2020 මැයි 30 වන සෙනසුරාදා

පන්දාහ වටේ කැර‍ෙකන සද්දේ

 2020 මැයි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 95

රුපියල් 5000 දීමනාව බෙදීම පිළිබඳ කුමන චෝදනා නැගුණත් ඇත්තෙන්ම එය කොරෝනා නිසා ආදායම් අහිමි වූ ජනතාවට මහත් අස්වැසිල්ලක් වූ බවට සැකයක් නැත. අප්‍රේල් මාසයේ පුද්ගලයන් ලක්ෂ 74 කට මෙම දීමනාව ගෙවූ බව රජය ප්‍රකාශ කරයි. මේ වනවිට ඒ තරම් පිරිසකට එම දීමනාව ගෙවීමට අවශ්‍ය නොවන තත්ත්වයක් තිබිය හැකි නමුත් මුලින් ආධාරය ලැබූ සියලුදෙනාටම ආධාර අවශ්‍ය නොවන තත්ත්වයක් ඇතැයිද කිව නොහැකිය.

කෙසේ වෙතත් කොවිඩ්-19 වසංගත තත්ත්වයත් සමඟම රට මුහුණ දුන් සෞඛ්‍ය ගැටලුව හමුවේ ජනතාව ක්‍රමයෙන් මුහුණපානු ලබන ආර්ථික ඛේදවාචකය රු.5000 වටා ගොඩනැගෙන සියලු කරුණුවලින් පෙනී යන වග කිවයුතුය. මේ වනවිටත් රටපුරා දෛනික ආදායම් ලබන්නන් කබලෙන් ළිපට වැටී ඇති බව කීම අසාධාරණ නැත. මේසන් බාස්, ඉදිකිරීම් අංශයේ සේවකයන්, කොණ්ඩා කපන්නන්, බියුටි සැලූන්, පින්තාරැ කරැවන්, ලොතරුයි අලෙවිකරන්නන්, බස්රථ, ත්‍රී රෝද රථ රියැදුරන්ගේ සිට බොහෝදෙනාට රුපියල් පන්දහස යම් අස්වැසිල්ලක් විය.

කොරෝනා වසංගතයෙන් ආදායම් අහිමි වූ ජනතාවට මෙම රුපියල් 5000 දීමනාව ගෙවීම ආරම්භ වූයේ පසුගිය අප්‍රේල් මාසයේය. එය ලබන ජූනි මාසය වෙනුවෙන්ද ගෙවීමට ආණ්ඩුව තීරණය කර තිබිණ. එහෙත් මැතිවරණ කොමිසමට ලැබෙන පැමිණිලි හේතුවෙන් රුපියල් 5000 දීමනාව ලබාදීම නවතා දමන ලෙස මැතිවරණ කොමිසම මගින් ආණ්ඩුවට දන්වා තිබිණි. ඒ අනුව ජූනි මාසය සඳහා ලබාදෙන එම පන්දහස ලබාදීම අත්හිටුවන බව පසුගියදා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.

මැතිවරණ කොමිසම ආණ්ඩුවට මෙම ලිපිය යොමු කරන්නේ පසුගිය 17 වැනිදාය. ඉන් ආණ්ඩුවේ අවධානයට ලක්කර ඇත්තේ ජූනි මාසයේ රට සාමාන්‍ය තත්ත්වයට පත්වන්නේ නම් මැතිවරණ ක්‍රියාදාමයට හානිකර මෙම දීමනාව ගෙවීම අවශ්‍යද යන්නය. ජනතාවට ලැබුණු මෙම රුපියල් 5000 සහනය ජූනි මස සිට නැවත නොලැබීම පිළිබඳව අපි පාර්ලිමේන්තුව නියෝජනය කළ මහජන නියෝජිතයන් කිහිපදෙනකුගෙන් සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධායකයකුගෙන් විමසීමක් කළෙමු.

ආණ්ඩුව හොඳ වැඩක් ඡන්ද ගුණ්ඩුවක් කළා

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම

මුළු ලෝකයටම බලපා තිබුණු කොවිඩ් 19 වසංගත තත්ත්වය යටතේ මෙරට ජනතාවට රජය මගින් ලබාදුන් රැපියල් 5000 දීමනාව පිළිබඳව අප යම් සතුටකට පත්වෙනවා. මොකද ජනතාවට එහෙම හරි සහනයක් ලැබුණ එක පිළිබඳව. නමුත් මේ සහනය ජනතාවට ප්‍රමාණවත් මදියි. ඒ වගේම තමයි ජනතාවට රැපියල් 5000කට වැඩි මුදලක් ජනතාවට ලබාදිය හැකි තත්ත්වයක් වර්තමාන ආණ්ඩුවට තිබුණා. මේ සහනාධාර බෙදීම ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් හරහා සිදුකරන විට යම් පැහැදිලි බවක් තිබුණා. නමුත් ප්‍රාදේශීය දේශපාලකයන් මගින් මෙය ලබාදීම් සිදුකරලා මැතිවරණය ඉලක්ක කර ගැනීමක් තමයි අන්තිමට මේ ආණ්ඩුව සහනාධාර බෙදීම මගින් සිදුකරනු ලැබුවේ. මේක මැතිවරණ ගුණ්ඩුවක් බව හොඳටම පැහැදිලි වුණේ ජූනි මාසයේ දීමනාව මොවුන් විසින් අත්හිටවූවාට පසුව. මොකද මැතිවරණ කොමිසම දන්වා තිබුණේ දේශපාලනයෙන් තොරව මේක කරන්න කියලා නමුත් මොවුන් ඒක වෙන විදියකට අර්ථකථනය කරලා මේක මගහැරියා.

මේ ලබාදුන්නේ ජනතාවගේ බදු මුදල්

ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස

දවස් 65 කට අධික කාලයක් කොරෝනා වසංගත තත්ත්වය නිසා මේ රට වහලා තිබුණේ. ව්‍යාපාරික ස්ථාන ජනතාවගේ ජනජීවිතය යන සියල්ල මේ හේතුවෙන් කඩා වැටිලා තිබුණේ. මෙවන් තත්ත්වයක් තුළ තමයි ආණ්ඩුව ජනතාවට රුපියල් 5000ක සහනාධාරයක් ලබාදුන්නේ. එලෙස ලබා දුන්නෙත් ජනතාවගේ බදු මුදල්. ඒ වගේම තමයි ජනතාවට මේ මුදල් ඊළඟ මාසයෙත් ලබාදිය යුතුයි. මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ මේ මුදල් දේශපාලනීකරණයෙන් තොරව ලබාදෙන්න කියලා. නමුත් ආණ්ඩුව ඒ ආකාරයට කරන්න කැමැති නැති නිසා තමයි ජනතාවට ලබාදෙන මේ සහනාධාරය අත්හිටුවා තිබෙන්නේ. එතකොට මේ ආණ්ඩුව ජනතාවට තිබෙන ආදරයකට නෙවෙයි මේ සහන ලබා දී තියෙන්නේ. මැතිවරණය ඉල්ලක්ක කරගෙන තමයි මුදල් ලබාදී ඇත්තේ කියන එක පැහැදිලියි.

ආණ්ඩුව දුන්නා: විපක්ෂය ඇන්නා

පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ 

වර්තමාන රජය රට පුරා කොවිඩ් 19 වසංගතය ව්‍යාප්ත වීමත් එක්ක මෙරට ජනතාවට රුපියල් 5000ක දීමනාවක් ලබාදුන්නා. ඒ සහනාධාරය ජනතාවට විශාල අස්වැසිල්ලක් වුණා. ඒක මුළුරටම දන්නා කාරණාවක්. නමුත් විපක්ෂයට ජනතාවට ලබාදෙන සහනය ගැන ඉවසගෙන ඉන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඔවුන් මෙම වැඩපිළිවෙළට මුල සිටම අකුල් හෙලුවා. විවිධ අවස්ථාවල විපක්ෂයේ මන්ත්‍රීවරුන් දේශපාලන වේදිකාවල ඒ පිළිබඳව කථා කළා. අපි දැක්කා කෙසේ වෙතත් අන්තිමට මේ විපක්ෂයේ පිරිස් මෙය දේශපාලනීකරණය වන බවට මැතිවරණ කොමිෂන් සභාවට පවා පැමිණිලි කර තිබෙනවා ඒ හේතුව නිසා තමයි ජනතාවට ලබාදෙන මෙම සහනාධාර වැඩපිළිවෙළ නැවතුණේ. මෙයට සම්පූර්ණයෙන්ම විපක්ෂය වගකිව යුතුයි.

නිලධාරීන් වෙනුවට මන්ත්‍රීන් මැදිහත්වීම අවුලක් වෙලා

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි

මැතිවරණ කොමිසමේ සාකච්ඡාවේදී ජනතාව වෙත ලබාදෙන රුපියල් 5000 දිමනාව ලබාදිය යුතු නැහැ කියලා කිව්වේ නැහැ. එතුමා සදහන් කර තිබුණේ දේශපාලනීකරණයෙන් තොර ජනතාවට මේ සහනය ලබාදෙන්න කියන එක. ඒ වගේම රට යථා තත්වයට පත්වෙනව නම් මේ සහනාධාරය ලබා දිය යුතු නැහැ කියලා එතුමා කිව්වා ඇත්තටම මෙය මුලදී රාජ්‍ය නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් තමයි සිදුවුණේ. මෙයට රාජ්‍ය නිලධාරීන් වෙනුවට මන්ත්‍රීවරුන් මැදිහත් වීම නිසා තමයි ප්‍රශ්නය මේ විදියට උද්ගත වෙලා තියෙන්නේ.

 හසිත්

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00