2020 මැයි 30 වන සෙනසුරාදා

පොළොන්නරු සහල් යුද්ධයේ අවසන් ජයග්‍රාහකයෝ ලොකුම වීමෝල් මුදලාලිලා

 2020 මැයි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 63

අපේ රටේ වෙළඳපොළේ පැවැති සහල් හිඟය පිළිබඳ දෝංකාරය දැන් අවසන් වෙමින් පවතී. පසුගිය දිනවල සම්බා, නාඩු සහ කැකුළු සහල් වැනි සහල් වර්ග කිසිවක් වෙළඳපොළේ නොතිබූ බවට දිවයිනේ නන් දෙසින් වාර්තා විය. එසේ වෙළඳපොළේ මිලදී ගැනීමට නොතිබුණේ වැඩිදෙනා පරිභෝජනය කරන සහල් වර්ගය. තවත් විදියකින් කිවහොත් ඒ මෙරට නිපදවන සහල් වර්ගය. ඇතැම් පෙදෙස්හි එම සහල් වර්ග වෙළඳපොළේ අලෙවි කළේ හොර රහසේය. ඊට හේතුව ඒවා අලෙවි කළේ රජය මගින් පනවා තිබූ පාලන මිලට නොව ඊට වඩා බෙහෙවින් වැඩි මිලකට බවද මහජනතාව කියා සිටිති.

අපේ රටේ ජනතාවගේ ප‍්‍රධාන ආහාරය වන බත නිපදවන සහල් සම්බන්‍ධයෙන් පැනනැඟී තිබූ එම ගැටලු බොහොමයකට බලපෑවේ සහල් සඳහා උපරිම සිල්ලර මිලක් රජය මගින් පැනවීම බව නොරහසකි. කොරෝනා වෛරසය රටතුළ ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා රජය ගනු ලැබූ යම් යම් ක‍්‍රියාමාර්ග නිසා ජනජීවිත බොහෝ දුරට අඩාල වූ හෙයින් ඊට පිළියම් ලෙස මහජනතාවට අවැසි සහන සැලසීමට සිදුවූ අතර අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සඳහා පැනවූ පාලන මිල අතර දේශීය සහල්ද විය. ඒ අනුව නාඩු සහ සම්බා සහල් දෙවර්ගයම සඳහා සම මිලක් නියම කරනු ලැබීය. එනම් එම සහල් දෙවර්ගයම කිලෝවක සිල්ලර මිල රුපියල් 90කි. කැකුළු සහල් කිලෝවක් රුපියල් 85ක් වූ අතර කීරි සම්බා සහල් කිලෝවක රජයේ පාලන මිල රුපියල් 125ක් විය.

මෙලෙස සහල්වලට පාලන මිලක් පැනවූවද බොහෝවිට එය නමට පමණ සීමාවී පැවැති අතර ක‍්‍රියාත්මක භාවයට ගියේ මඳ වශයෙනි. එමෙන්ම රජයේ පාලන මිල කි‍්‍රයාත්මක කිරීමේදී නොයෙකුත් අර්බුද පැනනැඟිණි. රජය පාලන මිල තීරණය කිරීමට පෙර වැඩි මිලට ගෙන ආ සහල් තොග යැයි කියා වෙළෙන්දෝ ඒවා වැඩි මිලටම අලෙවි කළහ. පසුව සහල් මෝල්වලින් තොග නිකුත් කිරීමේදීද ඒ මිල රජයේ පාලන මිලට වඩා වැඩි බව කියා වෙළෙන්දෝ පැනවූ පාලන මිලට එකල ළං නොවූහ. කරුණු විමසීමේදී සිල්ලර වෙළෙඳුන්ගේ එම ප‍්‍රකාශ සැබෑවක් බව මේ වනවිට අනාවරණය වී තිබේ. මන්ද යත් දැන් රජය සහල් කිලෝවේ පාලන මිල මෝල් හිමියන්ට වාසිදායක ලෙස ඉහළ දමා තිබේ. ඒ අනුව නාඩු කිලෝවක නව මිල රුපියල් 96කි. සම්බා රුපියල් 98 ක් ලෙසට වැඩිකර ඇත. සහල් සහ කීරි සම්බා මිල පෙර පැවැති මට්ටමේය. ඒ අනුව වෙළඳපොළේ මෙතෙක් පැවැති සහල් හිඟයද ක‍්‍රමයෙන් පහවෙමින් තිබෙන බව වෙළඳපොළ තොරතුරු අනාවරණය කරයි.
පාරිභෝගිකයා ආරක්‍ෂා කිරීමේ අරමුණින් රජය සහල් සඳහා පාලන මිලක් පනවනු ලැබූවද සහල් මෝල් හිමියන් ඊට අවනත කර ගැනීමට නොහැකි විය. ඔවුන් තම  සුපුරැදු ස්ථාවර පෙර මිලෙහිම රැඳී සිටිමින් ක‍්‍රියාකරනු දක්නට ලැබිණි. මෙරට සහල් නිෂ්පාදන කර්මාන්තයේ දැනට පවතින ඒකාධිකාරිය අනුව සහල් මෝල් හිමියන් මිල ප‍්‍රශ්නයේදී එලෙස දැඩි ස්ථාවරයක සිට කටයුතු කිරීම එතරම් පුදුම සහගතද නොවේ. මක්නිසාද එයට අභියෝග කර හෙට්ටු කිරීමේ හැකියාවක් රාජ්‍ය අංශයට නොමැතිකමය. අඩුම තරමින් ප‍්‍රාථමික මට්ටමේ හෝ සහල් නිෂ්පාදන කටයුත්තක් රාජ්‍ය අංශය සතුව නොතිබීමයි. එවැනි වැඩපිළිවෙළකට රජය යොමුවිය යුතු බවට ඉඟියක්ද මෙහිදී සපයා තිබෙන අතර එය එතරම් අසීරු කටයුත්තක් ලෙස සැලකිය යුතුද නැතැයි බොහෝ දෙනා පෙන්වා දෙති. 

වෙළඳපොළේ සහල් හිඟයක් ඇතිවීමත් සහල් මිල ඉහළ යෑමත් සම්බන්‍ධයෙන් අප කළ සොයා බැලීමේදීද පෙර කී අන්දමට සහල් මෝල්වලින් සහල් නිකුත් කිරීමේදී සිල්ලර මිලට සරිලන තොග මිලක් තමන්ට ලබා නොදුන් බව සිල්ලර වෙළෙන්දෝ ප‍්‍රකාශ කළහ. පාරිභෝගිකයන්ගෙන් පැවැති දැඩි ඉල්ලීම නිසා රජයේ පාලන මිලට වඩා වැඩි මිලට  සහල් විකිණීමට තමන් පෙළඹී සිටි බවද ඔවුහු කීහ. ඒ අන්දමට වැඩි මිලට සහල් අලෙවි කරන සිල්ලර වෙළෙඳසල් වැටලීමට පාරිභෝගික අධිකාරිය පියවරගෙන තිබූ අතර එම වෙළෙඳුන්ට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ගද ගෙන තිබුණි. එහිදී සිල්ලර වෙළෙඳුන්ට ගතහැකි විකල්ප ක‍්‍රියාමාර්ගය වූයේ තම වෙළඳසල්වල සහල් විකිණීම තාවකාලිකව නවතා දැමීමමය.
දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලින් ඉකුත් සතියේ වාර්තා වූයේද එම තත්ත්වයයි. වෙළඳපොළේ පැවැති සහල් හිඟය උග‍්‍ර අතට හැරෙමින් තිබූ බව  සහ සිල්ලර වෙළෙඳුන් සහල් වෙළඳාමෙන් තාවකාලිකව ඉවත්වී ඇති බවත්ය. එයට හේතුව ලෙස ඔවුන් දක්වා තිබුණේ සහල් තොග මිල සිල්ලර වඩා බෙහෙවින් වැඩිවීම නිසා එම තීරණයට එළඹීමට තමන්ට සිදුවූ බවයි. සහල් මෝල්  හිමියන් හා සහල් තොග සැපයුම්කරැවන් මෙසේ  පාලන මිල සමඟ පන්දු ගැසීමෙන් පීඩාවට පත්වූයේ මේ රටේ බත් කන සාමාන්‍ය ජනතාව මිස අන් කිසිවෙකු නොවන අමුතුවෙන් කිවයුතු නොවේ.

ඊට අමතරව වෙළඳපොළේ සහල් හිඟයක් හිතාමතාම නිර්මාණය කිරීමද, වී තොග සහල් බවට පත් නොකර සඟවා තබා ගැනීමද සහල් මෝල් හිමියන්ගේ සැලසුම් සහගත ක‍්‍රියාවක් බවට මේ දිනවල දැඩිලෙස කථාබහට ලක්ව තිබේ. එහෙත් මෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව තහවුරු කර ගැනීමේ අරමුණින් පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන පෙළේ සහල් මෝල් හිමියන් කිහිපදෙනෙකු දුරකථනය ඔස්සේ සම්බන්‍ධ කරගැනීමට උත්සාහ දැරුවද අසන්නට ලැබුණේ ඒ දුරකථනවල නාද පමණි. ඒ අතර ඇතැම් සහල් මෝල් හිමියන් කීවේ ඒ ගැන මේ මොහොතේ අපි කතා නොකර ඉමු යැයි කියාය. එසේ පවසා සැණෙකින් ඇමතුම විසන්‍ධි කළ අත්දැකීම්ද වෙයි. කෙසේ නමුත් පසුගිය බදාදා රාත‍්‍රිය වනවිට මේ රටේ සහල් මිල ප‍්‍රශ්නය හාල් මෝල් හිමියන්ට වාසිදායක ලෙසම විසඳාලන්නට රජය පියවර ගෙන තිබුණේ දෙසතියකට පමණ පෙර රජය විසින් සහල් සඳහා පනවනු ලැබූ උපරිම සිල්ලර මිල තවත් ඉහළ දමමිනි.

මෙලෙස දෙවැනි වතාවට සහල් මිල ඉහළ දමන්නට පෙර අප ඉහතින් සඳහන් කළ අන්දමට වෙළඳපොළේ සහල් හිඟය ඇතිවෙද්දී පාරිභෝගික කටයුතු අධිකාරියේ  සභාපති, විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා ප‍්‍රමුඛ එම ආයතනයේ නිලධාරීන් පිරිසක් පොලොන්නරැවේ තිබෙන මහා පරිමාණ සහල් මෝල් නිරීක්‍ෂණය කරනු ලැබීය. රජය මගින් පනවා තිබෙන පාලන මිලට අනුව කොන්දේසි විරහිතව වෙළඳපොළට අවශ්‍ය සහල් තොග සැපයීමට ප‍්‍රධාන පෙළේ සහල් නිෂ්පාදකයන් ඇතුළු සහල් මෝල් හිමියන් එකඟ වූ බව හෙතෙම  ප‍්‍රකාශ කළේය.

සහල් නුදුන්නොත් නඩු දානවා

සහල් මෝල් හිමියන් සහ වී තොග රුස්කරන්නන් අනිවාර්යයෙන්ම ඒවා සහල් බවට පත්කර වෙළඳපොළට නිකුත් කළ යුතු බවත් එසේ නොකර සඟවා තබාගෙන සිටින අයට එරෙහිව පාරිභෝගික පනත අනුව නීති මගින් ක‍්‍රියාකරන බවද ඒ මහතා කීය. 
සහල් මෝල් හිමියන් මේ දිනවල වී සහ සහල් තොග සඟවා තබාගෙන සිටින බවට පැතිර යන ආරංචි සහ වෙළඳපොළේ දැනට පවතින ඇතැම් සහල් වර්ගවල හිඟය සම්බන්‍ධයෙන් සොයාබැලීම සඳහා පොළොන්නරුවට පැමිණි බව කී සභාපතිවරයා මෙසේද කීවේය.

අද දවසේ ප‍්‍රධාන වී මෝල්, ඒ වාගේම අනෙකුත් වී මෝල් නිරීක්‍ෂණය කරන්න චාරිකාවක් කිරීමට යොදාගත්තා මගේ පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් සමඟ. විශේෂයෙන්ම මෙහි අරමුණ වුණේ ජනතාවට හාල් හිඟයක් ඇතිවෙලා තිබෙනවා. වෙළඳපොළේ විශේෂයෙන්ම නාඩු සහ සම්බා. මේ පිළිබඳව අපේ අරමුණ වුණේ මේ තොග රැස් කරන්නන් හමුවෙලා ඇයි මේ ප‍්‍රශ්නය, මොකද වෙලා තිබෙන්නේ කියන එක සොයා බැලීම. අනවශ්‍ය ලෙස වී තොග ගොඩ ගසාගෙන ඉන්නවා නම් ඒ අය වී තොග අනිවාර්යයෙන්ම සහල් බවට පත්කරලා වෙළඳපොලට නිකුත් කළයුතු වෙනවා. 

ඒ අනුව අපි ප‍්‍රධාන මෝල් කීපයකටත් සංචාරය කළා. ඔවුන් සමඟ සාකච්ජා කළා. ඒ අය පසුගිය දිනවල සහල් නිකුත් කිරීමේදී ඔවුන් කොන්දේසි වගයක් පනවලා තිබෙනවා කීරි සම්බා මෙච්චර ප‍්‍රමාණයක් ගත්තොත් නාඩු මෙච්චර ප‍්‍රමාණයක් දෙන්නේ කියලා. ඔවුන් එකඟවුණා ඉදිරියේදී කොන්දේසි විරහිතව වෙළෙන්දන් වෙත සහල් ලබාදීමට. ඒත් එක්කම අපි නිරීක්‍ෂණය කළා ප‍්‍රධාන සහල් මෝල්වල නිෂ්පාදන කටයුතු කොහොමද වෙන්නේ ධාරිතාව කොහොමද කියලා. ඒ අනුව අපි ඔවුන්ට උපදෙස් දුන්නා මේ අවස්ථාවේ ජනතාව පත්වෙලා තිබෙන ආර්ථික අපහසුතාවය. ජනතාවට මුදල් නොමැති නිසා රජය විසින් දුන්නු සහනය ඔවුන්ට අනිවාර්යයෙන්ම ලබාදිය යුතුයි. නාඩු සහ සම්බා රුපියල් 90ටත් කැකුළු සහල් රුපියල් 85ටත්. ඒ අනුව වෙළඳපොළට අවශ්‍ය සහල් තොග නිකුත් කිරීමට ඔවුන් එකඟ වුණා. අපි බලමු ඉදිරියේදී ඔවුන්ගේ ක‍්‍රියාකලාපය මොකක්ද කියලා. විශේෂයෙන්ම ප‍්‍රධාන හාල් මෝල්වලත් අනෙක් මෝල් වලත්. මගේ නිලධාරීන් කණ්ඩායමට දන්වනවා දිවයිනේ අනෙක් මෝල්වලටත් යන්න. තොග රැස් කරන්නන් නිරීක්‍ෂණය කරන්න. ඒ තොග රැස් කරන අය අනිවාර්යයෙන්ම සහල් බවට පත්කරලා වෙළඳපොළට නිකුත් කළ යුතුයි. එහෙම නිකුත් කරන්නේ නැතුව ඉන්නවා නම්, සඟවා තබාගෙන ඉන්නවා නම් අපි ඔවුන්ට විරුද්ධව අනිවාර්යයෙන්ම පාරිභෝගික කටයුතු පනත අනුව අපි නීති මාර්ගයෙන් ක‍්‍රියාකරනවා. දැනට ඇත්තටම ලොකු මෝල්වල ඒ ක‍්‍රියාකාරීත්වය වෙනවා. අපි ඒ අයට කිව්වා මේ ධාරිතාවය වැඩිකරන්න කියලා. වැඩිකරලා පුළුවන් තරම් මේ ජනතාවට වැඩි වැඩියෙන් සහල් නිකුත් කරන්න කියලා. ඔවුන් එකඟ වුණා.

මේ නිරීක්‍ෂණ චාරිකාවේදී පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන සහල් මෝල් 04ක් නිරීක්‍ෂණය කළ බවත් එහිදී තම නිලධාරීන් ඒ මෝල්වල තොග තත්ත්වයන්, නිෂ්පාදන ධාරිතාව, ගත් මිල ආදිය සියල්ල නීරීක්‍ෂණයට ලක්කර ඇති බවත් මේ අන්දමට පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ සහල් මෝල් 10ක පමණ කටයුතු නිරීක්‍ෂණය සඳහා නිලධාරීන් 50ක් පමණ යෙදවූ බවද සභාපතිවරයා පැවසීය.

නාමල් තප්පුලනවා: රොෂාන් උඩුබුරලනවා

පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පොලොන්නරුවේ ඇතුමල්පිටියේ පිහිටි ප‍්‍රධාන පෙලේ සහල් මෝලක් වන අරලිය සහල් මෝල වෙත ගිය  අවස්ථාවේ එහි හිමිකරු වන ඩඩ්ලි සිරිසේන මහතා තම සහල් මෝලේ සහල් වැඩි මිලට විකිණීමක් හෝ වී තොග සඟවා තබා ගැනීමක් සිදු නොවන බව පැවැසීය. එහෙත් තරගකාරී පදනමක් මත ගොවීන්ගෙන් වී මිලදී ගැනීමට සිදුවී ඇතැයිද මේ වනවිට නාඩු වී කිලෝවක මිල රුරැපියල් 55ක් බවත් ඒ අනුව ඉදිරි කාලයේදී දැනට පවතින මිලට සහල් අලෙවි කිරීමේ හැකියාවක් නොමැති බවද පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩඩ්ලි සිරිසේන මහතා මේ වී සඳහා ගත්ත අපේ ණය කවුරුන් විසින් හෝ බේරනවා නම් එයාලා කියන මිලකට අපි හාල් දෙන්න සූදානම්. මට ලාභයක් එපා. රටේ ප‍්‍රශ්නයක් තිබෙනවා නම්, අපේ බැංකු ණය ටික පියවනවා නම් ඒ ටික බාර ගන්නවා නම් පාරිභෝගික අධිකාරිය මේක බාරගන්න. රටේ සහල් අවශ්‍යතාවය දවසකට කිලෝ ලක්‍ෂ 50යි. මේ ප‍්‍රධාන මෝල් හතරෙන් හදන්නේ ලක්‍ෂ 08යි. ඉතුරැ ලක්‍ෂ 42කට මේ ලක්‍ෂ අට පාලනය කරලා මොකක්ද කරන්න හදන්නේ කියන්නකෝ. අපි ළඟ වී තියෙන්නේ දවස් 45ටයි. දවසට වී මිටි 10,000ක් ඕන. රජය වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළේ පෞද්ගලික අංශයට තරගකාරීත්වයකින් වී ගන්නයි. අපි ඒ අනුව වී මිලදී ගත්තා. දැන් වී කිලෝ එකක මිල රුපියල් 55යි. පාරිභෝගික අධිකාරිය කියනවා නම් ඒ මිලට ගන්න එපා කියලා. අපි සියලුම වී මෝල් වී ගන්නේ නෑ. හෙට ඉඳලා වී මිලදී ගන්න එක නතර කරනවා. වී අලෙවි මණ්ඩලය අරගෙන තියෙන වී වල කොස්ට් එක රුපියල් 60යි. හාල් කිලෝ එක රුපියල් 120ටවත් දෙන්න  ඕන. අද ඒ ගබඩාවලට ග‍්‍රාම ආරක්‍ෂක භටයින් මුරට දාලා තියෙන්නේ. මේ සහල් වී ප‍්‍රශ්නයේදී නාමල් කරැණාරත්න තප්පුලනවා, රොෂාන් රණසිංහ උඩුබුරලනවා. ඒ නිසා මම එනවා මේ වී සම්බන්‍ධයෙන් ඕනෑම විවාදයකට ඒ දෙදෙනා එක්ක තර්ක කරන්න.

මහ මෝල්කාරයෝ ජනතාවගේ බඩට ගහනවා

යල කන්නයේ වී අස්වනු නෙළන තෙක් අවශ්‍ය තරම් වී තොග රටතුළ තිබෙන බවත් එමනිසා රටින් සහල් ගෙන්වීමේ කිසිම අවශ්‍යතාවයක් නැති බවත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරැව දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රොෂාන් රණසිංහ මහතාද පසුගියදා ප‍්‍රකාශ කළේය. රජයේ බුද්ධි අංශ සහ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය මගින් ඒ සම්බන්‍ධව තොරතුරු එක්රැස් කර තිබෙන බව කී ඒ මහතා පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ පමණක් වී කිලෝ කෝටි 19ක් 20ක් ඇතැයි කීය.
කෘත්‍රිම සහල් හිඟයක් මවා පා මේ වෙලාවේ පාරිභෝගික ජනතාවගේ බඩට ගැසීම අපරාධයක් යැයිද මෙය වී මාෆියාකාරයින් හැමදාම දාන සෙල්ලමක් බවද ඒ මහතා කීය.

ඇතැම් සහල් මෝල් හිමියන් කෘත්‍රිම සහල් හිඟයක් මවාපාන්න කටයුතු කරනවා. මෝල් හිමියන් වැඩි මිලට තොග මිල තීරණය කර තිබෙනවා නම් වෙළෙඳුන් ඒ ගැන පාරිභෝගික අධිකාරියට පැමිණිලි කළ යුතුයි. මේ වෙලාවේ පාරිභෝගික ජනතාවගේ බඩට ගැසීම අපරාධයක්. මහා පරිමාණ මෝල් හිමියන් සඟවාගෙන තිබෙන වී තොග කුඩා පරිමාණ මෝල් හිමියන්ට ලබාදීමට රජය පසුබට වෙන්නේ නෑ. මේ රටේ ජනතාවගේ ප‍්‍රධාන ආහාරය බත්. මේකත් එක්ක සෙල්ලම් කරන්න එපා. මෝල් කාරයින්ව, මාෆියාකරුවන් රැකීමට රජයට අවශ්‍යතාවයක් නෑ. මේ වෙලාවේ සහල් ආනයනය කරන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. යල කන්නයේ වී අස්වනු නෙළන තෙක් අවශ්‍ය තරම් වී තොග රටේ තිබෙනවා. කිහිප දෙනෙක් පමණයි රුපියල් 90ට වඩා වැඩි මිලට සහල් අලෙවි කරන්නේ. මේක වී මාෆියාකාරයින් හැමදාම දාන සෙල්ලමක්. පසුගිය යහපාලන රජය වී මාෆියාකරුවන්ට නිත්‍යනුකූල බලපත‍්‍රයක් දුන්නා. රජයේ වී ඔවුන්ට එදා දුන්නේ රුපියල් 24ට. මාෆියාකරුවන් තුරන් කරන වැඩපිළිවෙලට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් පියවර ගෙන තිබෙනවා.

මෙවැනි කතාබහ තුළ සහල් ප‍්‍රශ්නය විසඳෙන බවක් එදෙස විමසිල්ලෙන් බලාසිටි  ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට පෙනෙන්නට නොතිබුණු නිසා එය තවදුරටත් ඔඩු දුවන්නට මත්තෙන් ජනාධිපතිවරයා සෘජුවම මැදිහත්වී සහල් මෝල් හිමියන් සමඟ සාකච්ජා කර මේ විසඳුමට පැමිණ ඇති බව රජයේ ආරංචි මාර්ග කියයි.

සහල් මිල ගැන රජයේ තීරණ තීන්දු යටපත් කරමින් වී මෝල් හිමියන් හතර පස් දෙනෙකු ජයග‍්‍රහණය හිමිකර ගැනීමක් ලෙස මෙය ඇතැමෙකු විග‍්‍රහ කරන්නට හැකි නමුදු සහල් නිෂ්පාදනය සම්බන්‍ධව මහා පරිමාණ සහල් මෝල් තබා වංගෙඩියක් මෝල් ගහක් තරමවත් රජය සතුව නැතිව වෙන කුමක් කරන්නදැයි මැදහත් ජනතාව කියා සිටිති.

I කරුණාරත්න ගමගේ