් ද සොයිසා පෙන්වා දෙන්නේ ඔවුන් නිසි අවසර මත නිසි මඟකින් රටට ඇතුළු වූ නිසාත්, පී.සී.ආර්. වැනි පරීක්ෂණ සඳහා යොමු කළ නිසාත් මේ හඳුනාගැනීම පහසු වූ බවය. ඒ නිසා ඔවුන් නිරෝධායනයට ලක්කර රට තුළට කොරෝනා ඇතුළු වීම පාලනය කළ හැකි වූ බවය. නමුත් මේ අය යම් හෙයකින් බොහෝ දෙනා කරන්නාක් මෙන් මාළු බෝට්ටුවක, බත්තලක, පහුරක නැගී නීති විරෝධි ලෙස රට තුළට ඇතුළුව නිදහසේ සංචරණයට යොමු වූවා නම් සිදුවන්නට තීබූ හානිය අතිමහත් බව ඔහු පෙන්වා දෙයි. ඒ අනුව මේ මොහොත බැරූරැම් තත්ත්වයක් යැයිද එනිසා නොපමාව නීති විරෝධි සංචරණය වැළැක්වීම අත්‍යවශ්‍ය කරුණක් වන බවද නැතිනම් දෙවැනි රුල්ලක අවදානම ඉක්මන් වනු ඇතැයි ද ඔහු කියයි.

දෙවෙනි කොවිඩ් රැල්ල ගැන අදහස් දක්වන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය  සඳහන් කරන්නේ බහුතරයක් ජනතාව කොරෝනා පාලනය සඳහා ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් නොසලකා හරින බවක් පෙන්නුම් කරන නිසා ඉදිරි සති කිහිපය තුළ රටේ වසංගතය ව්‍යාප්ත වීමේ තර්ජනයට දැඩිව මුහුණපෑමට සිදුවිය හැකි බවයි. එම සංගමයේ ලේකම් එම්.බාලසුරිය අප හා පැවසූවේද නීතිවිරෝධි සක්‍රමණිකයන් දෙවෙනි කොවිඩ් රැල්ලට මුලපිරිය හැකි අවදානම ඉහළ බවයි. කාලාන්තරයක් තිස්සේ ධීවරයන් ලෙසත් වෙනත් ජාවාරම්කරුවන් හැටියටත් විශේෂයෙන්ම වෙළඳුන් ලෙසත් ඉන්දියාවේ සිට මුහුදු මගින් නිතී විරෝධි ලෙස  පිරිස පැමිණෙන බව ඔහු පෙන්වා දෙයි. ඒ එන අය වෙළඳාම සඳහා දඹුල්ල, මඩකළපුව, නුවර සහ නුවරඑළිය වැනි රට තුළට ද සංක්‍රමණය වන බවට වාර්තා තිබේ. දැන් ඉන්දියාවේ ඇති වසංගත පීඩනය ඉහළ යාම නිසාත්, එයින් ඇති වූ සෞඛ්‍ය පහසුකම් හිඟය සහ එදාවේල සරිකර ගැනීම ආර්ථික අපහසුතා නිසාත් බොහෝදෙනා මේ රටට හොරෙන් පැමිණිය හැකිය. කිසිදු වෛද්‍ය පරීක්ෂණයක් නැත. ඕනෑ ආසාදිතයෙක්ට, වාහකයෙක්ට දැන් රට විවෘත කර ඇති නිසා ඕනෑම තැනකට පහසුවෙන් ගොස් සෙනඟ අතර ගැවසෙමින් රෝගය පතුරුවාලීම සුළු දෙයකි. විශේෂයෙන් උතුරුකරයේ නැගෙනහිර දූපත් ආදියේ වෙසෙන අය අතර සෞඛ්‍ය ආරක්ෂණ කටයුතු ද  භාවිතයේ ඇත්තේ අයහපත් මට්ටමකය. ඒ ගැන එම ප්‍රදේශවල සෞඛ්‍ය පරීක්ෂකවරු කරුණු දක්වා තිබේ. විශේෂයෙන්ම මේ පළාත්වල  දූපත් ආශ්‍රීතව කිසි තහනමක් පාලනයක් නැතිව පැවැත්වෙන සුව කිරීමේ මෙහෙයන්, දේව පූජාවන් ආදි මහජන සංනිපාත නිසා එම පිරිස අතර ඕනෑම රෝගයක් විගස පැතිර යාමේ අවදානම එහි ඉතා ඉහළය. ඒ අනුව රට තුළ දෙවෙනි රැල්ලක් ඇරඹීමේ වැඩි සම්භාවිතාවක් ඇත්තේ නීති විරෝධී සංක්‍රමණිකයන් හරහා උතුරැකරයෙන් බවට සංගමය අනතුරු අඟවයි. එහෙයින් නීති විරෝධි සංක්‍රමණය වහා නැවැත්විය යුතු අතරම සෞඛ්‍ය නිර්දේශ අනුව කටයුතු කරන බව තහවුරු කිරීමද නොපමාව කළ යුතු බව ඔවුහු පෙන්වා දෙති.

 සුගත් පී. කුලතුංගආරච්චි