2020 මැයි 30 වන සෙනසුරාදා

කොරෝනා කාලේ ගෙදර ජරමර....

 2020 මැයි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 163

ඔබට සතුටුයිද දැන්.... ඔරවා ඔරවා කොරෝනා වෛරස් ගෑනි නිකම් ගේමට ඒම අහනවා අහනවා වගේ නිකම් දැනෙන්නේ... වෙලාවකට ඔෆීසියේ ට්‍රාන්ස්පෝට් ජාලේ අමු ජෑම් එකක්... ලෑස්තිවෙලා නාසය මුඛය ආවරණය කරගන්න වාඩමක් එල්ලගෙන එහෙන් මෙහෙන් සෙන්ට් පාරක් දෙකක් විදගෙන ඔෆීසියේ වාහනේ දැන් එයි දැන් එයි... එයි... එයි... කියලා උදේ නවයේ ඉඳන් පැය දෙකක් විතර බලාගෙන ඉඳලා ඉඳලා තවත් වට ගහලා මීටරේ සෙන්ටි මීටරේට බස්සගෙන කට්ටිය පටවගෙන විනාඩි 20 දුර ගෙවාගෙන එනකොට දවල් 12.00යි කියපි.... විනාඩි 20 ගමනට පැය 3ක් ගතවෙච්චි... කෝමද කියන්නකෝ මොළේ රත්වෙන රත්විල්ල. සෙන්ට් පාර හෝදගෙන දාඩිය කුයිලේ ඊට හපන්... වෛරසේ හින්දා වාහනවල ඒසීත් නෝ ඒසී වෙලා.

ඊට පස්සේ ඉතින් ජෑම් එකට දෙහි කප කපා ගිනිකසයා වගේ වැඩ...වැඩ. ඒ කෙසේද යත් දැන් කස්ටියට ඒක අතිශය සාමාන්‍ය අසාමාන්‍ය ලෙස ජීර්ණය වුණ මෙව්වා එකක් වෙලා... මත්තේගොඩ රණසිංහට කොරෝනා අලකලංචියෙන් පස්සේ රජයේ - පෞද්ගලික තමන්ගේම මේ ආදී නානා ප්‍රකාර මාදිලියේ ජොබ්වලට එන්ටර් වෙලා හිටපු කට්ටිය රොත්ත පිටින්ම ගෙදර නැවතුණානේ....
ඒ වෙනස මාරයි ඈ....

උදේ හතරට විතර නැගිටලා දඩිබිඩියේ උයලා පිහලා ළමයි ඉස්කෝලේ යන උන් ලෑස්ති කරගෙන, බත් ගෙඩි බැඳලා එහෙන් මෙහෙන් අයන් පාර දාගෙන මැදලා ඇඳගත්ත රෙද්දත් උස්සාගෙන බස් කෝච්චි අල්ලන්න දුවගෙන ඇවිත් ඔෆීස් වලත් නැහිලා නැහිලා.... කට්ටියක් එහෙම නැහිලා නැහිලා වැඩකළාට සමහරු ඔෆීස් අස්සේ ෂොපින්... ලන්ච් වෙලාවේ කෑම පැයටත් සමහර අනිසි නොනිසි ගමන් බිමන්, වටේටම තෙල බෙදිලි, ඕපාදූප හෙවිලි හා වැමෑරිලි, ඔය වගේ කී නොකී දහසක් රාජකාරි අතරේත් ගේම ගහලා....

හැබැයි ඉතින් අවකංවම ගන්න පඩිය වගේ තුන් ගුණේක රැකියා කරන තැනට කඹුරලා කඹුරලා එන නෝනලා... මහත්තයලත් ඔය අතර හිටියා.... එහෙම වැඩකරන සමහර නෝනලා දැන් ගෙදර යන්නෙත් තව වැඩමුරයක් කරන්න බලාගෙන.... ළමයින්ගේ ඉස්කෝලෙ වැඩ, රෙදි හේදිලි.... රෑට උයන්න... ඒ අතරේ මනුස්සයා ගෙදර අඩියක් දෙකක් ගහන්න සෙට් වුණොත් බයිට් හැදිලි.... ඒ ඔක්කොමත් කරලා අන්තිමේට කුණු බැණුම්... වෙලාවකට එක දවසකට ලේසි පාසු වැඩ කන්දරාවක්ද අපේ ලංකාව වගේ රටවල ගෑනු කරන්නේ... නෙහ්....

වැඩ ඇරී 
වැඩට යති ගැහැනු.... 

ලක්ශාන්ත අතුකෝරල කවියා අතින් එහෙම ලියැවුණෙත් ඕවා දැකලා දැකලා දැකලාම වෙන්න ඇතිනේ.... නේහ්....
හැබැයි කොරෝනා ඒ Life style එක මාර විදිහට Change කළා කියහන්කෝ... පාන්දර හතරට නිදි ගැට කඩ කඩා අම්මේ ගෑනුවෙලා ඉපදීමත් කරුමයක් වගේ කියන එක නොකියා කිය කියා වෙලාවකට උදේට නැගිටිච්චි ගෑනු... ඒ වගේම ගෑනුකමේ හයියෙන් මහපොළොවක් වගේ ඒ ඔක්කොම ආත බූත ඉවසගෙන සිරියාවට කිටි කිටි ගාලා වැඩ ඔක්කොම ඉවර කරලා පාන්දරම වැඩටත් යන ගෑනු මේ කාට කාටත් හොඳට එළිය වැටෙනකම් නිදාගන්න ඔන්න කොරෝනා මාරෙටම ඉඩහදලා දුන්නා....
සමහර ගෙවල්වල ළමයි අම්මාගේ තාත්තාගේ මූණ යන්තම් දකින්නේ උදේට විතරයි... හවහට උන් එද්දී සමහර ගෙවල්වල දරුවෝ බුදි.... දැන් කෝමද ඒක... එකට කන්ට බොන්ට ඇතිල්ලි ඇතිල්ලි හුරතල් වෙන්න පැටවුන්ට ඇති පදම් වෙලාව හම්බුවෙලා... ඒ විතරක්ද වෙනදා උදේට ලහි ලහියේ උයන්නෙ ලේසියට උයා ගන්න පුළුවන් පරිප්පුවක් බැදුමක් ඔහොම දෙයක්නේ.... අම්මට සිරි දැන්නෙ ගෑනුන්ගේ ඉවිල්ල බලන්න ඕනෑ... ඒ ඉවිල්ල කොච්චරද කියනව නම් ආතල් එක වැඩිවුණාම සමහර Modern House wife ලා මෙන්න අද දවල්ට අපේ ගෙදර Special Menu කියලා ඒවා හට්ටි පිටින් ෆොටෝ ගහලා බුකියෙන් අතාරිනවා. හවසට කන්න සමහර ගෙවල්වල වඩේ පැටිස් කට්ලට් හදලා ඕං අපි කාපුවා කියලා රටටම කියනවා... හරියට වෙනදාට උන් කෑවෙ නෑ වගේ... අම්මේ.... මයෙ හිතේ මේ ටිකේ අපේ ගෑනු ඒවාගෙන් මේවාගෙන් හදපු කෑම ජාති අපේ පබ්ලිස් සිල්වා මහත්තයවත් හදලා නැතුව ඇති... ඒමත් හිතෙනවා අප්පා...

අපේ ඔෆීසියේ ඉන්නවා එක බුවෙක් මිනිහට නිකම් පොතක් ළඟපාතක නැත්නම් ඔක්සිජන් නෑ වගේ තමා... ඒ අස්සෙම මිනිහා හොඳ හොඳ පොතුත් පෙරලනවා. නමේ තේරැම අනුව නම් මිනිහගේ මූණේ මලක සිරියාව තියෙන්න ඕනෑ... ඒ වුණාට බැලුවොත් මූණ එල්ලගෙන. අම්මා... ඒ මූණ දැක්කම නිදිපෙති නොබී නින්ද නොයන ඕනෑ එකෙකුට නිදාගන්න පුළුවන්.... මූ ඔෆීස් එකේ කෙල්ලෙකුට හැමදාම ආ... නංගී කියවන්න කියලා පොත් ගෙනැත් දීලා... බුවාත් ඔය ඉතිහාස, නවකතා අරහෙන් මෙහෙන් පොත් ලියන හොඳ දැනුම් තේරුම් තියෙන මෙලෝ රහක් නෑම නෙමෙයි... ටිකක් ටිකක් රහ තියෙන එකෙක්. දවසක් මූ මුගේ පොතකුත් අර හැමදාම පොත් දෙන තඩි කෙල්ලට දීලා... ඒකි පොත එහෙම කියවලා අහලා අයියේ පොත නම් හොඳයි... ඇත්තටම අයියමද ඒ පොත ලීවේ කියලා... එදායින් පස්සේ මිනිහා කෙල්ලට පොත් සප්ලයි කරන එක නතර කරලා...

මේ බුවා ඔය ගමේ ගොඩේ කෑම ගොටුකොළ එහෙම කන්න හරි ආසයි... මූ දවසක් ගොටුකොළ අරන් ගිහින් උදේ නෝනා උයද්දී නෝනා මැල්ලුම හදයි කියලා නෝනට පේන්න ගොටුකොළ මිටිය ෆ්‍රිජ් එකෙන් අරන් එළියෙන් තියනවලු... නෝනා උයලා ඉවරවෙද්දීත් ගොටුකොළ මිටිය එහෙමමලු... ඕන්න ඉතින් ආයෙත් අර මිටිය අරන් එහෙමම ෆ්‍රිජ් එකේ ඔබනවලු.... ඔහොම දවස් තුන හතරක් යද්දි මිටිය කහ වෙන්නත් ඇවිත්... මිනිහා මොළෙන්ම තේරුම් අරන් ගෑනිට කියලා ගොටුකොළ කන්න බලා හිඳීම සිහිනයක් පමණක්මයි කියලා. සැබෑ නොවෙනා හීන හරි මිහිරියි කියලා කසුන් කල්හාර ගැයුවට මෙහෙම පෙරේත හීන සැබෑ නොකරගෙන මැරෙන්න හොඳ නෑ ඇත්තටම.... පරලොව දුක් සහිත විය හැකියි... මිනිහට එහෙමත් හිතුනලු ඉතින්.... බැරිම තැන මිනිහාම පුළුවන් විදිහට කොළේ දෙකට තුනට සයිස් එකට කපලා ඔන්න මැල්ලුම හදලා දුකසේ කාලා....

එහෙම හිටිය බුවාට... ඉස්සර පෝය දවසටත් ඔෆීස් එන එක හොඳයි කියලා ඔෆීස් ආව බුවාට... දැන් ගෙදර &මගේ නිවන මගේ පැල්පතයි වෙලා... නෝනාගෙන් හොඳ හොඳ වෑංජනත් එක්ක රස රස බත් හම්බවෙනවලු... වැඩේ කොච්චර නැගලා ගියාද කියනවා නම් මේ මෑත දවසක ඔෆීස් එකේ කොල්ලෝ පහකටත් මිනිහා ගෙදරින් බත් ගෙනැත් දීලා. ඉස්කෝල ගුරැවරියක් වෙච්ච ගෙදර නෝනාගේ කාර්යබහුල ජීවිතේ කොරෝනා විසින් කළ පරිවර්තනය ගැන දැන් මිනිහා කතා කරන්නේ පුදුමාකාර සංතෝසෙකින්... කෝරෝනා අන්න ඒ වගේ තැවුණු පිරිමි හිත් කීයක් සුවපත් කරන්න ඇතිද කියලා හිතෙනවා.

ඉතිහාසේ පිටු පෙරළගෙන පෙරළගෙන යද්දී මේ මුතුඇටේ කියන්නේ සහලින් අස්වැද්දුණු වැව් බැඳි මහා රාජ්‍යයක්නේ... මිරිස් කරලත් සුපර් මාර්කට්ටුවෙන් ගන්න තරමේ හිඟන පොෂ් - හයි ක්ලාස්^ තත්ත්වෙට වැටුණට, පරිප්පු ඇටේ රටින් ගෙනාවේ නැත්නම් හාමතේ මැරෙන සයිස් එකට බය බිරාන්ත වෙච්ච ජාතියකට ආයෙත් ඒ ඉතිහාසේ මතක් කළෙත් කොරෝනා.... මල් පෝච්චියේ හිටං කට්ටිය ගෙදර බත සරි කරගන්න වැවිල්ල පටන් ගත්තා ඕං.... එක අතකින් වස විස නෑ සරීර සෞඛ්‍යයට ඉස්තරම්. අනිත් අතින් ආර්ථිකේට යහපත්... ඊටත් වඩා ගෙදර උන් පිට උන්වෙලා පිට උන් ගෙදර උන් වෙන තරමට ෆේස්බුක්, අර ග්‍රෑම් මේ ග්‍රෑම්වල යාළු - මාළු කම් එක්ක ඇලීගෙන වෙලීගෙන හිටපු උන්ට ගෙදර ගෑනු පිරිමි ළමයි එක්ක සහයෝගයෙන් ආදරෙන් පූට්ටු වෙන්නත් ඔය වගාවම එක පැත්තකින් හේතු භූත වුණා.... මෙන්න බොලේ සමහර ගෙවල්වල මහ එවුන් පැටවු උදේට මිදුලට වෙලා කුරැලු කූජන අහනවා... උන්ගේ මිදුලටත් කුරැල්ලො මෙච්චර කාලෙකට ආවා කියලා උන් දන්නෙත් දැන් වගේ....

කොරෝනා කෙළිය අස්සේ ඩේටාවලටත් කෙළ වුණානේ.... ඩේටා නැන්තම් හුස්ම ගන්න බෑ වගේ ඉන්ටර්නෙට් ආත්මය කරගෙන හිටපු උන් ඔය යස අගේට ඒවා නැති කාලේ හිටියේ.... නියම් අනියම් බැඳුම් අස්සේ එක දවසක් දැක්කෙ නැත්නම් මම මැරෙයි.... මගේ පණ... සුදු නෝනා.... සුදු මහත්තයා... කිය කියා මී පැණියේ ඇඹල ලීලාවෙන් දඟලපු... වීඩියෝ කෝල් නැත්නම් මට පිස්සු හැදෙයි කියපු උන් ඒ මොන මරාටියක්වත් නැතුව ඔය යස අගේට ගෙවල් ඇතුළටම වෙලා ගෙදර උන් එක්ක කයිය දාගෙන හිටියේ....

ඇත්තම කතාව සමහර ගෙවල්වල අවුරුද්දකට  වතාවක්වත් මකුලු දැලක් කඩලා හරියට සුද්ද නොවෙන ගෙවල් කොච්චර තියෙනවද? අප්පට සිරි මෙන්න කොරෝනා කාලේ සූ ගෑවිල්ලේ එහෙම ගෙවල් කීයක් සුද්ද බුද්ද වුණාද? සමහර උන්ගෙ ඇඳුම් අල්මාරි මම හිතන්නේ අවුරුදු ගාණකට පස්සේ අස්වුණේ මේ කොරෝනා කාලේ.... සමහරු ඔය හෙණ පොෂ් තාලෙට පට්ට ක්ලීන් ලෙවල් එකෙන් ඉන්න ඩයල් ඉන්නවානේ... අම්මාහ්.... ක්ලීන් බලන්න යන්න ඕනෑ ගෙවල්වල කුස්සියට... නිදන කාමරේට.... සමහර ඇඳුම් නිකම් කන්කුන්ඩෙකුට ගලක් වැදුනම සයිස් වෙන ගාණට රෝල්වෙලා ඇකිලිලා කොටින්ම ඒක සායක්ද, ගවුමක්ද, කමිසයක්ද එහෙමත් නැත්නම් වෙන මොකක්ද හොයන්න බෑ.... දෙයියනේ කියලා සමහර රෙදි අස්සෙ සර්පයොත් ඇති බං හිතෙන තරමට හැඩිවෙලා තිබ්බ ඇඳුම් අල්මාරි එහෙම සුද්ද කරගන්න ඇති හිටු කියලා.... එහෙම හිතුනට එහෙම නොවුණ තැනුත් තියෙනවා. අර ඉස්සරලා මම කීව පොත් බුවාගෙන් මම ඇහුවා....
අයියෙ කොරෝනා කාලේ නෝනා ගෙදරමනෙ හිටියේ... ඇඳුම් අල්මාරි ටික එහෙම අස්කරන්න ඇති නේද කියලා...
නෑ බං ඔහෙ නෑ... ඒවා එහෙමම තමා....

ඕං උත්තරේ.... එයා හරි කම්මැයි අනේ ඕවට.... ඊළඟට මිනිහා නැලවි නැලවි එහෙමත් කියපි....
ඔය සමහර නෝනලා තිහේ හතළිහේ කෑලි වගේ පද්දා පද්දා හිටියට පනහත් පැනලා... හැබැයි කොණ්ඩ පාට කරලා... මූණේ කළු තිත් සුදු තිත් හූරලා දාලා.... මූණේ මවිල් රැවුල් කපලා දාලා... ඇහි බැම නිකම් කාපට් කරපු පාරේ Line එකක් වගේ හදලා... කොරෝනා කාලේ මේ සමහර නෝනලාගේ හංගපු වයස ඇරියස් පිටම එළියට පැනපි.... කොණ්ඩා සුදුවෙලා... රැවුල් මවිල් මූණ පුරා වැවිලා.... ඇහිබැම නළල පුරා.... හම්මෝ කැත... කොරෝනාවටත් වඩා සමහර නෝනලාට Upset වුණේ Saloon Closed Case එකට. කොරෝනා අස්සේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙහෙත් සපයා ගැනීම ප්‍රධාන ප්‍රශ්න වුණාට තව අතුරු ප්‍රශ්න කොච්චර තිබ්බද අප්පා මනුස්ස ජීවිතේට බලපෑව....
ගෑනුන්ට පමණක් මසකට වරක් අවශ්‍යම අවශ්‍යතා එද්දී ඒවාට ඕන අඩුම කුඩුම කලින් පැකට් ගණන් ස්ටොක් කරගන්නෙ නෑනේ... කොරෝනා හිටු කියලා වූහාන් ඉඳන් පැන්න පිම්මට ඒකි ආවා විතරයි හතර වටේට එලපු ඇඳිරියේ තරමට අපි බයවුණානේ අප්පා... ඔය මොකා ආවත් එහෙම කියලා මොකෝ සොබාවිකව ගලන දොළ පාරවල් මුක්කු තියලා නවත්තන්ටයැ.... ගෑනු රහසෙම දුෂ්කර විකල්ප මැද්දෙ සමනය කර ගත්ත එහෙව් ප්‍රශ්න ගැන මට හිතෙන්නෙ අම්මපා මේ ලෝකෙ එකෙක්වත් කතා කළේ නෑනේ.... ඊට හපන් අවයවත් එක්ක සෙල්ලම් කරන්න එන අවශ්‍යතාවත් අතිශය සාධාරණ මනුෂ්‍ය ගතියක්නෙ Bro.... මේවා හරි ස්වභාවික කාරණා... ඒත් ඉතින් පෙරනවලට කොපු තව අරවා මේවා පාලන උපකරණ අවශ්‍ය අයට ගන්ට තැන් කෝ.... මොකෝ ඒවත් කවුරුත් මාස ගණන්වලට ස්ටොක් කරගෙන හිටියෙ නෑනේ... දැක්කනේ පිලිපීනේ.... හම්මා... අනවශ්‍ය ගැබ් ගැනීම් ලක්ෂ 12‍ක්ලු.... කොහොමද කොරෝනා කොරවෙන්න දුන්න ගේම මේ අවුරුද්දෙ අන්තිම ඊළඟ අවුරුද්දෙ මුල වගේ වෙන්න අහවල් වාට්ටු අතුරු - සිදුරු නැතුව පිරෙද්දි තමා අම්මේහ් කොරෝනා කාලේ වින්ද දිව්‍යලෝක සැපවල රඟේ පේන්නේ....

පිරිමින්ට රැවුල් කොණ්ඩ කපාගන්න බැරැව වෙච්ච හදියත් මරේ මරු.... සමහරු නිකම් සීයා ටයිප්.... ඔෆීස් එකේ මට එහා පැත්තෙ ඉන්න කෙට්ටු උස එකා කද්දි බොද්දි කෑලි බෑලි රුවුල් ගස් දිගේ වැක්කෙරෙනවා... අප්.... පිරියාවේ බෑ.... ඒ අස්සේ ගහන සෙන්ට් කුප්පි ඉවරවෙලා ඒ.සී. අස්සේ දාඩිය කුයිලෙ එහෙ මෙහෙ කැරකෙද්දී කොහොමද ගන්දස්තාරේ.... ඇත්තටම මම ඔෆීස් එක අස්සේ මාස්ක් එක දාගෙන හිටියෙ කොරෝනා හින්දම නෙවෙයි... උන්ගේ දාඩිය ගන්දස්තාරේ උහුලගෙන ඉන්න තිබ්බ අමාරුවට....

සමහරු බණ්ඩක්කා කරල් වගේ හිටපු පඟර නැට්ටො මෙන්න යකෝ මාසයක් දෙකක් බෝඩිං ජීවිතේ අතහැරලා ගෙවල්වල ඉඳලා බත් පිඟන් ගිලලා ගිලලා එද්දි අල බතල සයිස් වෙලා... මගේ මේසෙට ඉස්සරහින් ඉන්න බඩ තඩි කළු මහත්තයා වෙනදට ඇන්ද කමිස නිකම් නෝනගේ හැට්ට වගේ. සමහරුන්ගේ ලොන්ත බඩවල් තවත් සයිස් වෙලා... කලිසම් පුපුරණ සයිස්. මම හිතන්නේ බෙල්ට් එක දාගන්න සෑහෙන වදයක් වින්දා වෙන්න ඕනෑ....
අනිත් එක ඇන්ද ඇඳුම් ටික ඇඳගන්න බැරිවුණාම ගන්න කඩත් නෑ... කඩ තිබ්බට අතේ සල්ලිත් නෑ.... අනිත් එක නිකම් රජාලා වගේ හිටපු සමහර මහත්තුරැ උදේට නෝනා එක්ක එළවළු සුද්ද කරද්දී පලා තෝරද්දී පොල් ගාද්දී කෝමද ඒක..... ඒ විතරක්ද හෙණ ලෙවල් එකේ ටයි බයි දාලා ඔෆීස් ආව ලොකු ලොකු මහත්තුරැත් හාල් පොල් එළවළු ගන්ට ලොරි පස්සේ දිව්වෙ නැද්ද ආ....

උදේට උදේට ෆේස්බුක් මල් පාත්ති ගාණේ ඇහැ දාගෙන චැට් ටෝක් දාපු උන්දැලාටත් අම්මා වෛරස් විරහිත උණ හැදුනා.... අසහනය දුක මූණු පුරා බේරුණු බේරිල්ලක්....ඒම ඒවත් තිබ්බා සාන්ත.... සිංහල හෝඩියේ හ යන්න හරි භයානකයි. ඔය හ යන්නට එක එක විදිහෙ ඉස්පිලි පාපිලි වැටුණාම අම්මේ බෝම්බ සැරයි.... කුණුහබ්බනෙ.... අපි තමා පොරවල් කියලා හිතන් ඉන්න සමහර උන් හවසට දෙකක් දාගෙන නිකම් වීරයෝ වගේනේ ඕවා කිය කියා රණ්ඩු බණ්ඩු වෙන්නේ... කොහොමද බඩු නැතුව උන්ගේ තෙල බැස්ස හැටි... ඒ අතින් නම් කොරෝනා උන්ට දුන්න ගේම Superb ආ....

එක දවසක් මගේ එහා මේසේ හිටපු රැවුල් දිගාට ඉවසන්ට බැරි සයිස් ඔළුවේ කැක්කුමක් හැදිලා ඌ ගියා... ඌ ගිය වෙලේ ඉඳන් අනිත් උන් බය බිරාන්ත වෙලා... මෙන්න ටික වෙලාවක් යද්දි අර කළු තඩි මහත්තයට එනවා මුගෙන් Call එකක්.... ඌට හුස්ම ගන්ටත් අමාරුයි කියලා... ඒ අස්සේ එකෙක් කියනවා නිරෝධායනේ යන්ට වුණොත් බලතල පාවිච්චි කරලා දියතලාවේ යමු කියලා....

අපේ ඉන්නවා වෙලාවකට කට ඇරියොත් ගොන් කතාවක් කියන කළු කෙල්ලක්... දවසක් අපි රෝහලකට දානයක් දෙන්න ගිහින් ඇටෙන්ඩන්ට්ට අනේ අර ඇන්ටන්ගේ මල සමයං කියලා නාගත්තු මේකිගේ රස කතා Story මහ ගොඩක් තියෙනවා... මේ ළඟදී දවසක් බත් පැකට් ගෙනත් E අකුර ගහපු බත් එක අතට අරන් මේකි කියනවලු ආ මේක එළිෆන්ට් එකක් කියලා. අපේ පොල්කිච්චා (මතකනෙ ගිය සතියේ ඌ ගැන කීවා) අහනවා ඇයි යකෝ මේකෙ තියෙන්නේ අලි බිත්තරද කියලා... මේකි එදා කියපි අප්පේ... අපිටත් නිර්වාණෙට යන්න වෙයිද දන් නෑ කියලා... මේකි නිර්වාණෙ කීවේ නිරෝධායනයට. සබන් ගාගෙනම නාන මේකි මෙහෙම කියන අතරේ උගේ ක්‍රියාවල තරම හින්දම සිඟිති කියන නම වැටුණ අපේ එකා හීන්සීරුවේ අරූට මැසේජ් එකක් යවලා අයියේ.... මේ වෙලාවේ සෙල්ලම් කරන්න එපා උණ නම් වහාම කියන්න කියලා.... පහුවදා දිගා නෑ... කට්ටිය එහෙන් මෙහෙන් කසු කුසුව... අම්මා දවස් හතරක් පහක් මුන් බයේ මැරි මැරී හිටපු හැටි..... 
සමහරැ Whatsapp ඔය ඒවා මේවා Group වලින් සෙට් වෙලා අඩි ගැහුවා... සමහරු හොරාට මීටරේ දුර ඉඳන් සෙට් වෙමු මචං කියලා සමහර හැඳුනුම්පත් එහෙම අවභාවිත කරලා සෙට් වුණා කියලා උපකල්පනය කරමුකො... හැබැයි පදම වැඩිවෙද්දී මීටරේ අමතකයි.... අඩෝ මචාං... කියලා බදා ගන්නවා... වැඩේ වැරදියි ඈ... උන් පිස්සු කෙලිද්දී කොරෝනා ගෑනිට රජමඟුල් නේහ්....

කොරෝනා කියන්නේ හැම දෙනාගේම.... හැම එකාගේම... ජීවිතේ අලුත් පරිච්ඡේදයක් කියලා මට හිතෙන්නේ, බය අස්සේ මෝරන තලමල වගේ සාරසුබාවට මෝරපු චින්තන... පට්ට ඈ.... ආතල් ජරමර දුක් ගැනවිලි සේරම අස්සේ කොහේදෝ ඉඳන් කැලති කැලති ආදර දොළ පාරවල් ගලාගෙන ගිය හැටි මනුස්සකම ගැන අපූරු පාඩම් කියාදෙමින්. ඒ අස්සේ හැම ආදරේටම වඩා සහනාධාරේ බලවත් වෙච්ච හැටියක්.... සහනාධාරයක් දෙනවා කීවොත් රටක් රාජ්‍යයක් වගේ වෙච්චි සමහර උන්ගෙ පපු කැනතුවලට....

සැබැවින්ම මතකය සොඳුරුම නැත....
සොඳුරුම නැති වුවත් සොඳුරු නැත්තේමද නැත... මක්නිසාද යත්... සියල්ල මැද ජරමර, අලකලංචි, මරණ, දුක් වේදනා මැද හඬන ලෝකය පතුලෙන්ම ආදරය දකින්නට විඳින්නට හැකි වුණා යැයිද හිතෙන නිසාමය.....

සංජු

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00