2020 ජුනි 20 වන සෙනසුරාදා

අම්මා යකඩ ගැහැනියක්: තාත්තා යකඩ පිරිමියෙක් නොවේ

 2020 ජුනි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1363

දේශපාලනය අතහැර දරුවන් වෙනුවෙන් සටන් වදින රත්නසිරි වික්‍රමනායක දියණිය කියන කතාව

ළමා හිංසනයට තිත සංවිධානය හරහා තුෂ් දරුවන් වෙනුවෙන් හඬ නගන්නීය. අගමැතිවරයකුගේ දුවක්, දේශපාලනයේ ප්‍රබල චරිතයකගේ දුවක්, පියාගේ මඟ ඔස්සේ දේශපාලනයට සම්බන්ධ නොවීම ගැන ඇතැමුන් තුළ ඇත්තේ කුතුහලයකි. තුෂ් පවතින මේ දේශපාලන පරිසරයට එතරම් කැමැත්තක් දක්වන්නේ නැත. ඒ වෙනුවට ඇය තෝරාගෙන ඇත්තේ දරැවන්ගේ අයිතිවාසිකම් රුකදීමේ සටනකට නායකත්වය ලබා දීමටය. එංගලන්තයේ වෛද්‍යවරියක ලෙස කටයුතු කරමින් ඉඩ ලැබෙන හැම අවස්ථාවකම ළමා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ඇය මෙසේ කියයි.

අද ජීවත්වෙන මේ දරුවන් ගැන මගේ හිතේ ඇතිවන්නේ ඇත්තටම දුකක්. අවුරුදු දෙකහමාරක් තිස්සේ යම්කිසි විදිහකින් විසඳුමක් ලබාගන්න මම පුළුවන් උපරිමය ගන්නවා. ඒත්.. සමහර වෙලාවට මමත් අසරණවෙලා කියලා මටත් හිතෙනවා. අරින අරින දොර වැහෙනවා වාගෙයි. අහන හැම කවුළුවක්ම වැහෙනවා වාගෙයි.

ඒ සඳහා හේතු සාධක ගොඩක් තියෙනවා. ඓතිහාසික රටක්, බෞද්ධ රටක් වුණු අපේ රටේ අය දරුවන් කියන කෙනාව ඇත්තටම හඳුනාගෙන නැහැ. ලංකාවේ දරුවෙක් හදාගන්නවා කියන්නේ හිතල මතලා කරන දෙයක් නෙමේ. විවාහය, දරුවා, මව්පියන්, ආච්චි, සීයා සහ මරණය කියන ඉබේම ලියවිච්ච දෙයක් තමයි මේ. නමුත් ඒ නිසා දරුවා ගැන තිබිය යුතු වගකීම්, ගුණාංග අපි අතරින් ගිලිහිලා ගිහින්. ඒකටත් තවත් හේතුවක් තමයි අපේ රටේ මිනිසුන්ගේ බාහිර ප්‍රශ්නත් දැන් අධිකයි. ආර්ථික ප්‍රශ්නවලින් මිරිකිලා. ඒ නිසා අපිට අද වෙද්දී දරුවාව හඳුනාගන්නවත් වෙලාවක් නැහැ.

තුෂ් පවසන්නේ එලෙසිනි. නිවෙසින් මෙන්ම දරුවාව ආරක්ෂා කර ගැනීමේ ක්‍රමවේදයේ ද යම් තැනක හෝ වැරුද්දක් ඇති බව ඇය පවසන්නීය. නිසි බලධාරීන්ගේ දුර්වලකම නිසාත් ඉහළින් සිටින පාලකයන්ගේ දුර්වල තීරණ නිසාත් අසරණ වන්නේ දරුවන් බව ඇය කියයි.

නිසි බලධාරීන්ගේ දුර්වලකමත්, ඉහළින් සිටින පාලකයන්ගේ මන්දබුද්ධිකකම නිසාත් දරුවන් අමුඅමුවේ මරණ අයට සාධාරණය කිරීමත් මම ඇත්තටම බලාපොරොත්තු වුණේ නැහැ. නමුත් අපේ හිටපු ඉහළම පුරවැසියෙක් අවුරැදු දාසයක ගැහැනු දරැවකු මරපු, ජීවිත කාලයටම සිරගත කිරීමට නියමව සිටි අපරාධකරැවකු නිදහස් කර ධූරයෙන් සමුගත්තා. ඊට පෙරත් සමහර නායකයන් එවැනි ඝාතකයෙක්ව නිදහස් කර තිබෙනවා. ඒ සංකේතයේ වැරුද්ද නිසා අද එතනින් පහළට ගලන ගඟ ඛේදනීයයි.

ඇය නමින් තුෂර වික්‍රමනායකයි. හොරණ රයිගම් කෝරළයේ මිල්ලෑව වලව්වේ උපත ලැබ බැරිස්ටර් විභාගය සඳහා එංගලන්තයේ අධ්‍යාපනය ලබමින් සිටියදී තම සොහොයුරු වූ මුනිදාස වික්‍රමනායකගේ හදිසි අභාවය හේතුවෙන් මෙරටට පැමිණ දේශපාලනයට අවතීර්ණ වුණු රත්නසිරි වික්‍රමනායක තුෂරගේ පියාණන් විය. 1960 වසරේ මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් හොරණ ආසනයට තරග කොට පාර්ලිමේන්තුවට පිවිසුණු රත්නසිරි වික්‍රමනායක තම දේශපාලන දිවියේදී දෙවරක්ම අග්‍රාමාත්‍ය තනතුරු ඉසිලීය.

දරුවන් තිදෙනකුගේ පියා වූ රත්නසිරි වික්‍රමනායකගේ එකම දියණිය වූයේ පවුලේ බාලයා වන මේ තුෂ්ය.

මම තුෂර වික්‍රමනායක. නමුත් මාව බොහෝ දෙනා හඳුනන්නේ තුෂ් (Tush) නමිනුයි. සරල විදිහට මාව හැඳින්වුවොත් මම දෙදරු මවක්. වෛද්‍යවරියක් වගේම ළමා අයිතිවාසිකම් වෙනුවෙන්, කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් හඬක් නගන ක්‍රියාකාරිනියක්. අයුක්තියට, අසාධාරණයට සම්පූර්ණයෙන්ම එරෙහි වන, වංචාව පෙන්නන්න බැරි, බොරු මවාපෑම් නැති බොහොම සරල ගැහැනියක්. තුෂ් තමන්ව හැඳින්වූයේ එලෙසිනි. 

දේශපාලනයට සම්බන්ධ පුද්ගලයන්ගේ දරුවන් තම මව්පියන්ගේ බලතල අයුතු ලෙසින් පරිහරණය කරද්දී තුෂර තම පියාණන්ගේ නිලයෙන් බලයෙන් වැජඹෙන්නට උත්සාහ නොකළාය.

ඔබේ පියා දෙවරක්ම රටේ අග්‍රාමාත්‍ය තනතුර දැරෑ කෙනෙක්.. යැයි අපි ඇසූ කල තුෂර තම පියා ගැන මතකය අවදි කළේ මෙලෙසිනි.

රත්නසිරි වික්‍රමනායකගේ දුව වීම ගැන මගේ කිසිම අකැමැත්තක් නැහැ. නමුත් මාව මනින්න ඕනේ මගෙන් මිසක් මගේ තාත්තාගෙන්වත්, අම්මගෙන්වත්, හත්මුතු පරම්පරා නාමයෙන්වත් නෙමේ. මම රත්නසිරි වික්‍රමනායකගේ දුව වෙන්නේ රත්නසිරි වික්‍රමනායකගෙන් ලබාගත් ආභාෂය නිසා මගේ ජීවිතේ මම හොඳ කරගත්තද, නරක කරගත්තද කියන හේතුව මතයි. කවුරුන් හෝ රත්නසිරි වික්‍රමනායක දන්නවා නම්, හඳුනනවා නම් එතුමාට ගරැ කරනවා නම්, ආදරය කරනවා නම්, එතුමාගේ ගතිලක්ෂණත් මගේ ඇතුළාන්තයේ තියෙනවා නම් මම එතුමාගේ දුව කියලා හඳුන්වන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ.

තුෂ් කිසිවිටෙකත් ඔහුගේ සෙවණැල්ලේ සිටියේ නැත. ඇය බොහෝ කලක් ජීවත් වූයේ විදෙස්ගතවය. එම නිසා රත්නසිරි වික්‍රමනායකගේ දියණිය යැයි හඳුන්වනවාටත් වඩා ඇය තම ස්වාධීනත්වය, නිදහසට ප්‍රිය කළාය. පසුකාලීනව ඇය ළමා හිංසනයට තිත යැයි සංවිධානයක් ඇතිකර ගත්තාය. ඒ ඔස්සේ ඇය ළමා හිංසනයට එරෙහිව හඬක් නැගුවාය. දරුවන් වෙනුවෙන් පෙනී සිටියාය. බොහෝ ක්‍රියාකාරීහු තමන්ට සිදුවුණු, තමන් අත්විඳි පෞද්ගලික ගැටලු හේතුවෙන් සමාජය හමුවේ හඬ අවදි කරති. තුෂ් මෙම ළමා හිංසනයට තිත සංවිධානය ආරම්භ කරන ලද්දේද තම කුඩා දියණියට සිදු වූ අසාධාරණයක් හේතුවෙනි.

තුෂ්ගේ කුඩා දියණිය 2018 වසරේ මුල් අවධියේදී ඉගෙනුම ලැබුවේ ජාත්‍යන්තර පාසලකය. කුඩා දියණිය පාසලේදී ශාරීරික හිංසනයටත්, මානසික හිංසනයටත් මුහුණ දුන්නාය. එවකට වයස අවුරැදු එකොළහක් වුණු කුඩා දියණිය මානසික පීඩනයට ගොදුරැ වූවාය. දරැදුක දන්නා අම්මාවරැන්ට මෙවන් දුකක් දරාගන්නට නොහැක. මේ සම්බන්ධයෙන් තුෂ්ගේ හිත තදින්ම රිදිණි. ඇය අදිටන් කර ගත්තාය. ඇයගේ කුඩා දියණිය වන් මල් කැකුළු වෙනුවෙන් හඬක් නගන්නට ඇය ක්‍රියාශීලී මාතාවක් වූවාය. ඒ වෙනුවෙන් ඇය ළමා හිංසනයට තිත නමින් සංවිධානයක් අරඹා කුඩා දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාශීලී ක්‍රියාකාරිනියක් වූවාය.

තුෂ් ප්‍රාථමික අධ්‍යාපනය කොළඹ බිෂොප් විද්‍යාලයෙන් ද, ද්විතියික අධ්‍යාපනය කොළඹ විශාකා විද්‍යාලයෙන් ද ලබාගත්තාය. ඇයගේ භාෂාවෙන් කියතොත් ඇගේ පාසල් ජීවිතය බොහොම රසවත්ය. ඇය පාසලේදීත් බොහෝ සැහැල්ලු ක්‍රියාශීලී ශිෂ්‍යාවකි. අධ්‍යාපන කටයුතුවලට අමතරව පාසලේ බාහිර ක්‍රියාකාරකම් එකොළහක නිරතව සිටියාය. පාසලේ අස්වීම් ලිපිය බාරගනිද්දී ඒ සියල්ලම ඇගේ අස්වීමේ ලිපියේ සඳහන්ව තිබුණි. ඇය පිහිනුම් ශූරියකි. ක්‍රීඩිකාවකි. පාසලේදී ඇය බටහිර ගීත ගායිකාවකි. තූර්ය වාදක කණ්ඩායමේ සමාජිකාවකි. ඉංග්‍රීසි විවාද කණ්ඩායමේ ළාබාල නායිකාවකි. එවැනි බොහෝ බාහිර ක්‍රියාකාරකම් ඇය පාසල් ජීවිතයේ දී සිදු කළාය.

පාසලේ දී ඇය වාර විභාගවලදීද පළමුවැනියා හෝ දෙවැනියා වූවාය. නමුත් උසස්පෙළ පළමු වසරේ වාර අවසන් විභාගයේ දී ඇය පන්තියේ පනස් දෙවැනියා විය. පන්තියේ සිටි මුළු ශිෂ්‍යාවන් ගණන වූයේ පනස් තුනකි. 

ශිෂ්‍ය වාර්තා පොත බැලූ තුෂ්ගේ මව කේන්ති ගත්තාය. දෙවැනි අවුරුද්දේ ඔය බාහිර දේවල් ඔක්කොම නතර කරන්න ඕනෙ මවගෙන් අණක් ලැබුණි. නමුත් තුෂ් ඇයටත් හොරා පාසලේදී බාහිර ක්‍රියාකාරකම්වලට සහභාගි වූවාය. පාසලේ සිටි මිතුරියන් අදටත් ඇගේ හොඳ මිතුරියන්ය.

බාහිර ක්‍රියාකාරකම් කොතෙක් කළද ඇය විශාකාවේ දීප්තිමත් ශිෂ්‍යාවක් වූවාය. ඇය විද්‍යා විෂය ධාරාව හදාරා විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුව වර්තමානයේ දී එංගලන්තයේ වෛද්‍යවරියක් ලෙසින් සේවය කරන්නීය. ඇය උසස්පෙළ පනස් දෙවැනියා වනතුරැ කිසිම දවසක කිසිම විෂයකට අමතර පන්තියකට ගොස් නැත. අමතර ගුරුවරයකු යටත් විෂයන් හැදෑරුවේ නැත. උසස්පෙළ දෙවැනි වසර ආරම්භයේදී පමණක් තුෂ්ගේ මව වුණු කුසුම් වික්‍රමනායක තම දියණිය අමතර ඉගැන්වීම්වලට යොමු කළාය. සෑම දිනකම පාසල අවසානයේදී බාහිර ක්‍රියාකාරකමකට ඇය පාසලේ සවස් වනතුරැ නතර වූවාය. ඒ නිසාම අමතර පන්ති යන්නට තරම් කාලයක් ඇගේ පාසල් ජීවිතේ නොතිබිණි. ඇය සෑම දිනකම පාසලේ එදිනෙදා කළ කටයුතු නිවෙසට පැමිණ අධ්‍යයනය කළාය. ඒ නිසාම ඉගෙනීම ඇගේ හිසට බරක් වූයේ නැත. මේ වන විට තුෂ්ගේ දරුවන් දෙදෙනා ද අමතර පන්තිවලට නොයති.

මගේ තාත්තා දේශපාලනයට යොමුවුණු කෙනෙක් නිසා මම ඒ කාලෙත් වරප්‍රසාද භුක්ති වින්ඳේ නැහැ. මේ කාලෙ භුක්ති විඳින්නෙත් නෑ. අපේ තාත්තා බොහෝම නීතිගරැක මනුස්සයෙක්. ඒ ආභාෂය මටත් තියෙනවා. මගේ තාත්තා කවදාවත් තමන්ගේ පවුලට යම්කිසි දෙයක් කළේ නැහැ. පොඩි කාලේදී අපේ තාත්තා ඇයි අපිට මෙහෙම සලකන්නේ නැත්තේ? කියලා හිතුණු වෙලාවල් තිබුණා. මගේ අම්මා අගමැතිගේ බිරිඳ වුණාට අම්මටවත් වාහනයක් දුන්නේ නැහැ. අපිට කිසිම වරප්‍රසාදයක් ලබා දුන්නේ නැහැ. අපිට එක ආරක්ෂක නිලධාරියකු ලැබිලත් නැහැ. අපි ඉල්ලලාවත් නැහැ. යැයි ඇය කියන්නීය.

ඇය ගත කළේ නිදහස් ජීවිතයකි. රත්නසිරි වික්‍රමනායක තම දරුවන් තිදෙනාට හොඳින් ඉගැන්වීය. තුෂ් උපදින විටද රත්නසිරි වික්‍රමනායක පරිණත දේශපාලනඥයෙකි. එවකට ඔහු කාර්යබහුල දේශපාලනඥයෙකි. මේ නිසාම තම ජීවිතේ කිසිම සිද්ධියකට තම පියාගේ එකතුවීමක් තිබුණු බවට තුෂ්ට මතක නැත. තම ජීවිතේ දී මවගේත් පියාගේත් භූමිකා දෙකම ඉටුවූයේ තුෂ්ගේ මව වූ කුසුම් අතිනි. තුෂ්ගේ වචනයෙන් කියතොත් මගේ අම්මා යකඩ ගැහැනියකි නමුත් සෑම සති අගකම තම පියා සමඟ තුෂ් ඇතුළු පවුලේ සැම කෙසේ හෝ ගොස් නිවාඩු දවසක් ගත කළහ. රත්නසිරි වික්‍රමනායක විනෝදයට කැමැති පුද්ගලයෙකි. තුෂ් පාසලේ සෑම තරගයකදීම ජයග්‍රහණ ලැබූවත් ඒ කිසිදු තරගයක් හෝ උත්සවයක් බලන්නට රත්නසිරි වික්‍රමනායක පැමිණියේ නැත. නමුත් ඒ පිය සෙනෙහසේ අඩුවක් තිබුණේ නැත. තුෂ් පුංචිම කාලේ රත්නසිරි නිවෙසට ගොඩවන්නේ දුවේ කියමිනි. එකල රත්නසිරි වික්‍රමනායක දැඩි ලෙස දුම්පානය කළේය. ඔහු නීතිය හැදෑරීම නිසාම නිවෙසේ තිබූ ඔහුගේ කාර්යාල කාමරයේ කළු විශාල පොත් රාක්කවලින් හෙබි අපූරැ දසුන අදටත් තුෂ්ට හොඳට මතකය. සාමාන්‍ය පෙළ ඉගෙනගන්නා අවධියේ විවාද තරගවලට සහභාගි වෙද්දී ඇතැම් විවාද කරුණු තුෂ් අසාගෙන තිබුණේ ද තම පියාගෙනි.

මගේ අම්මා යකඩ ගැහැනියක්. හැබැයි තාත්තා යකඩ මනුස්සයෙක් නොවේ. මගේ අම්මත් තාත්තත් දෙන්නම පොහොසත් පවුල් දෙකකින් ආපු දෙන්නෙක්. තාත්තා ඒ කාලේත් ඉගෙන ගත්තේ එංගලන්තයේ. ඒ කාලේ එවැනි රටක ඉගෙනගන්නවා කියන්නේ පොහොසත් පවුලක ලක්ෂණයක්. දෙවැනි වතාවේ තාත්තා ජයග්‍රහණය කළාට පස්සේ තාත්තා ගෙදර ගිහින් නිදාගෙන තියෙනවා. ඒ කාලේ අපේ අම්මා තමයි බණ්ඩාරනායක මැතිනියව මුණගැහිලා ළාබාල මන්ත්‍රීවරයෙක් හැටියට එතුමා ගැනත් බලන්න කියලා තියෙන්නේ ඒ හැමදේකදීම ඉස්සරහින්ම හිටියේ මගේ අම්මයි ඇය පවසන්නීය.

තුෂ් තවමත් සේවය කරන්නේ එංගලන්තයේ වෛද්‍යවරියක් වශයෙනි. එමෙන්ම ඇය ලංකාවේදීද සේවය ලබාදෙන්නීය. ඒ මේ රටේ දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් යම් විසඳුමක් ලබාගන්නට වෙහෙස දරමිනි. නමුත් ඒ උත්සාහයත් ආපස්සට අදින්න හේතු කාරණා බොහොමයක් රට තුළ තිබේ. එසේ වුවද තුෂ්ට ඉලක්කයක් ඇත. අධිෂ්ඨානයක් ඇත. ඒ මේ රටේ මල් කැකුළු වෙනුවෙනි. රටේ හිටපු අගමැතිගේ දුවකු ලෙස නොව ඇය සැබෑ මාවත ලෙසින් මේ දරුවන් වෙනුවෙන් පෙනී සිටින්නේ ඒ නිහාතමානීකම නිසාවෙනි.

 දිශානි ජයමාලි කරුණාරත්න